Pages

Saturday, January 16, 2016

ජකර්තා අගනුවර සලිත කළ "කොන්සර්ට්‌" ISIS ත්‍රස්‌ත ප්‍රහාරය

* මරාගෙන මැරෙන බෝම්බකරුවන්ව "මනාලිය" යන රහස්‌ වචනයෙන් හඳුන්වා තිබුණා
* මියගිය හත්දෙනාගෙන් පස්‌දෙනෙක්‌ අයිසිස්‌ ත්‍රස්‌තයන්
* ජකාර්තා ප්‍රහාරය වැරදුන බව පොලිසිය කියයි

අයිසිස්‌ ත්‍රස්‌තයන් රටවල් රැසකට ත්‍රස්‌ත ප්‍රහාර එල්ල කරනු ඇති බවට විදේශ බුද්ධි සේවා අනතුරු අඟවා පැය 24 ක්‌ ගත වීමට පෙර ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ එල්ල විය. මෙම ත්‍රස්‌ත ප්‍රහාරයෙන් සත්දෙනෙක්‌ මියගොස්‌ 10 ක්‌ තුවාල ලබා ඇත.

අයිසිස්‌ ත්‍රස්‌තයන් මෙම ත්‍රස්‌ත ප්‍රහාර මෙහෙයුම "කොන්සර්ට්‌ (ප්‍රසංගය)" නමින් හඳුන්වා තිබුණි. ඉන්දුනීසියානු බුද්ධි සේවාව "කොන්සර්ට්‌" නමැති වචනය සම්බන්ධ පණිවුඩවලට සවන්දී තිබුණත් එහි තේරුම සොයාගැනීමට අසමත් විය. 

අයිසිස්‌ ත්‍රස්‌තයන් කොන්සර්ට්‌ යනුවෙන් දක්‌වා තිබුණේ පැරිසියේ බැට්‌කාලන් රැඟුම්හලට එල්ලවූ ත්‍රස්‌ත ප්‍රහාරයයි. එම වචනය ජකර්තා මෙහෙයුමට ද යොදාගෙන තිබුණි. පසුගිය බ්‍රහස්‌පතින්දා ජකර්තා අගනුවර පිපිරීම් සහ වෙඩි හඬින් ගිඟුම් දෙන අවස්‌ථාවේ ජනතාව දිවි බේරා ගැනීම සඳහා දිව යන අයුරු දැකගත හැකිවිය.

ඉන්දුනීසියානු පොලිස්‌ ප්‍රකාශක ඇන්ටන් එලරියන් පැවසුවේ ජකාර්තා නුවරද ප්‍රසංගයක්‌ සිදු කිරීමට ත්‍රස්‌තවාදීන් ක්‍රියා කරන බව වාර්තා වුවත් මේ ප්‍රසංගය කුමක්‌දැයි හෙළි නොවූ බවත්ය. පසුගිය නත්තල් දිනට පෙර අත්අඩංගුවට ගත් ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ළඟ තිබී හමුවූ රහස්‌ ලියවිලිවල කොන්සර්ට්‌ නමින් ප්‍රසංගයක්‌ පැවැත්වීමට කළ සැලසුමක්‌ ගැන සඳහන් කර තිබූ බවද හෙතෙම කියා සිටියේය.

එහෙත් කොන්සර්ට්‌ යනු ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ බව ජකාර්තා ප්‍රහාරයෙන් සනාථ විය. මෙම ත්‍රස්‌ත ප්‍රහාරයට කොන්සර්ට්‌ යෑයි නම් කළ ත්‍රස්‌තයෝ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට 'බ්‍රයිඩ්' (මනාලිය) යනුවෙන් දක්‌වා තිබිණි.

පොලිස්‌ වෙඩි පහරින් මියගිය හත්දෙනාගෙන් පස්‌දෙනෙක්‌ අයිසිස්‌ ත්‍රස්‌තයන් බව හෙළි විය. අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ආසියා ජාලය මෙහෙයවන බහාරුන් නයිම් නමැත්තා මෙකී ප්‍රහාරය මෙහෙයවා ඇති බවට සැක කෙරේ.

ඔහු ජකාර්තා නුවර සිට සිරියාවට පැනගොස්‌ ඇත. කොන්සර්ට්‌ ත්‍රස්‌ත ප්‍රහාරය මෙහෙයවූ ත්‍රස්‌ත කණ්‌ඩායමින් දෙදෙනෙක්‌ බෝම්බ පුපුරුවාගෙන මියගොස්‌ ඇත.

මෙම ප්‍රහාරයේදී සිවිල් වැසියන් දෙදෙනකු ද මරුමුවට පත්වී ඇත.

මෙකී අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායම තුවක්‌කු, අත්බෝම්බ සහ වෙනත් බෝම්බවලින් සන්නද්ධව සිටි බව හෙළිවිය. 

ඉන්දුනීසියානු හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් ඇන්ටන් චැලියන් පැවසුවේ ත්‍රස්‌ත කණ්‌ඩායම පැරිසියේ මෙන් විශාල ප්‍රහාරයක්‌ මගින් සිවිල් වැසියන් රැසක්‌ ඝාතනය කිරීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වූ බවයි.

ජකාර්තා පොලිසිය විගස ත්‍රස්‌තයන්ට ප්‍රතිචාර දක්‌වමින් ඔවුන්ට වෙඩි තබා මැරුවා යෑයි හෙතෙම පළ කළේය. මිලියන 10 කට අධික මුස්‌ලිම් ජනතාවක්‌ සිටින ඉන්දුනීසියාව මෙයට පෙර ද බාලි බෝම්බ ප්‍රහාරයට ලක්‌ විය.

කෙසේ වෙතත් අයිසිස්‌ ත්‍රස්‌තයන්ගේ ජකාර්තා ත්‍රස්‌ත ප්‍රහාරය ව්‍යර්ථ විය. පැරිස්‌ ප්‍රහාරය මෙන් සිවිල් වැසියන් විශාල පිරිසක්‌ ඝාතනය කිරීමට ත්‍රස්‌තයන්ට නොහැකි විය. ඒ ත්‍රස්‌ත ප්‍රහාරය සමඟම පොලිසිය හා හමුදාව ක්‍රියාත්මක වීමෙනි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/01/16/feature02.html

0 comments: