Pages

Monday, September 9, 2013

ජාන සොරකම දුම්බර වනපෙතින් ශ්‍රී පාද අඩවියට!


රටට උරුම ජාන සම්පත් මංකොල්ලය අනෙකුත් හොර, මැර, දූෂණ සේම පෙරට පැමිණ තිබේ. මෙරටට පමණක්‌ම ඒකදේශික වඳවී යැමේ තර්ජනයට ලක්‌වූ ශාක සහ සතුන්ගේ ජාන සම්පත් සොරාගෙන ගොස්‌ විදේශයන්හිදී මෙම දුලබ ජීවීන් අභිජනනය, ඖෂධ නිෂ්පාදනය ඇතුළු "බිලියන ගනුදෙනු" මගින් පොහොසත් වීම මෙම ජාන සම්පත් මංකොල්ලයේ අවසාන අරමුණයි. ආරම්භයේ දී මේ පිටුපස සිටි බහුතරයම විදේශික යෝය. ඇමෙරිකාව, ජපානය ඇතුළු රටවල් අපේ රටේ කොතල හිඹුටු ශාකයේ රසායනික සංයුතියට පේටන්ට්‌ බලපත්‍රය ලබාගැනීම ඊට කදිම නිදසුනකි. අවස්‌ථා ගණනාවකදී මෙසේ කොතල හිඹුටු ශාකයේ කොටස්‌, කජු දර ලෙස ව්‍යාජ අන්දමින් රට පටවන්නට ගොස්‌ කන්ටේනර්Êපිටින් රේගුවේ අත්අඩංගුවට පත්වූ අවස්‌ථා ගැන වාර්තා පළ විය. එසේම දුලබ ශාක හා සතුන්ගේ ඩී.එන්.ඒ. සාම්පල, සජීවී නිදර්ශක, අජීවී නිදර්ශක යනාදී ජීවී කොටස්‌ 

රැගෙන යැමට සැරසුණු විදේශික ආචාර්ය මහාචාර්යවරු ද අවස්‌ථා ගණනාවකදී රේගුව, වනජීවී දෙපාර්තමේන්තුව, වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය මගින් කොටුකරගත් අයුරු ද අපට මතකය. එසේම මෙරට පිළිගත් විශ්වවිද්‍යාලවල සේවය කළ ඇතැම් ආචාර්ය මහාචාර්යවරුද ජාන සොරකමේ ගොස්‌ කොටු වූ අයුරු මෙන්ම පරිසරවේදීන් අතින් රෙදි ගළවා ගත් අයුරු ද මෙහිදී සිහිපත් නොකර බැරිය.

මේ ජාන සොරකමේ අලුත්ම තොග වෙළෙ¹ම බවට පත්වූයේ වල්ලාපට්‌ටා නම් ශාකය රට පැටවීමට ක්‍රියා කිරීමත්, මෙරට වැවෙන ශාකයක්‌ වන වල්ලාපට්‌ටාහි යුෂ භාවිතයෙන් ලොව මිලෙන් අධිකම සුවඳ විලවුන් නිෂ්පාදනය කරන බවත් වාර්තා වේ. එහෙයින් හොඳ ඉල්ලුමක්‌ බවට පත්වූ වල්ලාපට්‌ටා 

වෙළෙ¹ම ජාවාරම්කරුවන්ගේ අතයට ගනුදෙනුවක්‌ බවට පත්විය. ඒවා වගාකර පිටරටට අලෙවි කරනු වෙනුවට "ගෙඩිය පිටින්" වනාන්තරවලින් කපා රට පැටවීමට ක්‍රියා කිරීම මහා වන අපරාධයක්‌ බව මේ ජාවාරම්කරුවන්ට තුට්‌ටුවකටවත් වටිනා කාරණයක්‌ නොවේ.

කෙසේ හෝ ජාන සම්පත් මංකොල්ලය හොර රහසේ ද, ඉතා සූක්‍ෂ්මව ද මේ මොහොතේත් ක්‍රියාත්මක වන බව අප වාර්තා කරන්නේ වගකීම් සහිතවය. ඊට කදිම අනාවරණයක්‌ මීට ටික කලකට පෙරදු අපි "දිවයින ඉරිදා සංග්‍රහයෙහි" වාර්තා කළෙමු. එනම් දුම්බර අඟ කටුස්‌සා නොහොත් පෙති අංකටුස්‌සා ලෙස හැඳින්වෙන සමස්‌ත පෘථිවි තලයෙන්ම ශ්‍රී ලංකාවේ දුම්බර වන පෙතෙහි කඳුකර වනාන්තර තුළ දිවි ගෙවන සුවිශේෂ හැඩයක්‌ හා ජීවන රටාවක්‌ හිමි කටුසු විශේෂයක ජාන සොරකම් කිරීමකට ලක්‌කිරීම පිළිබඳවය. එහි සුවිශේෂත්වය වූයේ මෙම ජාන සොරකමට උඩගෙඩි දී තිබුණේ මෙතෙක්‌ ජාන සොරකමේ පෙරමුණ ගෙන සිටි විදේශික තැරැව්කරුවන් නොව ශ්‍රී ලංකාවේම එහෙත් විදේශිකයන්ට කත් අදින ජෛව පර්යේෂකයන් යෑයි කියා ගන්නා අයවලුන් පිරිසක්‌ වීම නිසාය. සුවිශේෂ ශීත පරිසර තත්ත්වයන් යටතේ මෙන්ම එවන් වනගහනයක දිවි ගෙවන දුම්බර අංකටුස්‌සන් තුන්සියයක්‌ පමණ දෙනා අල්ලා මලු තුළට එකතු කරගත් මෙම පර්යේෂකයන් යෑයි කියනු ලබන පිරිස මාතලේ රිවස්‌ටර්න්, ඉලුක්‌කුඹුර පාරේ පෞද්ගලික නවාතැන්පළකට ගෙන ගොස්‌ තිබූ බවට අප එදා වාර්තා කරන ලද්දේ අපට ලැබුණු විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනුවය. වන සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අයත් දුම්බර සංරක්‌ෂිත වනාන්තරයේ (එමෙන්ම ලෝක උරුම වනාන්තරයේ) නීති විරෝධීව ඉදිකර ඇති නිවාඩු නිකේතනයක්‌ තුළට ගෙන ගිය මෙම කටුස්‌සන් පර්යේෂණ සඳහා භාවිත කර ඉන් කොටසක්‌ යළිත් වනාන්තරයට මුදාහළ බව වාර්තා විය. පරිසරවේදීන් මේ පිළිබඳව සොයා බලන ලද්දේ රිවස්‌ටර්න් ප්‍රදේශයේ දුම්බර අං කටුස්‌සා බහුල ලෙස අඩුවී ඇති බවට ලත් නිරීක්‍ෂණයක්‌ මතය. ඒ අනුව වන සංරක්‍ෂණ නිලධාරීන්ට ඉහත පර්යේෂණය පිළිබඳව හෙළිදරව් කරන ලදී. නමුත් මේ දක්‌වාත් එම නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාමාර්ග ගත්තේ නැත. ඒ වෙනුවට මෙම පර්යේෂණය සිදු කළා යෑයි කියන (වනජීවී බලපත්‍රලාභියා) පුද්ගලයා අදාළ තොරතුරු සොයාගත් පරිසරවේදීන් ගර්හාවට ලක්‌ කළේය. හෙතෙම දැන් ඔස්‌ටේ්‍රලියාවේ පදිංචිකරුවෙකි.

අප මෙම පැරැණි වාර්තාව පිළිබඳව නැවතත් කතා කරන ලද්දේ තවත් එක්‌ සුවිශේෂී කරුණක්‌ නිසාවෙනි. එනම් පසුගිය 30 වැනිදා මෙවැනිම ජාන සම්පත් හොරකමක නියෑලී සිටියා යෑයි කියනු ලබන පුද්ගලයකු ශ්‍රීපාද අඩවියේ දී වනජීවී නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වීම නිසාය. 

ශ්‍රී ලාංකිකයකු වන මොහු තවත් අයෙකුගේ (ජීව විද්‍යා පර්යේෂකයකුගේ) බලපත්‍රයක්‌ යටතේ ශ්‍රීපාද අඩවියේ ජීව නිදර්ශක හා ඩී.එන්.ඒ. සාම්පල එකතු කරමින් සිටි අයකු බව වනජීවී නිලධාරීහු පවසති. අගෝස්‌තු 29 වැනිදා ශ්‍රීපාද අඩවියට ඇතුළු වී ඇති මොහු, එරත්න පිහිටි වනජීවී කාර්යාලයේ නිලධාරීන්a රැවටීමට ලක්‌කළ බව නිලධාරීහු කියා සිටිති. තමන් සතුව ලංකාව පුරා ජීව සාම්පල සහ ජාන සම්පත් එකතු කිරීමේ බලපත්‍රයක්‌ ඇති බව පැවසූ බව කියන වනජීවී ප්‍රකාශකයකු සඳහන් කළේ එම බලපත්‍රය තමන් ඉල්ලා සිටි අවස්‌ථාවේදී එය තමන්ට ප්‍රදර්ශනය නොකළ බවයි. ඔහු සතුව ඩී.එන්.ඒ. සාම්පල් තුනක්‌ එකතු කරගැනීමට හැකියාව ඇති වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ බලපත්‍රයක්‌ තිබී ඇති නමුත් 30 වැනිදා ඔහු වනාන්තරය තුළදී අත්අඩංගුවට ගන්නා ලද අවස්‌ථාවේදී නීති විරෝධී ලෙස එකතු කරගත් ජීව සාම්පල් වැඩි ගණනක්‌ තිබුණු බවද අදාළ නිලධාරියා ප්‍රකාශ කළේය.

මේ අනුව අල්ලා ගැනීමෙන් පසු මියගිය මහ කැලෑ හූනෙකුගේ සිරුරක්‌, සිකනලුන් විශේෂ දෙකක්‌, දිවාසැරි හූනන් සිව්දෙනකු, කටුසු පැටව් සිව්දෙනකු, සත්ත්ව කොටස්‌ අඩංගු භාජන හතක්‌ සහ ඩී.එන්.ඒ. සාම්පල් හතක්‌ ඔහු සතුව තිබූ බව වැටලීම මෙහෙයවූ වනජීවී නිලධාරීහු පවසති. කෙසේ හෝ වනජීවී පනත උල්ලංඝනය කරමින් සත්ත්ව කොටස්‌ හා සජීවී සත්ත්වයන් එකතු කිරීමේ වරදට අදාළව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන රත්නපුර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර දින 14 ක්‌ රක්‌ෂිත බන්ධනාගාරගත කළ බැව් වනජීවී දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මොහු අත්අඩංගුවට පත්වන අවස්‌ථාවේදී දුම්බර වන පෙතේදී දුම්බර අංකටුස්‌සන් එකතු කර උන්ගේ සංවේදී වාසස්‌ථානයෙන් ඉවත් කර පෞද්ගලික නවාතැන්පළක්‌ වෙත රැගෙන යැමට මුල්වූ ඔස්‌ටේ්‍රලියාවේ පදිංචි පෙර කී ජෛව පර්යේෂකයා වනජීවී නිලධාරීන් අමතා සැකකරු බවට පත්වූ තැනැත්තා මුදාහරින ලෙස ඉල්ලීමක්‌ කළ බවද වනජීවී නිලධාරීහු ප්‍රකාශ කරති. කෙසේ හෝ මේ පිටුපස සැබෑම පර්යේෂකයන්ද ඉන්නට හැකිය. නමුත් දැනට ඇති තොරතුරු අනුව අදාළ ජාන එකතු කිරීම පිටුපස දුම්බර වනාන්තරයේ දී පරිසරවේදීන්ට පරිභව කරමින් අං කටුස්‌සන් නීති විරෝධීව එකතු කරන ලද ඔස්‌ටේ්‍රලියාවේ කටයුතුවල නිරත ප්‍රකට පුද්ගලයකු සිටින බැව් වනජීවී ආරංචි මාර්ග කියා සිටී.

ජගත් කණහැරආරච්චි
http://www.divaina.com/2013/09/08/feature04.html

1 comments:

Amila Chathuranga said...

ඒ පරීක්ෂකයා එකතුකලේ ජානමද?
වෙනත් පරීක්ෂණයක් කලා වෙන්න බැරිද?
සැකකරුවෙක් සැකකරුවෙක් මිස හොරෙක් කරන්න උත්සාහ ගැනීම නින්දිතයි.. අනික ඔහු ඔස්ට්‍රේලියාවෙන් ආධාර ලබන පලියට ඔහු ඔස්ට්‍රේලියාවට ජාන පටවනවා යැයි කෙලින්ම චෝදනා කරන්නෙ කෝමද?