Pages

Sunday, January 24, 2016

බුදුරදුන්ගේ ප්‍රථම ලංකා ගමනය සිදුවූ දුරුතු පොහොය

අද(23) දුරුතු පුර පසළොස්‌වක පොහොය දිනයයි. බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වේ තුන් බෑ ජටිලයන් ප්‍රධාන දහසක්‌ ජටිල පිරිස දමනය කිරීමෙන් පසුව ප්‍රථමවරට ලංකාවට වැඩම වීම හා එහිදී යක්‍ෂ ගෝත්‍රිකයන් දමනය කිරීම, කේශ ධාතු නිධන් කොට මහියංගන දාගැබ තැනවීම ආරම්භ කිරීම, බිම්බිසාර මහරජුගේ ආරාධනය පරිදි බුදුරදුන් රහතන් වහන්සේලා දහසක්‌ ද සමඟ රජගහනුවරට වැඩමවීම, ප්‍රේතයනට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය අනුමත කිරීම, සිරිසඟබෝ කුමරු මහියංගන චෛත්‍යය අසලදී රජ බවට පත් කරවීම යනාදිය දුරුතු පොහෝදිනය හා සබැඳි ඓතිහාසික සිදුවීම් අතර ප්‍රමුඛස්‌ථානයෙහිලා සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් නව වැනි මාසයේදී අද වන් දුරුතු පොහොය දිනෙක මහියංගනයෙහි මහවැලි ගඟ අසබඩ යොදුන් තුනක්‌ දුරින් පිහිටි මහානාග වනෝද්‍යානයට වැඩම කළහ. ඒ වනවිට ලක්‌දිව ඉතා බලසම්පන්නව සිටියේ රාවණ සමයේ සිට පැවත ආ යක්‍ෂ ගෝත්‍රිකයෝ ය. ඔවුන්ගේ දරුණු ක්‍රියාවන් නිසාම මෙසේ නම් ලද බව පිළිගත හැකිය. මෙරට ප්‍රාග් ඓතිහාසික පුරවැසියන් ලෙස හඳුන්වාදිය හැක්‌කේ නාග ගෝත්‍රිකයෝය. මෙම දෙපිරිස අතර කාලාන්තරයක පටන් පැවැති අසමගිය දුරු කිරීම බුදුරදුන්ගේ ප්‍රථම ලංකාගමනයෙහි ප්‍රධාන අරමුණ විය. ලක්‌දිවට වැඩමවා එහි වෙසෙන දරුණු මිනිසුන් දමනය කිරීමෙන් සිදුවන යහපත දැකීම එයට හේතුවයි. මේ සඳහා ලක්‌දිවට වැඩම වන ලෙස බුදුරදුන්ට ඇරයුම් කෙළේ සුමන සමන් දිව්‍යරාජයා වන බව ද ලංකාවාසීහු විශ්වාස කරති. 

දැනට මහියංගන චෛත්‍යය පිහිටි ස්‌ථානයෙහි පත් කඩ එලා වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යක්‍ෂ සේනාව දමනය කිරීම සඳහා ධර්මය දේශනා කළහ. එම බණ ඇසූ ඉතා විශාල වූ පිරිසක්‌ ධර්මාවබෝධය කළහ. යක්‍ෂ ගෝත්‍රිකයන් රුදුරු ගති පැවතුම් ඉවතලා යහපත් පිරිසක්‌ බවට පත්වීමද මෙහිදී ඉතා වැදගත් වෙයි. බණ අසා සෝවාන් භාවයට පත් වූ සුමන සමන් දිව්‍යරාජයා විසින් "ස්‌වාමිනි, අපට පූජාර්හ වස්‌තුවක්‌ දුන මැනවැ'යි ආයාචනා කරන ලදී. බුදුරජාණන් වහන්සේ ඔහුට කේශධාතු මිටක්‌ දී පෙරළා උරුවෙල් දනව්ව බලා වැඩම වූහ. ඉක්‌බිති සුමන සමන් දිව්‍යරාජයා බුදුරදුන්ගේ කේශධාතු ස්‌වල්පය රන් කරඬුවක තැන්පත් කොට සත් රියනක්‌ උස සෑයක නිධන් කළේය. එම සෑය ඉදි කළේ එදා බුදුරදුන් ධර්මය දේශනා කරමින් වැඩසිටි ස්‌ථානයේමය. මෙසේ ලෝකයේ ප්‍රථම දාගැබ වූ මහියංගන දාගැබ බුදුරදුන් ජීවමානව සිටිය දීම නිර්මාණය කොට පූජෝපහාර දැක්‌වීමේ ගෞරවය සුමන සමන් දිව්‍යරාජයාට හිමි වෙයි. මෙකී මහියංගන සෑය හෙවත් මියුගුණ සෑය ලොව ප්‍රථම බෞද්ධ සංකේතය ද වන අතර ප්‍රථම ථූප මූර්තිය ද වේ. සුමන සමන් දිව්‍යරාජයාගේ මියුගුණ සෑය එදා පටන් යක්‍ෂ නාග දෙපිරිසගේම වන්දනාමානයට ලක්‌ විය. 

ඌරුගමුවේ අස්‌සජී හිමි
http://www.divaina.com/2016/01/23/news03.html

Pic Source

0 comments: