Pages

Sunday, July 19, 2015

මෛත්‍රී ජනපතිගේ හෘද සාක්‍ෂියේ නිර්දය විලාසය

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඉකුත් 14 වැනිදා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍ෂේත්‍රය උඩු යටිකුරු කළ කාල බෝම්බයක්‌ මෙන්ම මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ හෘදය සාක්‍ෂියේ දොකාරයක්‌ ලෙස ද හැඳින්විය හැකිය. මේ පිළිබඳව දැනටමත් විවිධ අර්ථකථන සිදු වී තිබේ. එසේම එයින් ප්‍රකම්පිත වූ ශ්‍රීලනිපයේ මෙන්ම සන්ධානයේ නොයෙක්‌ ප්‍රතිචාර ද අපට දැක ගත හැකි විය. ශ්‍රීලනිපයේ මෙන්ම සන්ධානයේ නායකයා ලෙස සිටිමින් ම සන්ධානයේ මැතිවරණ සටන් පෙරමුණේ ප්‍රමුඛ බලවේගය බවට පත්ව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කේන්ද්‍ර කර ගනිමින් එල්ල කරන ලද ඒ ප්‍රහාරයේ නිර්දය විලාසය මහින්ද පාර්ශ්වයේ බලවත් කම්පාවට හේතු වූ බව නම් නිසැකය.

කවුරු කෙසේ කීවත් මෛත්‍රී හා මහින්ද අතර තිබෙන දේශපාලන විරසකය සමනය කිරීම අතිශය දුෂ්කර කාර්යයක්‌ බව ඉතා පැහැදිලිය. මේ මෛත්‍රී ජනාධිපතිවරයාගේ වචනයි.

"ඉදිරි මැතිවරණ ව්‍යාපාරය තුළ බොහොම පැහැදිලිව මම කියන්නට ඕනෑ මහින්ද රාජපක්‍ෂ මහත්තයත් එක්‌ක මගේ ගනුදෙනුවක්‌ නෑ. මහින්ද රාජපක්‍ෂ මහත්තයට ජනවාරි 8 වැනිදාට කලින් මගේ තිබ්බ විරෝධය අදත් එහෙමමයි."

මෛත්‍රී ජනාධිපතිවරයාගේ මේ ස්‌ථාවරය ගැන දොස්‌ කිව හැකිද? පසුගිය ජනාධිපති වරණයේදී සිය ප්‍රතිවාදියා ලෙස සිටි මහින්ද සමඟ යළි සන්ධානයකට යැමට තමන්ට නොහැකි බව ඔහුගේ අවධාරණයයි. හෙතෙම ඒ සඳහා හේතු සාධක ද දෙයි. ඔහු හිටපු ජනාධිපතිවරයා දකින්නේ බලය හා පවුල්වාදය ගොඩනඟා ගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය ඇහිරූ කෙනකු ලෙස ය. මේ රටේ ජනතාව විසින් ප්‍රතික්‍ෂේප කරන ලද මහින්ද පාලනයට යළි ඉඩදීම ජනවාරි 8 වැනිදා සිදු වූ යහපාලන සමාරම්භය ආපසු හැරවීමක්‌ බව ද ඔහු පවසයි.

මෙහිදී මතුවන ගැටලුවක්‌ ද ඇත. එසේ නම් ඔහු මහින්දට නාමයෝජනා ලබා දෙන්නේ ඇයි. තමන් අනුමත නොකරන බලය සඳහා ම ඉදිරිපත් වන දූෂිත පාලනයක වගඋත්තරකරුවකු ලෙස චෝදනා කරන මහින්දට නාමයෝජනා දෙමින් යළි දේශපාලනයට කැඳවූයේ ඇයි? අපි පළමුවෙන්ම මෛත්‍රී ජනාධිපතිගේ කරුණු දැක්‌වීම වෙත යොමු වෙමු.

"මහින්ද රාජපක්‍ෂ මහත්තය මට පක්‍ෂය භාරදුන්නට, බාරදීල සුමාන දෙක යනකොට අනිත් පැත්තට හැරිල කකුලෙන් අදින්න පටන් ගත්තා. පක්‍ෂය නිර්මල, පිවිතුරු පවිත්‍ර පක්‍ෂයක්‌ විදිහට දූෂණයෙන්, වංචාවෙන්, එවැනි පුද්ගලයන්ගෙන් තොර, අවස්‌ථාවාදීන්ගෙන් රාජ්‍ය දේපොළ මංකොල්ලකන, මිනිස්‌සුන්ගෙන් බලය වැරදි විදිහට පාවිච්චි කරන අයගෙන්, පවුල්වාදයෙන් තොර පක්‍ෂයක්‌ විදිහට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ගොඩ නඟන්න මම විශාල උත්සාහයක්‌ අරගෙන කටයුතු කළේ...... ඊළඟට මට විරුද්ධව රට පුරා රැස්‌වීම් තියල මේකට 10 ක්‌ නැග්ග, අරකට 25 ක්‌ නැග්ගා, 50 ක්‌ නැග්ගා. කාටද මේ අභියෝග කළේ. මේ අභියෝග කළේ එක්‌සත් ජාතික පක්‍ෂයට නොවේ. ඒ අභියෝග කළේ මටයි."

මේ අනුව මහින්ද හා මෛත්‍රී අතර කිසිම දේශපාලන සුහදතාවක්‌ නොතිබුණු බව ඉතා පැහැදිලිය. මහින්ද අගමැති කළ යුතුය යන ඉල්ලීමත් සමඟ සන්ධානයේ පක්‍ෂ කීපයක්‌ විසින් සංවිධානය කරන ලද ඒ රැස්‌වීම් මාලාව තමන්ට එල්ල කළ අභියෝගයක්‌ බව මෛත්‍රී ජනාධිපති ඉතා නිවැරැදිව තේරුම් ගෙන තිබේ.

මෙයින් බැසගත හැකි නිගමනය කුමක්‌ද? මෛත්‍රී, පක්‍ෂය බාර ගත්තේ එය පිරිපහදු කිරීමට බව ද මහින්ද නිසා එයට ඉඩ ලැබී නොමැති බවය. මහින්ද පක්‍ෂය බාර දුන්නත් එය ප්‍රතිසංස්‌කරණයකට ලක්‌ කිරීමට ඉඩ දී නැත. කොටින්ම ඔහු හොරගල් අහුලමින් අගමැතිකම ඩැහැගැනීමට සිටි අයෙකු ලෙස මෛත්‍රී චෝදනා කරයි. හොඳයි එසේ නම් ඔහු මහින්ද හමුවන්නේ ඇයි? මේ එයට ඔහු දෙන පිළිතුරය.

"ඔබ කවුරුත් දන්නවා අවස්‌ථා තුනක්‌ හමුවුණා. පළමු අවස්‌ථාව තමයි කථානායක නිල නිවසේ පක්‍ෂය බාරගන්න වූ හමුවීම. දෙවැනි හමුව තමයි මුළු රටම දැක්‌කා දෙපාර්ශ්වයේ නියෝජිත පිරිස්‌ ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ජනාධිපති කාර්යාලයේ හමුවීම. ඒකෙදී ඉල්ලීම් 4 ක්‌ කළා. මහින්ද ඡන්දයෙන් පසු අගමැති කිරීම, අගමැති අපේක්‍ෂකයා කිරීම, පාර්ලිමේන්තුවේ තිබුණු යම් යම් යෝජනාවලට විරෝධය පළ කරන්න. මම එකහෙළාම ඒවා ප්‍රතික්‍ෂේප කළා. එතකොට කෙනෙක්‌ ඇහුවා ඇයි මං විරුද්ධ කියලා. මං කිව්වා ඔහුට දෙමළ, මුස්‌ලිම් ඡන්ද හමු නොවන බව.

මේ අනුව පෙනී යන්නේ මෛත්‍රී - මහින්ද විරසකය කිසිවකුට සමනය කළ නොහැකි වූ බවත්, එයට ඉතා සාධාරණ දේශපාලන හේතු තිබුණු බවත් ය. මෙම නායකයන් දෙදෙනා අතර තිබුණු ඒ බෙදීම වටහා නොගෙන කාලය මැරීම මේ පුපුරා යැමට හේතු වූ බව පෙනේ. මහින්දට කෙසේ හෝ අනුමැතිය ලබා ගෙන මේ මැතිවරණ සටන ගෙන යැමට මහින්ද පාර්ශ්වය ක්‍රියා කිරීම අනුවණ ක්‍රියාවක්‌ නොවේද?. මේ දෙදෙනා මොනම අයුරින්වත් එක්‌ කළ නොහැකි බව තේරුම් ගැනීමට තරම් දේශපාලන විඥානයක්‌ නොතිබීම නොවේද මෙබඳු පුපුරා යැමක්‌ දක්‌වා වර්ධනය වුණේ?

මෛත්‍රී ජනාධිපතිවරයා වසර 49 ක්‌ දේශපාලන භූමියේ සිටි අයෙක්‌ මෙන්ම ජනාධිපති මහින්ද යටතේත් ඇමැතිකම් දැරූ අයෙක්‌ ද විය. එහෙත් ඔහුට ඒ අතීතය ඉතා අප්‍රසන්නය. මහින්ද ගැන ඔහු කලකිරීමට පත් වන්නේම සිය දේශපාලන අත්දැකීම් නිසාමය. මහින්ද ඔහුට හිමිවීමට තිබුණු අගමැති ධුරය පවා ලබා නොදුන් අයෙකි. එලෙස වර්ධනය වූ අකමැත්ත මෛත්‍රී ජනාධිපති වීමෙන් පසු උපරිමයකට යැම ද ඉතා ස්‌වාභාවිකය.

මෛත්‍රී ජනාධිපතිවරයා හිටපු ජනාධිපති මහින්දට කිසිම බුරුලක්‌ නොදක්‌වද්දීත් මහින්ද පාර්ශ්වයට අවශ්‍ය වූයේ මෛත්‍රීගෙන් මහින්දට අගමැති විවරණ ලබා ගැනීමය. එසේම මහින්දට ශ්‍රීලනිපයේත් සන්ධානයේත් බහුතර පිරිසක්‌ කැමැති වෙද්දී මෛත්‍රී ඔහුට ඉඩ නොදුන්නේ ඇයි ද යන්නත් තවත් ප්‍රශ්නයකි. මේ ඔහු, නිදහසට දක්‌වන කරුණුය.

"මම සම්පූර්ණයෙන් පක්‍ෂයෙන් ඉල්ලා අස්‌වුණා නම් රාජපක්‍ෂ මහත්තයා මේ මැතිවරණයට එන්නේ ශ්‍රීලනිප සභාපති, සන්ධානයේ සභාපති, ඒ විතරක්‌ නෙවෙයි හදන අපේක්‍ෂක නාමාවලිය සියයට සීයක්‌ සම්පූර්ණයෙන් ම එයාට ඕනෑ විදිහට ඒ විතරක්‌ නෙමේ. මාත් එක්‌ක හිතවත්ව හිටපු කණ්‌ඩායම සමහර විට ඔක්‌කොම කපල දාන්න තිබුණ. ඒ වගේම තමයි සන්ධානෙන් නාමයෝජනා නොදී හිටිය නං ඒ කට්‌ටිය වෙනම තරග කරල පාර්ලිමේන්තුවට එනව.

මෛත්‍රී ජනාධිපතිවරයා මේ ප්‍රශ්නය දකින ආකාරය තුළ තර්කානුකූල බවක්‌ පෙනේ. ඔහු අපේක්‍ෂා කර ඇත්තේ ශ්‍රීලනිපය හා සන්ධානය නමින් හොඳ පිරිසක්‌ ඉදිරිපත් කිරීමට බවට සැකයක්‌ නැත. එහෙත් ප්‍රශ්නය වන්නේ ඒ සඳහා ඔහුට ස්‌වාධීනව ක්‍රියා කිරීමට සුදුසු වාතාවරණයක්‌ නොමැති වීමය. එසේම ශ්‍රීලනිපයත් සන්ධානයත් යන දෙකේම නායකත්වය මෛත්‍රීට හිමිව තිබුණත්, එහි සාමාජිකත්වය සියයට සියයක්‌ ම මහින්දට තිබේ නම් ඔහුට කළ හැකි මැදිහත්වීම ඉතා අල්පය.

මේ අපේ රටේ තිබෙන දේශපාලන සංස්‌කෘතියේ ස්‌වභාවයයි. මෙහි තිබෙන්නේ 'අපි කැපුවත් කොළ' හා 'අපි කැපුවත් නිල්' වර්ගයේ දේශපාලන මනසකි. කලකට පෙර සමහරුන් පෙළපාලි ගියේ 'මැතිනි කියනව නම් පිදුරු උනත් අපි කන්නම්' කියා ගෙනය. අද මේ අන්ධානුකරණ දේශපාලන උමතුව නිසා රටට සිදු වූ හානිය සුළුපටු නැත. පාක්‍ෂිකයාට පක්‍ෂය විනා රට ගැන තැකීමක්‌ නැත. පක්‍ෂයට බලය විනා රටක්‌ වුවමනා නැත. ඉතින් කෙසේද රටක්‌ සංවර්ධනය වන්නේ.

මෙවර නාමයෝජනා ලැයිස්‌තුවලට අත්සන් ගැනීමට හිර ගෙදරටත් ගිය බව කියති. මීට පෙරත් එබඳු දේ සිදුවී ඇත. හොරුන්, දූෂිතයන්, මැරයන්, මැතිවරණවලට ඉදිරිපත්වීම දැන් කාලයක පටන් සිදුවන්නකි. මේ තත්ත්වයෙන් මිදී ඇත්තේ ජවිපෙ පමණි. ඔවුන්ගේ නාමයෝජනා මෙන්ම ජාතික ලැයිස්‌තුව ද මෙයට සාක්‍ෂිය. අනෙක්‌ පක්‍ෂවල අඩු වැඩි ලෙස ඇත්තේ ඒ නරක ක්‍රමයමයි.

එජාප නායක රනිල් ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස මෙන්ම අදූෂිත දේශපාලනඥයකු ලෙස ද පොදු පිළිගැනීමක්‌ තිබේ. එහෙත් ඔහුට ද සියයට සියයක්‌ මේ දේශපාලන දුෂ්පිළිවෙත් අත් හැරීමට බැරිය. ඔහු දේශපාලනයෙන් පවුල් වැඩුවේ හෝ මහජන මුදල් ගසා කෑවේ හෝ නැත. එහෙත් මෙවර ඔහු වටා භ්‍රමණය වන මහ බැංකු කොල්ලය නිසා ඔහු පත්ව සිටින අසීරු තත්ත්වය රටම දනී.

කෙසේ හෝ මෛත්‍රී ජනාධිපතිවරයා මේ ගර්හිත දේශපාලන ජංජාලයට මැදි වී එයින් ගොඩවීමට අවංක ප්‍රයත්නයක්‌ දැරූ බව ඉතා පැහැදිලිය. එහෙත් ඔහු මේ පියවර ගත යුතුව තිබුණේ මෙයට කලින් බව සමහරු කියති. අද පවතින දේශපාලන වාතාවරණය තුළ ඔහුගේ ක්‍රියාවල වාසිය හිමිවන්නේ එජාපයට හා අනෙක්‌ පක්‍ෂවලට බව ද ඉතා පැහැදිලිය. තමන්ගේ පක්‍ෂය පරාජය කිරීමට නායකයකු ක්‍රියාකිරීම පාක්‍ෂිකයන්ට ඉහිලුම් නොදෙන ක්‍රියාවක්‌ බව ද අපි දනිමු.

මෛත්‍රී ජනාධිපතිවරයා සුළුතර පක්‍ෂයකින් අගමැතිවරයකු තෝරා ගෙන හය මසක්‌ තුළ ප්‍රබල සමාජ පරිවර්තනයකට පදනමක්‌ දමා තිබේ. ඔහු රටට දුන් විශිෂ්ට ප්‍රතිඵලය 19 වැනි සංශෝධනයයි. එහෙත් ඔහුට මේ රට වැනසූ අශීලාචාර මනාප ක්‍රමය වෙනස්‌ කිරීමට බැරි විය. දූෂිතයන්, අශිෂ්ටයන්, චූදිතයන් මැතිවරණයට ඉදිරිපත් වීම වැළැක්‌වීමට නොහැකි විය. ඒ නිසා ඔහුට සිය පක්‍ෂයේ නිර්දය විවේචන එල්ල වෙමින් තිබේ. ඔහුගේ ප්‍රකාශයට පක්‍ෂය තුළින් එන විරෝධය සුළුපටු නැත.

මේ වන විට ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව රැස්‌වීම නතර කර ගැනීමට අධිකරණයට යා යුතුව ඇත. ඔහුගේ ප්‍රකාශයට විරෝධ දක්‌වා නියෝජ්‍ය ඇමැතිවරු තිදෙනෙක්‌ සිය ධුර අත්හරිනු ලැබ සිටිති. ඒ ලසන්ත, එරික්‌ හා සුදර්ශනී යන තිදෙනා ය. ජනක තෙන්නකෝන් ඔහුගේ ප්‍රකාශය ගැන සංවේගයට පත්ව සිටියි. තවත් විවිධ විවේචන ඇසෙයි. ජවිපෙ නායක අනුරට අනුව මෛත්‍රී මහින්දට කනේ පහරක්‌ ගසා රනිල්ට පන්සල් ටොක්‌කක්‌ ඇන තිබේ.

සන්ධානයත් එජාපයත් අද පාර්ලිමේන්තු බලය සඳහා සටන් වදින බලවේග දෙකය. ජවිපෙ සටන් වදින්නේ ආණ්‌ඩුව තුළ ආණ්‌ඩුව කරවන බලවේගය බවට පත්වීමටය. සන්ධානයේ නායකයා හා ශ්‍රීලනිපයේ නායකයා ලෙස මෛත්‍රී ක්‍රියා කළ යුත්තේ තම පක්‍ෂය දිනවීමට බව මහින්ද පාර්ශ්වය කියන කතාවට ද පදනමක්‌ තිබේ. මෛත්‍රීට එහි සිට එජාප පෙරමුණ දිනවීමට ඉඩදිය යුතු නැති බව අමුතුවෙන් කිව යුතු ද නැත. එහෙත් මෛත්‍රී ජනාධිපතිගේ දේශපාලන අධිෂ්ඨානය වැරදි යෑයි කීමට ද බැරිය.

මෛත්‍රීගේ 14 වැනිදා ප්‍රකාශය අද දවසේ කියවන අය ඒ පිළිබඳව මත දෙකක්‌ දැරීම ද ස්‌වභාවිකය. මෛත්‍රී පාර්ශ්වය හා මහින්ද පාර්ශ්වය ලෙස දැන් පැහැදිලි බෙදීමක්‌ ද අපට දැක ගත හැකිය. මහින්ද පාර්ශ්වය මූලික වටයේදී පසුබෑමකට ලක්‌ වුවද යළිත් ඔවුන්ට ජනතාවගේ අවධානය ඇද ගැනීමට ද අසීරු නැත. ශ්‍රීලනිපයේ මෙන්ම සන්ධානයේ බහුතර බලය මහින්දට නම් ඔහුගේ ජයග්‍රහණය වැළැක්‌වීමට බැරිය.

මෛත්‍රී සමඟ සිටින යහපාලන කණ්‌ඩායමට මහින්ද කණ්‌ඩායම සමඟ ප්‍රජාතන්ත්‍රවාදී පසුබිමක සටන් කිරීමට හැකිය. මෛත්‍රී ජනපති සන්ධානය වෙනුවෙන් පෙනී නොසිටින බව පැහැදිලිය. ඇත්තටම ඔහුට මහින්ද සමඟ දේශපාලන ගනුදෙනුවක්‌ තිබීමට ඉඩක්‌ ද නැත. වරද ඒ සඳහා නිකරුණේ කාලය වැය කිරීමය. මහින්ද පිලත් මෛත්‍රී පිලත් නොකෙරෙන වෙදකමකට කෝඳුරු තෙල් පට්‌ටා හතක්‌ සොයා ගත්තත් ඉතිරි ටික හොයා ගැනීමට බැරි විය.

දැන් මෛත්‍රී, රාජපක්‍ෂ විරෝධී කඳවුරේ හිතවතකු මෙන්ම රාජපක්‍ෂ කඳවුරේ සතුරෙකු බවට පත්වීම ද සිදුවනු ඇත. ශ්‍රීලනිපය බලය වෙනුවෙන්ද මේ දෙපිරිස ඉදිරියේදී ගැටෙනු ඇතැයි සිතිය හැකිය. කුමක්‌ වුවත් මෛත්‍රී ජනපතිට තවදුරටත් ශ්‍රීලනිපය ගැන අත්හදා බැලීමට දෙයක්‌ නැත. පක්‍ෂය කා සමඟද යන්න මෙම මැතිවරණ ප්‍රතිඵලය විසින් තහවුරු කරනු ලබන බව නිසැකය.

මෛත්‍රී ජනපති බලයට ගෙනා ජනවාරි 8 ජයග්‍රහණය සමඟ ඔහු ගමන් කළ යුතු බව ඔහුට දැනෙමින් තිබෙන දේශපාලන යථාර්ථයයි. රාජපක්‍ෂ බලය තීරණාත්මකව පරාජය කළ යුතු බව එජාප පෙරමුණ හා ඒ සමග සිටින මෛත්‍රී හිතවත්හු ද වටහා ගෙන සිටිති. පාඨලී චම්පික, රාජිත, අර්ජුන, රතන හිමි ප්‍රමුඛ පිරිස්‌ ද අද එජාප පෙරමුණට එක්‌ව සිටිති. සන්ධානය තුළ සිටින අයට ද පැහැදිලිව තීරණයක්‌ ගැනීමට සිදුවනු ඇත. මහින්ද සමඟද, මෛත්‍රී සමගද? යන ප්‍රශ්නයට අද පිළිතුරක්‌ ලැබී තිබේ. එහෙත් මහින්ද සමඟ ගොස්‌ මෛත්‍රී වෙත ආපසු ඒමට ද බාධාවක්‌ නැත. ජාතික ආණ්‌ඩුව නමැති තවත් පිදුරු ගහක්‌ එබඳු අය වෙනුවෙන් තිබෙන බව ද පෙනේ.

මේ අතර ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයකු වන නිමල් සිරිපාල කියන්නේ මීළඟ අගමැති කවුද කියා ප්‍රශ්නයක්‌ ඇති කර ගත යුතු නැති බවය. ඊට වඩා වැදගත් මැතිවරණය ජයග්‍රහණය කිරීම බව ඔහු කියයි. කුමක්‌ වුවත් සන්ධානයේ පිරිසක්‌ තුළ හෝ මෛත්‍රී ජනාධිපතිවරයාගේ ප්‍රකාශය පිළිබඳ චකිතයක්‌ ඇති වීම ස්‌වභාවිකය. අනෙක්‌ පැත්තෙන් එජාප නායක රනිල්ටත් මේ දෙකටම අකමැති අයට ජවිපෙත් සිටින බව ද කවුරුත් දනිති.

මේ වන විට රනිල්ට දේශපාලන වශයෙන් සිය පසමිතුරන් දිනා ගැනීමට ද හැකි වී තිබේ. එසේම ලිබරල් හා ප්‍රජාතන්ත්‍රවාදී නායකයකු බවට ජනතාව තුළ ඔහු පිළිබඳ විශ්වාසයක්‌ ද පවතී. මෛත්‍රී ජනාධිපති ද සිය ප්‍රකාශය තුළ රනිල්ට අගනා චරිත සහතිකයක්‌ ලබා දී ඇත. මෛත්‍රී ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ රනිල් විශ්වාසභංගයෙන් පරාජය කර මහින්දගේ අගමැතිත්වයෙන් ආණ්‌ඩුවක්‌ හැදීමේ සැලසුමක්‌ තිබුණු නිසා බව ද කියා තිබේ. මහින්ද හා රනිල් සැසඳීමේදී ජනතාව රනිල්ගේ දොස්‌ දකින්නේ අඩුවෙනි. ඔහු පවුල් බලය හා දූෂණ වංචා නැති අයෙකු බව මෛත්‍රී ජනාධිපති ද අවධාරණය කරයි. රනිල්ගේ හොඳ නමට හානියක්‌ වූ මහ බැංකු සිදුවීම ගැන ද ජනාධිපතිවරයා සිහිකර තිබුණි. ඇත්තටම ඔහු ඒ කුණු තවරා ගත්තේ ඇයි?

එජාප ලැයිස්‌තුවේ වුවද දූෂිත චරිත, වංචා චෝදනා එල්ල වන අය සිටිති. සන්ධානයේ ලැයිස්‌තු ඊට වඩා පිරිහී තිබෙන බව පෙනේ. මෛත්‍රී ජනපති ඉල්ලා සිටින්නේ හොඳ පිරිසක්‌ බලයට පත් කරන ලෙසය. මේ මැතිවරණයේදීත් යම් යම් අය මුදල් වියදම් කරන ආකාරය ජනතාවට බලා ගත හැකිය. අගමැති රනිල් වරක්‌ කියා සිටියේ රාජ්‍ය මුදල් අවභාවිතාවේ යොදවන්නේ මැතිවරණයට වැය වන මුදල් සෙවීමට බවය. එය සැබෑවකි. ඔහු පසුගිය දිනවල අරලියගහ මැඳුරේ උත්සවවලට පවා වැය කළේ පෞද්ගලික මුදල්ය. පවතින දේශපාලන ක්‍රමය ඉතා දූෂිත බව ඔහුගේ අවධාරණයයි.

ජනතාව දේශපාලන පක්‍ෂවලට ඉහළින් සිටින හා ඔවුන්ට බලපෑම් කළ හැකි තත්ත්වයකට දියුණු වන තෙක්‌ මේ රටට සුගතියක්‌ නැත. මෛත්‍රී ජනාධිපති ගාන්ධි දර්ශනයට ප්‍රිය කරන අතර සමාජ ප්‍රතිසංස්‌කරණ හා යුක්‌ති සහගත සමාජයක්‌ අපේක්‍ෂා කරන්නෙකි. එනිසා ඔහු මේ දේශපාලන නූල් සූත්තරවලට හසු නොවී මධ්‍යස්‌ථව ක්‍රියා කිරීම වඩාත් උචිතය. ශ්‍රීලනිපය මේ පවතින රාමුවෙන් ගොඩ ගත හැකිද යන්න විමසා බැලිය යුත්තේ ද මෙම මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුවය. ජනතාව පෙළ ගැසෙන්නේ රාජපක්‍ෂ පාර්ශ්වය සමඟ නම් ප්‍රශ්නය වඩාත් සංකීර්ණ වනු ඇත.

කෙසේ හෝ වේවා දේශපාලනය යනු අද දවසේ මේ රටේ තිබෙන බිහිසුණු අරගලයකි. එසේම දේශපාලන බලය පිළිබඳ සමාජ අපේක්‍ෂාවන් ද වෙනස්‌ කිරීමට බුද්ධිමය දායකත්වය ද අඩුය. එනිසා දේශපාලන රැවටීම් ඉතා බහුලය. ඒබ්‍රහම් ලින්කන් වරක්‌ කී පරිදි සුළු පිරිසක්‌ වැඩි කාලයකටත්. වැඩි පිරිසක්‌ සුළු කාලයකටත්

රැවටියට හැකිය. එහෙත් හැම දෙනාම හැම කල්හිම රැවටිය නොහැකි ය. මෙවර දේශපාලන ප්‍රතිඵලය අපට මේ කියමනේ සමාජ භාවිතය තහවුරු නොකරයිද?

ගාමිණී සුමනසේකර
http://www.divaina.com/2015/07/19/politics05.html

0 comments: