Pages

Monday, March 21, 2016

සයිබර් අන්ඩර්වර්ල්ඩ් හෙවත් අන්තර්ජාලයේ පාතාල ලෝකය...

අද පවතින ජන සම්මතයට අනුව පාතාල ලෝකය යනු අප සමඟ බහුතරයක්‌ දෙනා සඳහන් කළ සංවිධානාත්මක අපරාධ කල්ලි තමන්ගේ මිනීමැරුම් අවි ගනුදෙනු මත් ජාවාරම කප්පම් මංකොල්ල හොරසල්ලි හොරකම් සල්ලාලකම් කොන්තරාත්තු ආදී අවර වැඩ සිදුකරන නීතියට එපිටින් යන තම අයුතු ගනුදෙනු ඉටුකරගන්නා උප සංස්‌කෘතියයි. දැන් දැන් මෙම සංවිධානාත්මක කල්ලි මෙන්ම කේවල චරිතද අන්තර්ජාලයට රිංගාගෙන විවිධ අපරාධ සහ අපචාර වැඩ කිරීමට පටන්ගෙන තිබේ. සයිබර් සංස්‌කෘතියේ මෙය හඳුන්වන්නේ අන්තර්ජාල අපරාධ හෙවත් සයිබර් ක්‍රයිම් කියායි. (cyber crime)

සයිබර් යන වචනය අද සමාජයේ අති බහුල ලෙස පාවිච්වි වුණද එහි සැබෑ අර්ථය නිරූපණය වන තනි වචනයක්‌ සොයා ගැනීමට නැත. එහෙයින් සයිබර් යනු පරිගණකය ආශ්‍රීත හෝ ඊට සම්බන්ධ සේවා කාර්යයන් උපාංග මෘදුකාංග වෙබ් අඩවි අන්තර්ජාලය ස්‌කයිප් විද්යුත් තැපෑල වයිබර් වට්‌ස්‌ඇප් සහ එවැනි වෙනත් ජාල යන සියල්ලටම කියන මුළු පරිගණක සංස්‌කෘතියම හඳුන්වන එක වචනය යයි කීවාට වරදක්‌ නැත.

අප කලින් කී පරිදි දැන් මේ සයිබර් අවකාශය තුළටද අන්තර්ජාලය හරහා පාතාලයෝ හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි රිංගාගෙන මහ පරිමාණයේ ගේම් දීම ආරම්භ කර ඇත. ඒ අනුව මුදල් වංචා කිරීම (fraud) කප්පම් ගැනීම (ransoms and black mail) අයථා ලිංගික ආස්‌වාදය (cyber sex) ලැබීම මිනීමැරීමට කොන්තරාත්තු ගැනීම අවි ආයුධ සහ අන්තරායකර මත්ද්‍රව්‍ය ජාවාරම අනුන්ගේ අන්තර්ජාල ගිණුම්වලට හොරෙන් රිංගීම හැකින් (hacking) හොර නම් වලින් පෙනී සිටීම (fake and false identity) අනුන්ගේ අනන්‍යතාවයන් ආදේශ කර ගැනීම අනුන්ගේ ගිණුම්වලින් මුදල් ඇදීම වැනි භයානක අපරාධ සිදුකරනු ලබයි. 

මෙවැනි අපරාධ වැළැක්‌වීම පිණිස ලොව පුරාම මෙන්ම අප රටෙත් විවිධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන තිබුණද ඒවායේ ඇසට වැලි ගසමින් මෙම අපරාධකාරයෝ තම කාර්යයන් ලෙසටම පිළිවෙළට අහුනොවී කරගෙන යති.

නිගර් ක්‌ලෑන් nigger clan හෙවත් කල්ලන්ගේ කල්ලිය ලෙස ඉන්ටර්පෝල් එක (ජාත්‍යන්තර පොලීසිය) පවා හඳුනාගෙන සිටින හොරු රැලක්‌ සිටීයි. ඔවුනට නායකත්වය දෙන්නේ සැමුවෙල් ජොන්සන් ලෙස අන්වර්ථ නාමයකින් පෙනී සිටින කෙන්යානු කල්ලෙකි. එම නමෙන් ඊමේල් ෙෆ්ස්‌බුක්‌ ස්‌කයිප් ගිණුම් හදාගෙන ඉන්නා ඔහු වැඩිපුරම ගැවසෙන්නේ අරාබිය අවට සහ මැදපෙරදිග රටවලයි. ඔහුගේ කල්ලියේ සමාජිකයන් ලෙස තවත් කල්ලන් කීපදෙනෙක්‌ සහ ශ්‍රී ලාංකිකයන් කීපදෙනෙක්‌ අප රටේද සිටිති. මෙම කල්ලියේ ප්‍රධානම ගේම වන්නේ අන්තර්ජාලයේ සැරිසරන මෝඩ මිනිසුන් සහ ගැහැනුන් මුලාකර ගොනාට අන්දා කෝටි ගණන් ලක්‍ෂ ගණන් මුදල් වංචා කර ඒවා තම ගිණුම්වලට ඇද ගැනීමයි. සියලුදෙනාම නොවුණත් ඉතා කුඩා ප්‍රතිශතයක්‌ මොවුනට අසුවී තම ලක්‍ෂ ගණන් මුදල් වලට කෙළවා ගනිති.

රාත්‍රී කාලයට අවේලාවට අසම්මත සහ අමුතු ලෙස අන්තර්ජාලයේ සැරිසරණ මැටි පන්තියේ පුද්ගලයන් හෝ ගැහැනුන්ගේ සයිබර් භාවිතය පිළිබඳව මාස ගාණක්‌ තීක්‍ෂණව බලා සිටිමින් ඒ අයව විමර්ශනයට ලක්‌ කරන මෙම කල්ලෝ නිසි වෙලාව බලා කුමක්‌ හෝ ලොකු ඇමක්‌ එකී පුද්ගලයාට අත හරී. සමහරවිට ඒ ලොතරැයි දිනුමක්‌ ගැනයි. නැත්නම් කාගේ හෝ මියගිය සුද්දෙකුගේ අති විශාල ධනස්‌කන්ධයක්‌ හෝ බූදලයකි. එසේත් නැත්නම් ඇමෙරිකාව කැනඩාව යුරෝපය වැනි රටකට වීසා ලබා දීමේ යෝජනාවයි. තම ඊමේල් ඉන්බොක්‌ස්‌ එකේ හෝ වෙනත් ගිණුමකට පැමිණ ඇති මෙවැනි දේ දකින බහුතරයක්‌ මනුෂ්‍යයා සිනාවී එම යෝජනා අලුයමළු කෙළ පිඬක්‌ සේ ඉවත ලෑවත් තවත් සමහර හරක්‌ මේ ඇත්තක්‌ද සමහර විට වෙන්නත් පුළුවන් නේද කොයිකටත් උත්සාහයක්‌ අරන් බලමු යන සිතුවිල්ලෙක්‌ කල්ලා සමඟ දෙවන පියවරට යයි. ඒ එම යෝජනාවට ප්‍රති උත්තර යෑවීමෙනි. මෝඩයන් හඳුනා ගැනීමේ පුදුම ඉවක්‌ ඇති මේ කල්ලිය තම සේවාලාභියාට මිහිපිට සුර පුර මවාපාමින් ඩොලර් යුරෝ පවුංවලින් පවන් ගසමින් තෙවන සිව්වන පියවරේදී තවත් යෝජනා ගෙන එයි. ඒ තම හිතවත් ඒ මිය ගිය සුදු ජාතිකයාගේ මහත් ධනස්‌කන්ධය ඉතා හොර රහසේ පෙට්‌ටියක අසුරා සඟවා කුරියර් සේවාවක්‌ (විශේෂ ශීඝ්‍රගාමි ගුවන් තැපැල් සේවාවක්‌) මගින් ලංකාවට එන බවත් එය රේගුවෙන් නිශ්කාශනය කර නිදහස්‌ කර ගැනීමට ගුවන් තොටේ රේගු නිලධාරියාට යම් අල්ලසක්‌ දිය යුතු බවත් ඔබ හමුවීමට එන ඒ නිලධාරියාට ලක්‍ෂ පහක හෝ හයක මුදලක්‌ දිය යුතු බවත් එසේ මුදල් දී පැයක්‌ ඇතුළත එම නිලධාරියාම කෝටි ගාණක මුදල් නෝට්‌ටු ඇති රහස්‌ පෙට්‌ටිය ඔබ නිවසටම ගෙනත් දෙන බවත්ය. එසේම ඔහු කියන්නේ තමන්ට රේගු නිලධාරියාව මුණ ගැසීමට බයක්‌ චකිතයක්‌ ඇත්නම් හෝ කාලවේලාව නැත්නම් මෙන්න මේ බැංකු ගිණුමට මුදල් බැර කරන ලෙසයි. කල්ලාගේ ඇම කා ලක්‌ෂ පහ හය එකී හොර ගිණුම් වලට බැර කරන අමන මෝඩයෝ ලංකාවේ මෙන්ම ලෝකය පුරාවටම සිටිති. අප රටේ රාජ්‍ය බැංකුවල මුස්‌ලිම් නම් වලින් පවත්වාගෙන යන මෙකී ගිණුම් කීපයක්‌ ගැනම සාක්‍ෂි සහිත විස්‌තර අප සතුව තියෙන අතර ඒවා පිළිබඳව ශ්‍රී ලංකා පොලිසියේ අයිටී ක්‍රයිම් අංශය හෙවත් තොරතුරු තාක්‍ෂණ අපරාධ අංශයටත් පොලිස්‌ මූලස්‌ථානයේ රහස්‌ පොලීසියටත් වරක්‌ දන්වා සිටි අතර ඒ තැන් දෙකෙන්ම කියා සිටියේ එවැනි අපරාධ තම අංශවලට අදාළ නැති බවත් කරුණාකර අවශ්‍ය නම් මහ බැංකුවේ මූල්‍ය අපරාධ අංශයට ගොස්‌ හෝ ලිතව දන්වන ලෙසත්ය. අපට එතරම් පිස්‌සුවක්‌ නැති නිසා වැඩේ එතැනින් නවතා දැමුවෙමු.

ඉහත කී කල්ලන් මෙන්ම තවත් බොහෝ සයිබර් හොරු සහ අන්තර්ජාල අපරාධකාරයෝ ලොව පුරාම ව්‍යාප්තව සිටිති. ඒ අතර ශ්‍රී ලාංකිකයන් කීප දෙනෙක්‌ද නැත්තේ නොවේ. 

කැනඩාවේ උපන් දැනටත් ටොරොන්ටෝ නගරයේ ස්‌කාබෲ හි ජීවත් වන ශ්‍රී ලාංකික දමිල තරුණයෙක්‌ වන රූබන් සහ ඔහුගේ අතිජාත මිතුරු මීගමුවෙන් කැනඩාවට ආ සංජය කරන්නේ හියුමන් ට්‍රැෆිකින් හෙවත් රටින් රටට මිනිස්‌ ජාවාරමයි. ඇත්තම කීවොත් මුන් දෙන්නා කරන මිනිස්‌ ජාවාරම් කෙංගෙඩියක්‌ නැත. සංජය දක්‍ෂ පරිගණක දත්ත ඉන්ජිනේරුවකු වන අතර රූබන් නිර්මාණශීලී කවියෙකි. ඡායාරූප ශිල්පියෙකි. එමෙන්ම හොඳට ලියන්නට පුළුවන් ලේඛකයෙකි. ඔහුට මිනිසුන් හොඳටම අන්දවන්නටද පුළුවන. මේ දෙන්නා කරන්නේ අන්තර්ජාලයේ බොහෝ විට ඊමේල් තුළින් කැනඩාවේ වීසා අරන් දෙනවා. රස්‌සාවකුත් සොයා දෙනවා කියා පණිවුඩ මුදා හැරීමයි. එසේ ඔවුන් හරහා කැනඩාවට ආවා යයි කියන තරුණ තරුණියන්ගේ ඡායාරූප සහ ජීවිත කතාද අන්තර්ජාලයට මුදා හරී. මේ දෙදෙනා අඳුන්වා දෙන කැනඩා සංක්‍රමණයේ සිස්‌ටම් එක වන්නේ වැඩමුළුවකට සම්මේලනයකට හෝ අධ්‍යාපන දේශනයකට සහභාගිවන මුවාවෙන් දින කීපයකට තාවකාලික සංචාරක වීසා ලැබ කැනඩාවට ගොස්‌ පාස්‌පෝර්ට්‌ ඉරා දමා එහි ගල් වීම හෝ කැමා වීමේ ක්‍රමවේදයයි. මෙය ඇත්තටම අද අපේ උන් මෙන්ම සමස්‌ත ආසියානුවන්ද අනුගමනය කරන හොර එහෙත් සාර්ථක එක්‌ ක්‍රමයක්‌ වුවද සංජය සහ රූබන් කරන්නේ එසේ කළ හැකි බවට සිහින පෙන්වා මෝඩයන්ගේ දෙනෙත අභියස කැනඩා තුසිතයක්‌ මවා පෙන්වා ඔවුන් මුලා කොට කුට්‌ටියක්‌ ගලවා ගැනීමයි. මේ තමයි ඔබලා සහභාගී වන සම්මේලනය මේ තමයි ඔබ දින තුනක්‌ ලැගුම් ගන්නා හෝටලය මේක තමයි. ඔබ වෙනුවෙන් දින තුනකට වෙන් කර ඇති ශාලාවේ ඇති ආසනය මෙන්න මෙතනින් තමයි. අපි ඇවිත් ඔබව ඔටාවා නගරයට හෝ ඇල්බටා නගරයට අරගෙන යන්නේ ආදී දේ ඡායාරූප සහිතව පෙන්වමින් තව තවත් ඔවුන්ව සිහින ලෝකයේ අතරමං කරයි. මෙසේ දින දෙක තුනක්‌ යද්දී රූබන්ලා අර මෝඩයාට කියන්නේ අපි කැනඩාවෙන්ම වීසා ගස්‌සල එවන්නම්. ඒ සඳහා යන ඩොකියුමෙන්ටේෂන් සහ පේපර් වර්ක්‌ (ලියකියවිලි වැඩ) සඳහාත් වීසා ගාස්‌තු සඳහාත් රුපියල් අනු දාහක්‌ හෝ ලක්‍ෂයක්‌ යන නිසා ඒ මුදල ඉක්‌මණින් අහවල් ගිණුමට දාන්න කියායි. බොහෝ නොවුණට රූබන්ලාගේ මෙම බොරුවට ඇන්දෙන සෑහෙන පිරිසක්‌ අප රටේ සිටිති.

රූබන්ලා සංජයලා පමණක්‌ නොව මෙසේ ඇමෙරිකාවට, යුරෝපයට, ජපානයට කොරියාවට වීසා අරන් දෙනවා කියා අන්තර්ජාලය මගින් මෝඩයන් රවටා මුදල් කොල්ලකන විදේශිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන්ද අද එමටම සිටිති. සමහරු ලංකාවේම සිටිමින් බොරුවට පිටරටක සිටින බව සකස්‌ කරන ලද ඡායාරූප අන්තර්ජාලය තුළින් පෙන්වා මිනිසුන් රවටා මුදල් ගනිති.

අවි ජාවාරම සහ මත් කුඩු වෙළෙඳාමද අද අන්තර්ජාලය හරහා ජයටම සිදුවෙයි. බොහෝ මාෆියා කල්ලි අවි ආයුධ ගැන විස්‌තරත් ඒවායේ ඡායාරූපත් එකිනෙකා අතර හුවමාරු කරගන්නේ වයිබර් හෝ වට්‌ස්‌ඇප් තාක්‍ෂණයෙන් ඉන්බොක්‌ස්‌ පණිවුඩ හරහාය. ජී. පී. ආර්. එස්‌. සහ ලොකේෂන් ට්‍රැකින් මෘදුකාංගය හරහාද ඔවුන් රහසේ හමුවීම් ස්‌ථාන තෝරාගැනීම් ආදිය සැලසුම් කරති නීතියෙන් බේරෙන්නේද මොවුන් මෙම නව තාක්‍ෂණය උපයෝගී කරගෙනයි.

චැට්‌ වීඩියෝ කෝල් වට්‌ස්‌ඇප් වයිබර් හෝ ස්‌කයිප් තාක්‌ෂණය ඔස්‌සේ අද සයිබර් සෙක්‌ස්‌ කලාව ලොවපුරා තදටම ව්‍යාප්ත වෙමින් පවතී. හුදෙක්‌ම මෙය තම ආස්‌වාදය සඳහා උපරිම විශ්වාසය මත සිදුවන ක්‍රියාවලියක්‌ නිසාත් ඒවා අතිශය පෞද්ගලික ඕනා එපාකම් පිරිමසාගැනීම් නිසාත් ඒ පිළිබඳ අපට ගැටලු නැත. නමුත් උපරිම විශ්වාසය මත තම සහකරු හෝ සහකාරිය ඉදිරියේ කැමරාවට නිරුවත් වූ කළ එම සිදුවීම කැමරාවකින් පටිගත කරගෙන හෝ ඡායාරූපගත කර අන්තර්ජාලයට මුදා හරිනවා. යූටියුබ් එකට දානවා. ෙෆ්ස්‌බුක්‌ එකේ දානවා. ඔබගේ සැමියාට හෝ බිරිඳට එසේත් නැත්නම් ගෙදර අයට පෙන්වනවා කියා බය කර තර්ජනය කර කප්පම් ගැනීම නම් තරයේ හෙළා දැකිය යුතු පිළිකුල් කළ යුතු පාතාල අපරාධයකි.

හොර ගිණුම් හදාගෙන අන් අය රැවටීම අනුන්ගේ ගිණුම් වලින් මුදල් ඇදීම අන්තර්ජාල ඇබ්බැහිකම අන්තර්ජාලය නිසා ඇති වන අහිතකර බලපෑම් ආදී නොයෙක්‌ දේ සමඟ ඉදිරියේදී හමුවෙන්නට බලාපොරොත්තුව අදට මෙම ලිපිය අවසන් කරමු.

මිත්‍ර ශ්‍රී කරුණානායක
http://www.divaina.com/2016/03/20/feature05.html

0 comments: