Pages

Friday, March 14, 2014

අලුත් ක්‍රමය නිසා ඩොලර් මිලියන 30ක්‌ පාඩුයි. නමුත් ක්‍රිකට්‌ දුවන්න නම් මේ රටවල් 3 සමග ගනුදෙනුව අත්‍යවශ්‍යයි - නිශාන්ත රණතුංග

අප දැන් සිටිනුයේ නූතන ක්‍රිකට්‌ යටත්විජිතවාදයක පීඩිතයන් වශයෙනැයි හිතෙන තරමට එකවරම ලෝක ක්‍රිකට්‌ ව්‍යහය වෙනස්‌ විය. ක්‍රිකට්‌වල පියා වන 'එංගලන්තයත්' බාප්පා වන 'ඔස්‌ටේ්‍රලියාවත්' එකතුව ඉන්දියාව 'ලොකු තාත්තා' බවට පත්කරගනිමින් 'මහා බලධාරී ක්‍රිකට්‌ තුන් කට්‌ටුවක්‌ ' බිහිවිය. ජගත් ක්‍රිකට්‌ ක්‍රීඩාව පවත්වාගෙන යැමේදී ලැබෙන මුල්‍ය දායකත්වය, දක්‍ෂතාවල මට්‌ටම සහ ක්‍රිකට්‌ සඳහා පරම්පරාගත අයිතිය හෙවත් ප්‍රවේනී උරුමය යන කරුණු පාදක කරගනිමින් සමස්‌ත ක්‍රිකට්‌ ලෝකයම ඉන්දියාව, එංගලන්තය සහ ඔස්‌ටේ්‍රලියාව යන ක්‍රිකට්‌ තෙපාව මත තැබූ නව සංශෝධනවලදී ශ්‍රී ලංකාවේ ගමන ගැන අපි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග මහතාගෙන් මෙසේ විමසුවෙමු.

ඔබ පළමුවෙන්ම මේ යෝජනා ගැන දැනුවත් වෙන්නෙ කවදද? කොයි විදිහටද?

අයි.සී.සී යේ අය වැය තීරණය කෙරෙන්නේ අවුරුදු 7කට වරක්‌ හැටියටයි. 2015 ලෝක කුසලානයෙන් පසුව නව මුල්‍ය වාරයක්‌ එළඹෙනවා. මේ ගැන වසරකට පෙර සිට අයි.සී.සී ය සැලසුම් හදනවා. අන්න ඒ කාරණයට අදාළව අපේ සභාපතිතුමාවත් ලේකම් හැටියට මාවත් අයි.සී.සී මූලස්‌ථානයට (ඩුබායි) කැඳෙව්වා පසුගිය ජනවාරි 9 වැනිදා. 

මෙතෙක්‌ පැවැති ක්‍රමවේදයේදී වසර 7ක මුල්‍ය වකවානුවේ අයි.සී.සී යේ වියදම් වෙන්කරගැනීමෙන් පසු ඉතිරි මුදලින් 70%ක්‌ ටෙස්‌ට්‌ රටවල් අතරේ සමව බෙදුවා. ඉතිරි 30% පූර්ණ සාමාජිකත්වය නැති රටවල් වලට බෙදා දෙනවා. මෙම රැස්‌වීමේදී අයි.සී. සී. ය අපට කිව්වා ඉදිරි වසර 7 දී අප ඩොලර් බිලියන 6.7 ත් 6.8 ත් අතර ඉපැයුමක්‌ ගේනවා කියලා. ඒ කියන්නේ පහුගිය වසර 7 ඉපැයුමට වඩා ඩොලර් බිලියන 1.2 ක්‌ විතර වැඩි ආදායමක්‌. හැබැයි ඒක බෙදීමේදී එය මෙතෙක්‌ ක්‍රමයෙන් වෙනස්‌ අලුත් විදිහකට තමයි බෙදන්න බලාපොරොත්තුවෙන්නේ කියලා. අයි.සී.සීයේ වියදම ඉවත් කළ හම ඩොලර් බිලියන 1. 5 ක විතර මුදලක්‌ සාමාජික රටවල් අතරේ බෙදෙන්නට තිබුණා. නමුත් සමව බෙදාදීම වෙනුවට දායකත්වය මත පදනම්වූ යම් අනුපාතකයට මෙය බෙදා දෙන්න සිදුවනවා කියලා අයි.සී.සී ය කිව්වා. ඒ අනුව ඉන්දියාවට වැඩිම මුදලකුත් පිළිවෙලින් ඔස්‌ටේ්‍රලියාව සහ එංගලන්තයටත් අනතුරුව සෙසු රටවල්වලටත් හැටියට අඩුවන අනුපාතයකට මෙය සිදුවන බව කීවා. මේ විදිහට තමයි පළමුවරට අපිට මේ සංශෝධනය ගැන දැනගන්න ලැබෙන්නේ.

ප්‍රශ්නය- මේ වෙනස අපේ පැත්තෙන් ඉලක්‌කම් වශයෙන් කථා කළොත්...

පිළිතුර- අපට පහුගිය මුල්‍ය හත්වසරේ ඩොලර් මිලියන 55 ක්‌ මේ ආකාරයට අපට ලැබුණා. ඒ ක්‍රමයටම ගියානම් අපට මීළඟ මුල්‍ය හත් වසරේ ඩොලර් මිලියන 125 ක්‌ පමණ ලැබෙන්නට තිබුණා. නමුත් මේ අයගේ මේ අලුත් ක්‍රමවේදයේදී අපට ලැබෙන්නේ ඩොලර් මිලියන 90 ක්‌ විතරයි. පහුගිය වසර 7ට සාපේක්‍ෂව මෙහිදී අපගේ අදායම වැඩි වුණත් මේ නව අනුපාත ක්‍රමය නිසා අපට ඩොලර් මිලියන 25 ක 30 ක පාඩුවක්‌ වෙනවා. 

ප්‍රශ්නය- ඒ කියන්නේ ඒ දක්‌වා මේ යෝජනාවේ බලපෑම තියෙන්නේ මුල්‍යමය වශයෙන් විතරයි. නමුත් පරිපාලනමය වශයෙනුත් විශාල බලපෑමක්‌ නව යෝජනා අනුව සිදුවුනානේ. එහෙම වෙන්නේ කොහොමද?

පිළිතුර - අපි එදා ඒ රැස්‌වීම ඉවරවෙලා පහුවෙනිදාම ලංකාවට ආවා. ජනවාරි 15 වැනිදා අපට අයි.සී.සීයෙන් අපට කෙටුම්පත ගැන කරුණු සඳහන් ලිපිය ලැබුණා. අපේ නිලධාරී මණ්‌ඩලයේ සභාපතිතුමා ඇතුළු වැඩි වගකීමක්‌ සහිත සියලුදෙනා මේ ලිපිය ලැබුණු දවසෙම හවස 4ට එකතුවෙලා මේ ලිපියේ කරුණු එකින් එක පරීක්‌ෂා කර බැලුවා, අන්න එය කියවීමෙදී තමයි අපට දැනුනේ මුල්‍යමය වශයෙන් විතරක්‌ නෙමෙයි, පාලක මණ්‌ඩලයක්‌ හැටියට පරිපාලනමය වශයෙනුත් තවත් පැති කිහිපයකිනුත් ජාත්‍යන්තර ක්‍රිකට්‌ කවුන්සිලයේ අපගේ අයිතිවාසිකම් රැසක්‌ මෙයින් කප්පාදුවෙනවා කියන කාරණය.

ඒ සැනින් අපි තීරණය කළා වහාම මේක අපේ නීති උපදේශක කමිටුවට සහ මුල්‍ය උපදේශන කමිටුවට දමා උපදෙස්‌ විමසන්න. මොකද අපිට තේරුණා මේකට ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා කියලා. එදාම හැන්දෑවේ 5.30 ට අපි ක්‍රීඩා ඇමැතිවරයා හමුවී මේ ගැන දැනුම් දෙනවා. පසුව නීති උපදේශක කමිටුවේ උපදෙස්‌ මත අපි තීරණයකට එනවා මෙයට අපේ සහය නොදෙන්න. මේ නව සංශෝධන සම්බන්ධයෙන් අපේ මතය ප්‍රකාශ කරලා අයි.සී.සී යට ඉදිරිපත් කරන්න ලියුමකුත් ඉදි§රිපත් කරනවා.

ප්‍රශ්නය - ඒ වෙනකොට ඔබගේ මතයේම රැඳී සිටපු අනෙක්‌ රටවල් මොනවද? ඒවායේ ස්‌ථාවරය වෙනස්‌ වුණේa මොන විදිහටද?

පිළිතුර - මට මතක හැටියට ජනවාරි 28 වැනිදා අයි.සී.සී ය මේ සම්බන්ධයෙන් අපේ පළමු රැස්‌වීම තියන්න පෙර පකිස්‌තානය, දකුණු අප්‍රිකාව සහ බංගලිදේශයත් අපේ මතයේ සිටියා. ඒත් එම රැස්‌වීම පවත්වන මොහොත වන විට බංගලිදේශයත් කියා සිටියා ඔවුන් මේ සංශෝධන වලට සහය දෙනවා කියලා. නමුත් අපි ඒක විශාල බලපෑමක්‌ ඇති දෙයක්‌ විදිහට ගත්තේ නැහැ. මොකද මේ නව යෝජනා වල අයි.සී.සී ව්‍යවස්‌ථාව වෙනස්‌ වෙන අන්දමේ කරුණුත් තිබුණා. එහෙම යෝජනාවක්‌ සම්මත වෙන්න අවම වශයෙන් රටවල් 10 න් 8 ක කැමැත්ත අවශ්‍යයි. ඒ වෙනකොටත් අපිත් ඇතුළුව රටවල් 3ක්‌ විරුද්ධව සිsටි නිසා අපි අපේ ස්‌ථාවරයේම හිටියා. නැවතත් පෙබරවාරි 8 වැනිදා අයි.සී.සී ය සිංගප්පූරුවේ රැස්‌වීමක්‌ කැඳෙව්වා මේ සම්බන්ධයෙන් රටවල් වල කැමැත්ත විමසන්න. පෙබරවාරි 7 වැනිදා වන විටත් අපේ කඳවුරේ හිටපු දකුණු අප්‍රිකාව ඒ අයගේ ඉල්ලීම් කිහිපයකට එකඟව මේ සංශෝධන ගෙනෙන්නට අනෙක්‌ කඳවුර කැමැති වුණ බව දන්වමින් 8 වැනිදා අප්‍රිකාවත් මේකට කැමැත්ත දුන්නා. අන්තිමේදී අපිත් පකිස්‌තානයත් තනිවුනා. යෝජනාව සම්මත කරගන්න අවශ්‍ය ඡන්ද බලය ඒ අය හොයාගත්තා.

ප්‍රශ්නය - ඒ කියන්නේ ශ්‍රී ලංකාවටත්, පකිස්‌තානයටත් නිකම්ම නිකම් අකුලගෙන එන්න වුණා කියන එකද?

පිළිතුර - නැහැ එහෙම වුනේ නැහැ. දකුණු අප්‍රිකාවත් අනික්‌ පැත්ත ගහපු හැටියේ පකිස්‌තානය සහ ශ්‍රී ලංකාව එකතුවෙලා ශ්‍රී නිවාසන්ගෙන් (ඉන්දීය ක්‍රිකට්‌ සභාපති සහ අයි.සී.සී යේ මීළඟ සභාපති) හදිසි සාකච්ජාවක්‌ ඉල්ලුවා. එතැනදී අපි එයාට පහදල දුන්නා රටක්‌ හැටියට අපිට මේ සංශෝධනවලට එකඟවෙන්න බැරි හේතු කිහිපක්‌. එහිදී අපි කිව්වා මේ යෝජනාවට අනුව ප්‍රධාන රටවල් 3න් විතරක්‌ සභාපති පත්වීම ප්‍රජාතන්ත්‍රවාදී නැහැ, අනෙක්‌ රටවල් වලටත් ඒ අවස්‌ථාව හිමිවිය යුතුයි කියලා. පළමු අවුරුද්දේ මේ විදිහට ගිහින් එයින් පසුව ඡන්දයකින් සභාපති පත්කරන්න එයා එතැනදි කැමති වුණා. ඒ අනුව එය නිරවුල් වුණා. ඊළඟට, විධායක කමිටුව, මුල්‍ය කමිටුව ඇතුළු ප්‍රධාන කමිටු තුනක සභාපතිත්වය ඒ රටවල් 3ට විතරක්‌ හිමිවීම ගැන අපේ අකමැත්ත අපි ප්‍රකාශ කළා. 

පසුව එයත් මේ වසරේ මේ විදිහට ගිහින් ඊළඟ වසරේ සිට ඡන්දයකින් තීරණය වෙන්න ශ්‍රී නිවාසන් කැමැති වුණා. විධායක කමිටුවේ සාමාජිකත්වය ප්‍රධාන රටවල් 3 

සහ තවත් රටක්‌ හැටියට රටවල් 4 කට පමණක්‌ හිමිවීම රටවල් 6ක්‌ දක්‌වා වැඩිකරන්න ඕනේ කියලා අපි ඉල්ලුවා. එය රටවල් 5ක සාමාජිකත්වයක්‌ සඳහා වැඩිකරන්න අවසානයේ එකඟත්වයකට ආවා. අලුත් සංශෝධන අනුව ටෙස්‌ට්‌ තත්ත්වය නොමැති රටවල් වලට ටෙස්‌ට්‌ තත්ත්වය සහිත රටවල් එක්‌ක තරග කර දිනලා උසස්‌වීම ලබන්න පුළුවන්. ඒ වගේම ටෙස්‌ට්‌ තත්ත්වය සහිත රටවල් පහළ රටක්‌ එක්‌ක පැරදුනොත් ඒ අය ටෙස්‌ට්‌ තත්ත්වයෙන් පහළට යන්න ඕනි. හැබැයි ප්‍රධාන රටවල් 3 ට ඒක අදාළ නැහැ. මේ පහළයැම සහ ප්‍රධාන රටවල් 3ට එය අදාළ නොවීම සදාචාරාත්මක නැහැ කියලා අපි කිව්වා. ඒ අනුව අමාරුවෙන් ටෙස්‌ට්‌ තත්ත්වය ලබාගත් රටවල් පහළ දැමීම අහෝසි වුණා. හැබැයි ඕනෙම රටකට ඉහළට එන්න පුළුවන්. අලුත් සංශෝධන වල හැටියට අයි.සී.සී යේ ඉදිරි තරග කාලසටහන අහෝසිවෙලා ද්විපාර්ශ්වීය එකඟත්වය මතයි රටවල් 2ක්‌ අතර තරග යෙදෙ න්නේ. ඒ අනුව ප්‍රධාන රටවල් සමග තරග නැත්තටම නැතිවීමේ අවදානමක්‌ තිබුණා. නමුත් අවම වශයෙන් වසර 4 කට එක්‌ තරගාවලියක්‌වත් ඒ ඒ රට සමග ක්‍රීඩා කළ යුතුයි කියන අපේ ඉල්ලීමටත් කැමැත්ත පළවුණා. දේශීය ක්‍රිකට්‌ විකාශන අයිතිය පැවරෙන සමාගම සහ සංචාරක රට අතර අර්බුදයක්‌ තිබුණොත් අදාළ රටට සංචාරය අහෝසි කරන්න පුළුවන් කියලත් නීතියක්‌ තිබුණා. ශ්‍රී නිවාසයන්ගේ එකඟත්වයෙන්, සහයෙන්, ඒකත් අපි අහෝසි කරගත්තා.

ප්‍රශ්නය- මේ රටවල් 3 නැතිව ක්‍රිකට්‌ දුවන්න බෑ කියන එක තව විස්‌තර කළොත්..

පිළිතුර- අපිට ඉදිරි වසරදී ලංකාවේ තියෙන තරගාවලිවල විකාශන අයිතිය වෙනුවෙන් ලැබෙන මුදල ඩොලර් මිලියන 60 ක්‌. මේකෙන් ඩොලර් මිලියන 28 ක්‌ම ලැබෙන්නෙ ඉන්දියාව සමගින් තියෙන එක තරගාවලියකිනුයි. එංගලන්තය සමග තරගාවලියට ඇමරිකන් ඩොලර් මිලියන 12ක්‌ ලැබෙනවා ඔස්‌ටේ්‍රලියාව සමග තරගා වලියට ඩොලර් මිලියන 8ක්‌ අපේ රටට ලැබෙනවා. එතකොට ඩොලර් මිලියන 60 න් 40 ක්‌ම අපට ලැබෙන්නේ මේ රටවල් 3 නිසයි. අනික්‌ සියලු රටවල් සමග තරගාවලි වලින් අපට ලැබෙන්නේ ඩොලර් මිලියන 20යි. දැන් තේරෙනවද ප්‍රධාන රටවල් තුනේ සහභාගිත්වයක තියෙන වැදගත්කම. අපට ලැබෙන ආදායම සහභාගි වන රට අනුව වෙනස්‌ වුනත්, ඕනෑම රටක්‌ එක්‌ක තරගාවලියක්‌ පවත්වන්න යන වියදම සමානයි. ඒ කියන්නේ වර්තමානයේ නම් එක තරගාවලියක්‌ වෙනුවෙන් ඩොලර් මිලියන 3ක්‌. එතකොට මේ රටවල් 3 හැරුණුවිට ඇත්තෙන්ම අනෙක්‌ රටවල් සමග පැවැත්වෙන තරගවලින් අපිට පාඩුයි. එක්‌කෝ විශේෂ ලාභයක්‌ නෑ. ඒ කියන්නේ ක්‍රිකට්‌ දුවන්න නම් මේ රටවල් 3 සමග ගනුදෙනුව අත්‍යවශ්‍යයි.

ප්‍රශ්නය - නමුත් මේ දක්‌වා විශේෂ ආපදාවකින් තොරව ලෝකෙ ටෙස්‌ට්‌ රටවල්වල ක්‍රිකට්‌ පවත්වාගෙන ආවනේ. මෙතැනදී රටවල් 7 කටම මුල්‍යමය වශයෙන් හරි පරිපාලනමය වශයෙන් හරි වරප්‍රසාද අඩුවෙනවා. නමුත් මේ 'පීඩිත පන්තියේ 'එකමුතුවක්‌ හදාගන්න ඒ රටවල්වලට බැරි වුණේ ඇයි. ප්‍රධාන රටවල් 3 අත යටින් මොනවා හරි දුන්නාවද්ද? නැතිනම් ඇයි මේ අය පාඩුවට කැමතිවෙන්නේ.

පිළිතුර- තරගාවලි ලබාදීම පිළිබඳ යම් විශ්වාසයක්‌ ලබාදුන්නා නම් හැර වෙනත් අත යට ගනුදෙනුවලින් ඒ රටවල් පොළඹවාගත්තා කියලා මම හිතන්නේ නැහැ. මම කලින් කිව්වා වගේ මේ රටවල් 3 නැතිව ක්‍රිකට්‌ දුවන්න අනිත් රටවල්වලට බැහැ. එතැනදී තමයි හැමෝම හිරවුණේ.

ප්‍රශ්නය - ඒ වගේම ලෝකෙ අනික්‌ රටවල් නැතිව මේ රටවල් 3ට විතරක්‌ ක්‍රිකට්‌ ගහන්නත් බැහැනේ?

පිළිතුර - ඒක හරි. නමුත් ඒ අය දන්නවා, දක්‍ෂතා පවත්වාගෙන යන්නත්, මුල්‍යමය වශයෙන් කඩා වැටෙන්නේ නැතිව ක්‍රිකට්‌ රැකගන්නත් අනිත් රටවල් වලට තමන් නැතිව බැරි බව. අද ක්‍රිකට්‌ කියන්නේ වෙළෙඳපොළක්‌, පාඩු වුණොත් වහල දාන්න වෙන. මෙතැනදි හැම රටක්‌ම වගේ පරපෝෂිතයි. ඒ නිසා ඒ අය මත රැඳෙනවා කියන එක ප්‍රධාන රටවල් 3 දන්නවා.

ප්‍රශ්නය - ඉදිරියේදී අපට ක්‍රිකට්‌වල ප්‍රධාන කමිටුවක සභාපතිකම වැනි ධූරයක්‌ හීනයක්‌ද?

පිළිතුර - විධායක කමිටුවේදී කලාපීය නියෝජනයක්‌ තියෙනවා නම් ඒ කලාපයේ තවත් කෙනෙක්‌ට සාමාජිකත්වයක්‌ ලැබෙන්න තිබෙන අවස්‌ථාව අඩුයි. මෙතැන් පටන් ඉන්දියාව මෙහි නිත්‍ය වශයෙන්ම ඉන්න නිසා අපේ කලාපයේ අපිටවත් අනික්‌ රටකටවත් ඒ අවස්‌ථාව ලැබෙන එකක්‌ නැහැ. නමුත් මේ පළමු වසරින් පස්‌සේ අනික්‌ ඕනෑම කමිටුවක සභාපති කමට පත්වෙන්න අපට අවස්‌ථාවක්‌ තියෙයි. බොහෝ විට අයි.සී.සී යේ එවැනි ධූර තීරණය කරන්න ජන්දවලට යන්නේ නැහැ. අවබෝධය මත එකඟත්වයකින් ඒවා තීරණය වෙනවා. ඒ අනුව අපිට හොඳ අවස්‌ථාවක්‌ ඒ කමිටුවල තිබෙනවා.

ප්‍රශ්නය- මේ සංශෝධනවලට අනුව අපේ ආදායම අඩුවුණහම ක්‍රීඩකයන්ගේ දීමනා කප්පාදු කරනවාද?

පිළිතුර- ඒක සම්පූර්ණ වැරදි මතයක්‌. ලෝකයේ කිසිම රටක මුළු ආදායමෙන් 25% කට වඩා ජාතික කණ්‌ඩායමේ ක්‍රීඩකයන්ට ගෙවන්නේ නැහැ. නමුත් අපිට 2011, 2012 වසරවල 70% ක්‌ 75% ක්‌ ඒ අයට ගෙවන්න වුණා. අපිට ලංකාවේ ක්‍රිකට්‌ යටිතලය හදන්න නම් මෙහෙම බෑ. ජාත්‍යන්තර ප්‍රධාන තරගාවලිවලදී අයි.සී.සීයේ වගකීමේ දීමනාවෙන් 25% ක්‌ අපි ක්‍රීඩකයන්ට දුන්නා. වෙන කිසිම රටක්‌ 'වගකීමේ දීමනාවෙන්' කීයක්‌වත් ක්‍රීඩකයන්ට දෙන්නේ නැහැ. ඒක විතරයි අපි නතර කරන්නේ. මොකද ක්‍රිකට්‌ පරිපාලනය පවත්වාගෙන යන්නත් මුදලක්‌ අවශ්‍ය නිසා. නැතිනම් කිසිම දීමනා කප්පාදුවක්‌ නෑ. කොන්ත්‍රාත් මුදල පවා වැඩිකරලයි තියෙන්නේ.

ප්‍රශ්නය- මේ යන රටාවේදී අනාගතේ අයි.පී.එල් විතරයි ඉතුරු වන්නේ කියලා ඉන්දියාවේ (බලය අහිමි වූ හිටපු ක්‍රිකට්‌ ප්‍රධානියකු වන) ලිලිත් මෝඩි කියනවා. මේ ගැන මොකක්‌ද මතය?

පිළිතුර- ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයෝ කැමැති රටවල් අතර තරගවලට. රටක්‌ ඇතුළේ තරගවලට වඩා. ඒ නිසා ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාව දියකර හරින්න ඒකට බැරිවෙයි.

ප්‍රශ්නය - නව සංශෝධන වල හොඳ දේවල් හැටියට ඔබ දකින්නේ.....?

පිළිතුර - මේකේ ඩොලර් මිලියන 10 ක 'ටෙස්‌ට්‌ පදනමක්‌' කියලා අරමුදලක්‌ ඇතිකරලා තියෙනවා. ප්‍රධාන රටවල් ඒකෙන් සල්ලි ගන්නේ නැහැ. අනෙක්‌ ටෙස්‌ට්‌ රටවල්වලට ඒකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්.ඒක හොඳ දෙයක්‌. එයට අමතරව පහළ රටවල්වලට දක්‍ෂතා අනුව උසස්‌වීම ලැබෙන එකත් හොඳ දෙයක්‌. 

ප්‍රශ්නය - නිශාන්ත රණතුංග සහ ඉන්දියාවේ ක්‍රිකට්‌ ප්‍රධානී, වර්තමාන ක්‍රිකට්‌ ලෝකයේ නිසි බලධාරී සිරිනිවාසන් අතර තියෙන්නේ මොන වගේ සම්බන්ධයක්‌ද?

පිළිතුර- අපි දෙන්නාගේ අෙන්‍යාන්‍ය ගරුකිරීමක්‌ තිබෙනවා.

ප්‍රශ්නය - ඒ හැර කිසිම පෞද්ගලික හෝ ව්‍යාපාරික සම්බන්ධයක්‌ නෑ?

පිළිතුර - එහෙම තියෙනවා නම් මම මාධ්‍ය සාකච්ජාවක්‌ කැඳවලා අභිමානයෙන් ඒක කියනවා. එහෙම කිසිම දෙයක්‌ නැහැ. එහෙම තියෙනවා කියලා කතා හදන අයත් එක්‌ක ඕනෑම වේදිකාවක මුහුණට මුහුණ සංවාදයකට එන්න මම ලැහැස්‌තියි.

සාකච්ජා කළේ -  ඉන්ද්‍රජිත් සුබසිංහ
http://www.divaina.com/2014/03/09/sports.html

0 comments: