Pages

Saturday, August 16, 2014

අපේ රටේ බෞද්ධ සංස්කෘතිය පදනම් වී තියෙන්නේ ථේරවාදී බුද්ධාගම මතයි - මහාචාර්ය නලින්ද සිල්වා

ඕනෑම සංස්කෘතියක් යම් ධර්මයක් මත පදනම් වෙනවා. අපේ රටේ බෞද්ධ සංස්කෘතියත් පදනම් වී තියෙන්නේ ථේරවාදී බුද්ධාගම මතයි. දැන් ලංකාවේ වෙලා තියෙන දේ තමයි පණ්ඩිතයන් කියල කියන අය ථේරවාදයට පහර දීම. දැන් පණ්ඩිතයන් වෙන්න තියෙන ලේසිම ක්‍රමය ථේරවාදයට පහර දීමයි. අද ථේරවාදයට යම් කෙනෙක් පහර දුන්නොත් ඒ පුද්ගලයා හෙට උදේ වෙනකොට පණ්ඩිතයෙක් වෙලා.

ථේරවාදයට, සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන අයගේ ඇතැම් ලිපි ඉංග්‍රිසි පත්තරවල පළවෙනවා. ඒවයේ සිංහල පරිවර්තනත් සුළු පාඨක පිරිසක් සිටින ඇතැම් සිංහල පත්තරවල පළවෙනවා.

මේ අයට මහවංශය පේන්න බැහැ. දුටුගැමුණු රජතුමා පට්ටාගහනවා. මේ අය තවමත් ප්‍රසිද්ධියේ විවේචනය නොකරන්නේ මහනායක හිමිවරුන් පමණයි.

මේ අයට යම් වෙලාවක සෝභිත හිමියන්වත් ඕනැ වෙයි. මේ පිරිස බොදු බල සේනා හාමුදුරුවරුන් අන්තවාදීන් ලෙස හඳුන්වනවා.

ඇතැම් උදවිය කියන්නේ මහවංශය සිංහල බෞද්ධයන් 4වැනි පිටකය විදියට සලකනවා කියලයි. ඇත්තටම එහෙම එකක් නැහැ.

ප්‍රශ්නය මහාවංශය මොකක්ද රටට දුන්නේ කියන එකයි. එතෙන්ට එන්න පෙර මේ රටේ තිබුණ හෙළ බුද්ධාගම ගැන කතා කරන්න ඕන. ඒ තමයි මිහිඳු හිමියන් මේ රටට වැඩම කරන්න පෙර මේ රටේ තිබුණේ හෙළ බුද්ධාගම. ඒ හෙළ බුද්ධාගමේ තිබුණ සංස්කෘතිය අනෙකුත් සංස්කෘතීන් සියල්ලටම ඉඩ දුන් යහපත් සංස්කෘතියක්. එය කරුණාව, මෛත්‍රිය මත පදනම් වුණ හැම සංස්කෘතියකටම ඉඩ දුන් සංස්කෘතියක්. පණ්ඩුකාභය රජතුමාගේ කාලය ගන්න. අර ආගමට මේ ආගමට ඉඩ දුන්නා කියන ඒ යුගය සර්ව සාධාරණය කොහොම වෙතත් ඉතා ඉහළින්ම සාධාරණය ඉටුවුණ යුගයක්.

මේ යුගයේ තමයි විජය ඇතුළු පිරිස මේ රටට ගොඩබැස්සේ. මේ යුගය ගැන වරිග පූර්ණිකාව කියන පොතේ සඳහන් වෙනවා.

මානෑවේ විමලරතන හාමුදුරුවෝ මේ පොතේ කොටස් යක්ෂ ගෝත්‍රිකයන් ගැන කියවෙන තොරතුරු අරගෙන අප දැන් භාවිත කරන භාෂාවෙන් ලියා තියනවා.

යක්ෂ කෞරාන භාෂා සංස්කෘතිය ඒ යුගයේ තිබුණේ. අපි දැනුත් භාවිතා කරන හොඳ වචන ඒ භාෂාවේ තිබුණා. අපි දැනුත් පාවිච්චි කරන සෙප්පඩවිජ්ජාව වගේ වචන ඒ භාෂාවෙන් ගත් වචන ලෙසයි සැලකෙන්නේ. ඒ වගේ ඒ යුගයේ තිබුණ වචන හුඟක් අද තියන අපේ භාෂාවටත් එකතු වෙලා තියෙනවා.

ඒ යුගයේ තමයි විජය මේ රටට එන්නේ. මේ යුගයේ මේ රටේ බුද්ධාගම තිබුණ විතරක් නෙවෙයි ඒ ඇතැම් අය රහත් භාවය ලබාගෙනත් තිබෙනවා.

ඒ යුගයේ ඒ මිනිස්සු හුඟක් සානුකම්පිත මිනිස්සු. කුවේණි වුණත් විජයට සමාව දුන්නය කියලයි කියන්නේ. කුවේණිගේ අම්මා තමයි රත්නවල්ලි කියන්නේ. රත්නවල්ලි කියන්නේ මෙහෙණින් වහන්සේ නමක්. රහත් වූ කාන්තාවක්. ඇය සිටියේ අද රුවන්වැලිසෑය පිහිටි භූමියේ.

මහාවංශය රත්නවල්ලි ‍දේවතාවියක කරනවා. ඉතිහාසය අපි ලියන්නේ අපට ඕනෑ විදියට. පසුගිය අවුරුදු කීපයේ ඉතිහාසය වුණත් අපි ලියන්නේ අපට ඕනෑ විදියට.

විජයගෙන් පස්සේ යකුකෞරාණික සංස්කෘතියේ නැති දෙයක් වෙනසක් පොඩි ආක්‍රමණශීලීභාවයක් ආව. ඒකට ආත්මාරක්ෂාව කියලත් කියන්න පුළුවන්. ඒක අර ඊට පැරණි සංස්කෘතියේ තිබුණේ නැහැ.

විජයගෙන් පස්සේ මේ රටේ ඇතිවුණ සංස්කෘතියේ වැදගත්කම ඒකයි. පිටරටවලින් ඇතිවුණ ආක්‍රමණවලදී නොසැලී සිටීම, දකුණු ඉන්දියාවෙන් මොනතරම් ආක්‍රමණ මේ රටට එල්ල වුණාද කාලිංග මාඝගේ ඉඳන් සේන ගුත්තික, එළාර මේ සියලු ආක්‍රමණවලදී අරගුණය නිසා අපි නොසැලී සිටියා. නැත්නම් අපි වෛදික හින්දු සංස්කෘතියට යට වෙන්න තිබුණා.

මිහිඳු හාමුදුරුවන් මේ රටට වැඩිය පසු උන්වහන්සේ ගෙනාපු තුන්වැනි සංඝායනාවේ බුද්ධාගමේ තිබුණ එක්තරා අන්දමක ආත්මවාදී ස්වරූපය තියාගන්න අර මේ රටේ තිබුණ ආත්මාරක්ෂාව උපකාරයක් වුණා. අපෙන් තොරව යමක් තියනවා කියන එක උඩ ආත්මාරක්ෂාව ඕන. හින්දු ක්‍රිස්තියානි ආගම්වල වගේ දැඩිව නැතිවුණාට ළාවට මිහිඳු හාමුදුරුවන් ගෙනා බුද්ධාගමේ මේ ගුණය තිබුණා. හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම්, යුදෙව් ආගම්වල දැඩිව තියන ආත්මවාදය උඩ ආක්‍රමණශීලිත්වය තිබෙනවා.

මිහිඳු හාමුදුරුවන් බුද්ධාගම මේ රටට ගෙනාවම මේ ගුණාංග ලක්ෂණ තිබුණා. දැනුමේ ලක්ෂණ තිබුණා. මුහුණ දෙන්න ඕන කියන ගුණාංගය. ධර්මවාදය පිහිට වුණා. විජයගෙන් පස්සේ මේ ආත්මාරක්ෂක ගුණාංගය යම්කිසි ආකාරයකට ප්‍රයෝජනවත් වුණා. මහවංශය ලිව්වේ 5 වැනි සියවසේ. එතකොට ක්‍රිස්තියානි සංස්කෘතිය ගලා එන්න පටන් අරන්.

මහසෙන් රජු හෙළ බෞද්ධ රජකු ලෙස මහ විහාරය, සමතලා කර උඳු වැපුරුවා. මහසෙන් රජතුමාගේ දේශපාලන පරාජයත් සමඟ සිංහල බෞද්ධ ථේරවාදය ස්ථාවර වුණා. එහි පෙර තිබුණ හෙළ බෞද්ධ සංස්කෘතියේ අංගත් තිබුණා.

සිංහල බෞද්ධ සංස්කෘතියේ සියයට 75 – 80 ක් හෙළ බෞද්ධ සංස්කෘතියේ ලක්ෂණ තිබුණා. අර ආක්‍රමණශීලී ආත්මාරක්ෂක ගුණාංගත් තිබුණා. දැන් මේ පඬියන් වගේ පෙනී සිටින අයට මේක ඉවසන්න බැහැ.

පෘතුගීසීන් රට ආක්‍රමණය කළත් මේ සංස්කෘතික ගුණාංග නැති කරන්න ඔවුන්ට බැරිවුණා. ලන්දේසින්ට බැරිවුණා. ඉංග්‍රීසීන්ටත් බැරිවුණා මේ ගුණාංගය නිසා.

මෙතැනදි කියවෙනවා මුස්ලිම්වරු මේ රටට ආවේ 9 වැනි සියවසේ කියලා. මේක පට්ටපල් බොරුවක්. අරාබිවරු මුස්ලිම් වෙන්න පෙරත් මෙරටට ඇවිත් තියනවා. ඊජිප්තුවෙනුත් ඇවිල්ල තියනවා.

ඔවුන් වෙළෙඳ කටයුතු ඉගෙනීම වගේ දේ සඳහා මේ රටට ඇවිල්ල තියෙන්නේ. ඇත්තටම මේ රට අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වෙලා තියෙන්නේ නාලන්දා තක්ෂිලා විශ්වවිද්‍යාල ඇති කරන්නත් පෙර. ඒ සමහරු මේ රටට ඇවිල්ලා ඇතැම් අය මේ රටේම පදිංචි වුණා. චීන ජාතිකයනුත් සේද මාර්ගයේ මේ රටට ආව. ඒ සේද මාර්ගයේ චීන – අරාබි බඩු හුවමාරු වුණේ මේ රටේදි. මේ රටට ආපු අරාබි ජාතිකයන් එහෙන් කාන්තාවෝ ගෙනාවේ නැහැ. ඔවුන් විවාහ කරගත්තේ මේ රටේ සිංහල කාන්තාවන්. ඔවුන් සිංහල කතාවට හුරු වුණා. ඔවුන්ගේ ආච්චිලා, නැන්දලා ඔක්කොම සිංහලෙන් කතා කළේ. ඔවුන්ට දෙමළ කතා කරන්න විදියක් නැහැ.

මුස්ලිම් මිනිස්සු ඊට පස්සෙත් 13 වැනි සියවසේ දකුණු ඉන්දියාවෙන් දෙමළ කතාකරන මුස්ලිම් අය මේ රටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම එවැනි පිරිස් මියන්මාරයටත් තායිලන්තයටත් ගිහිල්ලා තියනවා. මේ මිනිස්සුයි ඉස්සෙල්ලා මේ රටට ආ මුස්ලිම් මිනිස්සුයි අතර වෙනසක් තිබුණා.

මේ විදියට මේ රටට මුස්ලිම් සංක්‍රමණ ප්‍රධාන වශයෙන් දෙවතාවක වෙලා තියෙනවා. මේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරු කියල පොතක් ලියපු ලෝනා දේවරාජා කියන ඉතිහාස ගුරුවරියට තේරෙන්නේ නැහැ කරුණු පෙළ ගස්වන්නවත් විශ‍්ලේෂණයටවත් ඇයට හැකියාවක් තිබිලා නැහැ.

මේ දකුණු ඉන්දියාවෙන් ආ මුස්ලිම්වරු කලින් අරාබියෙන් ඇවිත් සිංහල කාන්තාවන් විවාහ කරගත් සිංහල කතා කළ මුස්ලිම් වරුන්ට වඩා වෙනස් වුණා.

ඉන්දියාවේ පැවැති තත්ත්වයන් නිසා 13 සියවසේ ලංකාවට පැමිණි මේ මුස්ලිම් පිරිස සංස්කෘතික ආධිපත්‍යයක් පවත්වා ගත්තා. මේ නිසා වුණේ කලින් සිංහල කතා කළ මුස්ලිම්වරු ඔක්කොම දෙමළ කතා කරන අය බවට පත්වුණා.

ඒ අය වෙළෙඳාම් කරගෙන හිටියේ. ඒ අයට සිංහලයන් වෙන්නවත් බෞද්ධාගම වැලඳගන්නවත් කවදාවත් බලපෑමක් තිබුණේ නැහැ.

සිංහල බෞද්ධයන්ට විරුද්ධ ඇමෙරිකාව එංගලන්තය වගේ බටහිර රටවල් උපක්‍රමශීලීව මුස්ලිම්වරු සිංහල මිනිසුන්ට විරුද්ධව යොදාගන්න බලනවා. ඒ උඩ මේ ප්‍රශ්නය දැන් මුස්ලිම් වරුන්ට විරුද්ධ සිංහල බෞද්ධ ආක්‍රමණයක් ලෙස පෙන්වන්න උත්සාහ කරමින් සිටිනවා. ඒක වැරැදි අර්ථකථනයක් විදියටයි මා දකින්නේ.”

එක් පත්තරයක තිබුණා ලංකාවේ පන්සල් 253ක් වැහිල කියලා. මේ ගැන කතා කරන්නේ කවුද? ඉස්කෝල වැහුණම කතා කරනවා.

ඉස්කෝල වැහෙන්නේ ගමේ මිනිස්සු ළමයින් නගරයේ පාසල් වලට යැවීම නිසයි. පන්සල් වැසීයාමට වෙනස් කාරණා බලපානවා. පන්සල් 253ක් වැහිල කියන්නේ සිංහල බෞද්ධයන්ට තිබුණ අර ආත්මාරක්ෂාව නැතිව යමින් තියෙන්නේ.‍

හැබැයි මුස්ලිම් පල්ලි, ක්‍රිස්තියානි පල්ලි අලුතෙන් හැදෙනවා. මේ ක්‍රිස්තියානි පල්ලිත් සම්ප්‍රදායික කතෝලික, ඇන්ග්ලිකන් නැතිනම් මෙතෝදිස්ත පල්ලි නෙවෙයි. හතු පිපෙන්න වගේ ඇතිවන ඇමෙරිකානු ක්‍රිස්තියානි පල්ලි. මේ විදියට පල්ලි ඇතිවෙනකොට පන්සල් වැහෙනවා නම් එතන මොකක් හරි ප්‍රශ්නයක් තියනවා. ගමක් ගානේ නැතත් ගම් කීපයකටවත් මුස්ලිම් පල්ලි ඇතිවෙනවා.

දැන් බෞද්ධයෝ මොකද කරන්නේ. බෞද්ධයන්ගේ ආත්මාරක්ෂක ගුණය තමයි මහානාම හාමුදුරුවෝ මහාවංශය ලියල ඇතිකරන්න තහවුරු කරන්න උත්සාහ කළේ. මෙහෙම පන්සල් ටික වැහිලා යන්න ඉඩ හැරියොත් අන්තිමේ ඔය ප්‍රසිද්ධ පන්සල් ටික විතරක් අපට ඉතුරු වෙයි. ‍ගමේ පන්සල් ආරක්ෂා කරගැනීම වැදගත්.

මියන්මාරය, තායිලන්තය, ලාඕසය වගේ රටවල ථේරවාද බුදුදහම ආරක්ෂා වෙලා තියෙන්නේ ශ්‍රී ලංකාවෙන් බුදුදහම ඒ රටවලට ගෙන ගිය නිසයි. ලංකා රජවරු ආක්‍රමණ කරල නෙමෙයි ඒ රටවල මේ ථේරවාද බෞද්ධාගම ප්‍රචාරය වුණේ. පෘතුගීසීන් මේ රටේ කතෝලික දහම ඇති කළා වගේ බලහත්කාරයකින් නෙවෙයි ඒ රටවල බෞද්ධාගම ප්‍රචාරය වුණේ. අපේ ථේරවාද බුද්ධාගමේ තිබුණ මහාවංශයෙන් ස්ථාවර කළ ආත්මාරක්ෂාව නිසා තමයි ථේරවාදය මේ රටේ ඉතුරු වුණෙත් ලෝකයේ ථේරවාදය ඉතුරු වුණෙත්.

මම බොදු බල සේනාවෙ සාමාජිකයෙක් නෙවෙයි. නමුත් මම පිළිගන්නේ නැහැ බොදු බල සේනාව අන්තවාදියි කියලා. බෞද්ධයන්ට තියෙන ආත්මාරක්ෂාව අනුව බෞද්ධාගම ආරක්ෂා කරගන්න හඬක් නඟනවා. එසේ කිරීම අන්තවාදයක්වත් ජාතිවාදයක්වත් නෙවෙයි. අපේ මහවංශය නැතිනම් ලෝකෙත් ථේරවාදය නැහැ.

සිංහල බෞද්ධ සංස්කෘතිය මේ රටේ රැකගන්නේ නැති නම් කොහෙද රැකෙන්නේ කියලයි අහන්න ඕන.

- සරත් පෙරේරා / Silumina
http://lankacnews.com/sinhala/main-news/120684/

0 comments: