Pages

Monday, August 1, 2016

මේ රටේ ජීවය ලෙස සලකන බුදුදහමට හිමිවිය යුතු තැන සහ ගෞරවය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් අහිමි කිරීමට කටයුතු නොකළ යුතුය - අගරදගුරු

ජාතික සංහිඳියාවක්‌ ගැන කතා කරන, ආගමික සංහිඳියාවක්‌ ගැන කතා කරන බොහෝ දෙනෙක්‌ ඊට ඉඳුරාම පටහැනි ආකාරයෙන් කටයුතු කරන බව වර්තමානයේ සිදු වන බොහෝ දේ ප්‍රවේශමින් නිරීක්‍ෂණය කරන විට පෙනෙන කාරණයකි.

එහෙත් පසුගිය දවසක කොළඹ සම්බෝධි විහාරයේ පැවැති බෞද්ධ වැඩකටයුත්තකට සැපත්ව සිටි අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමෝ ඉතා වටිනා කතාවක්‌ කියා තිබුණේ ඉහත කී පිරිසගේ ඇස්‌ ඇරෙන්නටය. මේ කතාව මේ රටේ කවර ජාතියක වුව කවර ආගමක වුව බොහෝ දෙනෙක්‌ට බොහෝ දේ සිතන්නට ඉඩකඩ විවර කර දී ඇති බව අපේ විශ්වාසයයි. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමෝ සිදු කළ වටිනා ප්‍රකාශයේ සංක්‍ෂිප්තය මෙබඳුය. "බුදුදහම මේ රටේ පොදු උරුමයේ කේන්ද්‍රයයි. එහි රිද්මය මේ රටේ සුළඟට පවා මුසුව තිබේ. එ හෙයින් අප කවර ආගමක්‌ ඇදහුවද අප හුස්‌ම ගන්නේ ඒ ඇසුරිනි. තමන්ට ඇතිවන සිත් තැවුලකදී සැනසුම ලබා ගැනීමට ඉවහල් වන මේ රටේ ජීවය ලෙස සලකන බුදුදහමට හිමිවිය යුතු තැන සහ ගෞරවය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් අහිමි කිරීමට කටයුතු නොකළ යුතුය." ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීමට ව්‍යවස්‌ථාව කෙටුම්පත් කරන්නට උත්සාහ දරන උදවිය මේ විශිෂ්ට ප්‍රකාශය ගැන වරක්‌ දෙවරක්‌ නොව බොහෝ සෙයින් කල්පනා කළ යුතුය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමෝ කරන ප්‍රකාශය ජාත්‍යන්තරව ද ප්‍රකට කළ යුතු අනගි ප්‍රකාශයකි. අදින් බොහෝ කලකට ඉහතදී ගරු මර්සලීනු ජයකොඩි පියතුමෝ ද මෙවැනිම උතුම් ප්‍රකාශයක්‌ කරන ලද්දාහ. ඒ මෙසේය.

"අපි කාටවත් ඉතිහාසයට බොරු කරන්න බෑ. අද කතෝලික වෙලා ඉන්න අයගේ පරම්පරා තුන හතරක්‌ ආපස්‌සට ගිහින් බැලුවොත් ඒ අය බෞද්ධයෝ. මගේ ජාතිය සිංහල... ආගම කතෝලික. නමුත් සංස්‌කෘතිය බෞද්ධ..."

මේ දෙසුම් කොතරම් වටිනවාදැයි මොහොතකට කල්පනා කරන්න. මේ ප්‍රකාශ ඇත්තය. කුමන ආගමක්‌ ඇදහුවද, කුමන ජාතියකට අයත් වුවද රටේ ජීවත් වන සියලු දෙනාගේම ජීවිතවලට අස්‌වැසිල්ලක්‌ එක්‌කරන්නට බෞද්ධ සංස්‌කෘතිය සමත් වන බව කිව යුතුය. මෙය ඉතිහාසගත කරුණකි. මෙරටට පෘතුගීසීන් ගොඩ බැස මුස්‌ලිම් ජනතාවට පහර දෙද්දී ඔවුනට පිහිටට පැමිණියේ බෞද්ධ රජුය, ලන්දේසීන් පැමිණ කතෝලිකයන්ට හිරිහැර කරනවිට ඔවුන්ගේ පිහිටට පැමිණියේද සිංහල බෞද්ධයෝය. කළු ජූලිය ගැන මොන මතවාද තිබුණත් කරදරයට පත්වූ දෙමළ ජනතාවට රැකවරණ සැලසුවේ මේ රටේ සිංහල බෞද්ධයෝය. ඒ මෑත ඉතිහාසයයි. ඉතිහාසය පෙන්වා ඇති එවැනි බොහෝ කරුණු කාරණා ගැන ඊනියා සංහිඳියා කඳවුරුවල ගාල්වී සිටින උදවියට කල්පනා වන්නේ නැත. එසේත් නැතිනම් වුවමනාවෙන්ම ඒ කාරණා මඟහැර යන බවක්‌ පෙනේ. කවුරු කවුරුත් කල්පනා කළ යුතු වැදගත් අතීත කාරණයක්‌ද සිහිපත් කළ යුතුය. ඉංගී්‍රසීන්ට මේ රට භාර දෙන්නට සකස්‌ කෙරුණු උඩරට ගිවිසුමෙහි පවා බුදුදහමට හිමි විය යුතු ගෞරවය ගැන සඳහන්ව තිබිණි. ඉංගී්‍රසීන් සමග මේ රටේ ජනතාවට සටන් කරන්නට සිදුවූයේ එම ගිවිසුම කඩ කරන්නට කටයුතු කළ නිසාය. අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමෝ ප්‍රකාශ කරන්නා සේම බුදුදහමට හිමිවිය යුතු ස්‌ථානය සහ ගෞරවය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව මගින් අහිමි නො කළ යුතුය. එතුමෝ එසේ ප්‍රකාශ කරන විට අපේ සමහර දේශපාලන උතුමෝ ඊට පටහැනිව ක්‍රියාකරන්නට කැස කවන බව ඒකාන්තය.

http://www.divaina.com/2016/07/28/editor.html

Pic Source - Hiru News

සබැඳි ලිපි -
[
]