Pages

Saturday, April 29, 2017

විවෘත ආර්ථිකය සමාජය ගිලගන්නා සැටි වසර 33කට පෙර දුටු 'පළිඟු මැණිකේ'

ටෙලි නාට්‍යයක්‌ ලෙස එදා ජනප්‍රිය වූ පළිඟු මැණිකේ කෘතියක්‌ ලෙස මැයි මස 3 වැනිදා සවස 3.30 ට කොළඹ ආනන්ද කුමාරස්‌වාමි මාවතේ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේ දී දොරට වඩී. 'සෝමවීර, ධම්ම සහ පළිඟු මැණිකේ' මැයෙන් පැවැත්වෙන එම උත්සවය සංවිධානය කරනු ලබන්නේ පළිඟු මැණිකේ තිර රචනය ග්‍රන්ථයක්‌ ලෙස පළ කරන සරසවි ප්‍රකාශන සමාගමේ අනුග්‍රහයෙන් ටෙලි නාට්‍යවේදීන්ගේ සංසදය විසිනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ධුරන්ධර අතිපූජනීය මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සව සභාව මෙහෙයවන්නේ වසර 33 කට පෙර පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන චරිතය රඟපා ඉමහත් ජනප්‍රසාදයට පත් ප්‍රවීණ රංගධර ශ්‍රියන්ත මෙන්ඩිස්‌ය. පළිඟු මැණිකේ හි විඡේපාල චරිතය රඟපා පැසසුම් ලද සම්මානනීය කලාකරු ජැක්‌සන් ඇන්තනි ප්‍රධාන දේශනය පැවැත්වීම ද මෙහි විශේෂත්වයකි. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාවේ සභාපති නීතිඥ රවි ජයවර්ධන මහතා ද, පළිඟු මැණිකේ තිර රචක ප්‍රවීණ ලේඛක, ජ්‍යෙෂ්ඨ පුවත්පත්කලාවේදී සෝමවීර සේනානායක මහතා ද එහි දී විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිතය.

විවෘත ආර්ථික ක්‍රමය අපේ රටේ ක්‍රියාත්මක වීම ආරම්භ වූ සමයේ විකාශනය වුණු පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයෙන් ගමටත් පොදුවේ මුළු රටේම සාරධර්මවලටත් විවෘත ආර්ථිකය නිසා සිදුවිය හැකි විනාශය පිළිබඳ ඔබ පුරෝකථනයක්‌ කළා. විවෘත ආර්ථිකය අපේ රටේ සාරධර්ම විනාශ කරන බව ඔබ කල්තියාම දැක්‌කේ කොහොමද?

අපේ රටේ විවෘත ආර්ථික ක්‍රමය පටන් ගන්න කොට පසුකාලීනව එයින් ඇතිවිය හැකි ප්‍රතිඵල ගැන කාටවත් ඒ වෙනකොට අවබෝධයක්‌ තිබුණෙ නෑ. නමුත් ඒ කාලෙ අපේ රටේ මුද්‍රිත මාධ්‍ය ඉතාම ප්‍රබලයි. මමත් පුවත්පත් කලාවේදියෙක්‌ ලෙස ඒ කාලයේ සේවය කරමින් සිටි නිසා රටේ සිදුවන බොහෝ දේ පිළිබඳ තොරතුරු ලැබුණා. මේ වන විට මම නවකතාවක්‌ ලියන්නත් අත්දැකීම් ගොනු කරමිනුයි හිටියෙ. විවෘත ආර්ථික ක්‍රමය පටන් ගන්නවත් එක්‌කම ඒ ගැනත් නොයෙක්‌ ඉඟි මට ලැබෙන්න පටන් ගත්තා. මේ අතර දිනක්‌ රාජකාරි අවශ්‍යතාවකට මම අනුරාධපුරේ ගිහින් ප්‍රධාන පාරෙ කුඩා කඩයක්‌ ළඟ නැවතිලා හිටියා. කුඩා තේ කඩයක්‌ වුණාට නොයෙක්‌ අරුමෝසම් බඩුත් ඒ කඩේ පැත්තක පෙනෙන්න තිබුණා. එතනින් හැරිල ගමට යන බස්‌ එක එන්නෙ පැය ගාණකට සැරයක්‌. එහෙම ආපු බස්‌එකකින් කොණ්‌ඩෙ වවාගත්ත, සන්ග්ලාස්‌ පැලඳ ගත් අමුතු තරුණයෙක්‌ බැස්‌ස. ලොකු බෑග් එකකුත් ටූ ඉන්වන් කැසට්‌ සෙට්‌ එකකුත් එක අතක තිබුණ. බස්‌ එකෙන් බැහැල සිගරැට්‌ එකකුත් පත්තු කරගත් මේ තරුණයා කැසට්‌ එකෙන් සංගීතයකුත් දමාගෙන වටපිට බල බලා ගම ඇතුළට ඇවිදගෙන ගියා. එතන හිටිය ගැමියො දෙන්නෙක්‌ මේ තරුණයා දිහා බලල "අන්න අරූ ගමට ආව. දැන් ගම ඉවරයි" කියල බොහොම හිත් අමාරුවකින් වගේ කිව්ව. මේ තරුණයා මොනව හරි දඩබ්බර වැඩ කරල ගමෙන් පැනල ගිය කෙනෙක්‌. තරුණයා ආපහු ගමට එනව දැකල ගම ආයෙත් ඉවරයි කියල ගැමියො කිව්වෙ ඒ හින්ද. පළිඟු මැණිකෙ ටෙලි නාට්‍යයේ සූරසේනගෙ ගමට පැමිණීම මම අරගත්තෙ ඒ අත්දැකීමෙන්. අර කඩේ තිබුණු අරුමෝසම් බඩුයි මේ තරුණයගෙ අතේ තිබුණු අරුමෝසම් බඩුයි ඔහුගෙ විලාසයයි දුටු මට හිතුණ මේ තරුණයා ගමට මොන විදියේ බලපෑමක්‌ කරයිද කියල. කැලෑ කැපීම්, නිදන් හැරීම්, වීඩියෝ දර්ශන පෙන්වීම වගේ දේවල් අදවගේ එදා ගම්වල තිබුණෙ නෑ. මම සති ගාණක්‌ කල්පනා කළා. විවෘත ආර්ථිකය නිසා නොයෙක්‌ අරුමෝසම් බඩු ගමට ආවට ගමේ තරුණයන්ට ඒවා ගන්න සල්ලි නෑ. තරුණයො කැලෑ කපයි. නිදන් හාරයි.

මම මෙහෙම කල්පනා කර කර ඉන්න කොට තමයි ධම්ම ජාගොඩ මට ආරාධනා කළේ ටෙලි නාට්‍යයක්‌ ලියන්න. ඒ වෙනකොට අපේ රටේ ටෙලි නාට්‍ය දෙක තුනකට වඩා හැදිල තිබුණෙ නෑ. මට හිතුණ නවකතාවකට ගොනු වෙමින් තිබුණු මේ අත්දැකීම්වලින් ටෙලි නාට්‍යයක්‌ රචනා කරන්න. විවෘත ආර්ථිකය නිසා මෙවැනි විනාශයක්‌ අපේ රටට සිදුවෙයි කියල හිතල පළිඟු මැණිකේ - මගේ පළමු මාලා ටෙලි නාටකය ලිව්වා.

ඔබ මේ නාට්‍යය රචනා කළේ විවෘත ආර්ථිකය දැඩි ලෙස වැළඳගත් සමාජයටයි. පළිඟු මැණිකෙට එදා ලැබුණු ප්‍රතිචාර කොහොමද?

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ සූරසේන තමයි විවෘත ආර්ථිකය සංකේතවත් කළේ. ගමේ සිදුවන විනාශයන්ට සූරසේන බලපාපු හැටි තමයි ටෙලි නාට්‍යය පුරාම දිවෙන්නෙ. සාමාන්‍ය සමාජයට එදා විවෘත ආර්ථිකයේ බරපතළකම අවබෝධ වුණේ නෑ. මිනිස්‌සු වැළඳගත්තෙ විවෘත ආර්ථිකය නිසා ආපු මෙවලම් හා ඒවායින් ලැබෙන වින්දනය. මෙයින් සිදුවන විනාශය තේරුම් කරල දෙන්න විචාරකයො හිටියෙ නෑ. මේක සමාජයට අවබෝධ කරල දෙන්න මම සූරසේනගෙ චරිතයට කැපී පෙනෙන වචන මාලාවක්‌ හැදුව. ඒ වචන මාලාවෙ එන පට්‌ පට්‌ සම්තිං වැනි වචන අදත් භාවිත වෙනව. ඇත්තවශයෙන්ම විවෘත ආර්ථිකයෙන් කරන්නෙත් මොන ක්‍රමයෙන් හරි ඉතා ඉක්‌මනින් මුදල් හොයන එක. ඉක්‌මනට වැඩ කරන එකට අපි කියනවනෙ පට පට ගාලා වැඩ කරනව කියල. පට කියන වචනෙ මම පට්‌ කළා. පට්‌ පට්‌ ගාල සම්තිං හොයන එකනෙ අදත් විවෘත ආර්ථිකයෙන් කරන්නෙ.

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ චරිතවල නම් පවා යෙදුවෙ හුඟක්‌ කල්පනා කරල. ගමට මැණිකක්‌ වගේ සිටින පුද්ගලය තමයි මැණික්‌හාමි. පළිඟුව මැණික තරම් වටින්නෙ නෑ. නමුත් ඒක දිලිසෙනව. පළිඟු මැණිකෙට ඒ නම ලැබුණෙ එහෙම. මේ දෙන්නම ගමේ අහිංසක අය. මේ චරිත දෙක තුළින් මම උත්සාහ කළේ විවෘත ආර්ථිකය නිසා ගමේ අහිංසක පුද්ගලයින්ට සිදුවන විනාශය පෙන්වන්න. විවෘත ආර්ථිකය අපේ රටේ සංස්‌කෘතියට, ආර්ථිකයට, පවුල් ජීවිතවලට ළමා පරපුරට සහ තරුණ තරුණියන්ට ආදී වශයෙන් අංශ පහක්‌ කෙරෙහි බලපාන හැටි සමාජයට පෙන්වන්න මම මෙහි චරිත ගණනාවක්‌ නිර්මාණය කළා. 

පළිඟු මැණිකේ ටෙලි නාට්‍යයේ අපි දකින්නෙ සාමාජිකයින් විශාල පිරිසක්‌ ඉන්න පවුල් නෙමෙයි. සාමාජිකයින් දෙතුන් දෙනෙක්‌ සිටින ඔවුන් එකිනෙකා අතරත් සබඳතා දුර්වල චරිත. එයට විශේෂ හේතුවක්‌ තිබෙනවද?

ඔව්. පවුලේ සාමාජිකයන් හා නෑදෑයන් අතර සමීප සබඳතා පවතින විට විවෘත ආර්ථිකයේ අහිතකර බලවේගවලට ඒ ජීවිත තුළට පිවිසෙන්න අමාරුයි. විවෘත ආර්ථිකය ක්‍රියාත්මක වන විට පවුල් සබඳතා බිඳවැටෙනව. සබඳතා අතින් මිනිසුන් හුදෙකලා වෙනවා. මැණික්‌ හාමි ගුරුන්නාන්සේ සහ ඔහුගේ බිරිඳ. පොඩි අප්පුහාමි සහ ඔහුගේ බිරිඳ. මේ අය ඥාතීන් වුණත් සබඳතා නැති හුදෙකලා චරිත වුණේ ඒ නිසයි. මේ චරිත ඇසුරෙන් විවෘත ආර්ථිකයෙන් සමාජයේ පුද්ගලාන්තර සබඳතා බිඳවැටෙන සැටි නිරූපණය කිරීමට මම උත්සාහ කළා. 

සැබෑ කලාකරුවා සමාජයක අනාගතය විනිවිද දකින පුද්ගලයෙක්‌. ඔහු එය නිරූපණය කරන්නේ සිය නිර්මාණ ශක්‌තියෙන්. නමුත් අද අපේ රටේ ටෙලි නාට්‍ය ක්‌ෂේත්‍රය තුළ පමණක්‌ නෙමෙයි සමස්‌ත කලාව තුළම මෙම ගුණය ඉතාමත් දුර්ලභයි. ඊට ඔබ දකින හේතු මොනවද?

සෑම කලා ක්‌ෂේත්‍රයක්‌ තුළම ඒ ගුණය අද ඉතාම තදින් ගිලිහිලා. රූපවාහිනී ටෙලි නාට්‍යයක්‌ නිර්මාණය කිරීමේදී රචකයාට තිබිය යුතු ස්‌වාධීනත්වය ඉතාමත් වැදගත්. අනාගතය ගැන හිතල දුරදක්‌නා නුවණින් යම් නිර්මාණයක්‌ කිරීමට කලාකරුවකුට හැකිවන්නේ එවිටයි. අද බොහෝ කලාකරුවන්ට තම නිර්මාණ ස්‌වාධීනව ඉදිරිපත් කරන්න අවස්‌ථාවක්‌ ලැබෙන්නෙ නෑ. වෙළෙඳ මනස විසින් එය පාලනය කරන ස්‌වභාවයක්‌ අද තිබෙනවා. එය ඉක්‌මවන්නට නම් තිර රචක, අධ්‍යක්‌ෂක හා නිෂ්පාදක එක්‌තරා විධියක දැඩි ස්‌වාධීනතාවක ඉන්නට ඕන. නමුත් එවැනි අවස්‌ථා ඉතාමත් අඩුයි.

අනෙක අද බාල බොළඳ නිෂ්පාදනවලට අවස්‌ථා වැඩියි. අපේ රටේ ටෙලි නාට්‍ය කලාව ආරම්භයේදී අපි එහි සියලූ අංගවලට වටිනාකමක්‌ ලැබෙන විදිහටයි කටයුතු කළේ. සෑම අංශයකින්ම නිර්මාණ කෞශල්‍ය ඔප් නංවන්නයි උත්සාහ කළේ. අද ඒක කරන්න සිද්ධවෙලා තියෙන්නෙ වේගවත් තදබදයක. එයට හේතුව අද රූපවාහිනී නාලිකා ඉතා අඩු මුදලට ටෙලි නාට්‍ය ලබාගෙන වැඩි ආදායමක්‌ ලැබීමට උත්සාහ දැරීම නිසයි. අද බොහෝ විද්යුත් මාධ්‍යත් උත්සාහ කරන්නෙ ටෙලි නාට්‍ය තුළින් 'පට්‌ පට්‌ ගාලා සම්තිං' හොයන්නයි. මේනිසා මමත් ටෙලි නාට්‍ය ලිවීමෙන් කලක්‌ ඈත් වෙලා හිටියා. සෑහෙන නිහඬතාවකට පසුව තමයි මේ දිනවල විකාශය වන එකගෙයි මිනිස්‌සු ටෙලි නාට්‍යය ලිව්වෙ.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක
http://www.divaina.com/2017/04/30/feature25.html

Pic Source

1 comments:

Saman Jayawardhana said...

Api thawa thawath bala sitemen palak netha denma piywarak gatha yuthuya