Pages

Thursday, March 24, 2016

බෙල්ජියම ප්‍රහාරය - කුඩා දරුවන්ට රසකැවිලි බෙදා සතුට සමරති! අපට එරෙහි හැම රටකටම ගහනවා - අයිසිස්‌

අයිසිස්‌ සංවිධානයට එරෙහිව සටන් වදින සෑම රටකටම ඉදිරියේදී පහර දෙන බව එම සංවිධානය ඊයේ අරාබි හා ප්‍රංශ භාෂාවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ඉදිරියේදී අඳුරු දිනයක්‌ උදාවන බවත් එවිට වඩා දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ඉස්‌ලාමික රාජ්‍ය සංවිධානය කියයි.

බ්‍රසල්ස්‌ ප්‍රහාර පිළිබඳව සිය සතුට පළ කරමින් අයිසිස්‌ සාමාජිකයන් ඊයේ (23දා) සිරියාවේ තම පාලන ප්‍රදේශවල කුඩා දරුවන්ට රසකැවිලි බෙදා දී ඇත.පෙරේදා (22 දා) පෙරවරුවේ බ්‍රසල්ස්‌ නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 34 ක්‌ මියගොස්‌ තවත් 250 ක්‌ තුවාල ලැබූහ.

මෙම ප්‍රහාරය නිසා මියගිය අය සිහිකරමින් බෙල්ජියම දින තුනක ශෝක කාලයක්‌ ප්‍රකාශයට පත් කර ඇත.

අඟහරුවාදා ප්‍රහාරයට දින හතරකට පෙර පැරිස්‌ ප්‍රහාරයේ මහමොළකරු ලෙස සැලකෙන අබ්දෙසලාම් අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට පත්වූ මෙම අයිසිස්‌ සාමාජිකයා පොලිසියට පාපොච්චාරණය කර ඇත්තේ තවත් ප්‍රහාරයකට සැලසුම් සකස්‌ කරමින් සිටි බවට ය.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ පැරිස්‌ නුවරට එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයෝ 130 ක්‌ මරණයට පත් වූහ.

චතුර පමුණුව
http://www.divaina.com/2016/03/24/news01.html

0 comments: