
* ත්‍රස්‌තවාදීහු දසදෙනෙක් මැරුම් කති
* ගුවන් තොටුපළේ ආරක්‍ෂක නිලධාරීන්ගේ නිල ඇඳුම්වලට සමාන ඇඳුම් හා හැඳුනුම්පත් ත්‍රස්‌තයන් ළඟ තිබී සොයාගනී
* ගුවන් යානාවන් පැහැර ගැනීමට ගත් උත්සාහයද ව්‍යර්ථ වේ
* ආරක්‍ෂක හමුදා භටයන් 9 ක් මරුට
* තෙහෙරාක් තාලිබාන් සංවිධානය වගකීම බාරගනී
පෙරේදා (8දා) රාත්‍රී 11 ට පමණ පොලිස් නිල ඇඳුමින් යුත් ත්‍රස්‌තවාදීහු කණ්‌ඩායමක් පාකිස්‌ථානයේ කරච්චි නුවර ජින්නා ගුවන් තොටුපළට ඇතුල් වී එල්ල කළ ප්‍රහාරය නිමා වූයේ 24 දෙනෙක් මරුමුවට පත් වීමෙනි. පැය හයකට අධික කාලයක් තිස්‌සේ කරච්චි ගුවන් තොටුපළේ රැඳී සිටි ත්‍රස්‌තවාදීහු දස දෙනා මරා දැමීමට හමුදා කමාන්ඩෝ භටයෝ සමත් වූහ.

ත්‍රස්‌තවාදී කණ්‌ඩායම මරා දැමීමෙන් පසු ඊයේ උදේ ගුවන් තොටුපළ තුළ කළ සෝදිසි මෙහෙයුමේදී මැෂින් තුවක්‌කු පහක් මරාගෙන මැරෙන ඇඳුම් කට්‌ටල තුනක් හා රොකට් විදින දෙකක් ද සොයාගැනිණි මේ හැර ජීව උණ්‌ඩ රැසක්‌ද හමු වූ බව පකිස්‌තාන් හමුදා බලධාරීහු හෙළි කළහ.
මෙම ප්‍රහාරයේදී පකිස්‌තාන් ගුවන් සේවාවට අයත් යානාවක්‌ද එයාර් බ්ලූ යානාවක් හා භාණ්‌ඩ ප්‍රවාහන යානාවක්‌ද හානියට පත් වී ඇත.
ගුවන් තොටුපළ වෙත කඩා වැදුනු ත්‍රස්‌තවාදීන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන්ද සිටි අතර ඉන් එක් බෝම්බකරුවෙක් පුපුරුවා ගත් බවද පකිස්‌තාන් හමුදා බලධාරීහු හෙළි කර තිබේ.
ව්‍යාජ හැඳුනුම් පත් භාවිත කරමින් ගුවන් තොටුපළේ ඉංජිනේරු අංශයෙන් ඇතුළු වූ මෙම ත්‍රස්‌ත කණ්‌ඩායම තුන් පැත්තකට විසිරී ගොස් ප්‍රහාර එල්ල කර ඇත. පාකිස්‌තානයේ විශාලතම ගුවන් තොටුපළ වූ ජින්නා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිටි මගීහු ඉවත් කර ගැනීමට බලධාරීන්ට හැකි වීම සුවිශේෂ සිද්ධියකි.
මේ සම්බන්ධව සින්ද් ප්‍රාන්තයේ මහ ඇමැති අලි ෂා පැවසුවේ මැනවින් පුහුණුව ලබා සිටි ත්‍රස්‌ත පිරිසගේ අරමුණ වූයේ ගුවන් යානා විනාශ කිරීම බවයි.
මැරුම් කෑ ත්‍රස්‌තයන් සියලු දෙනා පුපුරණ ද්‍රව්‍ය සිරුරේ සවිකරගෙන තිබූ බවද ඔහු හෙළි කළේය.
කරච්චි ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරය පිළිබඳව ආරක්‍ෂක ඇමැති මහ්මුද් අසිප් එරට රූපවාහිනිය අමතමින් ත්‍රස්‌තවාදීන්ගේ ප්‍රහාරවලට නිසි ප්‍රතිචාර දැක්‌වීමට පකිස්‌තානය සූදානම් බව කියා සිටියේය.
මෙතෙක් සිදු කළ විමර්ශනවලින් හෙළි වූයේ ජින්නා ගුවන්තොටුපළේ පැරණි පර්යන්ත ගොඩනැඟිල්ලේ ගේට්‌ටුවෙන් ත්‍රස්‌තයන් පස්‌දෙනකු ඇතුල් වී ඇති අතර අනිත් පස් දෙනා භාණ්‌ඩ ප්‍රවාහන ප්‍රදේශයේ තාප්පයක් පුපුරුවා ගුවන් තොටුපලට ඇතුළු වූ බවයි.
ඒ වන විට රාත්‍රි 11 කනිසම උදා වී ඇත. කරච්චි ගුවන් තොටුපළේ සිට ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ වන්නේ රාත්‍රි 11 ත් අලුයම 3 ත් අතරය.
ප්‍රහාරය ආරම්භ වී විනාඩි 30 කට පසු හමුදා කමාන්ඩෝ භටපිරිස් ගුවන් තොටුපළට පැමිණ ත්‍රස්‌ත මර්දනය දියත් කර ඇත.
පාකිස්‌තාන් බුද්ධි සේවා ආරංචි මාර්ග දක්‌වා ඇත්තේ ත්‍රස්‌තවාදීන් ගුවන් යානාවන් පැහැර ගැනීමට හා තෙල් ටැංකි සංකීර්ණය විනාශ කිරීමට සැලසුම් කර තිබූ බවයි. 2009 වසරේදී ත්‍රස්‌තවාදීහු රාවල්පින්ඩි හමුදා මූලස්‌ථානයට ද ප්‍රහාර එල්ල කළ අතර එහිදී 23 ක් මරුමුවට පත් විය. 2011 දී මෙහේරාන් නාවික කඳවුර වෙත එල්ල වූ ත්‍රස්‌ත ප්‍රහාරයෙන් ඇමරිකානු ඕරියන් යානා දෙකක් විනාශ වූ අතර හමුදා භටයන් 10 ක් මරුමුවට පත් වූහ.
මෙම පසුබිම මැද කරච්චි ගුවන් තොටුපළට ත්‍රස්‌ත ප්‍රහාරයක් එල්ලවීම ආරක්‍ෂාව බිඳ වැටීමක් ලෙස දැක්‌විය හැකිය.
ත්‍රස්‌ත ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ එක් ගුවන් යානාවක් ධාවන පථයේ සිට අහසට ගැනීමට සූදානම් වී තිබිණි.
එම යානාවේ සිටි මගීහු ගුවන් තොටුපළේ පිපිරීම දැක ඇත.
මෙම ප්‍රහාරයෙන් පෙන්නුම් කරන්නේ පාකිස්‌තානයේ නවාස් ශරීප් රජයට එල්ල වී ඇති ත්‍රස්‌ත තර්ජනය නිම වී නැති බවයි. එසේම ආසියානු කලාපයේ අනිකුත් ගුවන් තොටුපළ වෙත එල්ල වූ අනතුරු ඇඟවීමක් ලෙසද දැක්‌විය හැක.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/06/10/forign.html
සබැඳි ලිපි -
[
කරච්චි ගුවන් තොටට ත්‍රස්‌ත ප්‍රහාරයක් - මරණ 24 යි 15කට තුවාලhttp://denethharinna.blogspot.com/2014/06/24-15.htmlඅල්ලා දේව කැමත්ත??? පාකිස්තාන කරච්චි ජාත්‍යන්තර ගුවන්තොටුපළට වෙඩි ප්‍රහාරයක්http://denethharinna.blogspot.com/2014/06/blog-post_5452.html
]
0 comments:
Post a Comment