Pages

Tuesday, August 12, 2014

සිංහල බෞද්ධ රාජ්‍ය එදා සහ අද

අපේ වංශ කථාවට අනුව ක්‍රි. පූ. 543 දී සම්බුද්ධ පරිනිර්වාණයත්, විජය කුමරුගේ ලංකාවතරණයත් එකම දිනකදී සිදුවූ බවත් ඉන් වසර 150 ට පමණ පසු දෙවනපෑතිස්‌ රජු දවස මිහිඳු මහ රහතුන් වහන්සේගේ මෙරට සම්ප්‍රාප්තියත් සමඟ සම්බුද්ධ ශාසනය පිහිටුවා සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය ප්‍රතිෂ්ඨාපනය කර, "සිංහල බෞද්ධ රාජ්‍යය" සංකල්පය ආරම්භ වී දැනට වසර 2400 කටත් වඩා ඉපැරැණි ඉතිහාසයක්‌ අප සතුව ඇත.

සොලී පාණ්‌ඩ, එළාර, මාඝ වැනි දෙමළ රජවරුන් ලංකාව ආක්‍රමණය කළ අවස්‌ථාවලදී සිංහල රජවරුන් විසින් ප්‍රතිප්‍රහාර එල්ලකර ආක්‍රමණිකයා පලවා හැරීම ජාතිවාදී ස්‌වරූපයක්‌ නොවීය. ඉන්පසුවත් සිංහල, දෙමළ, මුස්‌ලිම්, සාමාන්‍ය ජනතාව සාමයෙන් සංහිදියාවෙන් මේ බිමෙහි ජීවත් වූහ.

ක්‍රි. ව. 1225 දී කලිඟු දේශයෙන් මෙහි පැමිණි මාඝ ආක්‍රමණිකයා රට පැහැර ගෙන වසර 21 පමණ කාලයක්‌ ඉතාමත් අධාර්මිකව රට පාලනය කළේය. සිංහලයන් සතු ඉඩකඩම් දෙමළ ජනතාවට ලබා දුන්නේය. වෙහෙර විහාර විනාශ කරමින් සිංහල බෞද්ධ ජනතාවට තාඩන පීඩන කළහ. රජරටෙන් පසුබැස සිංහල ජනතාව විජයබාහු නම් රජ කුමරෙකු යටතේ සංවිධානය වී දෙමළ සේනා පලවා හැර මායා රට අත්පත් කර ගෙන දඹදෙණි රාජධානිය පිහිටුවා මාඝ ආක්‍රමණිකයා විනාශ කළ වෙහෙර විහාර යළි පිළිසකර කර සිංහල ජාතියත්, බෞද්ධාගමේත් යළි පුනර්ජීවයක්‌ ඇති කළහ.

මින් අනතුරුව යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්‌ටේ, සීතාවක හා සෙන්කඩගල නුවර රාජධානි පිහිටුවා ගත් සිංහල බෞද්ධ රජවරුන් සිංහල, ජාතියටත්, බෞද්ධාගමටත් මහඟු සේවයක්‌ කළ අතර, දෙමළ, මුස්‌ලිම්, මෙන්ම පසු කලකදී මෙරට පැමිණි පෘතුගීසි සහ ලන්දේසි ජාතින් සමගද සාමයෙන්, සංහිඳියාවෙන් කටයුතු කර ඇති බවට අපේ ඉතිහාසය සාක්‌ෂි දරයි.

1798 දී ලංකාවේ අවසන් රජු බවට පත් නායක්‌කාර් වංශික කන්නසාමි කුමාරයා ශ්‍රී දළදා මාළිගාවට ප්‍රවිෂ්ඨ දන්ත ධාතුන් වහන්සේ අභිමුඛයෙහි පංචශීලයෙහි පිහිටුවා මල් පහන් පුදා නැවතත් පත්තිරිත්පුවට පැමිණ මහජනතාව ඉදිරියෙහි පෙනී සිට ශ්‍රී වික්‍රම රාජසිංහ යන සිංහල බෞද්ධ නමින් රාජ්‍යත්වයට පත්විය.

වසර 17 රාජ්‍යත්වයෙන් පසු 1815 දී ඉංගී්‍රසීSන් විසින් උඩරට රාජධානිය අත්පත් කරගත් පසු සිංහල ජන ප්‍රධානීන් අත්සන් කළ ගිවිසුමේ ප්‍රකාර සිංහල, ජනතාවත්, බෞද්ධාගමත් පෝෂණයකර ආරක්‌ෂාකර දෙන බවට පොරොන්දු වී ඇත.

1948 වනවිට එවකට රටේ සිටි සිංහල, දෙමළ, මුස්‌ලිම්, උගත් ජන නායකයන්ගේ අප්‍රතිහත ධෛර්ය ප්‍රතිඵලයක්‌ වශයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ට ලංකාවට නිදහස ප්‍රකාශ නොකර සිටීමට බැරි විය. වසර 2500 ක පමණ ඉතිහාසයකට උරුමකම් හිමි සිංහල බෞද්ධ ජනතාවට වර්ගවාදී හෝ ජාතිවාදි අතීතයක්‌ නොතිබුණි. නිදහස ලබා මේ වනවිට ගෙවි ඇති 65 වසර තුළ සිදුව ඇත්තේ කුමක්‌ද? මෙරට සර්ව ආගමික බහුජාතික රටක්‌ බවට මහජනතාවට කාන්දුකරවීමට යම් සංකල්පමය වෙනසක්‌ ඇති කිරීම සඳහා දෙමළ සහ මුස්‌ලිම් දේශපාලනඥයන් පිරිස්‌ මෙන්ම අප ඉතිහාසය නොදත් අපේම දේශපාලන පිරිස්‌ දේශපාලන වාසි ලබා ගැනීමේ අටියෙන් ප්‍රබල උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇත. ඇතැම් බෞද්ධ භික්‌ෂූන් වහන්සේලාගේ යම් යම් ක්‍රියාකාරකම්ද ඔවුනට මහත් පිටුවහලක්‌ වී ඇත. නිකාය බේද වශයෙන් බෙදී දේශපාලන පක්‍ෂවලට ගැතිව භික්‌ෂුත්වයට නොගැලපෙන ක්‍රියාකාරකම්වල සමහර භික්‌ෂූහු නියෑළෙනි. අද අපේ ජාතිකත්වය ගැන කථා කිරීම ජාතිවාදය ඇවිස්‌සීමක්‌ ලෙස පුහුදුන් දේශපාලනඥයෝ ප්‍රකාශ කරති. නමුත් දෙමළ මුස්‌ලිම්, දේශපාලනඥයන් සිය වර්ගයා ගැන ජාත්‍යන්තරය දක්‌වා බොරු ප්‍රකාශ කරමින් සිංහල-බෞද්ධ පදනම බිඳ දැමීමට කටයුතු කරමින් සිටිති.

උතුර, දෙමළ ජනතාවගේ නිජබිම් බව ප්‍රකාශ කරන දෙමළ දේශපාලනඥයන්ද නැගෙනහිරින් පටන් ගෙන මන්නාරම හරහා පුත්තලම දක්‌වා ප්‍රදේශ සිය නිජබිම් බව ප්‍රකාශකර සිටින මුස්‌ලිම් දේශපාලනඥ යන්ද අපට එරෙහි අවි අමෝරා සිටින බටහිරයන්ගේ සහයෝගයෙන් ඉදිරියේදී ඔවුන්ගේ මායිම් ගම්මාන වැට කඩොලු බිඳ දකුණ දක්‌වා සංක්‍රමණය වුවහොත් සිංහල බෞද්ධ ජනතාවට සිදුවන්නේ යළිත් පරාධීන ජාතියක්‌ ලෙස මිය යන්නටද?

පක්‍ෂ භේද, ජාතිභේද, ආගම් භේද මඳකට අමතක කර රටත්, ජාතියත් ආරක්‌ෂා කර ගැනීමට අපේ පාලකාදීන්ට බුද්ධිය පහළවේවා, ශක්‌තිය ධෛර්ය ලැබේවා.

හේරත් අබේකෝන්
http://www.divaina.com/2014/08/09/feature02.html

Pic Source

0 comments: