Pages

Friday, July 24, 2015

නායකයා තෝරා ගැනීමේ පක්‍ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය

රටේ ව්‍යවස්‌ථාදායකය හා විධායකය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේය. එය පාර්ලිමේන්තුව තුළ ව්‍යහගත වුවද එහි ක්‍රියාකාරකම්වල හොඳ නරක දෙකටම මුහුණ දිය යුත්තේ සමස්‌ත සමාජයේ සියලු අංශයන් නියෝජනය කරන ජනතාවය. මේ නිසාම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුව පූජනීය වශයෙන් සැලකිය යුතු ප්‍රධාන කරුණු දෙකක්‌ ඇත. ඉන් පළමු වැන්න රටේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කිසිසේත් කඩ නොකරන අන්දමින් කටයුතු කිරීමට සෑම දේශපාලන පක්‍ෂයක්‌ම වගබලා ගැනීමයි. දෙවැන්න සෑම ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්‍ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු වන අන්දමින් කටයුතු කිරීමයි. මේ සිද්ධාන්ත දෙක කඩකළහොත් ප්‍රජාතන්ත්‍රවාදය පමණක්‌ නොව රටේ පැවැත්මද අනතුරට පත්වනු ඇත. මෙවැනි අවස්‌ථා පිළිබඳ සමකාලීන ඉතිහාසයේ ඇති වූ වැදගත් ඛේදවාචක පෙන්වා දිය හැකිය.

වර්ෂ 1947 බිහි වූ පාකිස්‌තාන දේශය කොටස්‌ දෙකකින් සමන්විත විය. එනම් බටහිර පාකිස්‌තානය හා නැඟෙනහිර පාකිස්‌තානයයි. ඉන්දීය උප මහද්වීපය දෙකට බෙදා පාලන දෙකක්‌ ඇති කිරීම නිසා මේ තත්ත්වය ඇති විය. නොබෙදුනු ඉන්දියාවේ බෙංගාල හා පන්ජාබය යන ප්‍රාන්ත හින්දු මුස්‌ලිම් ජන අනුපාතය අනුව බෙදා වෙන්කරන ලදී. වර්තමාන බංගලාදේශය නමින් හැඳින්වෙන නැඟෙනහිර බෙංගාලයේ ජනගහනය අති විශාල විය. බටහිර පාකිස්‌තානය නමින් හැඳින්වූ කොටසේ පන්ජාබය හැරුණු විට සින්ද් හා වයඹදිග දේශසීමා ප්‍රාන්තද ඇතුළත් විය. මෙහි මුල සිටම පාලන බලය හිමිව තිබුණේ බටහිර පාකිස්‌තාන පාලකයන්ටය. මෙම පාලනය තුළ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවට හමුදා ඒකාධිපතිත්වය පාකිස්‌තානය පාලනය කළේය. මේ නිසා ඇති වූ උද්ඝෝෂණ හමුවේ හමුදා පාලකයන්ට ප්‍රජාතන්ත්‍රවාදය හඳුන්වා දීමට සිදු විය. ඒ අනුව 1970 වර්ෂයේ දී නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ හඳුන්වා දෙන ලදී.

නව ව්‍යවස්‌ථාව අනුව පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්කර ගන්නා ලද්දේ ජන අනුපාත අනුවය. වංග භාෂාව කතා කරන නැඟෙනහිර පාකිස්‌තානය හෙවත් බෙංගාලය බහු ආසනයක්‌ විය. මැතිවරණයේදී බෙංගාලයේ පාර්ලිමේන්තු ආසන සියල්ලම පාහේ දිනා ගැනීමට අවාමී ලීග් පක්‍ෂය සමත් විය. මේ නිසා පාර්ලිමේන්තු බහුතරය ඔවුන්ට හිමි වූයේ නිතැතිනි. කෙසේ වුවද බෙංගාලයේ අවාමී ලීග් පක්‍ෂ නායක සීග් මුජබීර් රහමන්ට අගමැති ධුරය දීමට බටහිර පාකිස්‌තාන බලවතුන් අකමැති විය. මේ දරදඬු තීරණයේ ප්‍රතිඵලය අතිශයින්ම ෙ€දජනක විය. දෙපාර්ශ්වය තුළ ඇති වූ දරුණු සිවිල් යුද්ධය දසමසක්‌ පමණ පැවැති අතර ලක්‍ෂ දහයකට අධික බෙංගාල වැසියෝ මරුමුවට පත් වූහ. ලේ ගංගාවක්‌ මැදින් රට දෙකඩ වී බංගලාදේශය හා පාකිස්‌තානය යනුවෙන් 1972 දී රාජ්‍යයන් දෙකක්‌ බවට ප්‍රකාශයට පත් කෙරිණි. මේ තත්ත්වය උදා වූයේ මහජන ඡන්දයෙන් පත් වූ බහුතරයට බලය පැවරීම ප්‍රතික්‍ෂේප කිරීම නිසාය.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස පවත්වා ගැනීමට අපොහොසත් වුවහොත් සිදු විය හැක්‌කේද එවැනිම දරුණු තත්ත්වයන්ය. අපට ආසන්න ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදය පවතින ලෝකයේ විශාල රට ලෙස පිළිගැනෙයි. සෑම මැතිවරණයකින්ම පසුව ඉන්දියාවේ ව්‍යවස්‌ථාවට අනුව අගමැතිවරයකු තෝරා පත් කරන්නේ පාර්ලිමේන්තුවේ සභාද්වයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙනි. පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කවුදැයි මුලින් තීරණය වී තිබුණත් එය ස්‌ථිර වන්නේ රාස්‌ට්‍රපති (ජනාධිපති) සිය නිල මුද්‍රාව තබා යෝජිත නාමය අනුමත කිරීමෙන්ය. ඕස්‌ටේ්‍රලියාවේද අගමැති ධුරයට පුද්ගලයකු තෝරා ගන්නේ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරන අයකු පාර්ලිමේන්තු සහාද්වයේ මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙනි.

පුරා හත් අවුරුද්දක්‌ අගමැති ධුරය දැරූ බොබ් පෝක්‌ සහ ඔහුගේ මුදල් අමාත්‍ය පෝල්පීකින් අතර 1992 දී මතබේදයක්‌ ඇති විය. ඒ මත බේදයට අනුව මුදල් අමාත්‍ය පෝල්පීකින් අගමැති ධුරය අපේක්‍ෂා කළේය. මේ නිසා පාර්ලිමේන්තු සභාද්වයේ රැස්‌වීමකදී අගමැති ධුරයට ඉදිරිපත්ව සිටින බොබ් පෝක්‌ට හා පෝල්පීකින්ට පක්‍ෂ විපක්‍ෂව ඡන්දය විමසන ලදී. මෙහිදී හිටපු අගමැති වැඩි ඡන්ද 01 කින් මුදල් අමාත්‍යවරයාට පරාජය විය. මේ අනුව මුදල් අමාත්‍ය පෝල්පීකින්ට අගමැති ධුරය හිමි විය. එය පාර්ලිමේන්තුවේ පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදයයි. මේ ආකාරයටම 2008 වර්ෂයේදී එවකට අගමැති ධුරය හෙබවූ කෙවින් රඩ් හා නියෝජ්‍ය අගමැති ජූලියා ගිලාර්ඩ් අතර අගමැති ධුරයට තරගයක්‌ ඇති විය. එහිදී ජූලියා ගිලාර්ඩ් අගමැති පදිවියට පත් වූ නමුත් වසර දෙකකට පසු මන්ත්‍රීවරුන් බහුතරය ජුලියා ගිලාර්ඩ්ට අකමැතිවීම නිසා කෙවින් රඩ් නැවත අගමැති පදවියට පත්විය.

මහ බ්‍රිතාන්‍යයේද දිගු කලක්‌ බලයේ සිටි කොන්සර්වෙටිව් පාලනය පරාජය කොට කම්කරු පක්‍ෂයට බලය ලබා දුන්නේය. එහි අගමැති වූයේ ටෝනි බ්ලෙයාර් ය. සෑහෙන කාලයකට පසු ටෝනි බ්ලෙයාර් මන්ත්‍රීවරුන් ගේ අප්‍රසාදයට පත් විය. ඒ නිසා ඔහුට අගමැති ධුරය අහිමි විය. අප මෙහි සඳහන් කළේ පක්‍ෂ ප්‍රජාතන්ත්‍රවාදය රට රටවල ක්‍රියාත්මක වීමේ පූර්වාදර්ශයන්ය. සෑම දේශපාලන පක්‍ෂයකම අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නිතරම ස්‌ථාපිත වී තිබිය යුතුය යන්න ඉන්දියාවේ ප්‍රථම අගමැති ජවහාර්ලාල් නේරු තුමා දැඩිව විශ්වාස කළේය. පක්‍ෂ සංවිධාන රාජ්‍ය පාලනයට මැදිහත් වූ විට ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටී ප්‍රජාතාන්ත්‍රික ඒකාධිපතිත්වයක්‌ ඒක පාර්ශ්වික පාලනයක්‌ බිහිවන්නේය යන්න නේරුතුමාගේ විශ්වාසය විය.

අවාසනාවකට මෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයෙන් ඈත් වී තිබුණි. ඊට හේතුව වූයේ 'කඩිමුඩියේ' ඇති කර ගත් පක්‍ෂ ක්‍රමය නිසාය. පක්‍ෂ කීපයක මන්ත්‍රීවරුන් හා පක්‍ෂවලට අයත් නැති මන්ත්‍රීවරුද රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිටියහ. අප මුලින් සඳහන් කළ අන්දමට එක්‌සත් ජාතික පක්‍ෂය බිහි වූ ආකාරය බලමු. ලංකා ජාතික සංගමය, සිංහල මහ සභාව, ලංකා මුස්‌ලිම් ලීගය, උතුරු පළාත නියෝජනය කළ දෙමළ මන්ත්‍රීවරුන් සිවු දෙනකුද එක්‌ කරගෙන පිහිටුවා ගත් පක්‍ෂය එක්‌සත් ජාතික පක්‍ෂය විය. මෙම පක්‍ෂය පිහිටුවා ගැනීමෙන් පසු 1947 මැතිවරණයේදී එයට ජයගත හැකි වූයේ පාර්ලිමේන්තු මුළු ආසන 95 න් 42 ක්‌ පමණි. මුලින් සඳහන් කළ උතුරේ මන්ත්‍රීවරු සිවුදෙනාම මැතිවරණයේදී පරාජය විය. රජයක්‌ පිහිටුවා ගන්නා ලද්දේ ඉතා අමාරුවෙනි. එසේ වුවද වසර 4 ක්‌ ගත වීමට පෙර සිංහල මහ සභාවේ නායක එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක මහතා තවත් මන්ත්‍රීවරුන් පිරිසක්‌ සමඟ රජයෙන් ඉවත් වී ගිය අයුරු අප පසුගිය සතියේදී සාකච්ඡා කළෙමු.

මේ සිදුවීමෙන් පසු බණ්‌ඩාරනායක මහතා එවක රජයේ දැරූ සභානායක පදවිය පැවරුණේ සර් ජෝන් කොතලාවල මහතාටය. 1952 මාර්තු මාසයේදී ඩී. ඇස්‌. සේනානායක අගමැතිතුමා හදිසියේ අභාවප්‍රාප්ත විය. එවකට අග්‍රාණ්‌ඩුකාරවරයා වූ සෝල්බරි ස්‌වාමිවරයා අගමැති අභාවප්‍රාප්ත වන විට නිවාඩුවක්‌ සඳහා එංගලන්තයට ගොස්‌ සිටියේය. අග්‍රාණ්‌ඩුකාර ධුරයේ වැඩ බැලුවේ අග්‍රවිනිශ්චයකාර ඇලන් රෝස්‌ මහතාය.

අගමැති අභාවයෙන් පසු අගමැති ධුරය සර් ජෝන් කොතලාවල මහතා අපේක්‍ෂා කළද සෝල්බරීසාමි අග්‍රාණ්‌ඩුකාරවරයා වැඩබලන අග්‍රාණ්‌ඩුකාර ඇලන් රෝස්‌ මහතාට දැනුම් දුන්නේ "තමන් ඉක්‌මනට ආපසු ලංකාවට පැමිණෙන බැවින් අගමැති ධුරය පිළිබඳ තීරණ නොගන්නා" ලෙසය. ඉන් දින දෙකක්‌ ඇතුළත සෝල්බරි සාමිවරයා ලංකාවට පැමිණියේය. ඔහු පැමිණි පසු ඩී. ඇස්‌. සේනානායක මහතාගේ පුත් ඩඩ්ලි සේනානායක මහතා අගමැති තනතුරට පත් කළේය. එහිදී ඔහු කියා සිටියේ දිවංගත අගමැතිවරයා මේ අභිප්‍රාය පිළිබඳ තමන් දැනුවත් කර තිබූ බවය. ඩඩ්ලි සේනානායක මහතා අගමැති ධුරයේ වැඩභාර ගැනීමෙන් පසු ඔහුගේ රජයේ කැබිනට්‌ මණ්‌ඩලයද ප්‍රකාශයට පත් කළේය. සභානායක පදවියට පත් කරන ලද සර් ජෝන් කොතලාවල මහතා දිවුරුම් දීමට පැමිණියේ නැත. පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකු දින 2 ක්‌ තිස්‌සේ කරන ලද 'හෙට්‌ටු' කිරීම්වලින් පසු සර්. ජෝන් කොතලාවලට සභානායක පදවිය භාර ගැනීමට සිදු විය.

මේ තත්ත්වය දේශපාලන කුමන්ත්‍රණයක හා එජාපයට අනිෂ්ට ප්‍රතිඵල ගෙන දෙන කාල පරිච්ඡේදයක ආරම්භයක්‌ විය. විවිධ හැල හැප්පීම් හා කුමන්ත්‍රණ හමුවේ ඩඩ්ලි සේනානායක මහතාට අගමැති පදවිය දැරීමට සිදු වූයේ වසර 1 1/2 ක්‌ පමණි. 1953 සැප්තැම්බර් මාසයේ සර් ජෝන් කොතලාවලට අගමැති ධුරය බාරදී ඩඩ්ලි සේනානායකයන් දේශපාලනයෙන් ටික කලකට විශ්‍රාම ගත්තේය. මෙම පෙරළිය එජාපයට පමණක්‌ නොව මුළු රටටම අනිෂ්ට ප්‍රතිඵල උදා කළේය. අර්ධ ඒකාධිපති ස්‌වරූපයක්‌ ගත් සර් ජෝන් කොතලාවලගේ පාලන කාලය තුළ එතෙක්‌ නොතිබූ අර්බුද රැසක්‌ නිර්මාණය කළේය. 1955 වන විට අගමැති සර් ජෝන් පමණක්‌ නොව එජාපයද රටේ ජනතාවට තිත්ත වී තිබුණි. 1956 සිදු වූ යුග පෙරළියට මූලික හේතුව වූයේද සර් ජෝන්ගේ අර්ධ ඒකාධිපති පාලනයයි.

එහෙත් මේ "පිල්ලිය" එතැනින් නැවතුණේ නැත. අනෙක්‌ පක්‍ෂවලටද "බෝවන්න" පටන් ගත්තේය. එතෙක්‌ එක්‌තරා ප්‍රමාණයකට ස්‌ථාවරව සිටි වාමාංශික පක්‍ෂද කැබලි කැබලිවලට කැඩෙන්නට පටන් ගත්තේය. කෙසේ වුවද 1965 වර්ෂයේදී බලයට පත් ඩඩ්ලි සේනානායක මහතාගේ නායකත්වයෙන් යුත් එජාප සභාග රජය වසර පහක කාලයක්‌ පැවැතියද එහි අවසන් වසර දෙක තුළදී පක්‍ෂ අභ්‍යන්තර ආරවුල් කරළියට එමින් තිබිණි. අගමැති ඩඩ්ලි සේනානායක හා නියෝජ්‍ය නායක රාජ්‍ය අමාත්‍ය ඡේ. ආර්. ජයවර්ධන මහතා අතර මත භේද වර්ධනය වෙමින් මතුවන්නට විය. මේ අර්බුදයේ ප්‍රතිඵලය වූයේ 1970 මැතිවරණයේදී එජාප අන්ත පරාජයක්‌ ලබා පාර්ලිමේන්තුවේ මුළු ආසන 151 න් 17 ක්‌ පමණක්‌ හිමිකර ගැනීමට සමත්වීමය. එයින්ද ආසන 4 ක්‌ නැඟෙනහිර පළාතටද තවත් ආසන 4 ක්‌ කොළඹ නගරයටද අයත් ඒවාය. මේ පරාජයෙන් පසු ඡේ. ආර්. ජයවර්ධන විපක්‍ෂ නායක ධුරයට පත් වූ අතර ඩඩ්ලි සේනානායක නිකම්ම නිකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු අගමැති විය. පරාජය ලැබුවද ඩඩ්ලි - ඡේ. ආර්. අර්බුදය නිම නොවූයෙන් දෙපාර්ශ්වයනට ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අලුත්කඩේ අධිකරණයට යැමට සිදු විය.

මේ සියල්ලට හේතු වූයේ පක්‍ෂය තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නොතිබීමය. මේ සියලු කරුණු ආදර්ශයට ගනිමින් පක්‍ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය පවත්වාගෙන යැම පක්‍ෂ නායකත්වයේ වගකීමය. එමෙන්ම තම පක්‍ෂයේ පාක්‍ෂිකයන්ගේ හා ජනතාවගේ මතයට ප්‍රජාතාන්ත්‍රිකව යටත් විය යුතුය. පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන් බහුතර කැමැත්තෙන් තම පාර්ලිමේන්තු නායකයා තෝරා ගැනීම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙහි සඳහන් ක්‍රමවේදයයි. විපක්‍ෂයද විපක්‍ෂ නායකයා තෝරා ගත යුත්තේ ඒ ක්‍රමයටමය. මේ මූලික සිද්ධාන්ත පිළිනොගත හොත් හෝ වෙනත් ක්‍රමවලින් නායකත්වය යමෙකු පිට පැටවීමක්‌ සිදු වුවහොත් ඒකාධිපතිත්වය කරා රට ගමන් කිරීම නොවැළැක්‌විය හැකිය.

ඇස්‌ රතුවිතානගේ සිකුරු දැක්‌ම - සංවාද සටහන - ජයසූරිය උඩුකුඹුර
http://www.divaina.com/2015/07/24/feature.html

Pic Source

0 comments: