
එම උතුම් සෑ රජුන් හට උපහාර පිණිස මහමෙව්නාව භාවනා අසපුවත්, ශ්‍රද්ධා රූපවාහිනියත් එක්‌ව ඉදිකරන ලද රන් කණු දහසකින් පමණ සමන්විත ස්‌වර්ණප්‍රාකාරයක් බඳු වූ අසදිස මහා රන් වැට පසුගිය වෙසක් මස 31 වැනි දින ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ගරු කථානායක තැන්පත් චමල් රාජපක්‍ෂ මැතිඳුන්ගේ සුරතින් ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සහ මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් මංගල මහා සෑ රජුන් වෙත පූජා කරන ලදී.
මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්‌වාමීන් වහන්සේගේ සංකල්පයකට අනුව සිදු කෙරුණු මේ මහා පුණ්‍ය කර්මයට සේරුවිල මංගල රාජමහා විහාරාධිපති අමරපුර කල්‍යාණවංශ නිකායේ අනුනායක සේරුවිල සරණකිත්ති අනුනායක ස්‌වාමීද්‍රයන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදය හිමිව තිබිණි. මහමෙව්නාව භාවනා අසපු වාසී ස්‌වාමීන් වහන්සේලාගේත්, ශ්‍රද්ධා රූපවාහිනියේ සහ ශ්‍රද්ධා ගුවන් විදුලියේ ගරු සභාපතිතුමිය වන රෝෂිණී රාජපක්‍ෂ මැතිනිය ඇතුළු ශ්‍රද්ධා අධ්‍යක්‍ෂක මණ්‌ඩලයේ අධීක්‍ෂණය සහ කැපවීම යටතේ ලොව පුරා සැදැහැවතුන්ගේ ආධාර උපකාර සහිතව මෙම විශ්මිත රන්වැට වසරකටත් අඩු කාලයක දී තනවන්නට යෙදුණි.
එම රන් වැට විවෘත කිරීමේ පුණ්‍ය උත්සවය සහ ඊට සමගාමීව පැවැති සේරුවිල මංගල මහා සෑ වන්දනාව උදෙසා සෑ රජුන් සැරසීමේ කටයුතු වෙසක් මස 30 වැනිදා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහයෝගයෙන්, සෑ රජුන් මුළුමනින් ම සුවඳ පැනින් දොවනය කිරීමෙන් අනතුරුව ආරම්භ විණි.

ගරු කථානායකතුමන්, බුද්ධ ශාසන නියෝජ්‍ය අමාත්‍යතුමන්, නාවික හමුදාපතිතුමන්, සිවිල් ආරක්‍ෂක බළකා අධ්‍යක්‍ෂ ජනරාල්තුමන් ඇතුළු සැදැහැවතුන් විසින් මල් දොලාවලින් සෑ වන්දනාව උදෙසා අෂ්ඨපාන ගිලන්පස ඇතුළු පූජා ද්‍රව්‍යයන් වැඩම කරවීම බොහෝ දෙනකුගේ චිත්ත ප්‍රසාදය උපදවන දසුනක් විය.
ගුවන් ගැබෙන් මල් වරුසා ඇද හැලෙද්දී රැස්‌ව සිටි ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ සාධුකාර සහ හේවිසි වාදන මධ්‍යයේ කථානායක චමල් රාජපක්‍ෂ මැතිඳුන්ගේ සුරතින් උතුම් සෑ රජුන් උදෙසා රන් වැට පූජා විය.
එම උතුම් අවස්‌ථාවේදී සූර්ය දිව්‍ය රාජයා අසිරිමත් අද්භූත ආකාරයකින් පෙළහර දක්‌වන්නාක් වැනිව නානා රැස් විහිදුවමින් පියවි ඇසින් ද දැක බලා ගතහැකි අයුරින් බුදු පුදට එක්‌ව සිටීම පැමිණ සිටි සම්භාවනීය පිරිස ඇතුළු සියලු දෙනා තුළ මහත් බුද්ධාලම්භන ප්‍රීතියක් ජනිත කරවන සිදුවීමක් විය.
මෙම උතුම් පුණ්‍යකර්මය උදෙසා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරන්දර ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහානායක අතිපූජනීය දොඩම්පහළ චන්දසිරි මහානායක ස්‌වාමීන් වහන්සේ ද මහමෙව්නාව භාවනා අසපුවාසී මහා සංඝරත්නය ඇතුළු ස්‌වාමීන් වහන්සේලා පන්සිය නමක් පමණ ද මෙහෙණින් වහන්සේලා සිය ගණනක් ද සහභාගි වූ අතර දකුණු පළාත් ආණ්‌ඩුකාරතුමිය වන කුමාරි බාලසූරිය මහත්මිය, ත්‍රිකුණාමලය දිසාපතිතුමා, ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිතුමා ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.
මෙම පින්කම සංවිධානය කිරීමට ශ්‍රී ලංකා යුද හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්‍ෂක බළකාය, ශ්‍රී ලංකා පොලිසිය ඇතුළු ආයතනයන් රාශියක් එක්‌ව සිටීම සුවිශේෂී ය. පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන් උදෙසා නොයෙක් ආකාරයේ දන්සල් විශාල සංඛ්‍යාවක් ද සූදානම් කොට තිබූ අතර, දුම්රිය සේවා සහ බස් සේවා ද සැදැහැවතුන්ගේ පහසුව උදෙසා යොදවා තිබිණි.
පෙර රජ දවස යළි සිහි ගන්වමින් සිදුකළ මේ මහානීය පින්කමෙන්
රැස්‌කර ගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු ලක්‌වැසියන්ට සෞභාග්‍යය පිණිසම, ධර්මාවබෝධය පිණිස ම හේතු වාසනා වේවා!
http://www.divaina.com/2014/06/08/feature06.html
0 comments:
Post a Comment