Pages

Tuesday, January 26, 2016

මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන ලංකාවට

මානව සංවර්ධන දර්ශකයේ දකුණු ආසියාවේ පළමු තැන දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වී ඇති බව ඊයේ වාර්තා වී තිබිණි. 2015 වර්ෂයේ මැද භාගයේදී ශීඝ්‍රයෙන් සංවර්ධනය වන නගර අතරින් පළමු තැන හිමිකරගත්තේද කොළඹ නගරය බව වාර්තා විය. මේ සියල්ලම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ සතුටට හේතුවන කාරණාය. ඒ මොනදේ ලැබුණත් නොලැබුණත් මේ රට ලෝකෙන් උතුම් රටය. ඉන්දියන් සාගරයේ මුතු ඇටයය. අප සැබැවින්ම අභිමානවත් ජාතියක්‌ බව අවිවාදිතය.

ඒත් මේ සියල්ල අතරේ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම සාරෙට පැතිර ගොස්‌ තිබේ. ඊට ලෝකයෙන් හිමිවන්නේ කීවෙනි තැනදැයි අප දන්නේ නැත. ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ පිළිබඳව වසරක වාර්තා පසුගිය දිනවල එළිදක්‌වා තිබිණි. එය 2015 වර්ෂයේ එක්‌දහස්‌ පන්සියයද ඉක්‌මවා තිබිණි. ලෝකයෙන්ම කීවෙනි තැනදැයි අප දන්නේ නැත. එහෙත් හිතනවාට වඩා තත්ත්වය බරපතළ බව සංඛ්‍යාලේඛන පෙන්වාදේ. පසුගිය සතියේ පැය 24 ක්‌ තුළ ඝාතන අපරාධ හයක්‌ වාර්තා වී තිබිණි. රටේ අපරාධ ප්‍රමාණයද වැඩිවනවා මිස අඩුවීමක්‌ පෙනෙන්නට නැත. ලෝකයෙන්ම කීවෙනි තැන දැයි හරියටම කියන්නට නොහැකිය. හොරකම, වංචාව, දූෂණය සිදුවන්නේ මහා පරිමාණයෙනි. ලෝකයෙන්ම කීවෙනි තැනදැයි නොදනිමු.

එහෙත් කෙසේ හෝ ලෝකයෙන්ම පළමු තැන හිමිවන දර්ශකවලට අපි කෙසේ හෝ ඇතුළත්ව සිටිමු.

ලොව සමෘද්ධිමත්ම රටවල් අතුරින් දකුණු ආසියාවේ පළමු තැන හිමිවූයේ අපේ රටටය. ඒ 2015 වර්ෂයේදීය. රටක්‌ සමෘද්ධිමත් වන්නේ කවරාකාරයටද යන්න ගැන කවර නිර්වචන තිබුණත් ඉහත කී නරක තත්ත්වයන් අභිබවා යා හැකි නම් අප කොහොමත් අංක එකය.

අපි නැවත එක්‌සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (ඹභෘඡ) විසින් නිකුත් කරන ලද ගෝලීය මානව සංවර්ධන වාර්තාව ගැන අවධානය යොමු කරමු. මානව සංවර්ධනය අතින් දකුණු ආසියාවේ විශිෂ්ටතම රාජ්‍යය බවට ශ්‍රී ලංකාව තෝරා ගැනෙන්නේ 0.757 මානව සංවර්ධන දර්ශක අගයක්‌ හිමිකර ගනිමිනි. ඒ ලොව පුරා රටවල් 188 ක්‌ ඇසුරින් සිදුකරන ලද සමීක්‍ෂණයකිනි. ඒ අනුව ඒ රටවල් 188 අතරින් 73 වැනි ස්‌ථානය දිනාගැනීමටද අපේ රට සමත්ව තිබේ. 104 වැනි ස්‌ථානයේ සිටින්නේ මාලදිවයිනයි. ඉන්දියාව 130 වැනි ස්‌ථානයත්, භූතානය 142 වැනි ස්‌ථානයත් හිමිකරගෙන තිබේ. පාකිස්‌තානයට හිමිව ඇත්තේ 147 වැනි තැනයි.

මෙම අධ්‍යයනයට අනුව ලොව ඉහළ මානව සංවර්ධනයක්‌ ඇති රටවල් ලෙස පිළිවෙළින් නෝර්වේ, ඔස්‌ටේ්‍රලියාව, ස්‌විට්‌සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය හා ජර්මනිය නම්කර ඇත. ආසියානු රටවලින් පෙරමුණේ සිටින්නේ 17 වැනි තැන හිමිකරගෙන ඇති කොරියාව සහ 20 වැනි ස්‌ථානය හිමිකරගෙන ඇති ජපානයයි.

දකුණු ආසියාවේදී රටක්‌ වශයෙන් කලාපයේ සෙසු රටවල්වලට වඩා ඉදිරියෙන් සිටින්නටත්, ආසියානු කලාපයේ රටවල් සමග තරගකාරී ලෙස සිටින්නටත් ශ්‍රී ලංකාවට හැකියාවක්‌ ලැබී තිබීම රටක්‌ වශයෙන් සතුටු විය හැකි කාරණයක්‌ බව නැවතත් සිහිපත් කළ යුතුය.

මේ කිසිවක්‌ හදිසියේ පහළ වූ අසිරිමත් සිදුවීම් නොවේ. දශක තුනක ත්‍රස්‌තවාදය පරදවමින්, 2009 වර්ෂයේ සිට සාමය සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් ගෙන ආ පියවර රැසක සුබ මං සළකුණුය. අප මුලින් සටහන් කළ නරක තත්ත්වයන් තුළ වූවද මානව සංවර්ධනයේදී යොදාගන්නා ආයු අපේක්‍ෂාව, අධ්‍යාපනයේ තත්ත්වය, ආදායම් දර්ශකය වැනි සාධකයන් යහපත් තැනක තිබීම හොඳ තත්ත්වයකි. රටක්‌ වශයෙන් අප හිමිකරගන්නා මෙවැනි අගැයීම් වෙනත් රටවල හොඳ මට්‌ටමෙන් තක්‌සේරු කරන්නේද නැත. අප කියන නරක තත්ත්වයන් ඉක්‌මනින්ම තුරන් කිරීමේ හදිසි වැඩපිළිවෙළක්‌ අවශ්‍යවන්නේ ඒ නිසාය. ඇත්ත, අපි අංක එකය. සියල්ල හොඳවූ විට ලෝකය මොන නම්බුනාම දුන්නත්, නැතත් අප ලෝකෙන් උතුම් රටය.

http://www.divaina.com/2016/01/26/editor.html

Pic Source

0 comments: