Pages

Monday, June 13, 2016

උතුරු නැගෙනහිර දේශපාලන උන්මන්තකයන්ට ඉක්‌මනින් ප්‍රතිකාර කළ යුතුය! - ගැටඹේ සිරිවිමල නාහිමි ෆෙ ද්‍රෝ

දිනෙන් දින මේ රටේ සිදුවන දුර්භාග්‍ය සම්පන්න සිදුවීම් වැටකඩොලු සීමා බිඳගෙන යන ආකාරය බලා සිටිය නොහැකිය. වසර 30 ක්‌ අන්ත දුක්‌ පීඩා විඳිමින් මේ රටේ රණවිරුවන් ලොව දරුණුතම ත්‍රස්‌තවාදය නැති කොට සිංහල, දෙමළ, මුස්‌ලිම් සැමට බියෙන් සැකෙන් තොර දේශයක්‌ උරුම කොට දුන් අයුරු ඉතා කෙටි කාලයකින් හෑල්ලුවට ලක්‌ කිරීම කොතරම් ගුණමකු දැයි මේ රටේ ප්‍රබුද්ධ ජනතාවට වැටහී ඇති කරුණකි.

පසුගිය පාලන සමයේ කොටි ත්‍රස්‌තයන් විසින් මාවිල්ආරු ජල මාර්ගය වසා දමා විශේෂයෙන් මුස්‌ලිම් ජාතිකයන්ට සිදුකළ අසාධාරණය ඉදිරියේ මේ රටේ රාජ්‍ය නායකයාව සිටි මහින්ද රාජපක්‍ෂ ජනාධිපති තුමා මේ ම්ලේච්ඡ ද්‍රවිඩ අන්තවාදී ත්‍රස්‌ත කල්ලිය සමූල ඝාතනය කොට සාමාන්‍ය ජනතාවට නිදහසේ ජීවත්වීමට පරිසරයක්‌ සකස්‌ කර දීමට කටයුතු කළේය. මේ නිසා සිංහල, ද්‍රවිඩ, මුස්‌ලිම් මිනිසුන් ඝාතනය කළ ප්‍රභාකරන්ට මරණය අත්කර දී මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මේ රටට ලබා දුන්නේ මිල කළ නොහැකි මෙහෙවරකි. එම නායකත්වය නොසිටින්නට මේ නිදහස අපට හිමි වන්නේ නැත. හමුදාපතිවරුන් සිටිය ද එතෙක්‌ සිටි නායක නායිකාවන් අණ දෙන්න ක්‍රියා කළේ නැත. මේ රටේ හැමෝටම සිදුවී තිබුණේ එක්‌කෝ මරණය, නැත්නම් ගම්බිම් හා රට හැරදා යැමටයි. මේ මර උගුලෙන් ගැලවූ ඒ ශ්‍රේෂ්ඨ නායකයාට අකෘතඥ ලෙස වද දෙමින්, රණවිරුවන් හෑල්ලු කරමින්, ඇතැම් රණවිරුවන් පෝරකයට යවමින් රජය නිවට නියාලු, අඳ, ගොළු, බිහිරි පිළිවෙතක්‌ අනුගමනය කරමින් සිටී. ඇතැම් ඇමතිවරුන්ගෙන් ජනතාව ප්‍රශ්න කරන විට බරපතළ සිදුවීම් පවා ඒවා සාමාන්‍ය දේවල් ඒ ගැන කියන්න දන්නේ නැහැ, වැනි වගකීමෙන් තොර බොළඳ වදන් පවසයි. තත්ත්වය මෙසේ නම් රට පාලනය කරන්නේ කවරුන් දැයි ජනතාවට විමතියකි.

උතුරේ මහ ඇමති විග්නේශ්වරන් උමතුවෙන් ක්‍රියා කරයි. ඔහු ෆෙඩරල් යෝජනා ගෙනවිත්, ඔහුම සැලැස්‌මක්‌ පෙන්වා, උතුරට වෙනම රාජ්‍යයකුත්, දකුණේ සිංහලයන්ට ඕනෑ නම් වෙනම පාලනයක්‌ දිය හැකි බවත් කඳුරටට දෙමළ භාෂාව කථා කරන පාලනයකුත්, නැඟෙනහිර මුස්‌ලිම්වරුන් සඳහා පාලනයකුත් බිහිකිරීමට කථා කරයි. එම දේශෙද්‍රෝහි කථාවට එරෙහි වූයේ කවුරුන්ද? මම මේ සම්බන්ධයෙන් පුවත්පත් මගින් අවස්‌ථා කිහිපයකදී මෙම උතුරු මහ ඇමතිවරයාගේ ක්‍රියා කලාපයට එරෙහිව පියවර ගන්නා ලෙස රජයට දන්වා සිටියත්, එය බීරි අලින්ට වීණා වාදනයක්‌ වැනි විය.

මේ රටට ආදරය ඇති රට කැඩීමට විරුද්ධ හොඳ විපක්‍ෂයක්‌ හැදීමට ඉඩ නොදී සම්බන්දන්ට හිතුමනාපයට විපක්‍ෂ නායකත්වය ලබාදීමේ අයුතු ප්‍රතිඵලය වූයේ ඔහු හමුදා කඳවුරුවලට පැන රණවිරුවන්ට තර්ජනය කිරීමය. ඔහු හමුදා භාවිතයේ පවතින ඉඩම් බෙදා දීමට නීති විරෝධිව කඳවුරුවලට ඇතුළු විය. මේ පිළිබඳව නායකයන් නිහඬය.

ප්‍රභාකරන්ගේ මස්‌සිනා වන සිවාජිලිංගම් පසුගියදා කොටි විරුවන් සැමරුවා. කොටි ලාංඡනය සහිත කොඩිය භාවිතා කළා. යාපනයේ සරසවියේත් ඉටිපන්දම් දල්වා සැමරුම් උත්සවයක්‌ පැවැත්වූවා. ඊට පෙර දිනයක ආරක්‍ෂ රාජ්‍ය අමාත්‍යවරයා කොටි සමරන්න කිසිසේත් ඉඩ නොදෙන බවට පුරසාරම් දෙඩුවත් ඔහුට කළ හැකි වූයේ කුමක්‌ද?

රිසාද් බදුර්දීන් අමාත්‍යවරයා රක්‍ෂිත වන සම්පත විනාශ කර අක්‌කර දහස්‌ ගණනක්‌ බෙදා ගත්තා. ඔහුට එරෙහිව ගත් පියවරක්‌ නැත. ඔහුට අනුව යමින් ඔහුගේ ඥතියෙක්‌ ත්‍රිකුණාමලයේ අක්‌කර 40 ක්‌ හොර ඔප්පු හදා විකුණා ඇති බව මාධ්‍ය මගින් හෙළි කළා. තමන්ගේ කාලය තුළ කිසිවෙකුටත් රක්‍ෂිත වනාන්තර අත් කර ගැනීමට කිසි විටෙකත් ඉඩ නොදෙන බව පැවසූ ජනාධිපති තුමාට කළ හැකි වූයේ කුමක්‌ද? මේ සම්බන්ධයෙන් වරින් වර පුවත් මගින් සිදු කළ දැනුවත් කිරීම් හා මා හමුවීමට පැමිණි මැති ඇමතිවරුන්ට කළ දැනුම්දීම් ඉදිරියේ පාලකයෝ මුනිවත රැකීම කනගාටුවට කරුණකි.

දැනට දින කිහිපයකට පෙර භයානක රඟපෑමක්‌ යෙදුණු නැගෙනහිර පළාතේ මහ ඇමතිගේ ක්‍රියා කලාපය හෙළා දැකිය යුතුය. කොටි හිරිහැර මධ්‍යයේ මර බියේ සිටි නැගෙනහිර මුස්‌ලිම්වරුන්ට මහ ඇමතිකම් කිරීමට, මන්ත්‍රිධූර දැරීමට, සුදුසු නුසුදුසු ව්‍යාපාර කිරීමට ඉඩ ලැබුණේ රණවිරුවන්ට පින්සිදු වන්නටය. එකී වීරෝදාර රණවිරුවන්ට ගරහන තර්ජනය කරන නීතිය හෑල්ලු කරන නිවටයන් තමන්ට අදාළ නොවන උත්සවයකට බලෙන් රිංගා අපහාස කළ මේ මහ ඇමතිවරයා තනතුරෙන් පහ කළ යුතුය. රට බේරාගත් අය Fක්‍ෂD යට ගෙන යන අවස්‌ථාවක කළ යුත්තේ මෙවන් එවුන් ගෙන යැම නොවේද? රජයේ සංහිඳියා වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට පමණක්‌ය. අනෙකුත් ජාතීන් සංහිඳියාවට පටහැනිව කටයුතු කරද්දී රජය දරණ උත්සාහය කිසිසේත් ඵලදායි නොවනු ඇත. රජය දැන් සිදු කරමින් යන ක්‍රියා කලාපය නිසා අනාගතයේ සිංහල ජනතාවට සිදු වන්නේ අගතියකි.

මහ ජනතාවගේ අප්‍රසාදයට ලක්‌ වීමට පෙර රජය කළ යුතුව තිබුණේ නැගෙනහිර මහ ඇමතිවරයාට එරෙහිව දැඩි ක්‍රියා මාර්ගයක්‌ ගැනීමය. ඒ වෙනුවට රජය සිදු කර ඇත්තේ, හිසරදයට කොට්‌ටය මාරු කරන පිළිවෙතකි. මෙම සිද්ධියට අදාළ හමුදා නිලධාරීන් කොළඹට මාරු කර යවා ඇතැයි පුවත්පතක පළ වූ වාර්තාවකින් ඒ බව පැහැදිලි වේ. මේ සම්බන්ධයෙන් රටේ දේශප්‍රේමීන්ගේ දැඩි අවධානය රජය වෙත යොමු වී ඇත. එබැවින් ජනාධිපති බලතල භාවිතා කරමින් ව්‍යවස්‌ථාවෙන් බැහැර යම් යම් ක්‍රියා මාර්ග ගෙන ඇති අවස්‌ථාවක ව්‍යාවස්‌ථානුකූලව මෙම මහ ඇමතිවරයා බැහැර කිරීමට ජනාධිපති තුමා සිය බලතල භාවිත කරන්නේ නම් ජනතාවගේ ප්‍රසාදයට පාත්‍රවනු ඇත.

හකීම් අමාත්‍යවරයා වගකිව යුතු වැදගත් අමාත්‍යවරයෙකි. මුස්‌ලිම් ජනතාව කෙරෙහි සිංහල ජනතාවගේ සිත් බිඳලීමේ ක්‍රියා බහුලව සිදු වන බැවින් සිංහල ජනතාව තුළ විශ්වාසය ගොඩ නැගීමට නම් ඔහුගේ වගකීම වන්නේ විදේශ තානාපතිවරයෙක්‌ ඉදිරියේ රණවිරුවන් හෑල්ලු කරමින් රටට සිදුකළ අපහාසය වෙනුවෙන් සමාව ලබා ගැනීමට ඉඩ හැරීම නොව තනතුරෙන් බැහැර කිරීමයි.

පාර්ලිමේන්තුවේ පහත් වචන භාවිත කළ අයට එවෙලේම පිළිතුරු නොදීම නිසා නැවත නැවත හරුප පවසන්න ඉඩ ලැබුණි. උතුරේ මහ ඇමති හා සම්බන්දන්ලා ව්‍යවස්‌ථා විරෝධීව කටයුතු කරන විට ඔවුන්ට එරෙහිව පියවර නොගැනීම හේතුවෙන් නැගෙනහිර පළාත් මහ ඇමැති යකා නටන්න පටන් ගැනීම පුදුමයට කරුණක්‌ නොවේ. වැරදි කරන අයට දඬුවම් නොදී නැවත නැවත සමාව ගැනීමට ඉඩ හැරීමෙන් රටට සිදුවන්නේ බරපතල හානියකි. එබැවින් මේ උමතු රෝගීන්ට නිසි ප්‍රතිකාර කරන ලෙස රජයට බලකර සිටින අතර රජයේ ප්‍රතිචාරය මුළු රටම අපේක්‍ෂාවෙන් සිටින බව ද අවධාරණය කරමි.

පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමිපාණන් වහන්සේ
http://www.divaina.com/2016/06/12/politics02.html

Pic Source

සබැඳි ලිපි - [
උතුරු පළාත් සභාවෙන් උමතු යෝජනා මාලාවක්‌http://denethharinna.blogspot.com/2016/05/blog-post_28.html
පරිසරය රැකගැනුම ගැන හැමවිට දෙසන, වරදකරුවන්ට දඬුවම් දෙන බව කියන ජනපති විල්පත්තුව වනසන තම කැබිනට් සාමාජිකයා ගැන නිහඬයි!http://denethharinna.blogspot.com/2016/05/blog-post_31.html

කොටි සාම්පුර් පාලනය කරද්දී නෂීර් අහ්මද් සිටියේ කොහේද?
http://denethharinna.blogspot.com/2016/05/blog-post_80.html

සංහිඳියාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?http://denethharinna.blogspot.com/2016/05/blog-post_2.html
]

0 comments: