Pages

Sunday, April 23, 2017

හිටපු බුද්ධි ප්‍රධානී හෙන්ද්‍රවිතාරණ ගෙනුත් ප්‍රශ්න කරයි. රටම කිරිබත් කද්දී විරුවෝ සිරබත් කති!

පංචායත් සභාව හෙවත් ග්‍රාම සභාව යනු ඉන්දීය ජන සමාජයේ නූගත් ගැමි ජනතාව අතර ඇතිවන ආරවුල් විසඳීම සඳහා ගැමියන් විසින්ම නිර්මාණය කරගත් ප්‍රාථමික ක්‍රමවේදයකි. මෙහිදී පංචායත් සභාවේ ප්‍රධානියා ලෙස කටයුතු කරනුයේ ඇතැම් විට සියලු ගැමියන් යටකරගෙන නැගී සිටින ගමේ චණ්‌ඩියෙකි.

එසේත් නැතහොත් ගමේම සිටින ධනකුවේරයා හෝ ගොඩ මඩ ඉඩකඩම් යහමින් ඇති ගැමියන්ගේ අගහිඟකම්වලදී සොච්චමක්‌ විසිකරමින් කටයුතු කරන කුලීනයෝ පංචායත් ප්‍රධානීහු වෙති. එසේ පත්වන පංචායත් ප්‍රධානියා හඳුන්වන්නේ තලෛවර් යන නමිනි.

තලෛවර් පාරේ යන්නේ නම් ඉදිරියට එන ගැමියා දෙකට නැමී ඔහුට ආචාර කළ යුතුය. ඔහුගේ බලපරාක්‍රමය ඒ තරමටම ඉහළය. ගැමියන්ගේ නඩු විසඳන්නේ ඔහුය. එහිදී ඇතැම් අවස්‌ථාවල කබරගොයා තලගොයා කරන්නටද තලෛවර්ට පුළුවන. කුමක්‌ වුවත් ඔහුගේ තීන්දුව හිස නමා පිළි ගන්නට මෝඩ ගැමියෝ සැදී පැහැදී සිටින්නාහ.

ඒ නඩු විසඳීම ද හරිම අපූරුය. ඊට උදාහරණයක්‌ ලෙස වර්තමානයේ අපේ රහස්‌ පොලිසිය හමුදා බුද්ධි අංශ සම්බන්ධයෙන් විමර්ශන කරන අන්දම පෙන්වා දිය හැකිය. ඇත්තෙන්ම මේ මොහොතේ මෙසේ කොහේවත් තිබෙන පංචායත් සභාවක්‌ අපේ කල්පනාවට ආවේද යහපාලනයත් සමඟ විවිධ විමර්ශන ඇරඹූ සීඅයිඩීයේ තලෛවර්ලා අද කරමින් සිටින වැඩ නිසාය.

ගැමියන් අතරේ ආරාවුලක්‌ වූ විට තලෛවර් පංචායත් සභාව කැඳවන්නේය. එහිදී විත්තියත්, පැමිණිල්ලත් පමණක්‌ නොව දෙපාර්ශ්වයේ සාක්‍ෂිකරුවෝද එකවර සභාව මැදට කැඳවා හේ නඩුව අසන්නේaය. අවසානයේ තලෛවර්ට ඕනෑ තීන්දුව ඔහු ලබා දෙන්නේය. 

අද බුද්ධි අංශවලට එරෙහිව විමර්ශන සිදු කරන පොලිස්‌ විමර්ශකයනුත් කරමින් සිටින්නේ මේ කටයුත්තම නොවේද? මේවා දෙස විමසීමෙන් බැලීමේදී නම් අපට නිකමට වගේ සිතෙන්නේ ඒ තලෛවර්ලාටත්, මේ තලෛවර්ලාටත් අමතරව කොටි ඩයස්‌පෝරාවේ තලෛවර්ලාත් මෙකී විමර්ශන පසුපස සිටින්නේ යෑයි යන්නය.

ප්‍රගීත් එක්‌නැලිගොඩ, මාධ්‍යවේදීන් වන ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට, කීත් නොයාර්ට හා නාමල් පෙරේරාට පහරදීම ආදිය පමණක්‌ නොව වැල්ලවත්තේදී තරුණයන් පැහැරගැනීම යනාදී ලෙසින් මේ වන විට කෙරෙමින් තිබෙන විමර්ශන සියල්ලම ගෙන බැලුවද සිදු වෙමින් තිබෙන දේ අන්තිම මස්‌තබාල්දුය. බලු නොවටින්නේය.

තලෛවර් තීන්දුව දෙද්දී නූගත් ගැමියෝ නම් හිස නමා එය පිළිගනිමින් නිහඬ වන්නාහ. එහෙත් සාක්‍ෂි ඇතත් නැතත් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර හිරේ විලංගුවේ දැමූ බුද්ධි අංශ රණවිරුවන් රැඳවුම් නියෝග මත සිටියදී ඔවුන්ගෙන් තුන්වේලටම ප්‍රයිඩ් රයිස්‌ හා බුරියානි ගිල්ල තලෛවර්ලා එසේ කරද්දී ඒ තුප්පහි වැඩ සියල්ල රටට හෙළි කරනු මිස මෝඩ ගැමියන් සේ නිහඬ වන්නට "දිවයින"ට නම් නොහැකිය. 

මේ තුට්‌ටුදෙකේ වැඩ කරන අය සේම නූතන යහපාලනයේ සියලු තලෛවර්ලාද ඒ බව අවබෝධ කරගත යුතුය. මෙසේ විමර්ශන සිදු කරන අපේ පොලිස්‌ විමර්ශකයෝ ඉකුත් සතියේද තවත් අපූරු දෙයක්‌ සිදු කළේය. ඒ පසුගිය යුද සමයේ වේලු පිල්ලේ ප්‍රභාකරන්ට එරෙහි සටනේ මහ මොළකරුවන් තිදෙනකු වූ හමුදා ප්‍රධානීන් තුන්දෙනකු එකවර සීඅයිඩීSයට කැඳවා ප්‍රශ්නා කිරීමය.

එසේ කැඳවන ලද හමුදා ප්‍රධානීන් වූයේ යුද සමයේ ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානීව සිටි එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් කුමා හේරත් සහ බස්‌නාහිර පළාත් ආඥපතිව සිටි මේජර් ජෙනරාල් මනෝ පෙරේරා නිලධාරීන්ය.

මේ වීරයන් කැඳවා ප්‍රශ්න කළ ඔවුහු එතනින් නතර නොවූහ. මහා වීරකමක්‌ කළ සේ ලසන්ත ඝාතනය ගැන පැය පහක්‌ ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ යෑයි කියමින් ඒ බව මාධ්‍යයටද දැනුම් දී තිබිණ. එහෙත් මේ වීරයන් කැඳවූ බව දැනගත් මොහොතේ අපට නම් සිතුනේ ඇත්තටම එසේ කළ වුන්ට පිස්‌සුද කියාය.

එම නිලධාරීන් කැඳවා පැය පහක්‌ තිස්‌සේ සිදු කළ ප්‍රශ්න කිරීමේදී රහස්‌ පොලිසියේ ෂර්ලොක්‌ හෝම්ස්‌ලා කර තිබුණේ කුමක්‌ද? මේ හමුදා ප්‍රධානීන් අතරින් ඇතැම් නිලධාරීන්ව වෙන් වෙන් වශයෙන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට මීට පෙර පොලිසිය කටයුතු කර තිබිණි.

එසේ තිබියදී එදා මේ නිලධාරීන් තිදෙනාව එකවර කැඳවූ ඔවුන් සිදු කර තිබුණේ තිදෙනාම එකම තැනක තබා "ඔයා ගැන අරයා කිව්වා.. මෙයා ගැන එයා කිව්වා.." ආදී ලෙසින් එම වීරයන් තිදෙනාව එකිනෙකාට පාවා දීමය. මෙකී පාවා දීම වරක්‌ ජාතික බුද්ධි සේවාවේ ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රdවිතාරණ සහ අවසන් සටන සමයේ යුද හමුදා බුද්ධි ප්‍රධානියාව සිටි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර අතරද සිදු කර තිබිණි.

එසේම මේ දක්‌වා රහස්‌ පොලිස්‌ ප්‍රශ්න කිරීම්වලට ලක්‌වූ සියලුම බුද්ධි අංශ නිලධාරීන් අතරද එය ක්‍රියාවට නංවා තිබිණි. එසේ එකිනෙකාට පාවා දීමේදී එම නිලධාරීන් බේද බින්න වී තමන්ට අවශ්‍ය දේ ප්‍රකාශ කරතැයි යන්න මෙහිදී විමර්ශකයන්ගේ අදහස වූවා විය හැකිය. එහෙත් එකී මෝඩ අදහස හමුවේ ඔවුන් විමර්ශනයක සිර වී මේ කරන්නට හදන්නේ රටේ හමුදා බුද්ධි අංශ බේද කිරීමට උත්සාහ ගැනීමය. මෙහි ඇති බරපතළම කාරණාව එය වන්නේය.

අනෙක්‌ අතට එකී උත්සාහය මෝඩ තකතීරු එකකැයි අප කියන්නේ මනා පුහුණුවක්‌ ලද, යුද්ධයක්‌ ජය ගැනීමෙදී සතුරා අන්දමන්ද කරමින් මෙහෙයුම් සිදු කළා වූ හමුදාවක සිටින බුද්ධි අංශ සොල්දාදුවන් එකිනෙකාට කොටවා තොරතුරු ලබා ගැනීමට හැකියෑයි මොවුන් කල්පනා කළේ නම් ඊට වඩා මොන්ටිසෝරි වැඩක්‌ ලොවෙත් නැති නිසාය.

මේ ක්‍රමය කෝපි කඩේ ටෙලියේ සිටි අබිලිංන්ට නම් ගැලපෙන්නේය. එහෙත් රටේ පොලිසියේ සිටින රහස්‌ පොලිස්‌ විමර්ශකයන් මෙසේ අබිලිංලා වන්නට ගිය කළ පොලිසියට පමණක්‌ නොව, රටටත් රටේ ජාතික ආරක්‍ෂාවටත් සිදු වන්නේ කුමක්‌දැයි කල්පනා කර බලන ලෙස අප මෙහිදී කියන්නේ පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතාටය. 

මේ ආකාරයට හිටපු හමුදා ප්‍රධානීන් වන එයාර් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා, ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂව සිටි මේජර් ජෙනරාල් කුමා හේරත් සහ බස්‌නාහිර ආඥපතිව සිටි මේජර් ජෙනරාල් මනෝ පෙරේරා යන නිලධාරීන්ව ගෙන්වා ඉකුත් සතියේ ඔවුන්ගෙන් ප්‍රශ්න කළ සීඅයිඩී විමර්ශකයන් මේජර් ජෙනරාල් කුමා හේරත් මීට මාස දෙකකට පමණ ඉහතදී රහස්‌ පොලිසියට පැමිණ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධව කළ පැමිණිල්ල ගැන නම් මේ දක්‌වා විමර්ශනයක්‌ කළ බවක්‌ දැන ගැනීමට නැත.

දැනට කරන සියලුම විමර්ශනවලදී සෑම නඩු වාරයකදීම අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටින යුද සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් තවත් ටිකක්‌ සිර කරන්නට හැකි වන පරිදි කුමක්‌ හෝ බී වාර්තාවක්‌ අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ඔවුන් මේජර් ජෙනරාල් කුමා හේරත්ගේ පැමිණිල්ල පිළිබඳ සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් අධිකරණයට මේ දක්‌වා කිසිවක්‌ම දැනුම් දුන් බවක්‌ නම් දැන ගැනීමට නැත.

එසේ වන්නේ කුමක්‌ නිසාද? මේජර් ජෙනරාල් කුමා හේරත් එවකට සිටි ඒකාබද්ධ මෙහෙයුම් අධ්‍යක්‍ෂවරයා වශයෙන් රහස්‌ පොලිසියට ගොස්‌ ලසන්ත ඝාතනය ගැන කරන ලද පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන කරන්නට ගියහොත් එකී ඝාතනයේ අලගිය මුල ගිය සියලු තැන් එළියට ඒමට ඉඩ තිබීම මේ අතපසු වීමට හේතුව වී තිබේද?

කිසිදු ලඡ්ජාවක්‌ නැතිවම රහස්‌ විමර්ශනයකට කිසිසේත්ම නොගැලපෙන පරිදි ප්‍රකාශ ලබා දෙන පුද්ගලයන් එකිනෙකාට පාවා දෙමින් මේ අන්දමට අබිලිං න්‍යායෙන් සිදු කෙරෙන විමර්ශන හමුවේ දැනට යුද සහ නාවික හමුදා බුද්ධි අංශ රණවිරුවන් නව දෙනකුම රක්‍ෂිත බන්ධනාගාරගතව සිටින්නාහ. පසුගියදා රටම අවුරුදු කද්දී ජනතාවට රට දිනා දෙන්නට කැපවූ ඔවුහු මේ උදා වූ නව වසරේදී කිරිබත් වෙනුවට කෑවේ සිරබත්ය.

ඒ අනුව බලන කල අප රටක්‌ සහ ජාතියක්‌ වශයෙන් සිටිනුයේ මොනතරම් නින්දාසහගත තැනකද? මේ විරුවන්ගේ දරුවනට දකින්නට පසුගිය කාලයේදීද නව වසරක්‌ උදා වෙද්දී තාත්තා ගෙදර සිටියේ නැත. එයම අදත් සිදුවී ඇත. එය මොනතරම් අසාධාරණයක්‌ද?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වරක්‌ ප්‍රසිද්ධියේම රටට කී ලෙස යමක්‌ පිළිබඳ විමර්ශනයක්‌ සිදු කෙරෙන්නේ නම් කිසිවකුත් දිගින් දිගටම සිරගත නොකොට ඔවුනට ඇප ලබා දී කරන විමර්ශන ඉදිරියට කරගෙන යන්නට නොහැකිව ඇත්තේ කුමක්‌ නිසාද?

ත්‍රිකුණාමලය නාවික හමුදා බුද්ධි අංශ ප්‍රධානියාව සිටි කමාණ්‌ඩර් සුමිත් රණසිංහ තවමත් බන්ධනාගාරයේය. බස්‌නාහිර නාවික බුද්ධි ප්‍රධානියකු ලෙස සිටි ලුතිනන් කමාණ්‌ඩර් අනිල් මාපාත් බන්ධනාගාරයේය. එසේම කීත් නොයාර්ට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන එයට ඇප ලැබෙද්දී මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට පහර දුන් බවට චෝදනා එල්ල කර එයටත් ඇප ලැබෙද්දී මාධ්‍යවේදී නාමල් පෙරේරාට පහර දුන්නේ යෑයි චෝදනා එල්ල කළ මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ විරුවන් හය දෙනා තවම ඉන්නේද සිරගතවය.

මේ සියලු දෙනාටම පොලිස්‌ විමර්ශන හමුවේ පැහැදිලි අසාධාරණයක්‌ වෙමින් තිබෙන බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබෙන්නකි. මෙහිදී මේජර් බුලත්වත්ත ඇතුළු යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ විරුවන් හය දෙනාට සිදුව ඇත්තේ අමුතුම දෙයකි.

ඔවුන්ව මුලින්ම අත්අඩංගුවට ගත්තේ මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීමේ සිද්ධියටය. එම චෝදනාවට අදාළ නඩුව ගල්කිස්‌ස අධිකරණයේ විභාග වෙමින් තිබියදී අවස්‌ථා තුනකදීම කීත් නොයාර්, බුලත්වත්ත ඇතුළු පිරිස හඳුනාගැනීමට අධිකරණයට නොපැමිණි නිසා ඔවුන්ට අධිකරණයෙන් ඇප ලබා දුනි. 

එහෙත් එසේ ඇප ලබා දෙන දිනයේම විමර්ශකයන් අධිකරණයට කීවේ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් මහතාට පහර දීමේ සිද්ධියටද ඔවුන් සම්බන්ධ බවය. ඒ අනුව එකී නඩුව විභාග වන ගම්පහ අධිකරණයට මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස ඉදිරිපත් කෙරිණි. එම චෝදනාවට අනුව ඔවුන්ට ඇප ලබා දෙන්නට ගම්පහ අධිකරණයද තීරණය කළේය.

එහෙත් එසේ ඇප හිමිවීමට හරියටම දිනක්‌ තිබියදී සිදු වූයේ කුමක්‌ද? මාධ්‍ය වේදී නාමල් පෙරේරාට පහර දීමේ සිද්ධියට මේජර් බුලත්වත්ත ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් සැකයෑයි පවසමින් කොළඹ අපරාධ කොට්‌ඨාශය අලුත්කඩේ අධිකරණයට කළ කරුණු දැක්‌වීමකට අනුව ඔවුන්ව අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එහිදී පැවති හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී එක්‌ අවස්‌ථාවක අධිකරණයට පැමිණි මාධ්‍යවේදී නාමල් පෙරේරා මේ පිරිස අතරින් එක්‌ අයකු තමන්ට පහර දුන් දිනයේ එම පිරිස පැමිණි වාහනය පදවාගෙන ආ රියෑදුරා ලෙසත් තවත් අයකු තමන්ට පහර දුන් කණ්‌ඩායමේ අයකු ලෙසත් හඳුනාගනු ලැබීය.

ඒ වන විට මේජර් බුලත්වත්තගේ ඡායාරූපය විද්යුත් මාධ්‍ය මගින් පළ වී තිබූ නිසා ඔහුව මේ හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවට ඉදිරිපත් නොකෙරිණි. කෙසේ වෙතත් මේ හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවේදී වැරදුණේ නාමල් පෙරේරාටද නැතහොත් පොලිසියටදැයි අපි නොදන්නෙමු.

එහෙත් තමන්ට පහරදුන් දිනයේ වාහනය පදවාගෙන ආ පුද්ගලයා ලෙස නාමල් පෙරේරා හඳුනාගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා යනු යුද හමුදා තබා අඩුම තරමේ සිවිල් රියෑදුරු බලපත්‍රයක්‌වත් නැති කිසිසේත්ම රිය පැදවීමේ හැකියාවද නොමැති අයකු විය. එසේම තමන්ට පහර දුන් පිරිසේ අයකු ලෙස නාමල් පෙරේරා හඳුනාගනු ලැබුවේ එකී සිද්ධිය වූ දිනයේ නීත්‍යානුකූලව යුද හමුදාවෙන් නිවාඩු ලබා නිවසට ගොස්‌ සිටි බුද්ධි අංශ නිලධාරියෙකි. 

අපි ඉන් එහා ඒ ගැන කිසිත් නොකියමු. මන්ද එකී හඳුනා ගැනීමේ ඇති හරි වැරැද්ද ඉදිරියේදී අධිකරණය මගින් තීරණය කරනු ඇති නිසාය. කෙසේ වෙතත් එකී හඳුනාගැනීමේ පෙරෙට්‌ටුවෙන් පසු අදටත් මේජර් බුලත්වත්ත ඇතුළු පිරිස සිටිනුයේ බන්ධනාගාරගතවය. අද හමුදා බුද්ධි අංශවලට එරෙහිව සිදු කෙරෙන සියලු පොලිස්‌ විමර්ශන ඇත්තේ මේ අන්දමට හතරබීරි කතාන්දර තුළ සිරවීය. ඉතින් මේවා සියල්ල නූගත් ගැමි ගැටලු විසඳන පංචායත් සභාවේ සිටින තලෛවර්ගේ තීන්දු ආකාරයේ ඒවා යෑයි කියනු හැර අප වෙන කුමක්‌ කියන්නද?

එහෙත් පොලිසියේ තලෛවර්ලා අද මෙසේ බුද්ධි අංශ දඩයමක යෙදෙමින් සිටිද්දී එය නතර කරන්නටද කිසිවකුත් නැත. වත්මන් යහපාලනය තුළ එසේ කරන්නට කෙනෙකු වේ නම් සිටින එකම පුද්ගලයා වන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. එහෙයින් අප ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ පොලිසියේ මෙකී තලෛවර් විමර්ශන නතර කරන්නට යෑයි කියාය. මන්ද මේ තුට්‌ටු දෙකේ විමර්ශනවලින් ඔවුන් අද පහර දෙමින් සිටින්නේ රට රැක ගත් බුද්ධි අංශ රණවිරුවන්ට පමණක්‌ නොව, මේවාට මුවා වී කාගේ හෝ වුවමනාවකට මේ මොහොතේ ඔවුහු හමුදාවද බේද බින්න කිරීමට සැරසෙමින් ජාතික ආරක්‍ෂාවට මාරාන්තික ප්‍රහාරයක්‌ එල්ල කරමින් සිටින්නාහ.

සමන් ගමගේ
http://www.divaina.com/2017/04/23/feature41.html

Pic Source

0 comments: