Pages

Monday, April 10, 2017

කුඩුම්බිගලට ඇයි මෙතරම් කෙණහිළි...

භික්‍ෂූන් වහන්සේලා නැතිනම් මේ වෙනකොටත් අන්‍යාගම් කාරයෝ පන්සල කඩලා කුඩුම්බිගල පදිංචි වෙලා

රජවරු මේව හැදුවෙ අවුරුදු 100 කින් 
පුරාවිද්‍යාවට අයිතිවෙන්න නොවෙයි

බීමට වතුර නෑ; වැසිකිළි පහසුකම් නෑ; හදාගන්න ඉඩක්‌ නෑ

පානම පත්තු වෙන්නේය. වියරු හිරු ගත සිත දහඩියෙන් නාවන්නේය. හමන සුළඟ ද ගිනියම්ය. කුමන වනපෙතට යන ගුරු පාර දිගේ අප රැගත් වෑන් රථය හිමි, හිමින් ඉදිරියට ඇදෙයි. මිනිස්‌ වාස භූමියක්‌ නොපෙනෙන ඝන කැලෑවට ඉහළින් මහා පර්වත කිහිපයක මුදුනත පිහිටා ඇති දාගැබ් සමූහයක්‌ පෙනේ. ඈතින් පෙනෙන ඒ දසුන විඩාබර සිත් නිවා සනහන තරම්ය. අපගේ ගමනාන්තය වී ඇත්තේ ද ඒ මහා ගල් පර්වතවලට මැදි වූ කුඩුම්බිගල නම් ආරණ්‍ය සේනාසනයයි.

සිත් ඇද බැඳ ගන්නා සුළු ගල් පර්වත අතර සිර වූ මගේ සිත මොහොතකට අතීතයට ගියේය. කාවන්තිස්‌ස රජ සමයේ නින්දිමිත්‍ර නම් යෝධයා විසින් මෙම පුදබිම ගොඩනැඟීමට දායකත්වය ගෙන කටයුතු කර ඇති බව ඉතිහාසයේ කියෑවේ. කාවන්තිස්‌ස රජතුමා විසින් මෙම පුදබිම ෙච්තිය නම් විහාරය නමින් ශාසනයට පූජා කර ඇති බව ද ඉතිහාසයේ සඳහන් වේ. මෙම ගල් පර්වත කොටසක්‌ ඈතට කුඩුම්බියක හැඩට දිස්‌ වන නිසා පසුකාලීනව මෙම සෙනසුනට කුඩිම්බිගල යන නම පටබැඳී ඇති බව ද ඉතිහාසයේ සඳහන් වේ. එකල මෙම ආරණ්‍ය සේනාසනයේ දොළොස්‌ දහසකට වැඩි රහතන් වහන්සේලා පිරිසක්‌ වැඩ සිටි බව ද ජනප්‍රවාදයේ පවතී.

අප ගමන් ගත් වෑන් රථය ගොඩනැඟිල්ලක්‌ අසල නතර විය. එතැනින් එහාට වාහනවලට ගමන් කිරීමට නොහැකිය. විසල් ගහ කොළ ඒ භූමියට උඩු වියනකි. සුදෝ සුදු සුමුදු වැලිතලාව ඒ පරිසරයට අමුතුම චමත්කාරයක්‌ එක්‌ කර තිබිණි. යනෙන මඟ ගිනියම්ව තිබුණ ද මේ වන උයන සෞම්‍යය. සියොතුන්ගේ ගීත නාදය ගහ, කොළ නළියන හඬ නොඇසෙන්නට හාත්පසින් වෙන කිසිදු හඬක්‌ නොඇසේ. මේ සොඳුරු වන උයන තුළ දී විඩාබර අපේ සිතට දැනෙන ශාන්තිය කියා නිම කළ නොහැකි තරම්ය.

විටෙක ඉහළට නඟින ගල් පඩිය. තවත් විටක ගස්‌, වැල් අතරින් වැටුණු සුදු වැලි ඇතිරුණු මඟය. ගමන තරමක්‌ දුෂ්කරය. අලි, කොටි, වලසුන් ළඟින මඟෙහි ගමන අවදානම්ය. එහෙත් දුර ගෙවාගෙන ගල් තලාව මත නටබුන්ව පවතින චෛත්‍ය අසලට ගිය විට සිත නිවී සැනහිණි. කැලෑ රොද මැද තනි වූ කුටි ගෙවල්වල සිට දනට වඩින ස්‌වාමීන් වහන්සේලා දැක සිත පහන් විය. එහෙත් කුඩුම්බිගල සේනාසනයේ වර්තමාන නායක ස්‌වාමීන් වහන්සේ වන පැල්වත්තේ බුද්ධවංශ හිමියන් බැහැදැක උන්වහන්සේ සමඟ කතාබහ කරගෙන යන අතරේ පහන් සිත තෝන්තු විය. මෙරට බෞද්ධ ශාසනයේ අනාගතය ගැන විශාල බියක්‌ දැනිණි. මේ අපගේ සිතට බිය ඇතුළු කළ ස්‌වාමීන් වහන්සේ ප්‍රකාශ කළ කතාවය.

"කුඩුම්බිගල තපෝවන ආරණ්‍ය සේනාසනය කියන්නේ ස්‌වාමීන් වහන්සේලා වැඩ වාසය කරන්න කැමති, ප්‍රියමනාප ස්‌ථානයක්‌. මේ වෙන කොට ආරණ්‍ය සේනාසනයේ ස්‌වාමීන් වහන්සේලා පහළොස්‌ නමක්‌ විතර භාවනානු යෝගීව පිළිවෙත් ගුණ පුරනවා. මීටත් වඩා සඟ පිරිසකට වැඩ වාසය කරමින් ගුණ පුරන්නට අවස්‌ථාව තියෙනවා. ඒත් උන්වහන්සේලාට වැඩ වසන්නට කුටි සෙනසුන් පහසුකම් නෑ. වැසිකිළි කැසිකිළි පහසුකම් නෑ. පානීය ජල පහසුකම් නෑ. ඒ පහසුකම් සම්පූර්ණ කරගන්න පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉඩ දෙන්නේ නෑ..."

"යුද්ධය නිසා කැලයට යට වෙලා ජරාවාස වෙච්ච ලෙන් කුටි තිස්‌ පහක්‌ විතර තියෙනවා. පහුගිය කාලේ ඒ කුටි අලුත්වැඩියා කිරීම අපි ආරම්භ කළා. ඒත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වුණා. දැන් අලුත්වැඩියා කරන්න ගත්ත කුටිවල වැඩ අතරමඟ නතර වෙලා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීනුත් මේ ගැටලුවේදී අසරණයි. කිහිපදෙනකුගේ ඕනෑකමට තමයි කුඩුම්බිගලට මේ කෙණහිලි කම් කෙරෙන්නෙ. මේකට මූලිකත්වය අරගෙන ඉන්නේ මේ ආරණ්‍ය සේනාසනයේ දායකයන් වෙලා ඉඳලා අයහපත් ක්‍රියාවන් නිසා ඉවත් කරපු දායක පිරිස්‌. ඔවුන් ඉහළ තලවල ගිහි පැවිදි විවිධ අය සම්බන්ධ කරගෙන දැන් මේ සේනාසනයේ වැඩවලට අකුල් හෙළනවා. ඔවුන්ගේ අරමුණ වෙලා ඇත්තේ ඒ අයට සුදුසු පරිසරයක්‌ මේ සේනාසනය තුළ ගොඩනඟා ගන්න..."

සමහර අවස්‌ථාවලදී පුරාවිද්‍යා නිලධාරීන් ඇවිත් බලලා 'හාමුදුරුවනේ අපිට තේරෙනවා මෙතැන තියෙන ගැටලුව. රටේ අනිත් තැන්වල කෙරෙන විනාශවල හැටියට ඔබවහන්සේලා මෙතැන ආරක්‍ෂා කරගෙන ඉන්නවා. ඒත් විවිධ අය ඇවිත් චෝදනා කරනකොට අපිට රාජකාරිය කරන්න ඕනෑ...' කියලා ඒ මහත්වරු අපිට කියනවා. මොනවාහරි අලුත්වැඩියාවක්‌ කරනවා නම් අවසර ඉල්ලගෙන කරන්න කියලත් කිව්වා. අපි 2013 අවුරුද්දේ ඉඳලා කුටි ගෙවල් අලුත්වැඩියා කරන්න අවසර ඉල්ලනවා තවම ලැබුණේ නෑ. අපි අලුතින් කුටි ඉදිකරන්න අවසර ඉල්ලන්නෙ නෑ. පැවති කටාරම් කෙටූ කුටි ප්‍රතිසංස්‌කරණ කර ගන්න විතරයි. ඒකට අවසර දෙන්නෙත් නෑ. ප්‍රතිසංස්‌කරණය කරන්න පටන් ගත්ත කුටිත් කඩා ඉවත් කරන්න කියලා පුරාවිද්‍යා නිලධාරීන් අපිට බලපෑම් කරනවා. ඒ නිසා මට පොලිසියට යන්නත් සිදු වුණා. ඒක නම් ගැටලුවක්‌ නෑ. මම කියන්නේ කවුරු මොනවා කිව්වත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තියෙන්න ඕනෑ එක නීතියයි. ඒ නීතිය බෞද්ධයටත්, අබෞද්ධයටත් පොදු වෙන්න ඕනෑ...'

"විවිධ පිරිස්‌ මාධ්‍යයට කියන්නේ කුඩුම්බිගල පුරාවස්‌තු සංහාරයක්‌ වෙනවා කියලා. මම වගකීමෙන් කියනවා අඩුම තරමින් මෙතැන තියෙන ගඩොල් කැටයකටවත් අපි හානියක්‌ කරලා නෑ කියලා. 1950 දශකයේ ඉඳලා මේ ස්‌ථානය රැකිලා තියෙන්නේ ස්‌වාමීන් වහන්සේලා වැඩ සිටින නිසා. එහෙම නැති නම් නිධන් හොරු මේ චෛත්‍යය ටික කුඩු කරලා බිම දාලා. අන්‍යාගමිකයන් ඇවිත් පදිංචි වෙලා. එහෙම වුණා නම් අද කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයක්‌ නෑ..." කුඩුම්බිගල නායක හාමුදුරුවො මොහොතකට කතාව නතර කළහ. මම කුඩුම්බිගල සේනාසනයේ අතීතයට ගියෙමි.

අක්‌කර හයසිය හතළිහක්‌ පුරාවට මෙම පුදබිමෙහි විවිධ වූ පුරාවස්‌තූන් විසිර ඇත. මෙම සෙනසුනෙහි පර්වත මස්‌තකයේ දාගැබ් අටක්‌ පමණ තිබූ බවට නටබුන් තිබේ. අතීතයේ සඟරුවනට නිබදවම සෙවණ දුන් කටාරම් කෙටූ ලෙන් සියයකට අධික සංඛ්‍යාවක්‌ ආරණ්‍ය සේනාසනය පුරා දක්‌නට ලැබේ. එක්‌ දාගැබක්‌ ඉන්දියාවේ ධම්මික ස්‌ථූපයට සමානකමක්‌ දක්‌නට ලැබේ. විශ්මයට පත් කර වන තරමේ මහ ගල්ගෙවල් තුළ සුසැදි දිය පිරුණු පොකුණු දක්‌නට තිබේ. මේ සියලු ස්‌ථානවලින් සහ නටබුන්වලින් පසක්‌ වන්නේ අතීතයේ සිටම මේ පුද බිම සඟරුවනට අයිති සහ ශාසනයට පූජා කරන ලද පුද බිමක්‌ බවය. එහෙත් අතීතයේ පැවැති සතුරු උවදුරු, දුර්භික්‌ෂ හේතුවෙන් දිගාමඩුල්ල මිටියාවතම පාළු වී යද්දී කුඩුම්බිගල තපෝවනය ද මහ කැලෙයෙන් සැඟ වී ගියේය. කාලාන්තරයක්‌ එසේ වල් වැදුණු සෙනසුනට 1942 වර්ෂයේදී මෛත්‍රි නම් උපාසක මහත්මයෙකA පැමිණ ඇත. එම උපාසක මහතා කතෝලිකයෙක්‌ව ඉපිද පසුකාලීනව බුදු දහම වැළඳගත්තෙකි. පසුව ඔහු කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාවනා යෝගීව කල් ගෙවා ඇත. ඒ අතර පානම ගම්වාසීන් විසින් වරින් වර මේ සේනාසනයට ස්‌වාමීන් වහන්සේලා වඩම්මවා ඇත. එහෙත් ජරාවාස වූ සේනාසනයේ වැඩ විසීම අසීරු නිසා එම ස්‌වාමීන් වහන්සේලා දීර්ඝ කාලීනව සේනාසනයේ වැඩ වාසය කර නැත. අනතුරුව 1954 අවුරුද්දේ දී තාබූගල ආනන්ද ස්‌ථවිරයන් වහන්සේ කුඩුම්බිගල සෙනසුනට පැමිණීමත් සමඟ නැවත එම ආරණ්‍ය සේනාසනයට ජීවය ලැබෙන්නට පටන් ගත්තේය. 

ඈත අතීතයේ භික්‍ෂුන් වහන්සේලා වැඩම කර සිටි, පසුකාලීනව කාලයා විසින් ජරාවාසයට පත් කරන ලද ලෙන් කුටි නැවතත් කළුගල් සහ මැටි යොදා සකස්‌ කරමින් හුණු බදාමයෙන් පිරියම් කෙරිණි. තාබූගල ස්‌ථවිරයන් ප්‍රදේශවාසීන් එකතු කරගනිමින් චෛත්‍ය සංවර්ධන සභාව පිහිටුවා ආධාර එක්‌රැස්‌ කරගෙන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට එම මුදල් ලබාදී මෙම පුදබිමේ පිහිටි දාගැබ් ප්‍රතිසංස්‌කරණය කරන්නට විය. එකී සංවර්ධනයත් සමඟ නැවත කුඩුම්බිගල ආරණ්‍ය සෙනසුන ධර්මය බෙදාහරින පින්බිමක්‌ බවට පත් විය. 1985 අවුරුද්ද වන විට ස්‌වාමීන් වහන්සේලා තිස්‌පස්‌ නමක්‌ ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරුනු ලැබිණි. අලි, කොටි, වලසුන්ගේ ගෙරවිලි, එරවිලි මැද භාවනා යෝගීව සිටින හිමිවරුන්ටත් ම්ලේච්ඡ කොටි ත්‍රස්‌තවාදීහු තාඩන, පීඩන එල්ල කළහ. ආරණ්‍ය සේනාසනයෙන් බැහැරට යන ලෙසට තාබූගල නායක හිමියන්ට කිහිප විටක්‌ම එල්.ටී.ටී.ඊ.ය පැමිණ තර්ජනය කළේය. පසුව 1989 වර්ෂයේදී තාබූගල නායක හිමියන් ඇතුළු මෙම ස්‌ථානයේ වැඩ වාසය කළ හිමිවරු විශාල පිරිසක්‌ මොනරාගල ගල්ගෙඩිවල තපෝවනයට වැඩම කළහ. පස්‌ නමක්‌ මෙම ආරණ්‍ය සේනාසනයේ රැඳී සිටියහ. එහෙත් උන්වහන්සේලාට නිදහසේ බණ, භාවනා කටයුතු කරගෙන යැමට ත්‍රස්‌තවාදීන්ගෙන් ඉඩක්‌ නොලැබිණි. දිගින්, දිගටම එල්.ටී.ටී.ඊ. තර්ජන කරන විට ඉතිරි හිමිවරුන් තිදෙනා ද සෙනසුන අතහැර ගොස්‌ පානම සිට මෙම පුදබිම රැකගැනීමට මහත් වෙහසක්‌ ගත්තහ. එතැන් සිට කොටි ත්‍රස්‌තයෝ සෙනසුනේ පුරාවස්‌තු සංහාරය පටන් ගත්තාහ. චෛත්‍ය විනාශ කරමින් නිධන්ගත මුතු, මැණික්‌ රත්‍රං ආදී වටිනා දෑ කොල්ලකෑහ. කුටි, ලෙන් කඩා බිද දමමින්, පුදබිමෙහි පැවති පුස්‌තකාලය ද ගිනි බත් කළහ. ගල්ගෙඩිවල තපෝවනයට වැඩම කළ තාබූගල හිමියන් පාපතරයන් පිරිසක්‌ විසින් වෙඩි තබා ඝාතනය කළහ. උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු කුඩුම්බිගල සෙනසුනෙහි භාරකාරිත්වය පැවරුණේ ගම්පහ සිව්රළුමුල්ලේ ධම්මසිරි ස්‌වාමීන් වහන්සේටය. එහෙත් උන්වහන්සේට මේ පුදබිමේ ස්‌ථාවරව වැඩ වාසය කිරීමට ත්‍රස්‌තවාදීන්ගෙන් ඉඩක්‌ නොලැබිණි. විටින් විට උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයට පැමිණ මෙම ස්‌ථානය ගැන සොයා බලා පහළට වැඩම කළහ.

2009 අවුරුද්දේදී කොටි ත්‍රස්‌තවාදය මේ බිමෙන් අතු ගා දැමීමත් සමඟ අඳුරෙන් වැසී තිබූ උතුරු නැගෙනහිරට අරුණැලි වැටිණි. ඒ ආලෝකයෙන් කුඩුම්බිගල සෙනසුන ද බැබළිණි. තාබූගල හිමියන් ආරම්භ කළ සංවර්ධන ක්‍රියාදාමය සිව්රළුමුල්ලේ ධම්මසිරි ස්‌වාමීන් වහන්සේ ද එලෙසින්ම ක්‍රියාත්මක කළහ. නැවතත් කුඩුම්බිගල සෙනසුන ස්‌වාමීන් වහන්සේලාගෙන් පිරී ගියහ. නිබඳවම මේ ඓතිහාසික පින්බිම දෙස්‌, විදෙස්‌ බෞද්ධ, අබෞද්ධ ජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වූහ. 2011 වර්ෂයේදී සිවුරළුමුල්ලේ ධම්මසිරි හිමියන් අපවත්වීමත් සමඟ කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ භාරකාරත්වය පැල්වත්තේ බුද්ධවංශ හිමියන්ට පැවරුණහ. මෙම ආරණ්‍ය සේනාසනය මතු සඟ පරපුරට ද උරුම කරදීමට බුද්ධවංශ හිමියන් අපරිමිත කැප කිරීමකින් වැඩ කරගෙන යන්නාහ. එහෙත් උන්වහන්සේට සිදුව ඇත්තේ ආරණ්‍ය සේනාසනය ආරක්‍ෂා කරගැනීමට වැඩි කාලයක්‌ පොලිසිවල රස්‌තියාදු වීමටය. නීතියේ පිහිට පැතීමටය.

"ඉංග්‍රීසීන් මේ රට යටත් කර ගත්ත දවසේ ඉඳලා සිංහල මිනිස්‌සු ඉංගී්‍රසීන්ට විරුද්ධව කැරැලි ගැහුවා. ඒ හැම කැරැල්ලකදීම ස්‌වාමීන් වහන්සේලා නායකත්වය ගෙන කැප වෙලා ක්‍රියා කළා. ඒ නිසා ඉංග්‍රීසීන් ස්‌වාමීන් වහන්සේලා සමඟ වෛර බැඳගත්තා. මේ රටේ ස්‌වාමීන් වහන්සේලා ඉන්න තුරු නිදහසේ වැඩක්‌ කරන්න බෑ කියලා සුද්දන්ට තේරුණා. ඒ නිසා ස්‌වාමීන් වහන්සේලාව නිහඬ කරන්න සුද්දෝ විවිධ උපක්‍රම යෙදුවා. ඒ එකක්‌වත් හරි ගියෙ නැති තැන වනවාසීව ජීවත් වන ස්‌වාමීන් වහන්සේලාට කැලය තහනම් කිරීමත්, බුද්ධ ශාසනය නැති කිරීමත් අරමුණු කරගෙන, ඉංග්‍රීසී ආණ්‌ඩුව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කළා. වනසංරක්‍ෂණ නීතියට අනුව ස්‌වාමීන් වහන්සේලාට කැලය තහනම් වුණා. පුරාවිද්‍යා නීතියට අනුව අවුරුදු සීයකට වැඩි වෙහෙර විහාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පත් වුණා. යාල, කුමන, විල්පත්තුව අභය භූමිවල වගේම අපේ රටේ බොහෝ වනාන්තරවල තියෙන්නේ බෞද්ධ වෙහෙර විහාර. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවලා ඒ සේරම කැලයෙන් යට කළා. ඊට පස්‌සේ නටබුqන් වෙච්ච වෙහෙර විහාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට අරගෙන ස්‌වාමීන් වහන්සේලාට අයිතියක්‌ කියන්න බැරි විදිහට සමාජගත කරනවා..."

"රජවරු, මුතුන් මිත්තො මේ වෙහෙර, විහාර ඉදිකරලා ශාසනයට පූජා කරලා තියෙන්නෙ අවුරුදු සීයකින් පුරාවිද්‍යාවට අයිති වෙන්න නෙමෙයි. ශාසනය තිබෙන තුරු, ඉර හඳ පවතින තුරු සංඝයාට පූජා කරනවා කියන වාක්‍යය ප්‍රකාශ කරලා ශාසනයේ අභිවෘද්ධිය සඳහා. ඒ වෙහෙර විහාර අවුරුදු සියයකින් සංඝයාගෙන් උදුරාගන්නවා කියන්නේ එක සම්පූර්ණයෙන්ම සංඝයා වහන්සේලාට කරන අසාධාරණයක්‌. ඒ වගේම ඒ ඇත්තෝ රැස්‌ කරගන්න බරපතල අකුසල කර්මයක්‌. ඒ නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළ සේවකයාත් සංඝයා වහන්සේලාට හිරිහැරයක්‌ නොවෙන විදිහට වැඩ කරන්න වග බලා ගන්න ඕනා. බෞද්ධ භික්‍ෂුවගේ උරුමය ලබාදෙන්න කටයුතු කරන්න ඕනා. භික්‍ෂූන් වහන්සේලා බොහෝම වගකීමෙන් ඒ උරුමය අනාගත පරපුරට සුරක්‍ෂිත කරලා දෙයි..." බුද්ධවංශ ස්‌වාමීන් වහන්සේ තව බොහෝ දේ අපට පැහැදිළි කළහ. ඒ සියලුම කරුණු මේ ලිපියට බර වැඩිය. එහෙත් මේ වචන ටික සඳහන් කළ යුතුමය.

කුඩුම්බිගල තපෝවන සෙනසුනේ ස්‌වාමීන් වහන්සේලාගේ ඉල්ලීම් අතිශය මානුෂීයයි. කෑම නැතුව සතියක්‌ සිටියද, වතුර නොබී දවස්‌ දෙක, තුනකට වඩා සිටිය නොහැක. එමෙන්ම කුඩුම්බිගල සේනාසනයේ භාවනානුයෝගීව පිළිවෙත් පුරන්නේ රහත් තෙරුන් වහන්සේලා නොවේ. නුහුපුන් භික්‍ෂූන් වහන්සේලාය. එවැනි ස්‌වාමීන් වහන්සේලාට දොරක්‌, ජනේලයක්‌ නැති කුටියක්‌ තුළ හිතක්‌ දියුණු කිරීම අසීරුය. සේනාසන සප්පාය බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තාහ. එහෙත් වන සතුන්ගෙන් ආරක්‍ෂා වීමටත්, නිදහසේ භාවනායෝගීව වැඩ සිටීමත්, කුඩුම්බිගල සේනාසනයේ කුටියක්‌ අලුත්වැඩියා කිරීම පුරාවිද්‍යා නීතියට අනුව අකැපය. වනවාසී ස්‌වාමීන් වහන්සේලාට පිපාසය නිවාගැනීමට ජල බිඳක්‌ නොමැතිව අපවත් වුවද පුරාවිද්‍යා නීතියට අනුව ඒ බිමේ ළිං කැපීම සපුරා තහනම්ය. පුරාවිද්‍යා ඔස්‌තාර්ලාගේ අදහසට අනුව කුඩුම්බිගල ඓතිහසික භූමිය කොන්ක්‍රීට්‌ වනාන්තරයක්‌ කිරීම ශාසනයට හානියකි. එසේ නම් මුහුදු මහා විහාරයට අයත් අක්‌කර හත්සීයක භූමියෙන් අක්‌කර දෙකක්‌ ඉතිරි වන්නට සෙසු බිම අන්‍ය ආගමිකයන් විසින් අල්ලා ගන්නා තෙක්‌ පුරාවිද්‍යාව නිදිය. කුච්චවේලි නටබුන් තලාව මත පුරාවිද්‍යා භූමියෙහි ඉන්ධන පිරවුම්හලක්‌ ඉදිවනුයේ ද, කූරගල ඓතිහාසික ගල්ලෙන් තුළ ඉතිහාසය ද විකෘති කර නීතිවිරෝධී අබෞද්ධ ඉදිකිරීම් කරමින් සිදු කරනුයේ ද, සෙම්බුමලේ යාපනේ කදුරුගොඩ, දෙවනගල ආදී බෞද්ධ ස්‌ථානයන්හි සිදුවන ඉදිකිරීම් පිළිබඳ පුරාවිද්‍යා ආඥා පනත ක්‍රියාත්මක කොට ගැනීමටවත්, නොහැකිව හැකිළුණු පිළිවෙතක්‌ අනුගමනය කිරීම ජාතියේ අවාසනාවකි.

තව වසර සීයක්‌ යන විට මෙරට සියලු බෞද්ධ වෙහෙර විහාර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පත් වේ. පසුව එම වෙහෙර, විහාර අන්‍ය ආගමිකයන් විසින් කඩා බිඳ දමා ඉඩම් කොල්ලකා ගැනීමට ඉඩ තිබේ. එහෙත් සුද්දාගේ නීතියට යටත් පරගැති ජාතියක්‌ ලෙස ඒ සියලු කෙණෙහිලිකම් විඳ දරාගෙන ගෝත්‍රික ජන කොටසක්‌ ලෙස මුළු ගැන්වී සිටියද, එයද අරුමයක්‌ නොවේ. පෙළගැසෙන කතාව පැහැදිළි කර දෙන යාථාර්ථය එයයි.

තරංග රත්නවීර, ඡායාරූප සුසන්ත අමරබන්දු
http://www.divaina.com/2017/04/09/feature01.html

0 comments: