Pages

Saturday, March 28, 2015

ජාතික ආණ්‌ඩුවක්‌???

ජාතික ආණ්‌ඩුවක්‌ ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමුවරට පිහිටුවා තිබේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‌ෂ එය තුළ නොමැති බැවින් මෙය සැබෑවටම ජාතික ආණ්‌ඩුවකටත් වඩා සභාග ආණ්‌ඩුවකි. එහෙත් මෙරට ප්‍රධානතම දේශපාලන පක්‌ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හා එක්‌සත් ජාතික පක්‌ෂය ඉතිහාසයේ පළමු වරට එක්‌ව තිබෙන නිසා මෙය ඓතිහාසික අවස්‌ථාවකි. මෙතෙක්‌ පාර්ලිමේන්තුව තුළ සුළුතරයක්‌ වූ ආණ්‌ඩුව නව ජාතික රජයත් සමඟ ශක්‌තිමත් වී තිබේ. කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව බිහිවීමත් සමඟ ඇමති ධූර ලැබුණු සමහරුන් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ සමීපතයන් වූ අතර ඇතැමුන් පසුගිය ජනාධිපතිවරණයේදි මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්‌ඩාරනායක දැඩි ලෙස විවේචනයට ලක්‌කළ අය වූහ. කෙසේවෙතත් දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නොමැති බවට මෙය හොඳ නිදසුනකි. දේශපාලනයේ හැටි එලෙසය. කෙසේ වෙතත් මේ වන විට ඇමති සංඛ්‍යාව 77 දක්‌වා ඉහළ නැග තිබේ. ඉදිරියේදි තවත් පිරිසකට ඇමති ධූර ලබාදෙන බවද සඳහන්ය. මේ අනුව බලන කල පසුගිය රජය හා වර්තමාන රජය අතර වැඩි වෙනසක්‌ නැතැයි පවසන්නෝද සිටිති. මේ අතර නව ඇමති තනතුරු හේතුවෙන් තම විෂයයන් අහිමි වූ ඇතැම් ඇමතිවරු හා තම අමාත්‍යාංශය වෙත තවත් ඇමතිවරුන්ට පත්වීම් දීම නිසා බලතල බෙදී යාම නිසා බිඳුණු සිත් ඇතිව සමහරුන් සිටින බව සඳහන්ය.

මහින්ද රාජපක්‌ෂ නැවත අගමැතිවරයා බවට පත්කරලීමේ අරමුණින් රට පුරා පවත්වන රැස්‌වීම් මාලාවේ ප්‍රධානතම රැස්‌වීමක්‌ පසුගියදා රත්නපුරදි පැවැත්වුණි. ඊටද අති විශාල ජනකායක්‌ සහභාගි වූහ. එහි විශේෂිතම සිදුවීම වුයේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක්‌ ඊට සහභාගිවීමය. මෙය බරපතළ තත්ත්වයක්‌ වන්නේ රත්නපුර රැලියට සහභාගිවීම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ සාමාජිකයන්ට තහනම් කර තිබියදීත් මන්ත්‍රීවරුන්ද සමඟ අතිවිශාල ප්‍රමාණයක්‌ ඊට සහභාගිවීම නිසාය. එහෙත් පක්‌ෂයක්‌ ලෙස එම රැස්‌වීමට ගිය අයට විනය පියවර ගන්නට ගියහොත් එය පැහැදිලි ලෙසම පක්‌ෂය තුළ මහා පිපිරීමක්‌ වන්නට ඉඩ තිබේ. කෙලෙස හෝ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හා මහින්ද රාජපක්‌ෂ ත්‍රිත්වය සමගි කරවන්නට කිසියම් පාර්ශවයකට හැකිවන්නේ නම් අතිශය ශක්‌තිමත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයක්‌ ගොඩනගා ගතහැකි බව සාමාන්‍ය ශ්‍රී ලංකාකාරයන්ගේ අදහසය. පක්‌ෂය දෙකට තුනට කැඩීම යනු වසර ගණනක්‌ විපක්‌ෂයට යාමත් එක්‌සත් ජාතික පක්‌ෂයේ ජයග්‍රහණයත් බව ඔවුන්ගේ අදහසය. එහෙත් මහින්ද රාජපක්‌ෂ විසින් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක සම්බන්ධයෙන් 2005 - 2006 කාලයේ ගත් පියවර හේතුවෙන් දැන් ඔහුට එය පාරාවළල්ලක්‌ වී ඇති බව පවසන්නෝද සිටිති. එම නිසා බලය ඇති සැවොම මේ බලය තාවකාලික බවත් එය යම් දවසක සැමටම ලැබෙන බවත් සිතා කටයුතු කිරීම සුදුසුය. තමන්ට ඇමති ධූර, විපක්‌ෂ නායක, අගමැති හා ජනාධිපතිවරණ අපේක්‌ෂකත්වය ආදි සියල්ල ලබාදුන් චන්ද්‍රිකා බණ්‌ඩාරනායක හට කෘතවේදීත්වය පළකරමින් ඇයට යම් ගෞරවනීයත්වයක්‌ ඇතිකරන්නට එදා මහින්ද ක්‍රියාකළේ නම් අදටත් ජනාධිපතිවරයා මහින්ද රාජපක්‌ෂය. තමන් එදා ඒ කළ වරද ඔහු පිළිගත යුතුය. එසේම මෙය වර්තමාන නායකයන්ටද හොඳ පාඩමක්‌ වනු ඇත. සරත් ෆොන්සේකා සිරගත කිරීම, ශිරාණි බණ්‌ඩාරනායක අගවිනිසුරුවරිය ඉවත් කිරීම, විපක්‌ෂය අඩපණ කරමින් මන්ත්‍රීවරුන් බිලීබා ගැනීම, තමන්ට හිතවත් ඇතැමුන් කළ බරපතළ වැරදිවලට එරෙහිව පියවර නොගැනීම වැනි තම අතින් සිදු වූ වැරදි තීරණ ගැන යළි සිහිකරන්නට අද මහින්ද රාජපක්‌ෂට හොඳ අවස්‌ථාවක්‌ ලැබී තිබේ. ඒ වැරදි තීරණ ගන්නට තමාව පොළඹවන ලද පුද්ගලයන් අද සිටින්නේ කොහේදැයි සොයා බැලූ විට එම තීරණවල බරපතලකම ඔහුටම හොඳින් වැටහෙනු ඇත.

අනෙක්‌ අතට පක්‌ෂය තුළ නිල වශයෙන් කිසිදු බලයක්‌ මේ අවස්‌ථාවේ නොමැති කෙනෙක්‌ වෙත මේ අන්දමට පක්‌ෂ සාමාජිකයන්ගේ ආකර්ෂණයක්‌ ඇත්නම් වර්තමාන නායකත්වයද යථාර්ථය වටහාගත යුතුය. එක්‌කෝ ඊට වඩා ආකර්ශනීය වැඩපිළිවෙළක්‌ දියත් කරමින් පක්‌ෂයේ සියලුදෙනා ඒකරාශී කරගන්නට වහාම වැඩපිළිවෙළක්‌ දියත් කළ යුතුය. එසේම පක්‌ෂ නායකයා ලෙස කටයුතු කරමින් එක්‌සත් ජාතික පක්‌ෂය සමඟ ඕනෑවටත් වඩා සමීප සම්බන්ධතා පැවැත්වීම නතර කළ යුතුය. එහෙත් ජනාධිපතිවරණයේදි එක්‌සත් ජාතික පක්‌ෂය ලබාදුන් සහයෝගයද අමතක කළ නොහැක. එහෙත් එම ජනාධිපතිවරණයේදි එක්‌සත් ජාතික පක්‌ෂය නොමැතිව මෛත්‍රීපාල සිරිසේන මහතාට ජයග්‍රහණය අසීරු මෙන්ම මෛත්‍රීපාල සිරිසේන මහතා නොවන්නට එක්‌සත් ජාතික පක්‌ෂය තනිව තරග කළේ නම් ඔවුන්ට එය ජයගන්නට හැකියාවක්‌ද නොවීය. කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුව හරහා ඇමති ධූර පිරිනැමීම මගින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ තම පාර්ශවයට ප්‍රබලයන් ආකර්ෂණය කරගන්නට වත්මන් නායකත්වයට හැකි වී තිබේ.

කෙසේ වෙතත් ජාතික ආණ්‌ඩුවට සම්බන්ධ නොවූ මන්ත්‍රීවරු මහින්ද වෙත යන්නට හේතුවක්‌ තිබේ. ඉදිරි මහමැතිවරණයේදි ජනතාව වෙත ගොස්‌ තනිවම කුමක්‌ පවසන්නද යන ප්‍රශ්නයද ඔවුන් වෙත තිබේ. පසුගිය කාලය පුරාම මැතිවරණ ජයග්‍රහණ වලට පදනම් වූයේ යුධ ජයග්‍රහණය හා මහින්ද රාජපක්‌ෂය. මේ හේතුව නිසා පසුගිය කාලය පුරාම ඔවුන් හැමතැනම ගියේ මහින්ද රාජපක්‌ෂ ඉදිරියට තබා ගෙනය. අනෙක්‌ අතට මහින්ද රාජපක්‌ෂද වෙනත් කිසිදු කෙනකුට තනි ගමනක්‌ යා හැකි තත්ත්වයක්‌ ඇති නොකරන්නට වග බලා ගෙන තිබුණි. මේ නිසා ඉදිරි මැතිවරණය සඳහා තනිව ජනතාව වෙත යන්නට බොහෝ දෙනකුට නොපුළුවන. අනෙක්‌ අතට මහින්ද නැතිව ගමට ගොස්‌ ඡන්දය ඉල්ලන්නටද නොහැකි වී ඇත්තේ මහින්දට ගම්බදව ඇති ජනප්‍රියතාව නිසාය. කෙසේ වෙතත් යම් ආකාරයකින් මහින්ද වෙනම පක්‌ෂයකින් තරග කරන්නට තීරණය කළහොත් ඉතිහාසයේ ශක්‌තිමත්ම තුන්වන බලවේගය බිහිවන අතරම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ මන්ත්‍රීවරුන් යම් පිරිසක්‌ ඔහු සමඟ එක්‌වීම වැළැක්‌විය නොහැක. එසේම සැලකිය යුතු ඡන්ද ප්‍රමාණයක්‌ ඔහු ලබාගන්නා අතරම ඒ හරහා මෙරට නායකත්වයට පත්වන පක්‌ෂය ඔහුගේ සහය ලබාගත යුතුම වන තත්ත්වයක්‌ ඇතිවිය හැක. පසුගිය මහින්ද රාජපක්‌ෂ පාලනයට එරෙහිව වත්මන් ආණ්‌ඩුව එල්ලකරන දූෂණ චෝදනා තුළින් ගම්බද ජනතාව තුළ එතරම් වෙනසක්‌ ඇති නොකරන බව පෙනී යයි. එහි බලපෑමක්‌ ඇත්තේ මධ්‍යම පාන්තිකයන්ට හා ඉහළ මධ්‍යම පාන්තිකයන්ටය.

අද වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාට බලයක්‌ නොමැති වුවත් රට පුරා බහුතර ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‌ෂිකයන් තවමත් සිටින්නේ ඔහු සමඟ බව රට පුරා ඔහු යන යන තැන රැස්‌වන ජනතා රැල්ල අනුව පෙනේ. අද ඔහු සැමදාම පුවත් මවයි. මෙය කිසිදිනෙක පරාජයට පත් වූ දේශපාලනඥයකු හට හිමි වූ තත්ත්වයක්‌ නොවේ. ආණ්‌ඩුව මෙය පාලනය කරන්නට ගියහොත් සිදුවන්නේ තවතවත් ජනතාව ඔහු වෙත ළංවීමය.

මේ අතර යහ පාලන ආණ්‌ඩුවට දින අසූවක්‌ පමණ ගතව තිබේ. එම දින අසූව දෙස ආපසු හැරී බැලීමේදි රටේ විවිධ සිදුවීම් රාශියක්‌ සිදුවුවත් ඒවා තුළ පොදු ජනතා බලාපොරොත්තු ඉටුවූවාදැයි යන්න ගැටලුවකි.

රජය විසින් ලබාදෙනු ලැබුවා යෑයි උදම් අනන බොහෝ දේ තමන්ට ලැබී ඇතැයි සාමාන්‍ය ජනතාව නොසිතති. ජීවන වියදමට සහනයක්‌ නොලැබීම නිසා සාමාන්‍ය ජනතාව පසුවන්නේ අපහසුතාවලිනි. ඉන්ධන මිල අඩුවීමේ වාසිය වාහන ඇති අයට මිස සෙසු ජනතාවට ලැබී නැත. ඉන්ධන මිල අඩුවීමට සාපේක්‌ෂව අත්‍යවශ්‍ය භාණ්‌ඩ මිල අඩුවූයේ නැත. ගෑස්‌, කිරිපිටි, තිරිඟු පිටි ආදිය අඩුවීමේ වාසිය නිසා ආහාර මිල ගණන් අඩු කර නැත. පාන් ගෙඩියක මිල පමණක්‌ අඩු වුවත් සෙසු බේකරි නිෂ්පාදනවල මිල ගණන් අඩුකර නැත. ඇතැම් බේකරි ඉන් පසු මිල වැඩිකිරීම් පවා සිදුකර ඇත. ආප්ප, තේ සහ කිරි තේ සඳහා ආණ්‌ඩුව මිල පාලනයක්‌ ඇති කළද ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවේ. මේ නිසා මේ සහන ජනතාවට ලැබෙන වැඩපිළිවෙළකට වහාම ආණ්‌ඩුව යායුතුව තිබේ. ඉන්ධන මිල අඩු නොකර එම මුදල සෘජුවම ලංකා විදුලිබල මණ්‌ඩලයට සහනාධාරයක්‌ ලෙස ලබාදී ඒ හරහා විදුලි බිල සියයට පනහක්‌ පමණ අඩුකළේ නම් එය රටේ සියලුම දෙනාට ලැබුණු සහනයක්‌ වන්නට ඉඩ තිබුණි. එසේම එවිට භාණ්‌ඩ නිෂ්පාදකයන් ලවා සෘජුවම රජයට මැදිහත්වී භාණ්‌ඩ මිල අඩු කළ හැකිව තිබිණි.

මේ අතර දහනව වන ව්‍යවස්‌ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. එහි ඇතැම් බලතල වර්තමාන ජනාධිපතිවරයා හට පමණක්‌ හිමිවන බවත් ඉන්පසු පත්වන ජනාධිපතිවරුන්ට හිමි නොවන බවත් සඳහන්ය. මෙලෙස වුවමනා වුවමනා ආකාරයට රටක ප්‍රධානතම ලියවිල්ල වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව වෙනස්‌ කළ හැකිද යන්න ගැටලුවකි.

දහනවවන ව්‍යවස්‌ථා සංශෝධනයට ජාතික හෙළ උරුමයේ විරෝධය හා එය පාර්ලිමේන්තුවේ පරාජය කරන බවට ජාතික හෙළ උරුමයේ පාඨලී චම්පක රණවක ඇමතිවරයා පවසා තිබේ. ඔහු පවසන්නේ යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයා පඹයකු කර ඇති බවත්, සියලු බලතල අගමැතිවරයාට ලබාදී ඇතිබවත්ය. එසේම ජනාධිපතිවරයා සෑම විටම අගමැතිවරයා ගෙන් විමසා කටයුතු කළ යුතු බවට වන වගන්තිවලට ඔහු විරෝධය පළ කර තිබේ. පසුගියදා ජනතාව දුන් ජනවරමට මෙය විරුද්ධ බවද ඔහු පවසා තිබේ.

ඡන්දයෙන් බලයට එන්න බැරි අය ව්‍යවස්‌ථා වංචාවකින් බලයට එන බවත් මෙය පාර්ලිමේන්තුවේදි පරාජය කරන බවත් ඔහු කියා සිටී.

කෙසේ වෙතත් මේ වන විට යෝජිත ව්‍යවස්‌ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් කීපයක්‌ ශේ්‍රෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබේ. මේ අතර මෙවන් වැදගත් වෙනස්‌කම් සම්බන්ධයෙන් තීරණය ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවට බොහෝ දෙනා පවසති. ඡේ. ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා ගෙනා ව්‍යවස්‌ථාවේ වැරදි අදටත් බොහෝදෙනා කතා කරති. චෝදනා කරති. මේ ව්‍යවස්‌ථාව මෙදා හදිසියේ සම්මත කරගතහොත් රටට ගැළපෙන ව්‍යවස්‌ථාවක්‌ සම්මත කර නොගැනීමේ පාපයට ඊට සම්බන්ධවුවන්ට ජනතාව සදාකල් දෙස්‌ දෙවොල් තබනු ඇත. එම නිසා කලබලයකින් තොරව ජනතා අදහස්‌ විමසමින් නිවැරදි තීරණ ගත යුතුය.

මේ අතර ජනාධිපතිවරයාට සමීප ආරංචිමාර්ග පවසන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයට අවශ්‍ය පරිදි අප්‍රේල් 23 වැනිදා හෝ ආසන්නයේ ආණ්‌ඩුව විසුරුවන්නේත් මහා මැතිවරණයක්‌ හදිසියේ පවත්වන්නේත් නැති බවය. නව මැතිවරණ ක්‍රමය ඇතිකිරීමෙන් පසු ඡන්දයකට යන්නට ජනාධිපතිවරයාත් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයත් කථිකා කරගෙන සිටිති. මේ අනුව අගෝස්‌තු මාසයේ හෝ සැප්තැම්බර් මාසයේ හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර නොවැම්බර් මාසයේ හෝ දෙසැම්බර් මාසයේ මහමැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

යහපාලන ආණ්‌ඩුවේ ඇතැම් ඇමතිවරු තමන්ගේ පවුලේ අයගෙන් හා හිතවතුන්ගෙන් අමාත්‍යංශ පුරවා තිබේ. තමන් යටතේ ඇති ආයතනවලට නුසුදුස්‌සන් පත් කර තිබේ. මේ අතර තවත් ඇමතිවරුන් පිරිසක්‌ ලොව වටා සවාරි යමින් සිටිති. මේවා ගැන ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අවධානයෙන් සිටිය යුතුය. මෙය යහපාලනය තුළ ජනතාව බලාපොරොත්තු වුවක්‌ නොවේ. එදා ප්‍රසිද්ධියේ විවේචනය කළ දේවල් එසේ විවේචනය කළ අය විසින්ම අද කරනු ලැබීම දෛවයේ සරදමකි. කෙසේවෙතත් තමන්ගේ අමාත්‍යංශ හා ඒ යටතේ ඇති ආයතනවල වියදම් අඩුකරමින් උත්සව නොපවත්වමින් කටයුතු කරන ඇමතිවරුන් පිරිසක්‌ද වෙති. එම නිසා රජය කලයුත්තේ ඒ ඒ අවස්‌ථානුකූලව කළයුතු කළ යුතු ආකාරය හා වියදම් පාලනය කරන ක්‍රමවේදය සම්බන්ධයෙන් සෑම අමාත්‍යාංශයකටම හා රාජ්‍ය ආයතනයකටම චක්‍රලේඛනයක්‌ යෑවීමය.

යාපනයේ අධි ආරක්‌ෂිත කලාපය තුළ වූ ඉඩම් බෙදීම සම්බන්ධයෙන් දකුණේ සිංහල ජනතාව බලන්නේ සැකයෙනි. සංහිඳියාව ඇතිකිරීමේ පියවරක්‌ ලෙස මෙය කළයුතු වුවත් මේ ඊට අවස්‌ථාවද යන්න සිතා බැලිය යුතුය. ජාතික ගීය දෙමළෙන් ගැයීමේ ප්‍රශ්නයද එවැනිම ප්‍රශ්නයකි.

ඇතැම් ආයතනවලට අලුතින් පත්කර ඇති ඇතැම් නිලධාරීන් හට මේ කටයුතු කරගෙන යන ආකාරය ගැන කිසිදු අත්දැකීමක්‌ නැත. ඇතැම් ආයතනවල වැඩ කරන ආකාරය තමන් හට කියාදෙන ලෙස ඉල්ලා සිටි නව පත්වීම් ලද අය සිටින බවද පැවසේ. 

අපේ රටේ මැතිවරණ දින තීරණය කරන්නේ තවදුරටත් ජ්‍යෙතිෂවේදීන් විසින් බවට ඇතැමුන් චෝදනා කරති. මහින්ද රාජපක්‌ෂ හිටපු ජනාධිපතිවරයා සියල්ල අහිමි කරගත්තේ ජ්‍යෙතිෂ්‍යවේදින්ගේ අනාවැකි නිසාය. ඔහුගේ එම දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගත් ජාත්‍යන්තර ඔත්තු සේවාවන් ඔහුගේ ජ්‍යෙතිෂවේදින්ට මුදල් ගෙවා මිලට ගෙන හිටපු ජනාධිපතිවරයා මැතිවරණයකට පොළඹවාගත් බව පැවසේ. එම එක ජ්‍යෙතිෂවේදියකු හිටපු ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ආකාරයට හසුරුවන්නට විශේෂ උපක්‍රම යොදා තිබූ බවද කියනු ලැබේ.

එකසත් ජාතික පක්‌ෂය මේ වන විට රට පුරා සෑම දිස්‌ත්‍රික්‌කයකම පාහේ ඉදිරි මැතිවරණය ඉලක්‌ක කරගෙන ආසන ප්‍රතිසංවිධානය සිදුකරගෙන යයි. එසේම ආසනවලට පත් කළ යුත්තේ පළපුරුදු මෙන්ම දක්‌ෂ පුද්ගලයන්ය. ඔවුන් මහ ජනතාව අතර සිටින පුද්ගලයන් විය යුතුය. එසේ නොකොට විශේෂයෙන්ම ගම්බද ආසන ජයගත නොහැක.

මේ අතරේ ශ්‍රී ලංකාව වෙත ඉන්දියානු බලපෑම හා එයින් මතුවන ප්‍රශ්න දිගින් දිගටම දැකිය හැක. ඉන්දිය ධීවර ප්‍රශ්න හා ඉන්දිය ක්‍රියාකාරකම් නිසා මතුවන ප්‍රශ්න මෙන්ම ඒ තුළින් සෙසු රටවල් අමනාප කර නොගන්නටද කටයුතු කළ යුතුය. මේ අතරේ චීනයේ ආයෝජනයක්‌ වන දැනට තාවකාලිකව නවතා දමා ඇති පෝට්‌ සිටි ව්‍යාපෘතියද යළි අරඹන බව සඳහන්ය.

ජනිත සෙනෙවිරත්න
http://www.divaina.com/2015/03/29/politics06.html

Pic Source

0 comments: