Pages

Friday, July 3, 2015

සෑම 5 දෙනකුගෙන් එක්‌ අයකුට 'හයි බ්ලඩ් ප්‍රෙෂර්'. සෑම 10 දෙනකුගෙන් එක්‌ අයකුට දියවැඩියාව - වෛද්‍ය සුසී පෙරේරා

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සෑම පස්‌දෙනකුගෙන්ම එක්‌ අයකු අධි රුධිර පීඩනයෙන් ද (හයි බ්ලඩ් ප්‍රෙෂර්) සෑම දසදෙනකුගෙන්ම එක්‌ අයකු දියවැඩියාව රෝගයෙන් ද පෙළෙන බව සමීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන සංවිධාන කටයුතු පිළිබඳ අධ්‍යක්‍ෂිකා වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය පවසන්නීය.

වැරදි ආහාර පරිභෝජන රටාව, ව්‍යායාම මඳකම වැනි සාධක හේතුවෙන් මෙම සංඛ්‍යාව තවත් වැඩි වෙමින් පවතින බව ද ඇය කීවාය.

ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 25 ක්‌ හෝ එයට වැඩි ප්‍රතිශතයක්‌ අධි රුධිර පීඩනයෙන් ද වයස අවුරුදු 20 ට වැඩි ජනගහනයෙන් සියයට 10 ක්‌ දියවැඩියා රෝගයෙන් ද පෙළෙන බව අනාවරණය වී ඇති අතර මෙම තත්ත්වය මත හෘද රෝග, ආඝාතය (ස්‌ට්‍රොක්‌), වකුගඩු රෝග වැනි බෝ නොවන රෝගවලට ලක්‌වන්නන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව ඇය සඳහන් කළාය. තවත් විශාල පිරිසක්‌ පිළිකා රෝගවලට ගොදුරු වෙමින් සිටින බව ද වෛද්‍ය පෙරේරා මහත්මිය පැවසුවාය.

වයස්‌ සීමාවකින් තොරව සමාජයේ සෑම තරාතිරමකම අය මෙම බෝ නොවන රෝගවලට ගොදුරු වෙමින් සිටීම නිසා එම රෝගවලින් වැළකී සිටීම හා රෝගවලට ගොදුරු වූවන්ගේ රෝගී තත්ත්වය පාලනය කිරීම ඉලක්‌ක කරගෙන සුපර් - 8 නමැති සෞඛ්‍ය ඉලක්‌කයන් ජනතාව අතරට ගෙනයැම සිදුකරගෙන යන බව වෛද්‍යවරිය අවධාරණය කළාය.

ලුණු භාවිතය අවම කිරීම, සීනි භාවිතය අවම කිරීම, ට්‍රාන්ස්‌මේදය සහිත කෙටි ආහාර (ෂෝට්‌ ඊට්‌ස්‌, පීසා හා ප්‍රේස්‌ටි්‍ර) භාවිතය අවම කිරීම, දිනකට විනාඩි 30 ක්‌ ව්‍යායාම කිරීම, ශරීරයේ ස්‌කන්ධ අගය (බී එම් අයි) අවම වශයෙන් 23 ක මට්‌ටමේ පවත්වාගැනීම, වාර්ෂිකව රුධිර පීඩන තත්ත්වය මැන බැලීම (රුධිර පීඩන මට්‌ටම 140/90 මට්‌ටමේ පවත්වාගැනීම) ඇතුළු නිරෝගී දිවියකට අවශ්‍ය ඉලක්‌කයන් මෙම සුපර් - 8 සඳහා අන්තර්ගතය.

මෙම ඉලක්‌කයන් ජනතාව අතරට ගෙනයැමේ සෞඛ්‍ය සැණකෙළිය ජූලි 04 වැනිදා බෝම්බුවලදී පැවැත්වීමට නියමිතය.

ඒමන්ති මාරඹේ
http://www.divaina.com/2015/07/02/news37.html

Pic Source

0 comments: