Pages

Saturday, August 16, 2014

වැහි පොදක්‌ නැති නියඟය

කොළඹට මහ වැස්‌ස ය. වන්නියේ ගිනිගහන අව්ව ය. කොළඹ වතුර දොරේ ගලා යයි. වන්නිකරේ ඇත්තෝ දිය පිපාසයෙන් කට ඇරගෙන බලා සිටිති. වැස්‌ස කොළඹට පමණක්‌ නොව, ක්‍රිකට්‌ තරග ඉරණම වෙනස්‌ කරවන්නට ගාල්ලට ද දළදා පෙරහැරට බාධා කරවන්නට මහනුවරට ද ජලාශ උතුරා, කඳු නාය යන්නට මධ්‍ය කඳුකරයට ද අන්තිම වශයෙන් මඩකලපුවට ද වැස්‌සේ ය. වන්නිකරේට වැස්‌ස ඔච්චම් කළේය. දිය බිඳකුදු බිම හෙළුවේ නැත.

වැහි පොදක්‌ නැති නියඟය, වියළි කලාපයට නැතිනම් වන්නිකරේට, මහ අරුමයක්‌ නම් නොවේ. මන්ද සෑම වසරකම ජූලි සිට සැප්තැම්බර් අග මාස්‌ වැහි එළැඹෙන තුරා ඇති මාස කීපය, වියළි කලාපයට දැඩි සූර්ය තාපයක්‌ ලැබේ. එනිසාම වැව්, ජලාශ, ළිං හා සියලු ජල ප්‍රභව සිඳී යයි. එය අනපේක්‍ෂිත වූ තත්ත්වයක්‌ ම නොව කවුරුත් අපේක්‍ෂා කරන්නා වූ ස්‌වාභාවික උපද්‍රවයකි.

මේ අපේක්‍ෂිත ස්‌වාභාවික උපද්‍රවය වෙනස්‌ කළ හැකිද? නැතිනම් මර්දනය කළ හැකිද? නැතිනම් ඊට සරිලන පරිදි වන්නිකරය, වියළි කලාපයට හැඩ ගැස්‌විය යුත්තේ කෙලෙසකද යන්න පිළිබඳව අද දවසේ කතිකාවතක්‌ ආරම්භ කළ යුතුය. නැතිනම් සැමදාම මෙහි ජනතාව අහසට ශාප තබමින්, දිය පිපාසාවෙන් කෙඳිරිගාමින් ගස්‌-වැල් සතුන් මිය යමින් සිදු කෙරෙනා මේ ස්‌වභාවික අරගලයට කෙදිනකවත් සාර්ථක පිළිතුරු නොලැබෙනු ඇති.

සැබැවින්ම සොබා දම සිදු කරන්නේ චක්‍රයක්‌ බඳු වූ සොබා ක්‍රියාවලියක්‌ මය. එහි අඩු-වැඩි කම්, අඩු-වැඩි තැන් නැතිවා නොවේ. නමුත් එය අලුතින් මල්-පල පූදින්නට නම් පැරැණි කොළ වැල සළා දැමිය යුතුය. නව ජීවනයක්‌ ගෙන යැමට නම් ගහ-වැලට සරිලන දේශගුණයක්‌, කාලගුණයක්‌ සපයා දිය යුතුය. වැවේ සිටින මසුන්ගේ සිට සියලු සතා සීපාවාගේ නව ජීවන ගමනකට, නැතිනම් ඊළඟ පරම්පරා ජනනය සඳහා මෙසේ අවශ්‍ය වූ (අත්‍යවශ්‍ය වූ) "පාරිසරික පසුබිම" සකස්‌ කර ලිය යුතුමය. ඉදින්, මේ තත්ත්වය අමාරු වී ඇත්තේ, ඉසිලිය නොහැකි වනු ඇත්තේ, අවබෝධ වනු නැත්තේ, මිනිසුන් වන අපටම බවද පෙනී යයි. එය හරියට අලින්ගේ ස්‌වාභාවික ගමන් මාර්ගවල (අලි මං වල) මිනිසුන් බලෙන් පදිංචි වී, "අලින්ගෙන් කරදරයි" යන හඬ ගෑම මෙනි.

පුත්තලම දිස්‌ත්‍රික්‌ සංඛ්‍යා ලේඛන අත්පොතෙහි සඳහන් සංඛ්‍යා ලේඛන අනුව (මෙය ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ උපදෙස්‌ හා මඟ පෙන්වීම පරිදි පුත්තලම සංඛ්‍යා ලේඛන අංශය මගින් සකස්‌ කර ඇත) වර්ග කිලෝ මීටර 3072 ක වපසරියක පැතිරෙන පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාස දහසය (16) පුරාම 2009 - 2012 දක්‌වා මාසික වර්ෂාපතන රටාව ලඝූ සටහන් වලින් මෙසේ දැක්‌විය හැකිය.



කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ලබාගත් මෙම වර්ෂාපතන සටහන් අනුව අප්‍රියෙල් මස දී වැටුණු වැසි ප්‍රමාණය මැයි, ජුනි, ජූලි, අගෝස්‌තු, සැප්තැම්බර් දක්‌වා කෙමෙන් අඩු වී යළි මාස්‌ වැසි ඇරැඹි විට වර්ධනය වන බව පෙනී යයි.


අප මේ වැසි නොවැටීම ස්‌වාභාවික ක්‍රියාදාමයක්‌ යෑයි පවසන්නේ එනිසාය. එය අහම්බයක්‌ නම් නොවේමය.

කෙසේ නමුත් ඒ "අඩුවෙන්" ජනතාවට, ගහට, කොළට, වැලට, සතා-සීපාවාට දැනෙන පීඩාව නම් සුළු පුටු නැත. එසේම එනිසා ම ජීවන රටාවේ බිඳ වැටීමද බියකරුය. මානව, සත්ත්ව හා ශාක වල ජීවනය, පැවැත්ම උදෙසා අත්‍යවශ්‍ය වන ජලය. ආහාර හිඟ නම්, හිඟ වෙමින් පවතින්නේ නම්, එතැන ඇත්තේ සාමූහික අරගලයකි. ඒ අරගලය දැනටමත් වන්නිකරයේ ඇරඹී ඇත.

වැවේ, ඔයේ, ළිඳේ ඉතිරිව ඇති දිය බිඳ උදෙසා, අපා, දෙපා, සුවිපා, බහුපා සියල්ලෝ සටන් වදිති. පක්‍ෂියාගේ සිට දැවැන්ත වන අලියා දක්‌වා සත්තු ද මිනිස්‌සු ද මේ ජීවන අරගලයේ කොටස්‌කරුවෝ වෙති. ගස්‌-වැල් හිරුට එරෙහිව සටන් වැදුණ ද, බහුතරයකට සිදු වන්නේ, වියළී, දැවී මිය යැමට ය. ජල බිඳට මෙසේ නම් ආහාර ගැන කවර කතාද. කුඹුරෙන් වී නැතිවා මෙන්ම අටුවේ, බිස්‌සේ තිබූ කුරහන්, වී හිස්‌ වෙමින් යයි. සතුනට කෑමට තණ පඳුරකුදු නැත්තේ, සියල්ල රුදු සැඩ හිරු විසින් වියළා දමා තිබීම නිසාය. ශාක භක්‍ෂකයන් කෙමෙන් මිය යැමට සූදානම් වෙති. ඔවුනගේ මාංශ භක්‍ෂණය පිණිස මාංශ භක්‍ෂකයෝ සූදානම් වෙති. රුදු මිනිසුන් ද සූදානම් වන්නේ මේ දෙපිරිසගේම මාංශ භක්‍ෂණය කිරීමට ය. නියඟය විසින් වන්නිකරයේ සටනක්‌, අරගලයක්‌ ආරම්භ කරනු ලැබ ඇතැයි ඇස්‌ පනා පිටම අපට දකින්නටත් අසන්නටත් ලැබේ.

පුත්තලම දිස්‌ත්‍රික්‌ ලේකම් කිංස්‌ලි ප්‍රනාන්දු හා ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානාධිපති මේජර් තල්වත්ත ද පවසන්නේ පුත්තලම දිස්‌ත්‍රික්‌කය, රටේ වෙනත් නියඟින් පීඩාවට පත් දිස්‌ත්‍රික්‌ක මෙන් 'නරකම' තත්ත්වයක නොපවතින බවය. ජලය, ආහාර අවම වීමේ පීඩාව අන් අයට සේම පුත්තලම දිස්‌ත්‍රික්‌ ජනතාවට දැනෙන බවද සත්‍යයකි. එසේ වුවද අන්ත අසරණ භාවයට පත් වීමේ තත්ත්වයක්‌ වර්තමානයේ දක්‌නට නැත. අනාගතයේ දී එනම් ඉදිරි සතියේ මේ තත්ත්වය බරපතළ ලෙස වෙනස්‌ වීමට ද ඉඩ තිබේ. මන්ද, සැඩ හිරු සිය ප්‍රචණ්‌ඩ කිරණ දිගින් දිගටම මේ දිස්‌ත්‍රික්‌කයට එල්ල කරමින් ප්‍රහාරාත්මක සටනක නියෑළී සිටින නිසාය. එසේම එහි "වැඩියක්‌" මිස "අඩුවක්‌" නම් දක්‌නට, විඳින්නට නැත්තේ මය. අප දැන් කතා කළ යුත්තේ දැන් විඳින පීඩාව ගැන පමණක්‌ ම නොවේ. ඒ සඳහා පිළියම් යෙදිය යුතුය.

ඊළඟ වතාවල දී මෙවන් ස්‌වාභාවික ව්‍යසනයක්‌ සිදු වීමට ඇති ඉඩකඩ අහුරා ලිය යුතුය. ඇතැම් අඥන දෙස්‌පලුවන් නම් අහස වැසීමට ඉටි රෙදි බැඳීමට යෝජනා ඉදිරිපත් කරනු ඇති. ස්‌ථිරසාර වූ, ඵලදායී වූ ක්‍රියාකාරකම් වලින් සාර්ථක ප්‍රතිඵල නෙළා ගත හැකි වනු ඇත.

ටෙරන්ස්‌ වනිගසිංහ
http://www.divaina.com/2014/08/17/feature06.html

0 comments: