Pages

Monday, March 28, 2016

වත්තල 'ජොගිං පාත්' එක මහරෑ හොරෙන් කඩයි!

වත්තල ප්‍රදේශයේ ඉදිකර තිබූ ශරීර සුවතා මං තීරුව පෙරේදා (26 දා) රාත්‍රි හදිසියේම කඩා ඉවත් කර ඇත.

පෙරේදා සන්ධ්‍යාවේ මෙම මංතීරුවේ ව්‍යායාම්වල නිරත වූ ප්‍රදේශවාසීන් ඊයේ (27 දා) උදෑසන ඒ සඳහා යළි පැමිණි අවස්‌ථාවේ එම මංතීරුව කඩා විනාශ කර තිබෙන අයුරු දැක සංවේගයට පත්ව ඒ පිළිබඳව සිය විරෝධය දක්‌වා තිබේ.

ඉතා රහසිගතව රාත්‍රි කාලයේ මෙම මංතීරුව ඉවත් කිරීම පසුපස කිසියම් යටි අරමුණක්‌ පවතින බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මේ පිළිබඳව වත්තල පොලිසියෙන් විමසූ අවස්‌ථාවේ කියා සිටියේ ඒ පිළිබඳව කිසිවක්‌ තමන් නොදන්නා බවයි. 

කිසියම් පිරිසක්‌ පෙර දින රාත්‍රියේ පැමිණ මෙම මං තීරුවේ ඇසුරුම් ගල් ඉවත් කර ඇති බවත් නාමපුවරු හා වෙනත් ඉදිකිරීම් රැසක්‌ විනාශකාරී ලෙස කඩා ඉවත් කර ඇති අතර එම මංතීරුවේ ආලෝක පද්ධතිය සහිත පහන් කුලුනු කිහිපයක්‌ ද කඩා දමා ඇති බවත් පොලිසිය පවසයි.

පෙරේදා රාත්‍රියේ පැමිණි මෙම නාඳුනන පිරිස්‌ මංතීරුව ගලවා ඉවත් කිරීමෙන් පසුව එහි ආරක්‍ෂාවට පොලිස්‌ නිලධාරීන් කිහිපදෙනකු යොදවා තිබීම පිළිබඳව ප්‍රදේශවාසීහු සිය විමතිය පළකර සිටිති.

ඉකුත් පාලන සමයේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් මෙම මංතීරුව ඉදිකර ඇති අතර එහි නඩත්තු කටයුතු වත්තල නගර සභාව වෙත පැවරී තිබිණි.

පෙරේදා රාත්‍රි මෙම මංතීරුව හිටිහැටියේ ගලවා ඉවත් කළේ සංවර්ධන කටයුත්තක්‌ සඳහා බවට රාවයක්‌ ඇතත් එම මංතීරුව සහිත භූමිය අයත් වන්නේ පෞද්ගලික ආයතනයකට බව ද අනාවරණය වේ. 

ධම්මික සල්වතුර
http://www.divaina.com/2016/03/28/news01.html

0 comments: