Pages

Tuesday, June 14, 2016

රොෂාන් මහානාම විශිෂ්ට සමාජ මෙහෙවරක... නව පාසල ජනතාකරණයට!

අතේ සතේ නැති වුණත් මහ මෙරක්‌ වැඩ කිරීමට යමෙක්‌ සමත් වුවහොත් ඔහු දිව්‍ය පුත්‍රයකු නොවන්නේද? මහ මෙරක්‌ ධනය තිබුණද මෙලෝ රහක්‌ නැතිව ධනයේම යෑපෙන්නා රැස්‌ කරන ධනය යම ලොව මාළිගා තනන්නට, රැස්‌ කරනු ඇතැයි අපි සිතමු. එහෙත් රටක්‌ පිළිගත් මහත්මයෙක්‌ නිහඩව මහා වැඩක්‌ කළේය. ඒ අනාගතය වෙනුවෙන් සිප් සතර හැදැරීමට අනේක දුක්‌ විඳින සහ එදා වේල නොමැතිව ලතැවෙන දුවා දරුවන්ගේ හිසට සෙවණක්‌ ලබාදීමටයි. එය අද රොෂාන් මහානාම කණිෂ්ඨ පාසල යනුවෙන් නම් තබා ඇත්තේ මහානාමයන් රැස්‌ කළ ධනය අනාගත පරපුරට වපුරවමිනි.

අතළොස්‌සක්‌ පමණක්‌ දැනගත් එම මහා කර්තව්‍ය චමින්ද වාස්‌ගේ "ෆේස් බුක්" පින්තූරයෙන් රටම දැන ගත්තේය. එබැවින් අපි පළමුව වාස්‌ව ඇමතුවෙමු. "ඒක මාර වැඩක්‌. මමයි උපුල් චන්දනයි දෙන්නත් රොෂාන් අයියත් එක්‌ක ඒ පාසල ආරම්භ කරන එකට ගියා. ඇත්තටම අපිට හිතා ගන්නවත් බැහැ ඒ තරම් ලස්‌සනට ඒ පාසල හදල තිබ්බා." යනුවෙන් වාස්‌ පැවසීය.

ජනප්‍රියත්වයට අකමැති නිහඩ සේවයක යෙදෙන රොෂාන්ගෙන් මේ සත්කාරය පිළිබඳව දැන ගැනීමට ඔහුව ඇමතුවෙමි. "අනේ මල්ලි.. ඔය ගැන කතා කරන්න මම කැමති නැහැ. මම වැඩක්‌ කරල ජනප්‍රිය වෙන්න කොහෙත්ම කැමති නැහැ. වෙන ඕන දෙයක්‌ අහන්න. ඔය ගැන අහන්න එපා." යෑයි රොෂාන් මහානාමගේ සරල පිළිතුර විය. තවදුරටත් එම නිහතමානී මනුෂ්‍යයා හෙම්බත් නොකර රටටම ආදර්ශයක්‌ වූ මේ පුද්ගලයාගේ සද්කාරයේ අග මුල සොයා ගැනීමට වෙනත් පැතිකඩක්‌ ඔස්‌සේ හැකි විය.

සමාජ සද්කාරය සඳහා අතහිත දෙන හේමාස්‌ අවුට්‌රීච් පදනමේ විධායක අධ්‍යක්‍ෂවරිය වන ශිරෝමි මාසකෝරාළ මහත්මිය රොෂාන් මහානාමගේ මිතුරියක්‌ වුවාය. ඒ අනුව ඔවුන් කරන කර්තව්‍ය වෙනුවෙන් මහානාමව සම්බන්ධ කර ගැනීමට ඇය කළ ආරාධනයට එක හෙළා කැමැත්ත පළ කරමින් රොෂාන් මෙම කර්තව්‍යයට මුල පුරා තිබේ.

රොෂාන් මහානාම ගැන ලොවම දැන ගත්තේ ක්‍රිකට්‌ නිසාය. ඔහු එදවස පියඹා ගොස්‌ අල්ලා ගන්නා උඩ පන්දුව අදටත් මෙරට ක්‍රිකට්‌ රසිකයන්ගේ මතකයේ රැව් දේ. පාදයේ කෙන්ඩ පෙරළුනද කොර ගසමින් හෝ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු දැක්‌වූ සටන්කාමී පිති ප්‍රහාරය ඔහුව ලෝක පූජිතයකු කළේය. එතැනින් 

නොනැවතුනු ඔහු ජාත්‍යන්තර තරග තීරකවරයකු ලෙස පත්වීම් ලැබීය. ඒ හරහා ඔහුට ඕනෑ තරම් ධනය ලැබුණේය. ඒ ධනයෙන් මඩිය තරකර ගන්නවා වෙනුවට මෙරට දුගී දුප්පත් දුවා දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් යෙදවීමට තරම් ඔහු මහා පින්වන්ත හිතක්‌ ඔහුට පහළ විය.

තිස්‌ වසරක කුරිරු ත්‍රස්‌තවාදයෙන් මිදුනු උතුරු නැගෙනහිරට සමාජ සද්කාර ආරම්භ වීමත් සමග හේමාස්‌ අවුට්‌රීච් සමාජ සත්කාරක වෙනුවෙන් ආරම්භ කරන ලද පෙර පාසල් ව්‍යාපෘතියේ 39 වැනි පෙර පාසල රොෂාන් මහානාමයන්ගේ ධන පරිත්‍යාගයෙන් වෙහෙරතැන්නේදී ස්‌ථාපිත විය. වෙහෙරතැන්න ගම්මානය නැගෙනහිර මුහුදු තීරය දෙසට ඉඳිකරන ලද සිංහල ගම්මානවලින් එකකි. එක්‌ අතකින් වැලිඔය නගරය වෙහෙරතැන්නට ආසන්නම නගරය වේ. එම ගම්මානයේ දැනට පවුල් 500 ක්‌ පමණ පදිංචිව සිටින අතර ජනගහණය 1626 ක්‌ බව එම කර්තව්‍යයට සද්භාවයෙන් අතහිත දුන් යුද හමුදාවේ 26 වැනි සිංහ රෙජිමේන්තුව පවසයි.

යුද්ධයෙන් පසු නැවත පදිංචි කරන ලද ගම්මානයක්‌ වූ වෙහෙරතැන්නට නොතිබු පෙර පාසල එම ගම්මානයේ විහාරස්‌ථානයේ පැවැති අතර අනතුරුව 26 වැනි සිංහ රෙජිමේන්තුව වෙත රැගෙන එන ලදී. පසුව මහානාමයන්ගේ ධන පරිත්‍යාගයෙන් ඉදිවූ පෙර පාසල ඔහු විවෘත කිරීමට ගිය අවස්‌ථාවේ වෙහෙරතැන්න ළමුන්ට පාසලක්‌ නොමැතිව කිලෝ මීටර් දෙක තුනක්‌ දුර කතර ගෙවා විඳින දුක්‌ ගැහැට පිළිබඳව මැසිවිලි අසන්නට ලැබුණි. "ආ මම ඔයගොල්ලන්ට පාසලකුත් හදල දෙන්නම්." යනුවෙන් මහානාම එදා පවසා තිබේ. 2014 වසරේදී මහානාමයන් වූ පොරොන්දුව පසුගිය සතියේදී ඉෂ්ඨ කරමින් මේ වන විට එම පාසලට විදුහල්පතිවරයෙක්‌, ගුරු මණ්‌ඩලයක්‌ සහ සිසුන්ද බඳවා ගනිමින් තිබෙන බවට වාර්තා වේ.

රොෂාන් මහානාම විසින් සාදා නිම කළ විදුහල අංග සම්පූර්ණ පංති කාමර පහකින් සමන්විතය. ඔහුගේ යහළු මිතුරන්ගේ දැන හැඳුනුම්කම් මත උසස්‌ම වර්ගයේ ඩෙස්‌ පුටුද මෙම පාසලට ලබාදීමට මහානාම ක්‍රියාකිරීම එහි අගය වැඩි කරවන්නක්‌ වේ.

රොෂාන් මහානාමට මෙම කර්තව්‍ය කිරීම සඳහා යුද්ධයෙන් රට මුදා ගත් වීරෝධාර යුද හමුදාව විශාල ශක්‌තියක්‌ ලබා දී තිබේ. ඔවුන්ගේ තාක්‍ෂණය සහ ශ්‍රමය ඇතිව වෙහෙරතැන්නට කණිෂ්ඨ විදුහලක්‌ නිම විය. ඒ සඳහා සියලුම බැර පැන මහානාමයන් දුක්‌ මහන්සියෙන් උපයාගත් ධනය වැය වෙද්දී ඔහු එහි සමාරම්භක උළෙලට සහභාගි වන දැසේ කඳුළු පුරවාගෙන මෙසේ පවසා ඇත.

"මම 1996 ක්‍රිකට්‌ ලෝක කුසලානය දිනා ගත්ත වෙලාවේ ලැබූ සතුට මට අදත් දැනෙනවා. සෑම දරුවෙක්‌ම පුලුවන් තරම් ඉගෙන ගන්න ඕන. හැබැයි ඉගෙනීම කියන්නෙ අධ්‍යාපනයම විතරක්‌ නෙමෙයි. ජීවිතය කියන්නෙ මිල මුදල්ම නෙමෙයි. අනාගතයේදිත් ඔයගොල්ලන්ට මගෙන් වෙන්න ඕන සේවාවන් කරන්න මා බලාපොරොත්තුවෙන් ඉන්නවා." යනුවෙන් මහානාම පවසා තිබේ.

රොෂාන් මහානාම පාසල ලෙස එය නම් කරන බවක්‌ ඔහු එහි යන විට නොදැන සිටියේය. එදා වෙලා නොමැතිව ලත වෙන දුවා දරුවන්ට සේවය කරන්න ලැබුණු සතුට දරාගෙන ඔහු වෙහෙරතැන්නට පය තබා පාසලට ඇතුල් වන විටම රොෂාන් මහානාම කණිෂ්ඨ විදුහල ලෙස එය නම් කරනු දැක ඔහු තිගැස්‌සී තිබේ. මහානාම කළ නිහඩ සේවය ඇගයීමක්‌ ලෙස හේමාස්‌ සද්කාරක ආයතනය විසින් එම නම පාසලට යොදා තිබේ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට්‌ ක්‍රීඩකයකුගේ නමින් නම් කරන ලද පළමු පාසලද මෙය බවට ඉතිහාසගත වෙද්දී ලෝක පූජිත ක්‍රීඩකයකු තනි ධන පරිත්‍යාගයෙන් ඉදිකළ පාසලක්‌ පිළිබඳව අපි මීට පෙර අසා නොතිබෙන්නෙමු.

යුද්ධය අවසන්වීමෙන් පසු 2009 වසරේ සිට මහානාම උතුරු නැගෙනහිර වාසය කරන දෙමළ ළමුන් තිහකට ආසන්න සංඛ්‍යාවකට මසකට රුපියල් තුන්දහස බැගින් අධ්‍යාපන කටයුතු සඳහා ලබාදී තිබේ. එය අදටත් ඔහු මාස්‌ පතා අදාළ ගිනුම් වලට යවන බවට වාර්තා වේ. යුද්ධයෙන් මව සහ පියා අහිමිවූ රණවිරුවන්ගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට මේ පින්වන්ත පුත්‍රයා කළ සේවය මහ මෙරක්‌ තරම් වටිනා බව අපට දැන ගන්නට ලැබුණි.

දකුණු පළාතේ වෛද්‍යවිද්‍යාව හදාරමින් සිටි ශිෂ්‍යයාවකට අතහිත දෙමින් ඇයව වෛද්‍යවරියක්‌ දක්‌වා ඔසවා තබන්නට මහානාම දුන් සත්කාරයෙන් රටේ රෝගීන්ට ඒ ශිෂ්‍යාව අද වෛද්‍යවරියක්‌ වීම කොතරම් අගනේද.

මහානාමගේ පනස්‌වැනි උපන්දිනය දවසේ රොෂාන් මහානාම යනුවෙන් ඔහුගේ ධන පරිත්‍යාගයෙන් නිම කළ පාසල නම් කළ බවට මහානාමගේ පියාට පළමුව කණ වැටී තිබේ. එවිට පියාද මහානාම සේ ඒ වැඩේ නොකරන ලෙස ඉල්ලීමක්‌ කළද අනෙක්‌ අයට ආදර්ශයක්‌ වන්නට ඔහුගේ නමින් පාසල නම් කර ඇත.

මහානාම ධනය වැය කරද්දී රට ආරක්‌ෂක පියවරු මෙම කර්තව්‍යය අකුරුටම කළේය. එය කෙටි කලක්‌ තුළදී නිම කිරීම සඳහා වන්නි ආරක්‌ෂක සේනා ආඥපති, අභ්‍යන්තර අවතැන්වූවන් නැවත පදිංචි කිරීමේ නිසි බලධාරී දේශකීර්ති ලංකාපුත්‍ර මේජර් ජනරාල් බොනෆස්‌ පෙරේරා මහතාගේ සංකල්පයට අනුව 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අතුල කොඩිප්පිලි, 623 වැනි බළසේනාවේ සේනාධිපති බ්‍රිගේඩියර් විකුම් ලියනගේ හා 26 වන සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මහත්වරුන්ගේ සහය ඇතිව ඉංජිනේරු සේවා සහ 62 සේනාංකය යටතේ ස්‌ථාපිත සියලුම ඒකකයන්හි සෙබළුන්ගේ ශ්‍රමදායකත්වයෙන් පසුගිය 4 වැනිදා රොෂාන් මහානාම කනිටු විදුහල මෙරටට බිහිවිය.

අසේල විතාන
http://www.divaina.com/2016/06/12/feature06.html

0 comments: