Pages

Saturday, September 26, 2015

රූපය ඉදිරියේ වහලෙක්‌ නොවී, නිහඬ උපක්‍රමශීලී ගවේශකයෙක්‌ වෙන්න... මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක්‌ ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස්‌ කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක්‌ සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය නිසා අනුන්ගේ ආස්‍රවයන් වැඩෙන දිශාවටයි ගමන් කරන්නේ. වර්තමාන සමාජයේ ඉහත කාර්යය බොහෝම අපූරුවට අෙන්‍යාන්‍යය එකමුතුවකින් යුතුව දෙපාර්ශවයම ආස්‍රවයන් වඩවාගන්නා බවත් පෙනෙන්නට තිබෙනවා. 

වර්තමාන සමාජයේ සූපවේදයේ දියුණුභාවය හේතුවෙන් සකස්‌වෙන විවිධ රසයෙන්, ගුණයෙන්, පැහැයෙන්, හැඩයෙන් යුත් ආහාරයන් නිසා පිංවතුන් එම ආහාරයන් ඇසෙන් දැක, දිවෙන් රසවිඳ අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන් නොලැබුණ තැනදී ගැටෙන සිත් ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම ආහාරයන්ට ඇල්ම නිසා රෝගාබාධ ඇති කරගන්නවා. එම නිසා පිංවත් ඔබ රසය ඉදිරියේ ඇස, දිව, මනස සංවර කරගන්න. එසේ නොවුණහොත් ආහාරය නිසා නිරතුරුවම පිංවත් ඔබ නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආස්‍රවයන් වර්ධනයකොට ගන්නවා. 

නවීන තාක්‍ෂණික ක්‍රමවේදයන් තුළින් සකස්‌වී ඇති සංගීතය හේතුවෙන් කනෙන් එම ශබ්දයන් අසා මනස අසංවර කරගෙන අප්‍රමාණ ආස්‍රවයන් ඇතිකරගන්නවා. රාත්‍රී සංගීත සන්දර්ශනයක්‌, සැනකෙළියක්‌ සිහියට නගාගන්න. මේවා බරපතල ආකාරයට නැති ආස්‍රවයන් ඇතිකර දෙනවා. සමාජයේ පිංවතුන් ශීලයෙන් දුරස්‌කොට මෛත්‍රී චින්තනයෙන් දුරස්‌ වෙනකොට තමන් තුළින් සිල් සුවඳ, මෙත් සුවඳ නැතිවී යනවා. එවිට ශරීරය සුගන්ධවත් කිරීම සඳහා සුවඳ විලවුන් භාවිතයට සමාජය හුරුවෙනවා. සුවඳ විලවුන් භාවිතය නිසා සුවඳ හමන වෙලාවට සැප වේදනාවක්‌ ඇති කොටගන්නවා. දහදිය දමන වෙලාවට දුක්‌ වේදනාවක්‌ ඇති කරගන්නවා. මේ හේතුව නිසාම නිරතුරුවම ඉන්ද්‍රිය අසංවරය ඇති කරගන්නවා. නානාප්‍රකාර ඇඳුම් විලාසිතාවන් නිසා නිරතුරුවම රූපය ඉස්‌මතු කර පෙන්වීමට යැම නිසා ඉන්ද්‍රිය අසංවරය ඇතිකරගෙන නැති ආස්‍රවයන් ඇති කරගන්නවා. එම නිසා පිංවත් ඔබ ඇඳුමක්‌ තෝරාගත්විට ආශ්‍රවයන් ඇතිනොවන ආකාරයට හොඳින් සිහිනුවණින් ඔබ ඒවා පරිහරණය කළ යුතුයි. එසේ නොවුණොත් නැති ආස්‍රවයන් ඇතිවෙනවා. ඇති ආස්‍රවයන් වර්ධනය වෙනවා. පිංවත් ඔබ දුශ්ශීලභාවය නිසාත් නිරතුරුවම ඉන්ද්‍රිය අසංවරය කරගන්නවා. ශිල්වත්භාවයේ කුසල් මූලයන්ගේ ඵලය හැටියටත් ඉන්ද්‍රිය සංවරය හඳුන්වන්න පුළුවන්. 

ඉන්ද්‍රිය සංවරභාවය ගැන සටහන් තබනකොට අධි සංවරභාවය ගැනත් ප්‍රවේශම් වෙන්න ඕනා. සමාජය ඉදිරියේ, පිරිස ඉදිරියේදී සමහරක්‌ පිංවතුන් 'අධිසංවරභාවයෙන්' හැසිරීමට උත්සහ ගන්නවා. මේ හේතුව නිසාම නැති ආශ්‍රවයන් ඇති කරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනයකොට ගන්නවා. 

දිනක්‌ භික්‍ෂුව කුටියට ආගන්තුකව පැමිණි ස්‌වාමීන්වහන්සේ නමක්‌ සමග ගමට පිණ්‌ඩපාතය වැඩියා. උන්වහන්සේ තරුණ සාමනේර ස්‌වාමීන්වහන්සේ නමක්‌. එම මාර්ගයේ එකිනෙකට සමීපව නිවාස පිහිටි නිතර වාහන ගමන් කරන තාර පාරක්‌. භික්‍ෂුව වේගවත්ද නොවී, සෙමින්ද නොවී මධ්‍යම ප්‍රමාණයට පියවර තබමින් ඉදිරියෙන් වැඩියා. පිණ්‌ඩපාතයට වැඩිය යුතු අතුරු පාරට හැරෙන තැනට පැමිණ භික්‍ෂුව පසුපස හැරී පසුපසින් වඩින එම ආගන්තුක ස්‌වාමීන්වහන්සේ දෙස බැලුවා. දෙදෙනාම එකට කුටියෙන් එළියට වැඩියත් උන්වහන්සේ භික්‍ෂුවට වඩා මීටර් 200 ක්‌ පමණ ඈතින් තමයි ඒ මොහොතේ වඩිමින් සිටියේ. භික්‍ෂුව උන්වහන්සේ තුළින් දැක්‌කේ පිරිස ගැවසෙන මාර්ගයේ වඩින විට උන්වහන්සේ අධිසංවරභාවයක්‌ ඇතිකරගෙන ඇති බවයි. මේ අධිසංවරභාවයද අපි තුළ නැති ආශ්‍රවයන් ඇතිකොටදෙනවා. ඇති ආශ්‍රවයන් වර්ධනයකොට දෙනවා. 

භික්‍ෂුව ගිහි ජීවිතයේදී ධර්මයේ අර්ථයන් ජීවිතය තුළින් මතුකොටගත්තේ අභියෝගයන් තුළට නොබියව කිඳාබැසලයි. එකක්‌ අතහැරලා දෙකක්‌ දිනාගෙන, දිනාගත් දෙකම අතහැරීමේ ශක්‌තියක්‌ මට ගිහි ජීවිතයේදී තිබුණා. 

ඉන්ද්‍රිය අසංවරභාවය මට ගිහි ජීවිතයේදී හොඳින් හුරුපුරුදු දෙයක්‌. ඉන්ද්‍රිය අසංවරභාවය තුළින් මතුකොටගත් අත්දැකීම් තුළින්මයි මම ඉන්ද්‍රිය සංවරභාවය ඇතිකොටගත්තේ. මගේ අසංවර ඉන්ද්‍රියනුත්, අනුනගේ අසංවර ඉන්ද්‍රියනුත් එකතුවුණ තැනදී ඇතිවන වේගවත්භාවය මම හොඳින් නුවණින් දැක්‌කා. නමුත් ඒ වේගය, රූපයේ වේගය හෝ, විඥානයේ වේගය කියලා එදා මම දැනගෙන හිටියේ නැහැ. නමුත් පසුකාලයේදී රූපයේ අනිත්‍යභාවයත්, විඥානයේ අනිත්‍යභාවයත් අවබෝධකොටගැනීමට අතීතයේ අත්දැකීම් මට ගොඩාක්‌ උපකාරී වුණා. ඒ නිසාමයි භික්‍ෂුව සටහන් තැබුවේ අභියෝගයන්ට කිඳාබැසලයි ධර්මය මතුකොටගත්තේ කියලා. 

පිංවත් ඔබ රූපයන්ට නිරතුරුවම බැඳී යන්නේ එම වර්ණ, ගන්ධ, ශබ්ද, රස ස්‌පර්ශයන් පරිහරණය කිරීමේදී ඒවා දෙස හොඳින් නුවණින් නොබැලීම නිසයි. ඔබ යමක්‌ දකිනකොට, යමක්‌ අහනකොට හොඳින් විවෘතව දකින්න. බලන්න. අසන්න. පිංවත් ඔබ රූපය අඳුරේ අතපත ගාන්නෙක්‌ නම් ඔබට කවදාකවත් අවිද්‍යාවෙන් වැසී ඇති රූපය තුළින් ප්‍රඥාවේ ආලෝකය මතුකොටගැනීමට හැකියාව ලැබෙන්නේ නැහැ. විවෘතකොටගත් දෑස්‌ තියුණු දෑස්‌ සමග ගවේෂණශීලී විදර්ශනාමය මනස මුහුවුණ තැනදී රූපයේ යථා ස්‌වභාවය මතුකොටගැනීමට ඔබට පහසුවක්‌ වෙනවා. පිංවත් ඔබ රූපය ඉදිරියේ වහලෙක්‌ නොවී, නිහඬ උපක්‍රමශීලී ගවේශකයෙක්‌ වීමට දක්‍ෂවෙන්න. රූපයේ ඉදිරියේ නිහඬ ගවේශකයෙක්‌ වීමට දක්‍ෂ පිංවතා රූපය කෙරෙහි තෘෂ්ණාවෙන් ඇතිකොටගත් ඉන්ද්‍රිය අසංවරභාවය තුළින්ම වීර්යෙන්, ඉවසීම තුළින් ඉන්ද්‍රිය සංවරභාවයට අවශ්‍ය සාධක මතුකොටගන්නවා. එසේ නොවුණහොත් ඉන්ද්‍රිය අසංවරභාවය නිසාම නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා.

මහ රහතුන් වැඩි මග ඔස්‌සේ - අතහැරීම 8 

සිව් වසරක්‌ පුරාවට මෙම උතුම් ලක්‌දෙරණ පිවිතුරු සම්බුදු දහමින් පෝෂණය කරමින් ධර්මයේ සන්දිට්‌ඨික ආදී ගුණයන් ලොවට විහිදුවාලු "මහරහතුන් වැඩි මග" ඔස්‌සේ පොත් මාලාවේ නවතම කලාපය (අතහැරීම 8) ධර්ම පුස්‌තකය එළිදැක්‌වූ බව ඔබ සැමට මෙත් සිතින් යුතුව දැනුම් දෙමු.

මෙම ධර්ම පුස්‌තකය මෙම 27 දින දක්‌වා කොළඹ පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ දී මෙන්ම, දිවයින පුරා පොත් අලෙවි සැල්වලින් ද ඉතා සහනදායී අයුරින් ඔබ සැමට ලබා ගත හැකි බැව් කාරුණිකව සිහිපත් කරමු.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2015/09/27/feature04.html

0 comments: