Pages

Sunday, January 10, 2016

නවාෂ් ශරීෆ්ගේ ලංකා ගමන ගැන කොටි හිතවාදීහු කලබල වෙති!

පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ්ගේ ලංකා සංචාරය දෙස ඉන්දියාව විමසිල්ලෙන් සිටි බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. පතන්කෝට්‌ ගුවන් කඳවුරට පකිස්‌තානයේ සිට පැමිණි ත්‍රස්‌තයන් හයදෙනෙක්‌ දින තුනක්‌ තිස්‌සේ ප්‍රහාර එල්ල කරමින් සිටියද දිල්ලියේ විදේශ අමාත්‍යාංශයේ ශ්‍රී ලංකාව භාරව සිටින බ්‍රාහ්මණවංශික නිලධාරීන්ට පකිස්‌තාන අගමැතිගේ කොළඹ චාරිකාව ගැන තොරතුරු ලබා ගැනීම වඩා වැදගත් විය. විශේෂයෙන්ම පකිස්‌තානයේ නිෂ්පාදිත ඡේ.එෆ්. 17 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම සඳහා ලංකා රජය ගිවිසුම් අත්සන් කිරීම දිල්ලිය නොසන්සුන් කරන්නක්‌ විය. දිල්ලිය නිරන්තරයෙන් කොළඹ ආණ්‌ඩුවට උපදෙස්‌ දුන්නේ මෙම ප්‍රහාරක යානා පකිස්‌තානයෙන් මිලදී නොගන්නා ලෙසය. එහෙත් වයඹ දිග පකිස්‌තානයේ තලේබාන්, අල්ඛයිඩා ඉලක්‌ක වෙත නිවැරැදිව ප්‍රහාර එල්ල කරන ඡේ.එෆ්. 17 ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම ලංකාවට අත්‍යවශ්‍යය. කෆීර් යානාවල කාලය ක්‍රමයෙන් ඉකුත් වෙද්දී ශ්‍රී ලංකා රජයට මෙම ගුවන් යානා පකිස්‌තානයෙන් මිලදී ගැනීම හැර අන් විකල්පයකට යැමට නොහැකිය. එහෙත් ඉන්දීය ආරක්‌ෂක උපදේශක අජිත් ඩොවාල් ඇතුළු කණ්‌ඩායම මේ මිලදී ගැනීම පිළිබඳව පරල වී සිටින බව නම් පැහැදිලිය. නමුත් මේ අවස්‌ථාවේදී අජිත් ඩොවාල් අවධානය යොමුකළ යුත්තේ ලංකාව පකිස්‌තානයෙන් ප්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීම නොව ත්‍රස්‌තවාදීන් හයදෙනකු පැමිණ පතන්කෝට්‌ ගුවන් කඳවුරට ප්‍රහාර එල්ල කළේ කෙසේද යන්න පිළිබඳවය. එහිදී සිදුවූ ආරක්‌ෂක දුර්වලතා පිළිබඳවය. 

පකිස්‌තානය යනු ශ්‍රී ලංකාවේ සැබෑම මිතුරෙකි. එය අගමැති නවාෂ් ශරීෆ් ඉදිරියේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාද යළි සිහිකර සිටියේ ඒ කළගුණ කිසි විටක අප අමතක නොකළ යුතු නිසාය. ඉන්දියාව අප දෙස නිරන්තරව බැලුවේ කුහක ආකාරයෙනි. උතුරේ ත්‍රස්‌තවාදය ආරම්භ කිරීමට මූලික වූයේද රෝ ඔත්තු සේවය බව අමුතුවෙන් මතක්‌ කළ යුතු නැත. 2000 මැයි මාසයේදී කොටින්ගේ නොනවතින රැල්ල මෙහෙයුම වේගවත් වී ආරක්‌ෂක හමුදා සාමාජිකයන් හතළිස්‌දහසක්‌ යාපනයේ සිරවන තත්ත්වයක්‌ උදාවූ විට ඉන්දියාව ප්‍රකාශ කළේ කුමක්‌ද? ප්‍රහාරක අවි සැපයීම තමන්ට කළ නොහැකි බවත්, අවශ්‍ය නම් හමුදා සාමාජිකයන් යාපනයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට නැව් සැපයිය හැකි බවත් නොවේද? මේ අර්බුදකාරී අවස්‌ථාවේ හිටපු ජනපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පකිස්‌තාන හමුදා පාලක ජෙනරාල් පර්වේෂ් මුෂාරෆ් මහතාගේ ජංගම දුරකථනයට කතා කරමින් අවශ්‍ය සහාය ඉල්ලා සිටියාය. ජෙනරාල් මුෂාරෆ් වහාම අවශ්‍ය ඕනෑම උදව්වක්‌ සැපයීමට එකඟ විය. අලිමංකඩ කොටි අතට පත් වී නොනවතින රැල්ල යාපනයට ළඟාවෙද්දී ඒ රැල්ල ආපසු හැරවීමට ජෙනරාල් මුෂාරෆ් ඉතා ඉක්‌මනින්ම මල්ටි බැරල් රොකට්‌ ලොන්චර් එවීමට කටයුතු කළේය. 2000 මැයි මාසයේ දී මේ ප්‍රහාරක අවි කරච්චියේ සිට කොළඹ දක්‌වා ගුවනින් ප්‍රවාහනය කරනු ලැබුවේ කොටි ප්‍රහාර නැවැත්වීමට ඒවා අත්‍යවශ්‍ය වූ බැවිනි. එනිසා ශ්‍රී ලංකා ජනතාව සෑම විටම රටේ ඒකීයභාවය රැක ගැනීම වෙනුවෙන් අනුපමේය සහායක්‌ ලබාදුන් පකිස්‌තානයට ගරුකළ යුතුය. 

ලංකාව යුද ආධාර ඉල්ලූ සෑමවිටකදීම ඉන්දියාව මේ සටන් නිසා දෙමළ ජනතාවට අසාධාරණයක්‌ වන්නේ යෑයි පවසමින් ප්‍රහාරක අවි සැපයීමට එකඟ වූයේ නැත. 2009 මැයි 19 වැනිදා ප්‍රභාකරන් ඝාතනය කිරීමෙන් පසුව ශ්‍රී ලංකා රජය යුද ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළ අවස්‌ථාවේ ලිපියක්‌ ලියමින් හිටපු රෝ ඔත්තු සේවයේ ප්‍රධානී බී. රාමන් ප්‍රකාශ කළේ කුමක්‌ද? පකිස්‌තානය හා චීනයේ තීරණාත්මක මැදිහත්වීම නිසා ලංකා යුද ජයග්‍රහණය සිදුකළ බවයි. මේ යුද ජයග්‍රහණය පිළිබඳව ඉන්දියාවට තිබුණේ කාලකණ්‌ණි සතුටකි. ලංකාව පකිස්‌තානයට හා චීනයට ළංවනු දැකීම දිල්ලි ආණ්‌ඩුවේ සතුටට හේතුවක්‌ වූයේ නැත. නමුත් දිල්ලි ආණ්‌ඩුව ලංකා රාජ්‍යය අපහසුතාවට පත්වූ අවස්‌ථාවල නිර්ලෝභීව උදව් කිරීමට කැමැති වූයේ නැත. ඒ අඩුව පිරවූයේ පකිස්‌තානය හා චීනය විසිනි.

අගමැති නරේන්ද්‍ර මෝදි සිය ලංකා සංචාරයේ දී අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය වන්දනා කරමින් මෙරට බෞද්ධයන්ට යම් පණිවුඩයක්‌ දුන්නා සේම නවාෂ් ශරීෆ් අගමැතිවරයාද මහනුවර දළදා මාළිගාව නැරැඹීමට අමතක නොකළේය. කවරක්‌ වෙතත් පකිස්‌තාන අගමැතිගේ ලංකා සංචාරය සමඟ කොටි හිතවාදී බලවේගද කලබලයට පත්ව ඇත.

පකිස්‌තානය ශ්‍රී ලංකා රාජ්‍යය තවදුරටත් හමුදාකරණය කිරීම සඳහා සහාය දක්‌වන බව පවසමින් නවාශ් ෂරීෆ්ගේ සංචාරය පිළිබඳව කොටි හිතවාදී ටැමිල් නෙට්‌ වෙබ් අඩවියේ පුවතක්‌ පළකර තිබිණි. දෙස්‌ විදෙස්‌ කොටි හිතවාදීන් වඩාත් කලබලයට පත්ව තිබෙන්නේ පකිස්‌තානය ඡේ.එෆ්. 17 ප්‍රහාරක යානා අටක්‌ මෙරටට අලෙවි කිරීම පිළිබඳවය. 

වරක්‌ හිටපු පකිස්‌තාන හමුදා පාලක ජෙනරාල් ෆර්වේෂ් මුෂාරෆ් හින්දු ත්‍රස්‌තවාදීන් පිරිසක්‌ ක්‍රියාත්මක වී ඇතැයි ප්‍රකාශ කළේ ලංකාවේ කොටි ත්‍රස්‌තයන් පිළිබඳවය. 

1999 දී පැවැති ශ්‍රී ලංකා හමුදාවට 50 වසරක්‌ සැපිරීමේ උත්සවයට සහභාගි වී නැවත කරච්චිය බලා ගිය එවක හමුදාපති පර්වේශ් මුෂාරෆ්ට ගුවන් තොටුපළට ගොඩ බැසීමට අවසර ලැබුණේ නැත. අවසානයේ ඔහු හමුදාව යොදවා අගමැති නවාෂ් ශරීෆ් බලයෙන් පහකර දැමුවේය. මේ අතීත කතාවයි. එදා ලංකාවේ සිට ගොස්‌ අගමැතිවරයාව බලයෙන් පහකර දැමූ මුෂාරෆ් 2008 වන තෙක්‌ පකිස්‌තානයේ පාලකයා විය. පතන්කොට්‌ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව හා පකිස්‌තානය අතර ඇති විරසකය මෝදු වෙද්දී නවාෂ් ශරීෆ් අගමැතිවරයා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත දුරකථන ඇමතුමක්‌ ලබා දුන්නේද කොළඹට පැමිණි අවස්‌ථාවේදීය. මෙම දුරකථන ඇමතුම ලබා දී ඇත්තේ අඟහරුවාදා දිනයේ බව ඉන්දීය අගමැති කාර්යාලය නිකුත් කළ ට්‌විටර් පණිවුඩයේ සඳහන් වේ. ඒ කවරක්‌ වෙතත් හිටපු හමුදා පාලක ජෙනරාල් ෆර්වේෂ් මුෂාරෆ්ට මෙන්ම වර්තමාන පකිස්‌තාන අගමැති නවාෂ් ශරීෆ්ටද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිදුවීම දෛවෝපගත සිදුවීම් වන බව නම් පැහැදිලිය. 

චතුර පමුණුව
http://www.divaina.com/2016/01/10/forign.html

0 comments: