Pages

Saturday, April 29, 2017

ජයවර්ධන ආණ්‌ඩුවේ මර්ධනය ජනගත කළ, මැයි දිනය තහනම් කර ලෙයින්ම රතුවූ '87 මැයි දිනය...

<--- මව්බිම සුරැකීමේ මැයි දින සැමරුම් සහභාගිවන්නන් අභයාරාම පන්සලෙන් පිටතට පැමිණීමේදී කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අබ්දුල් ගපූර් එය නවතාලූ ආකාරය. 

මැයි 1වැනිදා ලෝක කම්කරු දිනයයි. වැඩකරන ජනතාවගේ දිනයයි. සටන් අවිය මුවහත් කරන දිනයයි. දිනාගත් කම්කරු අයිතීන් ආශ්වාදයෙන් මෙනෙහි කරන දිනයයි. එම දිනයේදී එක්‌සත් බව වඩවඩාත් බැඳීමකින් වෙලෙනු ලබයි. ඉදිරියට පිය එසවීමට තව තවත් ශක්‌තිය ලැබේ. ජවය ඇතිවේ. පන්නරය ලබයි.

මෙවර 2017 දී ලොව පුරා සමරනු ලබන්නේ 131 වැනි මැයි දින සමරුවයි. ලෝක මැයි දින ඉතිහාසයද අභිමානවත්ය. ඇමරිකානු කම්කරුවෝ පැය 8ක සේවා මුරයක්‌ වෙනුවෙන් සටන් කර තෙවන දිනය වූයේ 1886 මැයි 3 වැනිදාය. හේමාකට්‌ චත්‍රරශ්‍රයේ පැවති ජන රැළියේදී පොලිස්‌ නිලධාරින් වෙත අත්බෝම්බයක්‌ දමා ගැසුවේ යයි චෝදනා කොට ඔගස්‌ටස්‌ ස්‌පයිස්‌, ඇල්බට්‌ ආර්. පාර්ජින්ස්‌, සැමුවෙල් ෆීල්ඩන්, ඇඩෝලෆ් ෆීෂර්, ජෝර්ඡ් එන්ගල්ස්‌, ලුයිස්‌ ලන්ග්, මයිකල් ස්‌ට්‌වැච්, ඔස්‌කා නීබේ ඇතුළු අය බන්ධනාගාර ගත කෙරිණි. ජූරි සභාවේ තීරණය අනුව ඔවුනට මරණ දඬුවම නියම කෙරිණි. මොවුනට දඬුවම් දෙන දිනයට පෙරදින ලුයිස්‌ ලන්ග් ගෙල වැළලාගෙන සියදිවි නසා ගත්තේය. පසුව මයිකල් සහ සැමුවෙල්ට ලබාදී තිබූ මරණ දඬුවම ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක්‌ බවට පත්විය. ඔස්‌කා නිබේට වසර 15ක සිර දඬුවමක්‌ නියම විය. අනෙකුත් සෙසු කම්කරු නායකයින් 5 දෙනා 1887 නොවැම්බර් 11 වැනිදා එල්ලා මරා දමන ලදී. වසර 1893 ජුනි 26 වැනිදා ඉලිනොයිස්‌ ආණ්‌ඩුකාරවරයා කම්කරු නායකයින් 8 දෙනාම චෝදනාවලට නිවැරදිකරුවන් යෑයි ප්‍රකාශ කළ අතර ජීවිතාන්තය තෙක්‌ සිරදඬුවම් කළ දෙදෙනාම නිදහස්‌ විය. පැය 8ක සේවා කාලයක්‌ ඉල්ලා අරගල කරමින් රුධිරය වැගුරූ එම කම්කරු නායකයින් සිහිකිරීමට 1889 වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය තීරණය කළ අතර ඒ අනුව මැයි 1 වැනිදා ජාත්‍යන්තර කම්කරු දිනය ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

පොලිස්‌ වෙඩි තැබීමෙන් මියගිය රණවක සිසුවාගේ සිරුර මොරටු සරසවියේ ඉංජිනේරු සිසු නිමල් බාලසූරිය ඇතුළු තිදෙනෙක්‌ ඔසවාගෙන යමින්. පිස්‌තෝලයක්‌ අතැතිව සිටින්නේ සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල වික්‍රමසිංහය. --->

ලොව මැයි දින සැමරුම් 1890 සිටම සිදු වූවද ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දින සමරුව පවත්වන ලද්දේ 1927 දී බව ලංකා කම්කරු සංගමයේ ඊ. ඒ. ගුණසිංහ පවසයි. එහෙත් දේශපාලන විද්වතුන් පවසන්නේ ශ්‍රී ලංකා පළමු මැයි රැලිය 1933 ගුණසිංහගේ නායකත්වයෙන් කොළඹ ගාලු මුවදොරින් ආරම්භවී වික්‌ටෝරියා (විහාර මහා දේවි) දක්‌වා ගමන් කර එහිදී රැස්‌වීම පැවැත්වූ බවය. 1934දී කොළඹ තරුණ සංගමයේ මාක්‌ස්‌වාදීහුද මැයි දින රැළියක්‌ පැවැත්වූ අතර 1935දී සමාජවාදීන්ගේ මැයි දින රැළියක්‌ කොළඹ ප්‍රයිස්‌ පිටියේදී වෛද්‍ය එස්‌. ඒ. වික්‍රමසිංහගේ මුලසුනින් පවත්වන ලදී. සමසමාජයේ ප්‍රථම මැයි රැළිය 1936දී පැවැත්වූ අතර මැයි දිනය මෙරට රාජ්‍ය නිවාඩු දිනයක්‌ බවට පත්කලේ 1956දී අගමැති බණ්‌ඩාරනායකගේ නායකත්වයෙන් යුත් මහජන එක්‌සත් පෙරමුණ ආණ්‌ඩුව මගිනි. එය කම්කරු අමාත්‍ය ටී.බී. ඉලංගරත්නගේ යෝජනාවකි.

එජාපය බලයට පත්වීමෙන් පසු 1978 සිට මැයි දින සැමරුම සිදුවූයේ ජාතික සංස්‌කෘතික උළෙලක්‌ ලෙසිනි. ජනතා විමුක්‌ති පෙරමුණද 1978 සිට සිය මැයි දිනය 1983 දක්‌වා ආකර්ෂණීය ලෙස පවත්වනු ලැබීය. ජවිපෙ 1983 ජුලි තහනමින් පසු එහි අනුගාමී සංවිධානයක්‌වූ සමස්‌ථ ලංකා වෘත්තීය සමිති සම්මේලනය මගින් 1985 සහ 1986දී ජවිපෙ නිල නොවන මැයි රැළි නව නගර ශාලාවේදී පවත්වන ලදී. වසර 1984දී සමසමාජ, කොමියුනිස්‌ට්‌, මහජන පක්‌ෂය සහ මහජන එක්‌සත් පෙරමුණ එක්‌වී එක්‌සත් මැයි රැළියක්‌ද පවත්වන ලදී.


<--- ලෙස්‌ලි ආනන්දලාල්ගේ දේහය වැල්ලම්පිටිය නිවසේ තැන්පත් කර තිබූ අවස්‌ථාවේදී මුරුත්තෙට්‌ටුවේ හිමි සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන 1987 මැයි 3 අවසන් ගෞරව දැක්‌වූ අවස්‌ථාව.

දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය මගින් 1987 අප්‍රේල් 17 වැනිදා කොළඹ බලා එමින් තිබූ බස්‌ රථවලට වෙඩි තබා මගීන් 126 දෙනෙකු ඝාතනය කළ අතර ඉන් 75 දෙනෙකු නිවාඩුවට ගම්බිම්බලා එමින් සිටි හමුදා සෙබළුන් විය. දෙමළ බෙදුම්වාදීහු ඉන් දින 4කට පසු එනම් 1987 අප්‍රේල් 21 වැනිදා පස්‌වරු 4.30ට පමණ කොළඹ ප්‍රධාන බස්‌ නැවතුම්පලේදී කාර් බෝම්බයක්‌ පුපුරුවා හැරීමෙන් සාමාන්‍ය පුරවැසියන් 122ක්‌ ඝාතනයට ලක්‌ කරන ලදී. බෝම්බය පිපිරී විනාඩි 10කට පසු එම ස්‌ථානයට ගිය පිරිස අතර ශ්‍රීලනිපයේ අනුරුද්ධ රත්වත්තේ සහ අලෙවි මවුලානා සමඟ ලේඛකයාද විය. එදිනම රාත්‍රී 8 සිට පසුදා පෙරවරු 5 දක්‌වාද අප්‍රේල් 22වැනිදා පෙරවරු 9 සිට යළිත් පසුදා අළුයම වන තෙක්‌ම ගම්පහ සහ කොළඹ දිස්‌ත්‍රික්‌ක වලට ඇඳිරි නීතිය පනවන ලදී. රජයේ නිවාඩු දිනයක්‌ වශයෙන්ද 1987 අප්‍රේල් 22 වැනිදා ප්‍රකාශයට පත් කරනු ලැබිණි. පල්ලකැලේ හමුදා කඳවුරට ජවිපෙ මගින් 1987 අප්‍රේල් 15 වැනිදා පහරදී අවි පැහැරගනු ලැබුවද මසක්‌ යනතෙක්‌ ඒ පිළිබඳව ආරක්‌ෂක අංශවල සැකයක්‌ ජවිපෙ වෙත එල්ල වූයේ නැත.

වීදිබට දහස්‌ සංඛ්‍යාතික පිරිස්‌ 1987 අප්‍රේල් 22 වැනිදා ආරක්‌ෂාව ඉල්ලමින් මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ නායකත්වයෙන් ජනාධිපති ජයවර්ධනගේ වෝඩ් පෙදෙස නිවස දෙසට ඇඳිරි නීතියද නොතකා පෙළපාලියෙන් පැමිණ උද්ඝෝෂණය කළහ. මෙයට නායකත්වය දුන්නේ මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි, මාදුළුවාවේ සෝභිත හිමි, දිනේෂ් ගුණවර්ධන ඇතුළු ගිහි පැවිදි පිරිසකි. රජය මගින් අප්‍රේල් 22 වැනිදා 1987 මැයි දින රැස්‌වීම් සහ පෙළපාලි තහනම් කළ අතර එය 1987 මැයි 22 වැනිදා පවත්වන මෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සියලු මැයි දින රැළි සහ පෙළපාලි තහනම් කරන ලදී. මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ මැයි දින රැස්‌වීම සංවිධානය කිරීම පිළිබඳ සාකච්ඡා 1987 අප්‍රේල් 22 වැනිදා සිට දිනපතා නාරහේන්පිට අභයාරාමයේදී පැවැත්විණි. සාකච්ඡා වාර 5ක්‌ පැවති අතර අවසාන සාකච්ඡාව 1987 අප්‍රේල් 27 සවස 2ට පැවැත්විණි. ඉහත පිරිසට අමතරව ජවිපෙ මධ්‍යම කාරක සභික ආනන්ද ඉඩමෙගමද දේශවිමුක්‌ති ජනතා පක්‌ෂයේ නිහාල් පෙරේරා ද දෙවරක්‌ එක්‌විය. ලේඛකයා මේ සියලු රැස්‌වීම් ආවරණය කළේය.

ජනතාවට ආරක්‌ෂාව ඉල්ලමින් ඇඳිරි නීතියද නොතකා මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමිගේ නායකත්වයෙන් 2,000ක පමණ පිරිසක්‌ 1987 අප්‍රේල් 22 ජනාධිපති ජයවර්ධනගේ නිවස දෙසට පෙළපාලියෙන් පැමිණ විරෝධය පළකළ අයුරු. --->

ආණ්‌ඩුවේ 1987 මැයි දින තහනම නොසලකා හරිමින් සමසමාජ පක්‌ෂ කාර්යාලය ඉදිරිපිට මහපාරේ මේසයක්‌ දමා රැස්‌වීමක්‌ පැවැත්වූ අතර එයට සමසමාජ, කොමියුනිස්‌ට්‌, මහජන සහ නව සමසමාජ පක්‌ෂද එක්‌විය. පොලිසිය කඳුළු ගෑස්‌ දමා පිරිස විසුරුවා හැරි අතර සමසමාජ නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වාට ද සිය වයෝවෘද්ධභාවය හේතුකොට ගෙන කඳුළු ගෑස්‌ ප්‍රහාරයෙන් රෝගාතුරද විය. ශ්‍රීලනිප රැස්‌වීම ඩාර්ලි පාරේ පක්‌ෂ මූලස්‌ථානයේදී පැවැත්විණි. මහනුවර, ගාල්ල, අනුරාධපුරය යන නගරවලද මැයි දින සැමරුම් පැවැත්වුවද ඒවා පොලිසිය මගින් විසුරුවා හරින ලදී.

වඩාත්ම සටන්කාමී සහ උණුසුම් මැයි දින සැමරුම පැවැත්වූයේ නාරාහේන්පිට අභයාරාමයේදීය. කොළඹ දකුණ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අබ්දුල් කාදර් ගපූර්ගේ නායකත්වයෙන් 300 කට ආසන්න කැරළි මර්දන පොලිස්‌ කණ්‌ඩායමක්‌ 1987 මැයි 1 වැනිදා හිමිදිරියේ සිට අභයාරාමය ඉදිරිපිට සතර දෙසින් රඳවා තිබෙනු දක්‌නට ලැබිණි. ගපූර් එහිදී ලේඛකයාට කියා සිටියේ කිසිදු මැයි පෙළපාලියක්‌ පැවැත්වීමට ඉඩ නොදෙන ලෙස ජනාධිපති ජයවර්ධන තමාට පෞද්ගලිකව උපදෙස්‌ දුන් බවය. පස්‌වරු 2.05ට මැයි දින රැස්‌වීම ආරම්භ වන විට 2,000 කට ආසන්න පිරිසක්‌ එක්‌ව සිටි අතර පිරිස පන්සිල්හි පිහිටුවන ලද්දේ මුලසුන දැරූ හැඩිගල්ලේ පඤ්ඤාතිස්‌ස මහා නායක හිමිය. මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමියෝ රැස්‌වීමේ අරමුණ පැහැදිලි කළ අතර සරසවි පද්ධතිය වෙනුවෙන් බලහරුවේ සෝභිත හිමිද, භික්‌ෂු පරපුර වෙනුවෙන් මාදුළුවාවේ සෝභිත හිමිද අදහස්‌ ප්‍රකාශ කළහ. විපක්‌ෂ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සභාව ඇමතීමෙන් පසු දසවිධ කරුණු සහිත මැයි දින යෝජනාවක්‌ සභා සම්මත කරන ලදී.

රැස්‌වීම නිමාවෙන් පසු පිරිස මැයි දින තහනමට විරෝධය පළකරමින් සටන් පාඨ සහිත පුවරු සහ බැනර් අතැතිව මහා මාර්ගයට පිවිසීමට ගමන් කළහ. එවිට ප්‍රතිචාරය වූයේ බැටන් ප්‍රහාරයකි. පසුව කඳුළු ගෑස්‌ය. රබර් උණ්‌ඩය. අවසානයේ වෙඩි තැබීම සිදුවිය. ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ගපූර්ගේ උපදෙස්‌ පරිදි වෙඩි තැබීමට නියෝග කළේ කැරළි මර්දන කණ්‌ඩායමේ නායකයාවූ උප පොලිස්‌ පරීක්‌ෂක වෙලේගෙදර ප්‍රේමදාසය. ගපූර්ගේ දෙවැනියා වූයේ සහකාර පොලිස්‌ අධිකාරි බන්දුල පරාක්‍රම වික්‍රමසිංහය. විනාඩි ගණනාවක්‌ම වෙඩි ප්‍රහාරය පැවතිණි. ආනන්ද හිමියන් සහ දිනේෂ් ගුණවර්ධන වෙඩි තැබීම නතර කරන්නැයි ඉල්ලා සිටියද එය නතර නොවීය. වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගිය අතර නාරාහේන්පිට සමන්ත රත්නායක, රත්නපුරේ ආර්. ප්‍රේමසිරි සහ නුවර මහින්ද රණතුංග යන අය තුවාල ලබා රෝහල් ගත කෙරිණි.

වෙඩිවැදී මියගිය දෙදෙනා වූයේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු වැල්ලම්පිටියේ බ්‍රැන්ඩියවත්තේ පදිංචි ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ව්‍යාහාරික විද්‍යා පීඨයේ 84/85 කණ්‌ඩායමේ සිසු පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරි මෙවන් රණවකය. ලෙස්‌ලි ආනන්දලාල් වෙඩි වැදීමෙන් මියගියේ අභයාරාමය තුළදීමය. කිත්සිරි මෙවන් මියගියේ කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුවය. වෙඩි වැදුනු කිත්සිරි මෙවන් රෝහලට ගෙන යැමට පොලිසිය විනාඩි 30ක පමණ කාලයක්‌ ඉඩ ලබාදුන්නේද නැත. මෙම ඝාතන සිද්ධීන් වලට එරෙහිව රටපුරා සරසවිවල සහ පාසල් බොහෝමයක විරෝධතා ව්‍යාපාර පැනනැගිණි.


<--- 87 මැයි 1 නාරාහේන්පිට අභයාරාමයේ පැවති මැයි රැළියේ මුලසුන හොබවන මුරුත්තෙට්‌ටුවේ ආනන්ද හිමි. රැස්‌වීම අමතමින් සිටින්නේ මාදුළුවාවේ සෝභිත හිමිය. වේදිකාව වම්පස විලේගොඩ අරියදේව හිමිය.

ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ පදිංචි වැල්ලම්පිටිය බ්‍රැන්ඩි්‍රයාවත්තේ නිවසට ලේඛකයා එදිනම රාත්‍රියේ යනවිට එහි සිටියේ සොහොයුරෙකු වන ගාමිණී, සොහොයුරියකවූ කුමාරි සහ මව කල්‍යාණි පෙරේරාය. ලෙස්‌ලි ආනන්දලාල් රත්තොටදී උපන්නේ 1953 සැප්තැම්බර් මස 15 වැනිදාය. ඔහු මියයන විට 33 හැවිරිදි අවිවාහකයෙකි. ලෙස්‌ලිගේ පියා වෘත්තියෙන් විදුහල්පතිවරයෙකි. තෙල්දෙණියේ හෙණගැහුවෙල මහ විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කළ ලෙස්‌ලිගේ පියා 1965දී දිවියෙන් සමුගෙන තිබිණි. ඔහු ශ්‍රීලනිපයට ලැදිවීම නිසා අනේකවිද දේශපාලන පළිගැනීමේ මාරුවීම් වලට ලක්‌වූ අයෙකි. ලෙස්‌ලිගේ මව කල්‍යාණි පුහුණු උප ගුරුවරියක්‌වූ අතර ඇය වැල්ලම්පිටිය සේදවත්ත මහා විද්‍යාලයේ සේවය කළාය. හත් දෙනෙකුගෙන් යුත් පවුලේ 6 වැනියාවූ ලෙස්‌ලි ආනන්දලාල්ට සොහොයුරන් සහ සොහොයුරියන් 3 බැගින් සිටියේය. 

කටුගස්‌තොට ශාන්ත අන්තෝනි, තෙල්දෙණිය මධ්‍ය මහා සහ සේදවත්ත සිද්ධාර්ථ විදුහලේ අධ්‍යාපනය ලත් ලෙස්‌ලි 1973 ආරම්භ වූ වැල්ලම්පිටිය මිත්‍ර වොලිබෝල් ක්‍රීඩා සමාජයේ කාරක සභිකයෙකි. ලෙස්‌ලි ආනන්ද මරදාන කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක්‌ හැදෑරීමෙන් පසු කැලණි කේබල් සමාගමේද, ලංකා පොහොර සංස්‌ථාවේ යන්ත්‍ර සහාය ක්‍රියාකරුවෙක්‌ වශයෙන් කෙටි කලක්‌ සේවය කළ අතර මියයන විට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ යාන්ත්‍රික ක්‍රියාකරු විය. එදින මැයි දින රැස්‌වීමට සහභාගිවීම සඳහා නිවසේ සිට කැලණිය පන්සල අසළ බස්‌නැවතුම්පලට ලෙස්‌ලි පාපැදියෙන් ගෙන ආවේ පසුව රත්නපුර දිස්‌ත්‍රික්‌ ක්‍රීඩා නිලධාරියෙකුවූ ඩබ්ලිව්. එස්‌. සුනිල් විඡේසිංහය.

ලෙස්‌ලි ජවිපෙට එක්‌වූයේ 1982දීය. ලෙස්‌ලිගේ අවමඟුල් කටයුතු සිදුවූයේ 1987 මැයි 3 වැනිදා පස්‌වරු 6.30ට කොහිලවත්ත සුසාන භූමියේය. බ්‍රිතාන්‍යයේ සිටින ලෙස්‌ලිගේ සොහොයුරිය තිලකා විවියන්ද අවමඟුලට එක්‌වීමට පැමිණ සිටියාය. එදින මුළු දවසම වාගේ ලෙස්‌ලිගේ නිවසේ ගතකළ ලේඛකයාට දැකගන්නට හැකිවූයේ පොලිස්‌ නියෝග මත කොඩිවැල් හෝ සැරසිලි පවා තහනම් නමුත් දහසකට අධික පිරිසක්‌ රැස්‌වූ අවමඟුලකි. දේහය නිවසේ තැන්පත් කිරීමට පොලිස්‌ අවසරය ලැබුණේ පැය 5කි. මුරුත්තෙට්‌ටුවේ හිමියෝ එකම පැවිදි අනුශාසනාව සිදු කළහ. ලෙස්‌ලිගේ මවද 1997 දිවියෙන් සමුගත්තාය.

සරසවි ශිෂ්‍ය කිත්සිරි මෙවන් රණවකගේ අවමඟුල් කටයුqතු යෙදී තිබුණේ 1987 මැයි 4වැනිදාය. පානදුර කුරුප්පුමුල්ලේ පදිංචි කිත්සිරිමෙවන්ගේ පියා නීතිඥයෙකු මෙන්ම මහජන එක්‌සත් පෙරමුණේ උප සභාපතිවරයෙකි. පස්‌දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමලාවූ 1963 දෙසැම්බර් 2 වැනිදා උපන් කිත්සිරිගේ සොහොයුරු සොහොයුරියන් වූයේ කිත්මිණි, සඳරුවන්, නිල්මිණී සහ සුගන්ධය. කිත්සිරි මියයනවිට ඔහු මෙන්ම ඔහුගේ නැගණියවූ කිත්මිණිද ජයවර්ධනපුර සරසවියේ සිසුවියකි. වර්තමානයේ ඇය රජයේ ආයතනයක කළමනාකාරවරියකි. කිත්සිරිගේ කනිටු සොහොයුරා වූ සුගන්ධ වර්තමානයේ පෞද්ගලික අංශයේ විධායකයෙකි. සඳරුවන් ව්‍යාපාරිකයෙකු වන අතර නිල්මිණිද රජයේ ආයතනයක සේවය කරනු ලබයි. කිත්සිරි මෙවන් මියයන විටද සිය පියා මෙන් මහජන එක්‌සත් පෙරමුණේ ක්‍රියාකාරිකයෙකි. කිත්සිරිගේ අවසන් කටයුතු සිදුකෙරුණේ සිසුන්, භික්‌ෂූන් සහ කම්කරුවන් 2,000කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් සටන්කාමී අයුරෙනි. සියලු පොලිස්‌ බාධක සහ තහංචි බිඳ දමමින් දේහයේ අවසන් කටයුතු පානදුර මිනුවන්පිටිය සුසාන භූමියේ සිදු කිරීමෙන් පසුව රැස්‌වූ දහසකට අධික පිරිස පානදුර නගරය පුරා පෙළපාලි පවත්වා පසුව රැස්‌වීමක්‌ද තබා විසිර ගියහ. කිත්සිරිගේ පියාද 2012 දෙසැම්බර් 12 දිවියෙන් සමුගත්තේය.

එජාප ආණ්‌ඩුවේ 1987 මැයි දින තහනම කඩමින් ජීවිත 2ක්‌ බිලිගත් මැයි දින ද්විත්ව ඝාතන පිළිබඳ පරීක්‌ෂණය පැවැත්වීමට ආණ්‌ඩුවට සිදුවූයේ මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සහ ඉන් පිටත කළ අඛණ්‌ඩ අරගලයේ ප්‍රතිඵලයක්‌ වශයෙනි. ලෙස්‌ලි ආනන්දලාල් සහ කිත්සිරි මෙවන්ගේ මරණ පරීක්‌ෂණ 1987 මැයි මස 3දා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එස්‌.එල්. සල්ගාදු විසින් පවත්වනු ලැබූ අතර එම ඝාතන වලට බලපෑ වෛද්‍ය හේතු ඇතුළත් පර්යේෂණ වාර්තාව 1987 මැයි 4 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලදී. මැයි දින ද්විත්ව ඝාතන පරීක්‌ෂණ 1987 මැයි 14 වැනිදා කොළඹ මහාධිකරණයේදී මහාධිකරණ විනිසුරු ජී.එල්.එම්. ද සිල්වා ඉදිරියේ විභාග විය. මෙහිදී පොලිස්‌පතිවරයා වෙනුවෙන් සහකාර පොලිස්‌ අධිකාරි ලෝරන්ස්‌ අමරසේන පෙනී සිටි අතර මියගිය ලෙස්‌ලි ආනන්දලාල් කිරිබත්ගොඩ වෙනුවෙන් බාල තම්පෝ, සරත් විඡේසිංහ සහ පියසේන දිසානායක යන නීතිඥවරුන් පෙනී සිටියහ. මියගිය සරසවි සිසු කිත්සිරි මෙවන් රණවක වෙනුවෙන් ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය, සරත් විඡේසිංහ, ලසන්ත වික්‍රමතුංග සහ ජනප්‍රිය පේදුරුහේවා යන නීතිඥවරුන් පෙනී සිටියහ. එම මැයි දින සිද්ධිය සියෑසින් දුටු සහ අනතුරුව පැන නැගුණු සියලු සිද්ධි මාලාවන් වාර්තා කළ එකම ජනමාධ්‍යවේදියා වූයේද ලේඛකයාය.

අදාළ පරීක්‌ෂණ කොමිසම දින 30කට ආසන්න කාලයක්‌ රැස්‌වී මැයි දින මරණ පරීක්‌ෂණ සාක්‌ෂි විභාගය පවත්වන ලදී. එම මරණ පරීක්‌ෂණයන්හි සාක්‌කි විභාගයන්ගේ අවසානය වූයේ 1988 මාර්තු 28 වැනිදාය. පරීක්‌ෂණ මාස 9ක්‌ තිස්‌සේ විභාගයට ගත්තේය. සාක්‌ෂි සටහන් පොත පිටු 1,800කි. පරීක්‌ෂණය අවසන් වූයේ 1988 අගෝස්‌තු 2 වැනිදාය. මෙහි තවත් එක්‌ තීරණාත්මක අවස්‌ථාවක්‌ වූයේ සාක්‌ෂි උපුටා දක්‌වමින් නීතිඥ දේශන පැවැත්වීමට විරෝධය දැක්‌වීමය. මැයි දින ඝාතන 2 පිළිබඳව මහාධිකරණ සාක්‌ෂි විභාගය අවසානයේදී මහාධිකරණ විනිසුරු සිල්වා කියා සිටියේ පොලිසිය වෙනුවෙන් සාක්‌ෂි දුන් දහදෙනාගේම සාක්‌කි පිළිගත නොහැකි බවය. එයට හේතුවක්‌ ලෙස මහාධිකරණ විනිසුරු දැක්‌වූයේ පොලිසිය කළබල අවස්‌ථාවේදී කිසිම විටක නාරාහේන්පිට අභයාරාමයට ඇතුළු වූයේ නැතැයි ප්‍රකාශ කළද රජයේ සහකාර රස පරීක්‌ෂකගේ වාර්තා අනුව වෙඩිතබා ඇත්තේ අඩි 10ක පමණ දුරකින් බව තහවුරු වී ඇති බවය. හදිසි නීති රෙගුලාසි අංක 55 වගන්තිය යටතේ මෙම මරණ පරීක්‌ෂණයේ අවසන් නිගමන සහ පරීක්‌ෂණ වාර්තා නීතිපතිවරයාට ඉදිරිපත් කරන ලදී.

ලාංකීය කම්කරු ව්‍යාපාරයේ සම්ප්‍රදායක ගමන්මඟ වෙනස්‌ කළ තීරණාත්මක සිදුවීමක්‌ ලෙස 1987 මැයි දින තහනමට එරෙහිව කළ අරගලය හැඳින්විය හැකිය. ලාංකීය රැඩිකල් භික්‌ෂූහුද, ශිෂ්‍ය ව්‍යාපාරයද, සටන්කාමී කම්කරුවෝද තහනමට එරෙහිව නැගී සිටියහ. මර්දනකාරී එජාප ආණ්‌ඩුවට එරෙහිව ඇරඹූ දෙවන වෙඩිමුරයද එය විය. ඉන් ඇතිවූ උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි ප්‍රබල තරංග මාලාවන් ජන සටනට ගෙන ආවේ නව ජවයකි. කම්කරු පන්තියේ අයිතීන් වෙනුවෙන් සටන්වැද අවසානයේ සිය දිවි පුදකරමින් මිහිකත වැළඳගත් 1940 ජනවාරි 10 ගෝවින්දන්, 1947 ජුනි 5 වී. කන්දසාමි, 1953 අගෝස්‌තු 12 හර්තාලයේදී මාතුපාල, අල්විස්‌, රබෙල්, පියසේන, වික්‍රමසේන, සාදිරිස්‌, නිකලස්‌ සහ පෙරියතම්බි, 1980 ජුනි 5 රජයේ සැපයුම් දෙපාර්තමේන්තුවේ දෙද්දුවගේ සෝමපාල මෙන් 1987 මැයි 1 වැනිදා ඝාතනයට ලක්‌වූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්‌ථාවේ සපුගස්‌කන්ද තෙල් පිරිපහදුවේ ක්‍රියාකැරවුම් අංශයේ ලෙස්‌ලි ආනන්ද කිරිබත්ගොඩ සහ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ තෙවන වසර සිසු කිත්සිරි මෙවන් රණවකද ඉතිහාසයට එක්‌වී හමාරය. 

ධර්මන් වික්‍රමරත්න
http://www.divaina.com/2017/04/30/feature33.html

0 comments: