Pages

Wednesday, January 20, 2016

ඉන්ටර්ලොක්‌ සිමෙන්ති ගල් අල්ලා පෞරාණික තේජස බිඳ දමමින් අභයවැව 'මොඩ්' කරයි

Abhayavapi.jpgලෝකයට වාපි ශිල්පය හඳුන්වා දුන් ලෝකයේ මෙන්ම ලංකාවේද ප්‍රථම වාපිය වූ පණ්‌ඩුකාභය රජු විසින් ඉදිකරන ලද වසර දෙදහසකට වඩා පැරැණි අනුරාධපුරයේ පුණ්‍ය භූමියේ පිහිටි අභයවැවේ පෞරාණිකත්වය කෙලෙසමින් සංචාරකයන්ගේ මන දොළ පිරීයන පරිදි වර්තමාන වාරි ඉංජිනේරුවන් දන්නා බටහිර වාරි ශිල්පයේ මූලධර්මයන් අනුව අභය වැව නවීකරණය කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෙය සිංහල ජාතියේ උරුමය සහ අනන්‍යතාවය අනාගතයට ඉතිරි නොකර වළලා දැමීමක්‌ හැටියට රටට දැයට වැවට ආදරය ඇති ප්‍රදේශවාසී වැඩිහිටි අය කියති.

අභයවැවේ වෑ බැම්මේ පෙරමුණේ ද වතුපිටිද මුන්නාකඩද මුළුමණින් වැසීයන පරිදි ඉන්ටර් ලොක්‌ ගල් (සිමෙන්ති ගල්) වෑබැම්මේ කිලෝ මීටරයක්‌ පමණ දුරට අල්ලා ඇති අතර සංචාරකයන්ට වැව් අසිරිය නරඹන්නට තැනින් තැන වෑබැම්ම දිගේ අසුන් පනවා තිබේ.

වැවේ උරුමය හා අනන්‍යතාවය විනාශකරමින් මෙසේ වැවේ පෞරාණිකත්වය යට ගැසීම පිළිබඳව කරුණු විමසූවිට අනුරාධපුර ප්‍රාදේශීය වාරි ඉංජිනේරු ප්‍රසන්න තිලකරත්න මහතා අවධාරණය කරන්නේ වැව සංරක්‍ෂණය කිරීමේ පිරිසිදු චේතනාවෙන් මෙසේ වෑබැම්ම නවීකරණය කළ බවයි. දැනටමත් වැව් බැම්මට හානි සිදුවී තිබෙනවා. ජාතියේ අනාගතයට මේ වැව පැවතිය යුතුයි. වෑබැම්ම පස්‌වලින් තදකරන්න යෝධ යන්ත්‍ර වෑබැම්ම මතට ගන්න බෑ. මේ නිසා මේ විදියට වෑ බැම්මේ ආරක්‍ෂාවට ඉන්ටර් ලොක්‌ සිමෙන්තිගල් අල්ලනවා. ඉංජිනේරුවරයා සඳහන් කරයි.

වෑබැමිවල පෙරමුණ වැව්දිය සැඩ පහරට ඛාදනයවීම අද ඊයේ ඇතිවූවක්‌ නොවේ. මෙම වෑබැම්මේ පෙරමුණ ඛාදනය වළක්‌වා ගැනීමට වාපි ශිල්පය අනුව කරන ලද්දේ වෑයෑම්මේ දියරළ වදින තැන් රැළපනා වැටියෙන් ආරක්‍ෂා කිරීමයි. කලාවැව නුවරවැව තිසාවැව විතරක්‌ නොව අභයවැවේද රැළපනාව පවතී. කළ යුතුව තිබුණේ පෙර සිරිතට වැව් සිරිතට රැළපනාවේ ගැලවී ගිය ගල් වෙනුවට අළුතෙන් ගල්දමා පෙර පරිදි රැළපනාව ශක්‌තිමත් කිරීම බව අසල්වැසියෝ කියති.

වසර දෙදහසකට වැඩිකලක්‌ අභයවැව හෙළ වාපි ශිල්පය අනුව රැකී තිබුණු බව හැබෑනම් ඒ අනුව යමින් රැළපනාව අලුත්වැඩියා කළ යුතුව තිබිණි. අපේ ඉංජිනේරුවරුන් දැන හැඳින ගෙන තිබෙන්නේ බටහිර වාරිශිල්පයේ මූලධර්මයන් බවත් ඒවා දේශීය වාපි ශිල්පයට නොගැලපෙන හා යා නොදෙන බවත් ජ්‍යෙෂ්ඨ වාරි ඉංජිනේරුවරයකු වූ ආර්. ඉලංගසිංහ මහතා සඳහන් කරයි.

මෙම ඉන්ටර්ලොක්‌ සිමෙන්ති ගල් අභයවැවේ වෑබැම්මේ පෙරමුණට අල්ලා තිබීම නිසා දැන් බැලූ බැල්මට පෙනෙන්නේ එය මෑතකදී ඉදිකරන ලද ජලාශයක්‌ බවයි. මේ වනවිට එහි පැවති පෞරාණික බව සහ හෙළ ජාතික අනන්‍යතාවය හා උරුමය ද මුළුමණින් මැකී ගොස්‌ තිබේ.

මහාවංශය සඳහන් කරන අන්දමට පණ්‌ඩුකාභය රජු වපසරිය අක්‌කර 130 ක්‌ තරම්වූ භූමිභාගයක ජලය අක්‌කර අඩි 16000 ක තරම් ධාරිතාවයක්‌ ඇතිවන පරිදි මුලින්ම මෙම අභයවැය ඉදිකර තිබේ. මේ අත්දැකීමෙන් පසු පණ්‌ඩුකාභය රජු විසින්ම ජයවාපී සහ ගාමිණීවාපී යන වැව්දෙකද ඉදිකරන ලද බව මහා වංශයේ විස්‌තරවේ. මුලදී ශ්‍රී මහා බෝ සමිඳුගේද රුවන්මැලි මහා සෑයේද මහා විහාරයේද වත්පිළිවෙත් සඳහා පැන් ලබා ගෙන ඇත්තේ අභය වැවෙන් බව සඳහන් වේ. වසර දෙදහසකට වැඩිකලක්‌ නිරුපද්‍රිතව පැවැති සිංහල ජාතියේ හංවඩුව ඇති අභයවැව බටහිර වාරිශිල්පයෙන් නවීකරණය කිරීම ගැන සංඝරත්නයද විරෝධය පළකරති.

මෙම විකෘති කිරීමටත් අමතරව අභයවැය තවත් පැත්තකින් වැව් මාරයාවූ ජපන් ජබජ ශාකයට ගොදුරු වෙමින් පවතී. වෑ බැම්ම අසබඩ පෙදෙස්‌ මේ වනවිටත් ජපන් ජබර ශාකයට ගොදුරු වී ඇති අතර ශීඝ්‍රයෙන් වැව ආක්‍රමණය කරමින් පවතී. මෙම වැව් ගොඩකිරීමේ මාරයාවූ ජපන් ජබර ශාකය අප්‍රමාදව අභයවැයෙන් මුලිනුපුටා නොදැමුවහොත් සංචාරකයන්ට අභයවැව ලෙස බලන්නට ඉතිරිවන්නේ ජපන්ජබර ජලජ ශාකයෙන් ගිලගත් ලන්දකි.

එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2016/01/20/provin05.html

Pic Source

1 comments:

Lalith perera said...

ඔබ කියන කාරනාවෙත් ඇත්තක් තියනවා, ප්‍රතිසංස්කරණය කිරීම අගය කළ යුතුයි. මෙවන් තැන් සංචාරකයන්ගේ ආකර්ෂණය වන ආකාරයට සකස් කිරීම නුතන අවශ්‍යතාවයක්.
සින්හලබ්ලොග්ගල.