Pages

Monday, June 6, 2016

අපේ විද්‍යාඥයෝ දෙදෙනෙක් ඇදුමට බෙහෙත් සොයාගත්හ!


ඇදුම යනු මාරාන්තික රෝගයක්‌ නොවේ. එහෙත් දිගුකාලීනව මතුවන ශ්වාසනාලිකා අවහිරවීම නිසා මතුවන මේ හුස්‌ම ගැනීමේ අපහසුතාව වේදනාකාරීය.

මෙම දිගු කාලීන ශ්වාසනාලිකා අවහිර වීම නිසා මතුවන හුස්‌ම ගැනීමේ අපහසුතාව සඳහා ප්‍රතිකාර ලෙස භාවිත කරන්නේ මුඛය මගින් උරනු ලබන ඖෂධීය ප්‍රතිකාරයයි. ඉන්හේලර් නමැති මෙම ප්‍රතිකාරය සඳහා අදාළ ඖෂධ මෙතෙක්‌ අප ආනයනය කරන ලදී.

නමුත් මෙම ඖෂධ ශ්‍රී ලංකාවේම නිපදවීමට ශ්‍රී ලාංකීය විද්‍යාඥයන් දෙදෙනෙක්‌ සමත්ව සිටිති.

ඉමර්ජින් ලයිෆ් සයන්ස්‌ නමැති ශ්‍රී ලාංකීය ඖෂධ සමාගමේ සභාපති මනෝඡ් හෙට්‌ටිආරච්චි සහ එම සමාගමේ අධ්‍යක්‍ෂ නලින් කන්නන්ගර යන විද්‍යාඥයන් දෙදෙනා විසින් නිපදවනු ලැබූ ඇදුම රෝගය මර්දනය සඳහා උපරිම ඵල ලබා ගත හැකි ඖෂධය සඳහා නව සොයාගැනීම් පිළිබඳ ජනාධිපති සම්මානය ද ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති 44 වැනි ජාත්‍යන්තර නව සොයාගැනීම් ප්‍රදර්ශනයේදී රිදී සම්මානය ද හිමිවී තිබේ. 

"අපි සම්මාන බලාගෙන නෙමෙයි ඖෂධය නිපදවූයේ. අපි වර්තමාන ඖෂධ වෙළෙඳපොළේ ඇති ඇදුම සඳහා ඖෂධ පිළිබඳව සොයා බැලුවා. එම ඖෂධවල තිබෙන මාත්‍රාවෙන් සුළු ප්‍රමාණයයි ඉතා ඉක්‌මනින් පෙනහළු තුළට ගමන් කරන්නෙ. ඒ නිසා එම ඖෂධ ඉන්හේලර් මගින් ගැනීමෙන් රෝගියා බලාපොරොත්තු වන සහනය ඉක්‌මනින් ලැබෙන්නේ නැහැ."

මෙම නව ඖෂධය නිපදවීම සඳහා දායක වූ විද්‍යාඥ මනෝඡ් හෙට්‌ටිආරච්චි මහතා සඳහන් කළේය.

"ඇත්තටම අපිට අවශ්‍ය වූයේ ඇදුම රෝගියාට ඉක්‌මන් සහනය ලබාගත හැකි ඖෂධයක්‌ නිපදවීමයි. එහිදී දැනට ඖෂධ වෙළෙඳපොළේ ඇති ඖෂධ පිළිබඳව සියුම් පරීක්‍ෂාවක්‌ සිදු කළා. එම ඖෂධවල ඇති ඖෂධ මාත්‍රාව සම්පූර්ණයෙන් පෙනහළු තුළට ඉක්‌මනින් ගමන් නොකරන්නේ එහි තිබෙන අංශුවල ප්‍රමාණයේ විශාලත්වය නිසයි. අප මෙම අංශු ඉතා කුඩා මට්‌ටමට පත් කර නිපදවන්න තීරණය කළා. ඒ අනුව අදාළ ඖෂධ මාත්‍රාව සම්පූර්ණයෙන්ම වාගේ රෝගියාගේ පෙනහළු තුළට ඉතා ඉක්‌මනින් ගමන් කරනවා. අංශුවල ඇති කුඩා බව නිසා ඒවා උගුරේ අතරමග රැඳෙන්නේ නැහැ. ඒ නිසා රෝගියාට ඖෂධයෙන් උපරිම ඵල ලැබෙනවා." නව ඖෂධයක්‌ නිපදවීම සඳහා දායක වූ අනෙක්‌ විද්‍යාඥවරයා වන නලින් කන්නන්ගර මහතා පැහැදිලි කළේය.

"අපිට 44 වැනි ජාත්‍යන්තර නව සොයා ගැනීම් ප්‍රදර්ශනයේදී රිදී සම්මානය ලැබෙන්න ප්‍රධාන හේතුව වුණේ ඖෂධය මගින් රෝගියාට උපරිම ඵල ලැබීමේ තාක්‍ෂණය වෙනුවෙනුයි. ඒ සඳහා අපි ලෝකයේ ඇති අති නවීන තාක්‍ෂණය යොදා ගත්තා. මෙම සම්මානය ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වුණේ නැහැ. අපේ අරමුණ වුණේ දේශීය වශයෙන් උසස්‌ තත්ත්වයේ ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමටයි. දැනටමත් අපි දේශීය වශයෙන් ඖෂධ රැසක්‌ නිපදවනවා.

අපි නිදහස්‌ අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත පුද්ගලයන් විදිහට රටට සේවයක්‌ කළ යුතුයි. විදේශ රටවල නිපදවන ඖෂධ ආනයනය සඳහා අප විශාල විදේශ මුදල් සංචිතයක්‌ වැය කරනවා. මෙය යම් ප්‍රමාණයකට හෝ වළක්‌වා ගන්න නම් අප දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනය කළ යුතුයි."

මනෝඡ් හෙට්‌ටිආරච්චි මහතා නව ඖෂධය නිෂ්පාදනයේ එක්‌ පැතිකඩක්‌ හෙළි කළේය.

නව ඖෂධය සඳහා පේටන්ට්‌ බලපත්‍රය ද ලබා ඇති අතර ඒ අනුව පේටන් බලපත්‍රයක්‌ ලද ශ්‍රී ලංකාවේ ඇදුම රෝගය සඳහා නිපදවූ පළමු ඖෂධය බවට මෙය පත්ව තිබීමද ශ්‍රී ලාංකිකයන් ලෙස අප සතුටු විය යුතුය.

මෙවැනි නව ඖෂධ නිපදවීම සඳහා ඖෂධ නියාමන අධිකාරියෙන් ලැබෙන සහයෝගය පිළිබඳව මෙම නව ඖෂධය නිපදවීම සඳහා අවශ්‍ය පසුබිම සකස්‌ කර දුන් එවර්කෙම් සමාගමේ සභාපති නිමල් ඩයස්‌ ජයසිංහ මහතා සඳහන් කළේ දේශීය වශයෙන් ඖෂධ නිෂ්පාදනයට ඔවුනගෙන් සහයෝගය ලැබෙන බවය. නවීන තාක්‍ෂණය යොදා ගැනීම නිසා සහනදායී මිලට මෙම ඖෂධය අලෙවි කළ හැකි බවත් දැනට තම නිෂ්පාදන හැකියාව ඇත්තේ දේශීය වෙළඳපොළට නිකුත් කිරීම සඳහා පමණක්‌ බවද ඒ මහතා කීවේය.

"දේශීය වශයෙන් නිපදවන ඖෂධවල තියෙන වටිනාකම තමයි ඒවා සියයට සියයක්‌ අපට ගැලපෙනවා. පිටරට නිපදවන ඖෂධ සියයට සියයක්‌ අප රටට ගැලපෙන්නේ නැහැ. ඉතිං අපි ලංකාවේ උපන් මිනිස්‌සු විදිහට අපට අවශ්‍ය දේ රට තුළ නිපදවා ගැනීමට යම් ප්‍රමාණයකට හෝ උත්සාහ ගැනීම ශ්‍රී ලාංකිකයන් විදිහට ආඩම්බර විය හැකිය. මනෝඡ් හෙට්‌ටිආරච්චිත් නලින් කන්නන්ගරත් යන විද්‍යාඥයන් එකහඬින් පැවසූහ."

ඇත්තෙන්ම එය ඔවුනට පමණක්‌ නොව ශ්‍රී ලාංකිකයන් ලෙසින් අප සියලුදෙනාටම ආඩම්බරයකි.

උපාලිද සේරම්, ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://www.divaina.com/2016/06/05/feature12.html

0 comments: