Pages

Monday, August 29, 2016

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ බුද්ධශාසන කාර්ය සාධක මණ්‌ඩලයේ යෝජනා

රාජ්‍ය ව්‍යහය හා එහි උත්තරීතර නීතිය මගින් ආගම පිළිගැනීම ශ්‍රී ලංකාවේ පමණක්‌ සිදුවී ඇති අහඹු සිදුවීමක්‌ නොවේ. ලිත නොවන ව්‍යවස්‌ථාවක්‌ ඇති එංගලන්තයේ ද පිළිගත් ආගම එංගලන්ත සභාවයි. එහි බිෂොප්වරු 28 දෙනෙක්‌ සාමි මණ්‌ඩලයේ සාමාජිකයෝය. වතිකානු රාජ්‍යයේ සම්පූර්ණ පාලනය පැවරී ඇත්තේ පාප්වහන්සේ ප්‍රමුඛ කතෝලික පූජකවරුන්ටය. ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබඳ පාඩම් කියාදීමට ඉදිරිපත් වන නෝර්වේ රාජ්‍යයේ ද ලූතරන් ක්‍රිස්‌තියානි ආගමට ඇත්තේ සුවිශේෂ ස්‌ථානයකි. එම රාජ්‍ය නායකයා අනිවාර්යයෙන්ම ලූතරන් ක්‍රිස්‌තියානි භක්‌තිමතකු විය යුතු බව සඳහන් වේ. ගී්‍රසිය, පෝලන්තය, ඩෙන්මාර්කය ෆ්‍රන්ලන්තය, ස්‌වීඩනය ආදී රටවල ද ක්‍රිස්‌තියානි ආගමට ස්‌වකීය රාජ්‍ය ව්‍යහය තුළ විශේෂ ස්‌ථානයක්‌ හිමිකර දී තිබේ. ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමේදී රජය ආදර්ශයට ගනු ලබන ඔස්‌ටි්‍රයාවේ ද ක්‍රිස්‌තියානි ආගමට රාජ්‍ය පිළිගැනීමක්‌ ලබාදී ඇත.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය කිරීමේ කර්තව්‍යයට රජය දැන් අවතීර්ණ වී සිටී. මේ සඳහා ජනතා අදහස්‌ ලබාගෙන තම නිර්දේශ ඇතුළත් වාර්තාවක්‌ පසුගිය මැයි මස 10 වැනි දින ප්‍රකාශයට පත් විය. ඔවුන් නිර්දේශ කර ඇති විෂය ක්‍ෂේත්‍ර අතර ශ්‍රී ලංකාවේ ජාතික ධජය, ජාතික ගීය, බුද්ධාගම, රාජ්‍යයේ ස්‌වභාවය, බලය බෙදීම යන විෂය ක්‍ෂේත්‍ර ප්‍රධාන වශයෙන් ඇතුළත්ය.

මෙම කමිටුවේ කිහිප දෙනකු විසින් "අනාගමික රාජ්‍යයකට සුදුසු නව ධජයක්‌" නිර්මාණය කිරීමටත්, බුද්ධාගම සම්බන්ධයෙන් වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ දැක්‌වෙන ප්‍රතිපාදන වෙනස්‌ කිරීමටත් නිර්දේශ කර ඇත. බුද්ධාගම සඳහා වර්තමාන ව්‍යවස්‌ථාවේ වෙනම පරිච්ඡේදයක්‌ වෙන්කොට බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමටත් බුද්ධශාසනය ආරක්‍ෂා කොට පෝෂණය කිරීමටත් 9 වන වගන්තිය ඇතුළත් කර තිබේ. එහෙත් එකී පරිච්ඡේදය කිසිදු වෙනසකින් තොරව තවදුරටත් තබා ගැනීමට එකඟවී ඇත්තේ මෙම කමිටුවේ සාමාජිකයන් දහනව දෙනාගෙන් දෙදෙනකු පමණි. බුද්ධාගම සඳහා වෙන්කර ඇති ප්‍රමුඛස්‌ථානය නැති කිරීමටත් සියලු ආගම්වලට සමානත්වයක්‌ ලබාදීමටත් මෙම කමිටුව නිර්දේශවලට ඇතුළත් කර ඇති අතර ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ වියයුතු බව කියා සිටියි.

බුද්ධාගමට ලබාදී ඇති ව්‍යවස්‌ථාමය පිළිගැනීම නැති කිරීම හෝ කිසියම් ආකාරයකට එය හීන කරන සියලු නිර්දේශ අපි තරයේ ප්‍රතික්‍ෂේප කර සිටිමු. ශ්‍රී ලංකාව ඓතිහාසිකව පැවතෙන බෞද්ධ රාජ්‍යයකි. 1972 දී ශ්‍රී ලංකාව ජනරජයක්‌ බවට පත් කළ අවස්‌ථාවේදී බුද්දාගමට හිමි ස්‌ථානය රාජ්‍යයේ උත්තරීතර නීතියේ පිළිගනු ලැබුවේ මෙම ඓතිහාසික සත්‍යය නිසාය. පුරා අවුරුදු 500 ක්‌ අධිරාජ්‍යවාදී පාලනය තුළ රාජ්‍ය මර්දනය හරහා බුද්ධාගමත්, බුද්ධ ශාසනයත්, බෞද්ධ අධ්‍යාපනයත් විනාශ කිරීමට පියවර ගත් බව පරමසත්‍යයකි. මේ ඓතිහාසික අසාධාරණය ඉවත් කිරීමට නම් අවුරුදු 2500 කට අධික කාලයක්‌ තිස්‌සේ ගිහි පැවිදි බෞද්ධ ජනතාව දිවි හිමියෙන් රැකගත් බුද්ධශාසනය තවදුරටත් ආරක්‍ෂා කොට පෝෂණය කිරීම රජයේ වගකීමක්‌ ලෙසට ඉටුකළ යුතු බව අපි තරයේ අවධාරණය කරමු.

රාජ්‍ය ව්‍යහය හා එහි උත්තරීතර නීතිය මගින් ආගම පිළිගැනීම ශ්‍රී ලංකාවේ පමණක්‌ සිදුවී ඇති අහඹු සිදුවීමක්‌ නොවේ. ලිත නොවන ව්‍යවස්‌ථාවක්‌ ඇති එංගලන්තයේ ද පිළිගත් ආගම එංගලන්ත සභාවයි. එහි බිෂොප්වරු 28 දෙනෙක්‌ සාමි මණ්‌ඩලයේ සාමාජිකයෝය. වතිකානු රාජ්‍යයේ සම්පූර්ණ පාලනය පැවරී ඇත්තේ පාප්වහන්සේ ප්‍රමුඛ කතෝලික පූජකවරුන්ටය. ශ්‍රී ලංකාවට මානව හිමිකම් පිළිබඳ පාඩම් කියාදීමට ඉදිරිපත් වන නෝර්වේ රාජ්‍යයේ ද ලූතරන් ක්‍රිස්‌තියානි ආගමට ඇත්තේ සුවිශේෂ ස්‌ථානයකි. එම රාජ්‍ය නායකයා අනිවාර්යයෙන්ම ලූතරන් ක්‍රිස්‌තියානි භක්‌තිමතකු විය යුතු බව සඳහන් වේ. ගී්‍රසිය, පෝලන්තය, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ස්‌වීඩනය ආදී රටවල ද ක්‍රිස්‌තියානි ආගමට ස්‌වකීය රාජ්‍ය ව්‍යුහය තුළ විශේෂ ස්‌ථානයක්‌ හිමිකර දී තිබේ. ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීමේදී රජය ආදර්ශයට ගනු ලබන ඔස්‌ටි්‍රයාවේ ද ක්‍රිස්‌තියානි ආගමට රාජ්‍ය පිළිගැනීමක්‌ ලබාදී ඇත.

ඇමරිකා එක්‌සත් ජනපදය අනාගමික රාජ්‍යයක්‌ වශයෙන් හුවා දැක්‌වීමට උත්සාහ කළත් අදටත් එහි ප්‍රාන්ත රාජ්‍යයන් බොහොමයක ව්‍යවස්‌ථාවන්හි ක්‍රිස්‌තියානි ආගමට හා දෙවියන් වහන්සේට ඇත්තේ සුවිශේෂී ස්‌ථානයකි. මිසිසිපි රාජ්‍යය, උතුරු කැරොලයිනා රාජ්‍යය, දකුණු කැරොලයිනා රාජ්‍යය, ටෙනෙසි රාජ්‍යය, ටෙක්‌සාස්‌ රාජ්‍යය ඇතුළු ප්‍රාන්ත රාජ්‍ය ගණනාවකම ව්‍යවස්‌ථාවල සඳහන් වන්නේ දෙවියන් වහන්සේ නොපිළිගන්නා අයකුට එම රාජ්‍යයේ ධුර දැරිය නොහැකි බවයි. අනාගමික රාජ්‍ය සංකල්පයේ පුරෝගාමී රට වන ඇමරිකාවේ ඩොලර් නෝට්‌ටුවෙහි පවා සඳහන් වන්නේ "දෙවියන් වහන්සේ කෙරෙහි අපි විශ්වාසය තබමු" යන පාඨයයි.

මෙනයින් සලකා බලන කල ශ්‍රී ලංකාවේ එවැනි තත්ත්වයක්‌ නැත. ශ්‍රී ලංකා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානයක්‌ ලබාදී තිබුණද ඇතැම් විට අනෙකුත් ආගමිකයන්ට ලබාදී ඇති තැනවත් බෞද්ධයාට හිමිකර දී නොමැත.

අදත් ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා මහ බැංකුවේ අධිපතිවරයා, විපක්‍ෂ නායකවරයා බෞද්ධයෝ නොවෙති. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 වන වගන්තියට අනුව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙනු ලබන්නේ අනෙකුත් ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්‍ෂා කොට තහවුරු කරන අතරතුය. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනැමීමෙන් අනෙකුත් ආගමිකයන්ට හෝ අනෙකුත් ජාතිකයන්ට හෝ නොසැලකීමක්‌ කිසිසේත් සිදුවී නැති බවට මෙය අගනා සාක්‍ෂියකි.

මේ නිසා බෞද්ධ රාජ්‍යයක්‌ වන ශ්‍රී ලංකාවේ බුද්ධාගමට හිමිවිය යුතු තැන මේනිසා නැති කිරීමට ගනු ලබන උත්සාහය ගැන අපේ දැඩි විරෝධය පළ කරමු. මීට අවුරුදු කිහිපයකට පෙර, ආගමික නායකයකු මේ රටේ ඇතැම් ප්‍රශ්න බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දීම හා සම්බන්ධ කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේදී ද අප ඊට සෘජුව විරුද්ධ වූයේ මේ අයුරින්මය.

ඉහත කමිටුවේ ඉදිරිපත්වී ඇති තවත් නිර්දේශයක්‌ නම් ජාතික ධජය අනාගමික කිරීමය. ඒ අනුව ජාතික ධජයට ඇතුළත් බෝපත් සතර ද ඉවත් කිරීමේ උත්සාහයක්‌ ඇති බව කනගාටුවෙන් වුවද සඳහන් කළ යුතුය. දැනට සම්මත ජාතික ධජයේ කිසිම වෙනසක්‌ නොකළ යුතුය.

ජාතික ගීය සම්බන්ධයෙන් ද මෙහිලා සඳහන් කළ යුතුමය. මෙම වසරේ ජනවාරි මාසයේදී අප රජයට ඉදිරිපත් කළ යෝජනාවලියේ ද අප තරයේ ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ජාතික ගීය එහි පදමාලාව හෝ සංගීතය කිසි ලෙසකින්වත් වෙනස්‌ නොකළ යුතු බවය. ශ්‍රී ලංකාවට තිබිය යුත්තේ එක ජාතික ගීයකි. එය සිංහලෙන් ලියා ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇති "ශ්‍රී ලංකා මාතා" ගීතයයි. දෙමළ කතා කරන ජනතාව එහි දෙමළ පරිවර්තනයක්‌ මුල් ගීයේ තනුව හා සංගීතය සමඟ භාවිත කිරීම වරදක්‌ නැත. එහෙත් සෑම රාජ්‍ය උත්සවයකදීම ශ්‍රී ලංකාවේ එක ජාතික ගීයක්‌ ගායනා කළ යුතුය.

ඉහත වර්තාව මගින් වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයක්‌ බව සඳහන් වන 2 වැනි වගන්තිය තවදුරටත් එලෙසම පවත්වාගෙන යා යුතු බව පවසන්නේ එක සාමාජිකයෙක්‌ පමණි. එම වගන්තිය වෙනස්‌ කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය ව්‍යුහය දැඩි අවදානමකට ලක්‌විය හැකි බව අපගේ විශ්වාසයයි. වඩාත් අවශ්‍ය වන්නේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස හැඳින්වීමට වඩා ව්‍යවස්‌ථාවේ අන්තර්ගතය මගින් ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ බව තහවුරු කිරීමයි. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ව්‍යවස්‌ථාවට ඇතුළත් කළ ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යය ව්‍යහය විනාශ කරන ප්‍රතිපාදන වර්තමාන ව්‍යවස්‌ථාවෙන් ඉවත් කළ යුතුයි. විශේෂයෙන්ම 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය මගින් පළාත් සභාවක නීති පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතර ඡන්දයකින් වෙනස්‌ කළ නොහැකි බවට සඳහන් ප්‍රතිපාදන ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍ය සංකල්පයට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ කීර්තිමත් විනිශ්චයකාරවරයකු වූ ආර්. එස්‌. වනසුන්දර විනිසුරුතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 4 දෙනකුගේ මතය වුවද එස්‌. ශර්වානන්ද අගවිනිසුරුතුමා ප්‍රමුඛ විනිශ්චයකරුවන් 5 දෙනකු ඊට ප්‍රතිවිරුද්ධව ඉදිරිපත් කළ මතය ක්‍රියාවට නැංවීම තුළින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය අහිමි වී ඇති අතර ශ්‍රී ලංකාවේ ඒකීයභාවය මේ නිසා තර්ජනයට ලක්‌වී ඇත.

පළාත් සභා වැරදි ලෙස විධායක බලය ක්‍රියාත්මක කිරීමේදී තිබුණු එකම ආරක්‍ෂාව පළාතක ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිවරයාගේ විධායක බලයට යටත්ව සිය ධුරය දැරීමට ඉඩ සලසා දුන් ප්‍රතිපාදනයි. එහෙත් මෙම කමිටුව විසින් කර ඇති යෝජනා අතර මහ ඇමැතිගේ එකඟතාව ඇතිව ආණ්‌ඩුකාරවරයා පත් කිරීමත් මහ ඇමැතිගේ උපදෙස්‌ මත ආණ්‌ඩුකාරවරයා කටයුතු කිරීමට විධිවිධාන සලසා තිබීමත් මෙරට බෙදා වෙන්කිරීමට ඉන් ඉඩ ප්‍රස්‌ථාව සලසා දෙන කරුණක්‌ බව පැහැදිලිය. විධායක බලය ප්‍රාදේශීය වශයෙන් ක්‍රියාත්මක කළ හැකි වුවද ඒ සෑම බලයක්‌ම ක්‍රියාත්මක කළ යුත්තේ ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ මධ්‍යම විධායකගේ විධානයන්ට යටත්ව විය යුතුය.

කමිටු නිර්දේශ අතර ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය පළුදු කෙරෙන අන්දමට උතුරු හා නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට නිර්දේශ වී ඇත. 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ද පළාත් දෙකක්‌ ඒකාබද්ධ කිරීමට ප්‍රතිපාදන ඇතුළත් කරනු ලැබුවේ අනෙකකට නොව වෙනම ඊළාම් රාජ්‍යයක්‌ මහ පොළොවේ පිහිටුවීමට අවශ්‍ය නීතිමය ව්‍යුහය ලබාදීමටය. මෙය මේ රටේ භෞමික අඛණ්‌ඩතාවට බලවත් තර්ජනයකි. පළාත් ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් දැනට ව්‍යවස්‌ථාවට ඇතුළත් කර ඇති ප්‍රතිපාදන වහා ඉන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුය.

වර්තමානයේ පවතින ව්‍යවස්‌ථා සභාවට සමාන සංයුතියකින් යුත් ව්‍යවස්‌ථා සභාවක්‌ නිර්මාණය කිරීමට යෝජනා කර ඇත. මෙම ව්‍යවස්‌ථා සභාවේ සංයුතිය තුළ රටේ බහුතර ජනතාවගේ කැමැත්ත නියෝජනය නොවන බව අපගේ විශ්වාසයයි.

මෙම ව්‍යවස්‌ථා සභාවේ සාමාජිකයන්ගේ බහුතරයක්‌ අගමැති හා විපක්‍ෂ නායක විසින් යෝජනා කරනු ලබන්නේ හුදෙක්‌ පක්‍ෂ නායකයන්ගෙන් පමණක්‌ අදහස්‌ විමසීමෙනි. රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකට අමතරව තිබෙන අනෙකුත් සෙසු සුළු පක්‍ෂ බොහොමයක්‌ ජනවර්ග පදනම් කරගෙන නිර්මාණය වී ඇති පක්‍ෂ වේ. එම පක්‍ෂවල මන්ත්‍රීවරුන් විසින් ව්‍යවස්‌ථා සභාවට සාමාජිකයකු නම් කරනු ලැබිය හැකිය. එහෙත් මෙම අයිතිවාසිකම් ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ මන්ත්‍රීවරුන්ට අහිමි කර ඇත්තේ මන්ද යන්න විශාල ගැටලුවකි. ප්‍රධාන දේශපාලන පක්‍ෂ දෙකේ බහුතරයක්‌ වූ මන්ත්‍රවරු සිංහලයන් නියෝජනය කරන මන්ත්‍රීවරු වෙති. එම මන්ත්‍රීවරුන් ඉතා සූක්‍ෂ්ම ආකාරයෙන් රටේ තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමට 17 වැනි හා 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනවල මෙන්ම මෙම කමිටු නිර්දේශය හරහා ද කටයුතු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය.

අවසාන වශයෙන් බුද්ධ ශාසන කාර්යසාධක මණ්‌ඩලයේ සාමාජිකයන් වන අපි මෙම ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය තුළ පත්කර ඇති විවිධ කමිටුවල සංයුතිය රටේ සමස්‌ත මහජනතාවගේ මතය නිරූපණය නොවන බව දැඩි සංවේගයෙන් ප්‍රකාශ කරමු. මෙරට ජනතාවගේ මතය වශයෙන් යම් කල්ලියක හෝ කණ්‌ඩායමක මතය ලෝකයාට ඉදිරිපත් කිරීම කෙසේවත් සුදුසු නොවේ. එම නිසා රටේ බහුතර ජනතාවගේ මතය නියෝජනය වන පරිදි ව්‍යවස්‌ථා සම්පාදන කමිටු සංස්‌ථාපනය කළ යුතුව ඇති බව මෙහිලා අවධාරණය කරමු.

සිංහල බෞද්ධයාට සෘජුව බලපාන කරුණු කිහිපයක්‌ සම්බන්ධව පමණක්‌ ඉහතින් කරුණු ඉදිරිපත් කොට ඇති අතර අනෙකුත් යෝජනා සම්බන්ධයෙන් පසුව කරුණු දැක්‌වීමට බලාපොරොත්තු වෙමු. දැනට උද්ගත වී ඇති ප්‍රශ්න විසඳා ගනු වෙනුවට අලුතින් ජනාවගේ කැළඹීමට හේතු වන ප්‍රශ්න ඇතිකර ගැනීම රටේත් රටවැසියාගේත් යහපත බලාපොරොත්තු වන රජයකට කෙසේවත් හිතකර නොවන බව අපි මෙත්සිත් පෙරටුව දන්වනු කැමැත්තෙමු.

ත්‍රිකුණාමලයේ ආනන්ද මහනාහිමි, සමලේකම් - බුද්ධ ශාසන කාර්ය සාධක මණ්‌ඩලය
http://www.divaina.com/2016/08/29/feature01.html

0 comments: