Pages

Monday, June 27, 2016

වැල්ලවත්තේ අක්‌කර 600න් සිංහලයන්ට අයත් වන්නේ අක්‌කර 21 යි! රටේ අයිතිකාරයො අද බෝඩිංකාරයො වෙලා - ඇල්ලේ ගුණවංශ හිමි

අතීතයේ දී සඟ වෙද, ගුරු, ගොවි, කම්කරු යන බලවේගයන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට පත්වී තිබුණත් අද වන විට එම පක්‌ෂයේ පංච මහා බලවේගය බවට ඉන්දියාව, එංගලන්තය, ඇමරිකාව, රොස්‌මිඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස පත් වී ඇති බව ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසූහ.

උන්වහන්සේ එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ ඊයේ (23 දා) යුතුකම සංවාද කවය විසින් කොළඹ මහජන පුස්‌තකාල ශ්‍රවණාගාරයේ ෆෙඩරල් සංහිඳියාව මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේ දීය.

එහිදී මුලසුනේ දෙසුම පවත්වමින් ඒ හිමියෝ මෙසේද පැවසූහ. 

මෙම සම්මන්ත්‍රණයට එන්න මිදුලට බහිනකොටම මගේ අතට ලැබුණ විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය මැතිවරණවල දී අනුගමනය කළ යුතු උපමාන පිළිබඳව සඳහන් කරලා තිබෙන අති විශේෂ ගැසට්‌ පත්‍රය. මෙහි සඳහන් වෙලා තිබෙන ආකාරයට මැතිවරණවලදී ජාතික සහ ආගමික සංකේත යොදා ගැනීමට බැරිවෙනවා. 

ථෙරවාදී බුදුදහම ආරක්‌ෂා වී තිබෙනවා. රටවල් අතරින් සංඝරත්නය ජාතියේ මුරදේවතාවුන් බවට පත්වෙලා තිබෙන්නේ මේ රටේ දී පමණයි. ප්‍රභාකරනුත් කිව්ව කහ රෙද්ද තිබෙන කම් මුකුත් කරන්න බැරි බව. එම නිසා කහ රෙද්ද ඉවත් කිරීම සඳහා කටයුතු පටන් අරගෙන තිබෙනවා. 

ඊළාම් රාජ්‍යය පිහිටවූවා නම් එහි ප්‍රධාන ආගම වන්නේ ක්‍රිස්‌තියානි ආගම. ලෝකයේ සිටින ජාතීන් අතර සිංහල ජාතිය ප්‍රමාණයෙන් කුරා කූඹියෙක්‌ වගේ. එසේ වුවත් මෙම ජාතිය වටා ජාත්‍යන්තර බලවේග රාශියක්‌ ක්‍රියාත්මක වනවා. අද වන විට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ පංච මහා බලවේගය බවට ඉන්දියාව, එංගලන්තය. ඇමරිකාව, රෝස්‌මීඩ් පෙදෙස සහ වෝඩ් පෙදෙස පත් වී තිබුණත් එදා එම තැන හිමි වී තිබුණේ සඟ, වෙද, ගුරු ගොවි කම්කරු බලවේගයන්ටයි. 
ෆෙඩරල් පාලනයකින් බිහිවන්නේ ඊළාම් රාජ්‍යයක්‌ තමයි. මේ වන විටත් හලාවත, දෙමළෙන් සිලාවතුරෙයි බවටත් ඉංග්‍රීසියෙන් චිලව් බවටත් පත්වී තිබෙනවා. ඒ ආකාරයට උතුරේ බොහෝ ග්‍රාම නාම දෙමළ බවට පත්වී තිබෙනවා. ශ්‍රී ලංකාවට කියන්නෙත් ඉලංකෙයි කියලා. ඒ අනුව පැහැදිලි වනවා මේ වනවිට ඊළාම් රාජ්‍යයේ ඔප්පුවත් ලියල අවසන් බව. දැන් මේ සූදානම් වන්නේ එම ඔප්පුවට අනුව මායිම් කණු දාන්න.

මට කලින් අදහස්‌ දක්‌වපු තිරාණගම මහතා සඳහන් කළා. හාමුදුරුවරු හරියට හිටියොත් රට බේරගන්න පුළුවන් බව. නමුත් දැන් ආගමටත් අයිතිකාරයෙක්‌ නැති තත්ත්වයක්‌ තිබෙන්නේ. මේ වන විට දළදා මාලිගාවටත් ඉහළින් යන්න වෙනත් ගොඩනැඟිලි හදනවා. හාමුදුරුවරු මේ රටේ අයිතිකාරයන් වගේ සිටිය යුතුයි. නමුත් අවුරුදු 2500 ක ඔප්පුව උඩ වාඩිවෙලා බෝඩිංකාරයෝ වගේ සිටිනවා. නව ව්‍යවස්‌ථාවක්‌ සඳහා ජනතාවගේ අදහස්‌ ලබාගත් කමිටුවේ වාර්තාව එළි දක්‌වා තිබෙනවා. කෝටි දෙකක ජනගහනයක්‌ සිටින රටේ 4150 කගේ පමණයි අදහස්‌ ලබාගෙන තිබෙන්නේ. ඒ අය අතර 

ෆැක්‌ස්‌ සහ ඊමේල් එවපු අයත් සිටිනවා. ඒ අය තමයි රටේ අනාගතය තීරණය කරන්න හදන්නේ. 

1978 ව්‍යවස්‌ථාවේ බුද්ධාගම පිළිබඳව සඳහන් වූ ව්‍යවස්‌ථාවත් වෙනස්‌ කිරීමට යෝජනා වෙලා තිබෙනවා. ව්‍යවස්‌ථාවේ සඳහන් විය යුත්තේ සම්බුද්ධ ශාසනය ආරක්‌ෂා කිරීම පිළිබඳවයි. බුද්ධාගම ආරක්‌ෂා වනවා නමුත් ශාසනය ආරක්‌ෂා කිරීමට කටයුතු කළ යුතුයි. නව ව්‍යවස්‌ථාව මගින් සහමූලිකත්වය නීති ගත කිරීමට යනවා. මෙම යෝජනාව ගෙන එන සමහර අයට දරුවෝ නැහැ. ඒකට අපි පළිද? දරු සෙනෙහස දැනෙන අය තමයි රට හැදිය යුත්තේ. මේ ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳව හරිම දුකක්‌ ඇතිවෙනවා.

අපි ගහට කොළට ආදරය කළ ජාතියක්‌. අපි කුරුල්ලන්ට කුරුලු පාලුවක්‌ වෙන් කළා. ගවයන්ට තණ කන්න වෙනම කෑල්ලක්‌ වෙන් කළා. එහෙම කරපු අපට පරසුද්දන් මානව හිමිකම් පිළිබඳව උගන්වන්න එනවා. 

ඇමරිකාව , එංගලන්තය, ඉන්දියාව යන රටවල් තුන එකතු වෙලා අපට එරෙහිව කුමන්ත්‍රණය කරනවා. මේ රටේ නාඩි වැටෙන ආකාරය පිළිබඳව අපි ඉන්නේ අවධානයෙන්. මේ රටට එරෙහිව විශාල කුමන්ත්‍රණයක්‌ තිබෙනවා. 13 වැනි සංශෝධනය යටතේ ඉඩම් බලතල දුන්නොත් සේරුවිලට, තිරියායට, නාගදීපයට, වෙල්ගම්වෙහෙරට යන තත්ත්වය කුමක්‌ද? වැල්ලවත්ත ප්‍රදේශයේ අක්‌කර 600 ක ප්‍රමාණයෙන් සිංහලයන්ට අයත් වන්නේ අක්‌කර 21 යි.

මේ ආක්‍රමණයෙන් මිදීම සඳහා වැඩපිළිවෙළක්‌ අවශ්‍යයි. ඒ සඳහා කටයුතු කරමු. අපේ රට තවම අවසන් හුස්‌ම හෙළුවේ නෑ.

යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා - 

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස පත්වීමෙන් පසුව පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට සහ එක්‌සත් ජනතා නිදහස්‌ සංධානයට ඡන්දය දුන් ලක්‌ෂ 58 කගේ අභිලාශය ප්‍රකාශ කිරීමට තිබූ අවකාශය තැනි කළා. එය ඒකාධිපති වාදයක්‌ නෙවෙයි නම් වෙන මොකක්‌ද?

චන්ද්‍රිකා කුමාරතුංගේ කාලයේ දී පැකෙඡ් එක ගෙනාවා. ඉන් පසුව රනිල් වික්‍රමසිංහගේ කාලයේ දී අන්තර් පාලනයක්‌ දෙන්න හැදුවා. යුද්ධයෙන් දිනන්න බැරි වුණ දේ තමයි දෙන්න හැදුවේ. දැන් මේ ව්‍යවස්‌ථාවෙනුත් දෙමළ බෙදුම්වාදීන්ගේ අභිලාශයන් ලබාදෙන්න කටයුතු කරනවා.

ඉරාකයට බෝම්බ දාලා කළ සේ ශ්‍රී ලංකාවේ ද්‍රෝහීන් කීප දෙනකු යොදා ගෙන කරන්න හදනවා. පසුගිය ආණ්‌ඩු පෙරළන්න ඉරාකයේ දී වගේ ඔවුන්ගේ ජීවිත දෙන්න වුණේ නෑ. එම නිසා තමයි අපේ පාලකයන් බොහොම ආදරයෙන් පිළිගෙන මේ අය ආදර්ශයට ගන්න කියලා අනෙක්‌ රටවල නායකයන්ට කියන්නේ.

මෙම ව්‍යවස්‌ථාව ගෙන එන්නේ අපේ ජාතිය යළිත් නැගිටින්න බැරි ලෙස වට්‌ටවන්න.

මේ රටේ දැන් ඉන්න පාලකයන් කියනවා බණ්‌ඩාරනායක චෙල්වනායගම්, බණ්‌ඩාරනායක, ඩඩ්ලි ගිවිසුම් පරාජය කිරීම කඩාකප්පල්කාරි ක්‍රියාවක්‌ලු. මේ කඩාකප්පල්කාරීන් කියන්නේ පූජ්‍ය බද්දේගම විමලවංශ, පූජ්‍ය මඩියේ පඤ්ඤාසීහ, පූජ්‍ය පලිපාන චන්ද්‍රාන්ද වහන්සේලා වගේ හිමිවරුන්ට. මේ කියන පෙඩරල් පාලකයන් යටතේ අපි සිටින ප්‍රදේශ බහුජාතික විය යුතුයි. උතුර නැගෙනහිර දෙමළ විය යුතුයි. ප්‍රාන්ත රාජ්‍යයේ ඉල්ලීම මත පුරවැසිකම පවා ලබාදීමට සිදුවනවා. 

අපටත් යුක්‌තිය ඉෂ්ට විය යුතුයි. නැතිනම් සංහිදියාව ඉටුවන්නේ කොහොමද?

ජනාධිපති නීතිඥ මනෝහරද සිල්වා මහතා ද සම්මන්ත්‍රණයේදී අදහස්‌ දැක්‌වීය.

එරික්‌ ගාමිණි ජිනප්‍රිය, ඡායාරූප ජූඩ් ඩෙන්සිල් පතිරාජ
http://www.divaina.com/2016/06/27/news29.html

0 comments: