Pages

Friday, April 24, 2015

ජීවිත පහන් කිරීමට පහන් සිතින් පහනක්‌ දුන් ආලෝකමත් මිනිසා

වසර විසි දෙකක්‌ වැනි කාලයක්‌ තුළ මිනිසුන්ගේ මතකයෙහි රැඳී ගරු බුහුමන් ලැබීමට වාසනාවක්‌ වූයේ නම් ඔහු මිනිස්‌ වර්ගයාට ශ්‍රේෂ්ඨ සේවයක්‌ කළ අද්විතීය පුද්ගලයෙකු විය යුතුය. ලලිත් ඇතුලත්මුදලි එවැනි නායකයෙකි.

එකල පිටිසරව පැවැති කළුතර පස්‌දුන් කෝරළේ ජනිතව බැරිස්‌ටර්වරයෙකු වශයෙන් ගෞරවනීය නීති වෘත්තියට පානැඟ පස්‌දුන් කෝරළේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරයකු වූ ඩී. ඩී. ඇතුලත්මුදලි මැතිතුමාගේ අභිලාෂය වූයේ සිය දෙටු පුතු නීතිඥ වෘත්තියට ඇතුළත් කිරීමය. රාජකීය විද්‍යාලයට ඇතුළත් වූ ළමා ලලිත් පොත පත අධ්‍යාපනයට මෙන්ම ක්‍රීඩාවට දක්‍ෂයෙක්‌ විය. ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේදී ඔහු ශිෂ්‍ය සංගමයේ භාණ්‌ඩාගාරික, පුස්‌තකාලයාධිපති, ලේකම් හා සභාපති යන සියලුම තනතුරුවලට පත්කර ගන්නා ලදී. එය කළු සුදු බේදය පැවැති සමයක කළු තරුණයකු ලැබූ ජයග්‍රහණයකි. මෙය මොහු පසුව දේශපාලන දිවියේ මැනවින් ප්‍රදර්ශනය කළ කථිකත්වයට විවාද කිරීමේ හැකියාවට හා නායකත්ව දැරීමේ නැඹුරුවට පෙළගැස්‌මකි. ලක'ඹර මතු දිනක බබළවන තරුවක්‌ දුටු එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිතුමා මෙම තරුණයාට ශිෂ්‍යත්වයක්‌ පිරිනැමීය. එයින් ලැබුණු පිටිවහල පසු දිවියේදී මහපොළ ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවා දහස්‌ ගණනක්‌ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සහන සැලසීමට පසුතලය විය.

ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් නීති විද්‍යාව පිළිබඳ ශාස්‌ත්‍රවේදී උපාධිය ලබා සිංගප්පූරුවේ ඉන්දියාවේ අලහබාද් හා ඊශ්‍රායලයේ හීබෲ විශ්වවිද්‍යාලවල කලක්‌ නීතිය පිළිබඳ දේශකයකු වශයෙන් සේවය කළේය. පසුව ඇමෙරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට බැඳී නීතිය පිළිබඳ ශාස්‌ත්‍රපති විභාගය ඉතා උත්කර්ෂ ලෙස සමත් විය.

1964 දී ඔහු ලංකාවේ අධිනීතිඥවරයකු වශයෙන් වෘත්තීයමය දිවිය ඇරඹීය. කරුණු අවබෝධ කර ගැනීමේ හැකියාව නීතිය පිළිබඳ හසළ දැනුම තීක්‍ෂණ බුද්ධිය හා වෙහෙස නොබලා වැඩ කිරීමේ හැකියාව ඔහු ඉතා ඉක්‌මනින් නීතිඥ වෘත්තියේ ඉහළ ඉණිපෙත්තට නැංවීය. 1985 දී ඔහු ජනාධිපති නීතිඥයකු වශයෙන් පත් කරන ලදී.

ඔක්‌ස්‌ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ තරග බිමේ පුහුණුව දේශපාලනයට නැඹුරු කිරීමට පිටිවහලක්‌ විය. ධනපති පංතියෙන් පැමිණි කර්මාන්ත හිමියන් වෙනුවෙන් කම්කරු නඩුවලදී පෙනී සිටි ඔහුට මුහුණදීමට තිබූ අභියෝග බොහෝමයකි. තවද ඔහුට පිටදේශක්‌කාරයා ය යන චෝදනාව ද නැඟුවේය. එම අභියෝග සියල්ල ජයගනිමින් ඔහු 1977 දී රත්මලාන ආසනය අති විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේය.

1970 - 1977 රජයේ පරාජයට වෙළෙඳ අමාත්‍යාංශයේ දායකත්වය බොහෝ ය. බඩු හිඟකම, පෝළිම් යුගය, දූෂණ වැනි නොයෙකුත් චෝදනා එම අමාත්‍යාංශයට තිබිණි. ලලිත් වෙළෙඳ අමාත්‍යාංශය භාරගෙන ඔහුගේ සංකල්පයක්‌ වන විවෘත ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින් රෙගුලාසි තුළ හිර වී සිටි නිලධාරීන්ගෙන් ව්‍යාපාර මුදවාගෙන ව්‍යාපාරික හැකියාවන් ඇති වෘත්තිකයන් යොදවා සංස්‌ථාවලට පුනර්ජීවයක්‌ දීමෙන් එම ආයතන දක්‍ෂ වැඩදායී ආයතන බවට පත් කළේය. එමගින් පුද්ගලික අංශය මෙන්ම රාජ්‍ය අංශය ද දියුණු විය. තෘප්තිමත් පාරිභෝගික ජනතාවක්‌ බිහිවිය. වෙළෙඳ අමාත්‍යාංශය ඉතා ජනප්‍රිය අමාත්‍යාංශයක්‌ බවට ජනතාව අතර ප්‍රචලිත විය.

ආර්ථික වර්ධනයට රක්‍ෂණය අත්‍යවශ්‍ය ආයතනයකි. එහෙත් වසර විස්‌සක්‌ පමණ ඒකාධිකාරි බලයක්‌ අත්කර ගෙන සිටි රක්‍ෂණ සංස්‌ථාව ඉතා දුබල තත්ත්වයකට වැටී තිබිණි. එයට ජීවයක්‌ දීමට නම් ප්‍රබල තරගකරුවෙක්‌ සිටිය යුතු යෑයි ඇමැතිවරයා සිතුවේය. ඒ සඳහා රාජ්‍ය අරමුදල් හා පාලනය ද පෞද්ගලික අංශයේ ව්‍යවසායක සහාය ද ලබා ගනිමින් ජාතික රක්‍ෂණ සංස්‌ථාව නිර්මාණය කළේය. ටික කලකදී සංස්‌ථා දෙකම ජවය ලබා ඉතා දක්‍ෂ පාරිභෝගිකයන්ට හිතකර ශක්‌තිමත් ආයතන දෙකක්‌ බවට පත්විය. රක්‍ෂණය ජනප්‍රිය වීමෙන් ව්‍යාපාර දියුණු වී එම අංශයේ රැකියා ද බහුල විය. රක්‍ෂණ වෘත්තිකයන් වශයෙන් ඉගෙනීම ලැබීමට ශිෂ්‍යයන් පෙළඹුණේය.

1983 ජාතිවාදී කෝලහාල වලින් මුළු රට ගිනිගත් විට එම අසහනයට සහන සැලසීමට හැකි ප්‍රබල රක්‍ෂණ ආයතන මෙරට පිහිටුවා තිබිණි.

ලංකාවට විශේෂයෙන් කුඩා දරුවන් සඳහා අවශ්‍ය කිරි පිටි බෙදාහරින ලද්දේ සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාව මගින් පාලනය කළ ලක්‌ස්‌ප්‍රේ කර්මාන්ත ශාලාව මගින් ය. 1979 දී එම කර්මාන්ත ශාලාව ගිනිගෙන අළු බවට පත් විය. කිරිපිටි හිඟයක්‌ ඇතිවිය හැකි යයි මවුවරු බියට පත්වී සිටියෝ ය. එහෙත් රාජ්‍ය අංශයේ ද පුද්ගලික අංශයේද සමුපකාර ආයතනවලද සහාය ලබා ගනිමින් වෙළෙඳ ඇමැතිවරයා ලක්‌ස්‌ප්‍රේ ඇසුරුම්හල් ගණනාවක්‌ පිහිටුවා කිරිපිටි හිඟයක්‌ නොවීමට වෙළෙඳපොළ සරු කළේය.

වෙළෙඳ අමාත්‍යාංශය දක්‍ෂ ලෙස මෙහෙයවීමට උපහාරයක්‌ වශයෙන් ජනාධිපතිතුමා විසින් වෙළෙඳ ඇමැතිතුමාට වරායත් භාර දුන්නේය. මාක්‌ස්‌වාදීන්ගේ නොනවතින වැඩ වර්ජන හා වරාය සංයුක්‌ත මණ්‌ඩලයේ දුර්වල පාලනය නිසා කොළඹ වරාය ලෝකයේ දුර්වල අකාර්යක්‍ෂම වරායක්‌ බවට ප්‍රචලිතව පැවතිණි. ලලිත් වරාය භාරගත් පසු සේවකයන් සඳහා දිරි දීමනා ක්‍රමයක්‌ හඳුන්වා දුන්නේය. සේවකයන් ඉතා උනන්දුවෙන් වැඩ කළෝය. වැඩ වර්ජන ඉතිහාසයට එක්‌ විය. කාර්යක්‍ෂමතාවයෙන් ලෝකයේ 139 වැනි ස්‌ථානයේ තිබූ කොළඹ වරාය 26 වැනි වරාය බවට පත්විය.

ලලිත්ගේ නාමය සදාකල්හි රඳාපවතින්නේ ඔහු නිර්මාණය කළ මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව ආධාර ක්‍රමය මතය. විශ්වවිද්‍යාලවලට පැමිණෙන බොහෝ ශිෂ්‍යයන්ට තම වියදම් දැරීමට නුපුළුවන් බැවින් දෙමවුපියන් ඉඩම් පවා උකස්‌ කිරීමෙන් හෝ විකිණීමෙන් ඔවුන් නඩත්තු කළේය. එවැනි දේපොළක්‌වත් නොමැති දරුවන් ඉගෙනීම අත්හළේය. එහි ප්‍රතිඵලය වූයේ දැයේ දරුවන්ගේ දස්‌කම් ඔප්නැංවීමට අවස්‌ථාවක්‌ නොමැති වී අපතේ යැමයි. මෙම අවාසනාවන්ත ඉරණම දරුවන්ට පමණක්‌ නොව දැයට ද අත්නොවීම සඳහා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට ආධාර කිරීම සඳහා මහපොළ උසස්‌ අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල පිහිටුවන ලදී.

1984 දී කොටි ත්‍රස්‌තවාදය ඉතා දරුණු විය. ත්‍රස්‌තවාදී නොවන අය ආරක්‍ෂා කළ යුතුය. දකුණ සාමකාමී විය යුතුය. ජාත්‍යන්තරය දැනුවත් කර අහිතකර ප්‍රචාරවලට පිළිතුරු සැපයිය යුතු ය. එය කළ හැකිව තිබුණේ එකම ජනනායකයකුට පමණි. ඒ ලලිත් ය. 

ඔහුට ජාතික ආරක්‍ෂක ඇමැති ධුරය පිරිනැමුවේය. සොල්දාදුවන් වෘත්තීයමය වශයෙන් පුහුණු කොට ආයුධ සපයා කාර්යක්‍ෂම ලෙස යුද්ධය පවත්වාගෙන ගියේය. වඩමාරච්චියේදී ලංකා යුද බලඇණි ලැබූ ජයග්‍රහණය ඉතිහාසයේ රන් අකුරින් ලියෑවී ඇත. ඔහු විසින් 1987 මැයි 05 වන දින බී.බී.සී. ආයතනයේදී කොටි ත්‍රස්‌තවාදී නායකයන් සමඟ ඉතා දක්‍ෂ ලෙස තර්ක කරමින් පෑ දස්‌කම් මුළු ලෝකයම මවිත කළේය. කරුණු පැහැදිලි ලෙස පෙළගස්‌වා තර්කානුකූලව ඉදිරිපත් කරමින් ප්‍රතිවාදීන්ගේ ස්‌ථාවරයන් දක්‍ෂ ලෙස බිඳහෙළීය. 

1989 න් පසු ඇති වූ රජය ඒකාධිපති මාවතේ ගමන් කරන බව අවබෝධ කරගත් ලලිත් සිය තනතුරු අත්හැර ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කිරීම සඳහා සටනට බැස්‌සේය. ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික පෙරමුණ බිහිකොට ඉතා ශක්‌තිමත් පක්‍ෂයක්‌ බවට ඉතා ටික කලකින් එය ස්‌ථාවර කළේය. ලලිත් ඇතුලත්මුදලි යටතේ එම පක්‍ෂයේ ජයග්‍රහණය දුටු පාලකයන් එක්‌ අඳුරු සැඳෑවක කුලියට වැඩ කරන පාතාලයේ අපරාධකරුවෙක්‌ මගින් ඔහුගේ දිවිය අවසන් කළේය. එම වෙඩි පහරින් දැයට ජනනායකයෙක්‌ නැති විය. ඔහුගේ නාමය සදා ජනතා මතකයේ රැව්දෙනු ඇත.

1978 ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සංශෝධනය කර ජනාධිපතිගේ අසීමිත බලතල සීමා කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපනය කිරීම වෙනුවෙන් දිවි පරදුවට තබා ඔහු පෙරමුණ ගත්තේය. ඔහුගේ අභිලාෂය ඉටු කිරීමට සුදුසු වාතාවරණය සැකසෙමින් පවතී. එය ඉටුවේවායි පතමු.

ටී. එම්. එස්‌. නානායක්‌කාර
http://www.divaina.com/2015/04/23/news21.html

0 comments: