Pages

Tuesday, June 14, 2016

ලංකාව ආගම් නොතකන රාජ්‍යයක්‌ කිරීම කාගේ වුවමනාවක්‌ද?

යහපාලන ආණ්‌ඩුවට මෙන්ම රටට ද යහපත් කාලයක්‌ උදා වී නැත. දිනෙන් දින අසන්නට දකින්නට ලැබෙන්නේ මහා විපත් ය. පුදුමතාලන් හි සිදුවූවාට වඩා වැඩි විනාශයක්‌ කොස්‌ගම සාලාව නගරයේ දැක ගත හැකිය. 

ඉන්දියාවේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පිහිටා තිබූ එරට හමුදාවේ දැවැන්තම ආයුධ ගබඩාවේ ගින්නක්‌ ඇති වී තවම දින 21 ක්‌ ගෙවී නැත. එම පිපිරීම්වලට හසුවී සෙබළුන් විසිදෙනෙක්‌ මිය ගිය ද එම ප්‍රදේශය ජන ශූන්‍ය කලාපයක්‌ වූ නිසා දේපළ හානි ගැන වාර්තා වූයේ නැත. නමුත් කොස්‌ගම සාලාව ප්‍රදේශයේ අවි ගබඩාව පිපිරීමෙන් සිදු වූ දේපළ හානිය අති විශාලය. ආපදා විපත්වලින් රටට ගැලවීමක්‌ නැද්ද. 2015 ජනවාරි 08 පසු රටේ ග්‍රහචාරය එතරම් සුබදායක නොවේ. එක්‌ අතකින් අරණායක නාය ගොස්‌ ගමක්‌ වැළලුණු අතර සාලාව කඳවුර පිපිරී ගම් කිහිපයක්‌ බිමට සමතලා විය. වාසනාවකට ජීවිත හානි වාර්තා වූයේ එකක්‌ පමණි. පුදුමාතලන් හි නන්දිකඩාල් කලපුවේ නොදකින ලද ගිනිකෙළි සංදර්ශන ඉකුත් ඉරිදා රාත්‍රියේ කොස්‌ගම හංවැල්ල වැසියන්ට දැක ගත හැකි විය. අයාගත් මුවින් යුතුව ඔවුහු මේ සිදුවන්නේ කුමක්‌ දැයි විපිලසරව බලා සිටියේ කිලෝ මීටර් ගණනාවක්‌ ඈතට දුවගොස්‌ අනාරක්‍ෂිත ස්‌ථානවල සැඟවී සිටිමින් ය. නොසිතූ නොපැතූ දේම සිදුවන බව අමුතුවෙන් කිව යුතු නැත. එය සනාතන දහමකි. නොසිතූ විපත් සිදුවන මේ කාලයේ යහපාලන ආණ්‌ඩුව මගින් පත් කළ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ පිළිබඳව අවධානය යොමු නොකළ සිටියහොත් එය විශාල අත්වැරැද්දකි. මන්ද මේ නිර්දේශ ක්‍රියාත්මක කරමින් රටට නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කළහොත් ඒකීය රාජ්‍යය මල්ටි බැරල් ප්‍රහාරයකට ලක්‌ වී විනාශ වී යන ආකාරයටම සදහට මතකයෙන් ගිලිහෙනු ඇත.

ලාල් විඡේනායක මහතාගේ සභාපතිත්වයෙන් හා වින්ස්‌ටන් පතිරාජ මහතා ලේකම් ධුරය හොබවන මෙම මහජන අදහස්‌ විමසීමේ කමිටුවේ නිර්දේශ ඇතුළත් වාර්තාව පසුගිය මැයි 10 වැනිදා එළිදක්‌වා ඇත. මේ වාර්තාව අන්තර් ජාලය මගින් ද ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම කමිටුවට ඇතුළත් වූ සාමාජිකයන් 19 දෙනකුගේ නාමයන් හා අත්සන් ද ඇතුළත් ව ඇත. මේ පිරිස පිළිබඳ සලකා බැලීමේදී ඒ කිසිවකු ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින අය ද යන්න සැක සහිතය. යුද විරෝධීන් මෙන්ම ෆෙඩරල් මතවාදීන් රැසක්‌ ද මෙම කමිටුවට ඇතුළත් බවට සැක නැත. එය වඩා හොඳින් තහවුරු වන්නේ මේ කමිටු වාර්තාවේ නිර්දේශ සලකා බැලීමේදී ය. යහපාලන ආණ්‌ඩුව 2015 දෙසැම්බර් 22 වැනි දින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණය පිළිබඳව මහජන අදහස්‌ විමසීම වෙනුවෙන් කමිටුවක්‌ පත් කිරීම සඳහා කැබිනට්‌ අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව පත් කළ මෙම කමිටුව රටපුරා යමින් මහජන අදහස්‌ ලබාගත් අයුරු අපට මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබිණි. ඒ අනුව විඡේනායක කමිටු වාර්තාව නිර්දේශ කරන්නේ කුමක්‌ද? ලංකාව අනාගමික රාජ්‍යයක්‌ කළ යුතු බවයි. ඒකීය රාජ්‍යයට එරෙහිව නිරන්තරයෙන් අදහස්‌ දක්‌වන උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ද කිසිම විටක ලංකාව අනාගමික රාජ්‍යයක්‌ කළ යුතු යෑයි ප්‍රකාශ කර නැත. එහෙත් මේ ඊනියා ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ කමිටුව ලංකාව අනාගමික රාජ්‍යයක්‌ කළ යුතු යෑයි කියයි. මේ කමිටුවේ සාමාජිකයන් බෞද්ධ විරොධීන් ද? නැත්නම් මේ කමිටුවට සාක්‍ෂි සැපයූ බහුතරය බෞද්ධ විරෝධීන් දැයි අපට පැහැදිලි නැති වුවත්, රටේ අනන්‍යතාව විනාශ කරන සිංහල බෞද්ධයාට නිසි තැන අහිමි කරන විජාතික බලවේග සතුටු කරන ව්‍යවස්‌ථාවක්‌ නිර්මාණය සඳහා සුදුසු නිර්දේශ ලබා දී ඇති බව නම් සහතිකය. ඉන්දියාව අනාගමික රාජ්‍යයක්‌ ලෙස ව්‍යවස්‌ථාවේ සටහන් කර තිබුණ ද එහි හින්දු ජාතිකවාදය අනුව කටයුතු සිදුවෙයි. එනමුත් අප ඉන්දියාව ආදර්ශයට ගත යුතු නැත. ඉන්දියාව අනුව යමින් සිදුකළ දේශපාලන ප්‍රතිසංස්‌කරණ නිසා දහස්‌ ගණනකට මරු වැළඳ ගන්නට සිදු වූ බව නම් සහතිකය. සමසමාජ පාක්‍ෂිකයන්ට අවශ්‍ය ආකාරයට හෝ බෞද්ධ විරෝධීන්ට අවශ්‍ය ආකාරයට මෙරට අනාගමික රාජ්‍යයක්‌ කිරීමට ඉඩ දිය යුතු නැත. යහපාලන නම් සිතාරම්බර සළුවෙන් වැසුණු හෙළුව අප හොඳින් අවබෝධ කර ගත යුතුය. එදා ලක්‍ෂ 62 ක්‌ හංසයාට ඡන්දය ලබා දුන්නේ බුද්ධාගමට ලැබෙන ප්‍රමුඛස්‌ථානය නැති කර ලංකාව අනාගමික රාජ්‍යයක්‌ බවට පත් කිරීමට ද?

මෙම කමිටුව මහජන අදහස්‌ විමසීම සඳහා මන්නාරමට ගිය විට එම ප්‍රදේශයේ පිරිසක්‌ ජාතික කොඩියේ සිංහයා ඉවත් කළ යුතු බවට අදහසක්‌ ඉදිරිපත් කර තිබිණි. කවරක්‌ නමුත් විඡේනායක කමිටු වාර්තාවේ එක්‌ නිර්දේශයක්‌ වන්නේ ජාතික කොඩිය අලුතෙන්ම නිර්මාණය කළ යුතුය යන්නයි. ඒ අනුව මේ කමිටුවට ද ජාතික කොඩියේ සිංහයා ඉවත් කිරීමට අවශ්‍යව ඇති බව පැහැදිලිය. සිරිසේන - වික්‍රමසිංහ ආණ්‌ඩුවට ද ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කිරීමට අවශ්‍යව තිබේද? එය සංහිඳියාවට බාධාවක්‌ ලෙස දකින්නේ ද? ඉවත් කළ යුත්තේ සිංහයා ද කඩුව ද නැත්නම් බෝපත් හතරද යන්න පැහැදිලි නැත. එහෙත් අපේ ජාතික කොඩියේ සිංහයාට ද වෛර කරන පිරිස්‌ මෙම කමිටුව හමුවේ සාක්‍ෂි දී ඇති බව පැහැදිලිය. කනගාටුවට කරුණ එම වෛරී සාක්‍ෂි නිර්දේශ ලෙස පෙරළා තිබීමයි. සිංහ කොඩිය වෙනස්‌ කර රට අනාගමික රාජ්‍යයක්‌ කිරීම නිර්දේශ වී ඇත්නම් ඉදිරි ව්‍යවස්‌ථාවේ ඒකීය රාජ්‍යය සුරැකෙන්නේ නැති බව නම් පැහැදිලිය.

නව ව්‍යවස්‌ථාව හැදීම කවරක්‌ වෙතත් මේ මහජන අදහස්‌ විමසීමේ කමිටු වාර්තාවේ නිර්දේශ ද කුණු කූඩුයට දැමිය යුතුය. නව ව්‍යවස්‌ථාව පිළිබඳ දැනටම එජාපය හා ශ්‍රීලනිපය අතර මත ගැටුම් පවතී. සිරිසේන මහතා ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බව සපථ කළේය. නමුත් දැන් ඔහුට හිතවාදී ශ්‍රීලනිප කණ්‌ඩායම ප්‍රකාශ කරන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන් විරුද්ධ බවය. මේ අනුව විධායක අගමැති ක්‍රමය ඇති කිරීමේ එජාප සිහිනයට බලවත් පහරක්‌ එල්ල වී ඇත. ජාතිකවාදී බලවේග සැබැවින් ම නව ව්‍යවස්‌ථා කුමන්ත්‍රණය පරාජය කළ යුතුය. නව ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ වුවහොත් එයින් දැඩි ප්‍රහාරයට ලක්‌වන්නේ සිංහල බෞද්ධයා බව සැක නැත. බටහිර බලවේග සතුටු කරන අනාගමික රාජ්‍යය ඇති කර බුද්ධාගමට හිමි තැන අහිමි කිරීමේ කුමන්ත්‍රණය දිවි හිමියෙන් වැළැක්‌විය යුතුය.

චතුර පමුණුව
http://www.divaina.com/2016/06/12/feature17.html

Pic Source

0 comments: