Pages

Tuesday, April 7, 2015

කුඩු වෙනුවට NC - තරුණ පරපුර බිල්ලට ගන්න අලුත්ම ව්‍යසනය

මුළු රටටම කොඩි විනයක්‌ බවට පත් වී ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය සහ මත්පැන් ජාවාරම අද පැයෙන් පැය බ්‍රේකින් නිවුස්‌ මවන මාතෘකාවක්‌ බවට පත් වී තිබේ.

අද 'දිවයින ඉරිදා සංග්‍රහය' තුළින් අපි අනාවරණය කරන්නේ කුඩු රජවරු, එතනොල් රජවරු, කසිප්පු මුදලාලිලා හෝ කැසිනෝ රජවරු ගැන නොවේ. මහා පරිමාණ මත්කුඩු ජාවාරමේ තවත් අතුරු නිෂ්පාදනයක්‌ වන එන් සී මත්කුඩු පිළිබඳවයි.

මහා පරිමාණ එන් සී මත්කුඩු ජාවාරම එළියට ආවේ පසුගිය දිනක කොළඹ සිට බගවන්තලාව දක්‌වා ධාවනය වූ වෑන් රථයක්‌ පොලිසිය විසින් නල්ලතන්නි ප්‍රදේශයේදී නතර කොට පරීක්‍ෂා කිරීමේදී එහි තිබී එන් සී මත්කුඩු ටින් හත්දාස්‌ හත්සිය හැත්තෑතුනක්‌ (7773) හමුවීමත් සමගයි.

මෙම මත්කුඩු තොගය රැගෙන ගොස්‌ තිබෙන්නේ උඩරට වතුකරයේ පාසල් සිසුන් ඇතුළු තරුණයන්ට අලෙවි කිරීම සඳහා බව පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් එක්‌ මත්කුඩු ටින් එකක ග්‍රෑම් දහයක්‌ පමණ බර මත්කුඩු අසුරා තිබූ අතර, එම ටින්වලින් එක ටින් එකක්‌ රුපියල් එකසිය විස්‌සකට මෙම ජාවාරම්කරුවන් මිලදී ගෙන තිබේ. කොළඹ සිට උඩරට වතුකරයට එන් සී මත්කුඩු රැගෙන ගිය ජාවාරම්කරුවන්ගේ අරමුණ වී තිබෙන්නේ කොළඹින් රුපියල් එකසිය විස්‌සට ගත් මත්කුඩු ටින් එකක්‌ රුපියල් තුන්සියයකට වතුකරයේ තරුණයන්ට විකිණීමයි. නැත්නම් ඊටත් වැඩි මිලකට විකිණීමයි. මේ අනුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විශාල වශයෙන් මුදල් හම්බ කළ හැකි මහා පරිමාණ ජාවාරමක්‌ බවට කිසිම සැකයක්‌ නැත. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම අද ඊයේ ආරම්භ වූ ජාවාරමක්‌ නොව වසර ගණනාවක්‌ තිස්‌සේ ඉතා සූක්‍ෂම ලෙස රට පුරා සිදුකර ගෙන ගිය ජාවාරමක්‌ බව ඉතා පැහැදිලිය.

එන් සී. මත්ද්‍රව්‍ය රට පුරා බෙදාහරින මහා පරිමාණ ජාවාරම්කරුවන් තමන්ගේ පාරිභෝගිකයන් ලෙස තෝරා ගෙන තිබෙන්නේ මේ රටේ අනාගතය භාර ගැනීමට සිටින පාසල් දරු දැරියන් ඇතුළු තරුණ පරපුරයි. පාසල් දරු දැරියන් වරදට පොළඹවා ගැනීමට සමාජය තුළ අද තිබෙන ඉඩකඩ ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා වැඩි වී තිබේ.

මේ සඳහා 1977 න් පසු රට පාලනය කළ සියලුම දේශපාලන පක්‍ෂ නායකයන් අඩු වැඩි වශයෙන් වගකිව යුතුය. නියපොත්තෙන් කඩන්නට තිබුණ දේ එදා නිය පොත්තෙන්ම කඩා දැමුවා නම් අද අපිට කුඩු ගැන කතා කරන්න දෙයක්‌ ඉතිරි වන්නේ නැත.

නමුත් බලය තිබෙන විට මොළය නැහැ මොළය තිබෙන විට බලය නැහැ යන කියමන අද අපේ රට තුළ දේශපාලන යථාර්ථයක්‌ බවට පත් වී තිබෙන්නේ මේ රට පාලනය කළ දූෂිත දේශපාලනඥයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ආරක්‍ෂා කරමින් නිය පොත්තෙන් කඩා දමන්නට තිබුණ දේ පොරවෙන් තියා ෙච්න්සෝ මැෂිමකින්වත් කපා ඉවත් කළ නොහැකි තත්ත්වයට පත් කිරීම හේතුවෙනි.

අද අපේ රට මුළු ලෝකයටම කුඩු බෙදන කුඩු ජාවාරම්කරුවන් රජ කරන තිප්පොළක්‌ බවට පත් වී තිබේ. මේ සඳහා දශකයක්‌ පමණ රට පාලනය කළ පසුගිය රජයේ දූෂිත පාලකයන් සම්පූර්ණයෙන් ම වගකිව යුතුය.

කුඩු රජවරුන්ට පාර්ලිමේන්තුවට යන්නට ලයිසන් දුන්නේ මේ අයයි. ඒ වගේම ආරක්‍ෂක අමාත්‍යාංශයේ අධීක්‍ෂණ මන්ත්‍රීකම් දුන්නේ ද මේ දූෂිත පාලකයන්මය. අද වෙලේ සුදා පොලිසිය ඉදිරියේ වමාරන්නේ මේ සත්‍යයයි. නමුත් අපිට පෙනෙන විදියට, අපිට දැනෙන විදියට කෝටි දෙකකට අධික ජනතාව හඬනගා කියන විදියට නීතියට වඩා කුඩු මුදලාලිලා බලවත් ය. එසේ නොවේය කියා ඔප්පු කිරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට සහ වර්තමාන පාලකයන්ට ද අද වනතුරු නොහැකි වී තිබේ.

පොලිස්‌ අත්අඩංගුවේ සිටින්නේ වෙලේ සුදා පමණි. නමුත් තවත් වෙලේ සුදාලා සිය ගණනක්‌ රට තුළ නිදැල්ලේ සැරිසරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටී. තොග සහ සිල්ලර වෙළෙඳාම ලෙස මෙය කොටස්‌ දෙකකින් යුක්‌ත වේ. තොග වෙළෙඳාමේ නිරත වන්නේ කුඩු රජවරු සහ දූෂිත දේශපාලනඥයන් ය. පොලිස්‌ නිලධාරීන් සහ ව්‍යාපාරිකයන් ද මෙහි කොටස්‌කරුවන් වේ.

සිල්ලර වෙළෙඳාමේ නිරත වන්නේ ප්‍රධාන නගරවල උප නගරවල වතුවල, ගම්මානවල බලය පතුරුවා ගෙන සිටින ප්‍රාදේශීය දේශපාලනඥයන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් ය.

ලංකාව පුරා ක්‍රියාත්මක වන නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය ජාවාරමත් පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා විවිධ නම්වලින් තරුණ කොටස්‌, වැඩිහිටියන්, ළමයින් ඉලක්‌ක කොට ගෙන තම නිෂ්පාදන වෙළෙඳ පොළ වෙත මුදා හැර තිබේ. එන් සී මත්කුඩු එහි එක්‌ නිෂ්පාදනයක්‌ වේ. දුම්වැටියක්‌ හොරෙන් උරන නැත්නම් මත්පැන් වීදුරුවක්‌ දෙකක්‌ හොරෙන් බොන පාසල් ළමුන් සහ තරුණ කොටස්‌ මීට දශක දෙක තුනකට පමණ පෙර සිටියේ නගරයේ ජනප්‍රිය පාසල්වල සහ නාගරික ප්‍රදේශවල පමණි. නමුත් අද මෙම තත්ත්වය සම්පූර්ණයෙන් ම වෙනස්‌ වී රට පුරා පාසල් සිසුන් පමණක්‌ නොව ශිෂ්‍යාවන් ද මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතයට ගොදුරු වී තිබේ.

අද රාත්‍රි සමාජශාලා වෙත යන එසේත් නැත්නම් නයිට්‌ ක්‌ලබ් වෙත යන තරුණ කණ්‌ඩායම් අතර පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද විශාල වශයෙන් සිටී. අද මේ ලෙස පොඩිහිටියන්, වැඩිහිටියන් බවට පත්වී තිබෙන්නේ මුළු මහත් සමාජයම අද කුඩු මුදලාලිලාගේ එතනෝල් මුදලාලිලාගේ සහ කැසිනෝ මුදලාලිලාගේ ග්‍රහණයට හසු වී තිබීම හේතුවෙනි.

රට පුරා මහා පරිමාණයෙන් කුඩු බෙදා හරින කුඩු විකුණන නැත්නම් නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය විකුණන මුදලාලිලා සිදුකරන්නේත් මේ රටේ අනාගතය බාර ගැනීමට සිටින තරුණ පරපුර සහ ළමා පරපුර මංමුළා කොට ඔවුන්ව මත්පැන් පානය කරන නැත්නම් මත්ද්‍රව්‍ය භාවිතා කරන තමන්ගේ පාරිභෝගිකයෙක්‌ ලෙස පත් කර ගැනීමයි. මෙම අභියෝගය අපිට ජය ගත හැකි වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහ ජාවාරම්කාර දූෂිත දේශපාලනඥයන් විසින් තමන්ගේ යකඩ සපත්තුවෙන් පාගා ගෙන සිටින මේ රටේ නීතිය, ජනතා පරමාධිපත්‍යය ඉන් මුදා ගෙන නැවත ගොඩනැඟීම තුළින් පමණි. මේ සඳහා පෙරමුණ ගත යුත්තේ මේ රටේ මහා සංඝරත්නය ඇතුළු සිවිල් ජනතාවයි. කූඩැල්ලන් මෙට්‌ටේ උඩ තියන්න බැරිවා සේ දේශපාලන වශයෙන් නන්නත්තාර වී ඇති දූෂිත දේශපාලනඥයන් අනෝතත්ත විලෙන් පැන් ගෙනවිත් නහවා අලුතෙන් සළු පිළි අන්දවා ගත්තත් මේ රටටවත්, ජනතාවටවත් සෙතක්‌ නම් වන්නේ නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නීති විරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැළැක්‌වීම සඳහා පියවර ගනිමින් සිටින බව දක්‌නට ලැබේ. නමුත් එම පියවරවල් තුළ ඇත්තේ ඇල් මැරුණු ස්‌වභාවයකි. එම නිසා ජනතාව දුන් ජන වරමට අනුව ජනාධිපතිවරයා දැඩි පියවර ගත යුතුයි යන්න ජනතාවගේ මතයයි.

ප්‍රියදර්ශන ලියනගේ
http://www.divaina.com/2015/04/05/feature06.html

2 comments:

අජිත් කුමාරගේ බ්ලොග් දර්ශකය said...

වෙලේ සුදා ඇල්ලුවෙත් ගෝටාභය. මේ ආණ්ඩුවෙන් කරපු රෙද්දක් නෑ.

Anonymous said...

වෙලේ සුදාගේ ඇටදෙක ඇල්ලුවෙත් ගෝඨාභය, සුදාගේ ගෑනිගේ බනිස් එක ඇල්ලුවෙත් ගෝඨාභය. දුක තමයි රංජනී