Pages

Friday, June 13, 2014

කෝටි 68ක කුඩු අල්ලයි - දෙවැනි විශාලම තොගය - සෙල්වරාඡ්, සෙල්වදොරේ දෙසොහොයුරන් දැලේ!


* ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් දෙවැනි විශාලම තොගය බව කියයි
* කිලෝ 85 1/2 යි
* අත්අඩංගුවට ගත්තේ බියගම පැත්තෙන්

ශ්‍රී ලංකාවේදී මෙතෙක්‌ අත්අඩංගුවට ගත් දෙවැනි විශාලතම හෙරොයින් මත් කුඩු තොගය ලෙස සැලකෙන රුපියල් හැටඅටකෝටියකට අධික වටිනාකමින් යුත් බ්‍රවුන් ෂුගර් වර්ගයට අයත් හෙරොයින් කිලෝ අසුපහමාරක්‌ පෙරේදා (11 වැනිදා) රාත්‍රියේදී බියගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු පිරිසක්‌ සමත් වූහ.

මෙම මත්කුඩු තොගය ප්‍රවාහනය කළ සුඛෝපභෝගී මෝටර් රථය සහ සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා කොටහේන ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකි.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ලැබුණු තොරතුරක්‌ මත සහකාර පොලිස්‌ අධිකාරිවරයකු, පොලිස්‌ පරීක්‍ෂකවරුන් තිදෙනකු ඇතුළු පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සාමාජිකයන් 40 ක පමණ පිරිසක්‌ යොදවා මෙම හෙරොයින් තොගය සමඟ සැකකරුවන් දෙදෙනා සහ මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායට මීට මාස තුනකට පමණ පෙර මෙම හෙරොයින් තොගය පෙරේදා දින බියගම සිට කැලණිය හරහා ප්‍රවාහනය කරන බවට තොරතුරු ලැබී තිබිණි.

ඒ අනුව විශේෂ කාර්ය බළකා නිලධාරීන් නිල ඇඳුමෙන් සහ සිවිල් ඇඳුමෙන් ස්‌ථානගත වී මෙම මෙහෙයුමට සහභාගි වී ඇත. පෙරේදා රාත්‍රි 10.30 ට පමණ සැක කටයුතු වාහන පරීක්‍ෂා කරමින් සිටියදී තොරතුරකට අදාළ සුඛෝපභෝගී හයිබ්‍රිට්‌ මෝටර් රථය පැමිණ තිබේ. එය නවතා පරීක්‍ෂා කිරීමේදී මත් කුඩු කිලෝ අසූපහමාර අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

අත්අඩංගුවට ගත් මෝටර් රථයට ආසන්නව පසුපසින් පැමිණි සැකකටයුතු ත්‍රිරෝද රථයක්‌ ද නවතා ප්‍රශ්න කිරීමේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගේ බාල සොහොයුරා ද එහි සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි විය.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී බියගම ප්‍රදේශයේ නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථය වෙත ත්‍රිරෝද රථයෙන් පැමිණි මෙම සහෝදරයන් දෙදෙනාගෙන් වැඩිමල් සොහොයුරා මෝටර් රථයට ගොඩවී එය කැලණිය ප්‍රදේශයට ධාවනය කළ බවත්, මෝටර් රථයට පිටුපසින් ත්‍රිරෝද රථයේ බාල සොහොයුරා පැමිණි බවත් පොලිස්‌ ප්‍රශ්න කිරීම් හමුවේ ඔවුන් ප්‍රකාශ කර ඇත. මෝටර් රථය එම ස්‌ථානයට රැගෙන ආ පුද්ගලයා නොදන්නා බව ද ඔවුන් පවසා තිබේ.

අත්අඩංගුවට ගත් දෙදෙනා කොටහේන ප්‍රදේශයේ පදිංචි සෙල්වරාඡ් සුන්දරරාජා (බාල සොහොයුරු) සහ සෙල්වදොරේ රවිකුමාර් (වැඩිමල් සොහොයුරු) බව හඳුනාගෙන ඇතැයි පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරී අජිත් රෝහණ මහතා ඊයේ (12 වැනිදා) පොලිස්‌ විශේෂ කාර්ය බළකා මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් පැවසීය.

වැඩිදුර විමර්ශනය සඳහා සැකකරුවන් සමඟ මත්කුඩු තොගය පොලිස්‌ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට ලබා දී තිබෙන අතර මෙම මත්කුඩු තොගය පාකිස්‌තානයේ සිට රැගෙන එන්නට ඇතැයි පොලිසිය සැක කරයි. එමෙන්ම මෙම මත්කුඩු තොගය මෙරට පවතින මත්කුඩු ගබඩාවක සිට වෙනත් තැනකට ප්‍රවාහනය කරන්නට ඇතැයි සැකකරන බව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මත්කුඩු තොගය ප්‍රවාහනය කිරීම සඳහා එකම කණ්‌ඩායමක්‌ යොදා නොගන්නා අතර එක්‌ ස්‌ථානයක සිට තවත් ස්‌ථානයකට ප්‍රවාහනය කිරීම සඳහා විවිධ කණ්‌ඩායම් යොදා ගන්නා බැවින් මෙම ජාවාරමේ සුලමුල හෙළිකර ගැනීමට යම් කාලයක්‌ ගතවන බවත් එම නිලධාරියා පැහැදිලි කළේය.

මෙම ජාවාරම්කරුවන් දෙදෙනාට ජංගම දුරකථන ඔස්‌සේ විදේශ රටක සිට ලබා දුන් දැනුම්දීමකට අනුව මත්ද්‍රව්‍ය තොගය ප්‍රවාහනය කර ඇති බවට ද තොරතුරු ලැබී ඇති බවත් ඒ අනුව එම තොරතුරු ඔස්‌සේ ද විමර්ශන කටයුතු සිදුකරනු ලබන බවත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරියා සඳහන් කළේය.

පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ වැඩබලන අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි රංජිත් පෙරේරා මහතා ද මෙම මාධ්‍ය හමුවේදී අදහස්‌ දැක්‌වීය.

(අත්අඩංගුවට ගත් දෙවැනි විශාලම කුඩු තොගය සහ රථය ඉහත සේයාරුවෙන් දැක්වේ)

හේමන්ත රන්දුණු, චමින්ද සිල්වා | ඡායාරූපය නිශාන් එස්‌ ප්‍රියන්ත
http://www.divaina.com/2014/06/13/news01.html

0 comments: