Pages

Friday, August 15, 2014

සමුගත්තද මැකී නොයන මහේල නම් ටෙස්‌ට්‌ 'මුද්‍රාව'

ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ක්‍රීඩාවේ බිහිවූ දැවැන්තම පිතිකරු පෞරුෂය වූ මහේල ජයවර්ධනයන්, දක්‍ෂතාවයෙන් හිණි පෙත්තේ සිටියදී, මහත්වරුන්ගේ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ සැබෑ මහත්මයෙක්‌ ලෙස දැන් ක්‍රියාත්මක පකිස්‌තානය සමග ටෙස්‌ට්‌ තරගයෙන් වසර 18 ක සිය 'සුපිරි ටෙස්‌ට්‌ සංදර්ශනයේ' සමාප්තිය සනිටුහන් කිරීමට තීරණය කර තිබේ.

1997 දී ඉන්දියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ටෙස්‌ට්‌ වරම් ලැබූ මහේල එහිදී තමාගේ මංගල ඉනිම වර්ණවත් කරගනු ලැබුවේ ලකුණු 66 ක්‌ රැස්‌ කරමිනි. එම තරගයේදී ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 952 ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ ඉතිහාසයේ කණ්‌ඩායමක්‌ ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස ඉතිහාසගත වෙද්දී එහි කොටස්‌කරුවකු වෙමින් මහේල වාසනාවන්ත ඇරඹුමක්‌ සනිටුහන් කළේය. එදා සිට ඔහු ඇරඹි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ නොයෙකුත් දුෂ්කර සංධිස්‌ථාන පසුකරමින් පණ අදිමින් සිටි ශ්‍රී ලංකා ටෙස්‌ට්‌ ක්‍රීඩාවට මහේල විසින් පිඹින ලද ප්‍රාණ වායුවේ පරිමාව මෙතකැයි කියා නිම කළ නොහැක.

ටෙස්‌ට්‌ තරග 100 ක්‌ ක්‍රීඩා කිරීම ලොව ඕනෑම ක්‍රීඩකයකුට දුෂ්කර කාර්යයක්‌ වනු ඇත. එබැවින් ටෙස්‌ට්‌ තරග 150 ක්‌ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සිටිනුයෙන් හය දෙනකු පමණි. එම ලැයිස්‌තුවේ හත්වැන්නා වීමට මහේලට තවත් එක්‌ තරගයක්‌ ඉතිරිව තිබියදී ඔහු සමුගන්නේ ඉලක්‌කම් ගණනේ වාර්තාවලට වඩා තමාගේ සමුගැනීම තම මව්බිමේදීම සනිටුහන් කිරීම වැදගත් යෑයි තීරණය කිරීම නිසාවෙනි. ලොව ටෙස්‌ට්‌ තරග 150 සීමාව පසු කළ ක්‍රීඩක ලැයිස්‌තුවට ඇතුළත්ව සිටිනුයේ සචින් ටෙන්ඩුල්කාර් (200), රිකී පොන්ටින් (168), ජැක්‌ කලීස්‌ (166), රාහුල් ඩ්‍රාවිඩ් (164), ෂිවනරියන් චන්ද්‍රපෝල් (156), ඇලන් බෝඩර් (156) පමණි.

කොළඹ නාලන්දාවේ ක්‍රිකට්‌ පුහුණුකරුවකු වු ලයනල් මෙන්ඩිස්‌ මහතා යටතේ ක්‍රිකට්‌ අත්පොත තැබූ මහේල එදා සිටම දීප්තිමත් ක්‍රිකට්‌ තරුවක්‌ වන ලකුණු පහළ කළ බව ඔහුගේ පුහුණුකරුවෝ පවසති. වයස අවුරුදු 19 න් පහළ කණ්‌ඩායමට මහේල ක්‍රීඩා කරන විට ඔහු ජාතික කණ්‌ඩායමට පැමිණීමට තරම් ශක්‌තිමත් වී සිටියේය. එබැවින් ශ්‍රී ලංකාව 1996 ලෝක කුසලාන දිනා වසරක්‌ ගත වීමට මත්තෙන් ජාතික කණ්‌ඩායමේ ස්‌ථානයක්‌ දිනා ගැනීමට මහේල වාසනාවන්ත විය. ඉන් වසර තුනක්‌ ගත වීමට මත්තෙන් සනත් ජයසූරියගේ උපනායකයා ලෙස මහේල පත්වීම් ලැබීය. එහෙත් ඔහු පවසන්නේ එදා තමාට උපනායකත්වය දැරීමට තරම් අත්දැකීම් නොතිබූ බවයි. නමුත් අනාගතයේ ශ්‍රී ලංකා ජාතික කණ්‌ඩායමේ නායකයත්වය සඳහා සූදුසුකම් සපුරා සිටි මහේල අවස්‌ථාව ලැබීමෙන් පසු ඔටුණු පැළදීය.

ශ්‍රී ලංකාවේ සාර්ථකම ටෙස්‌ට්‌ නායකයා වන මහේල සිය ටෙස්‌ට්‌ ඔටුන්නද ගලවා දැමුවේ සනත් ජයසූරිය සමග නායකත්වයෙන් සම දක්‌ෂතා සටහන් කර තිබියදීය. මහේල ජයවර්ධන ටෙස්‌ට්‌ තරග 38 කට නායකත්වය දී ඉන් තරග 18 ක්‌ ජය ගෙන තරග 12 ක්‌ පරාජය වී තිබේ. සනත් ජයසූරියද නායකයකු ලෙස මහේලගේ දක්‍ෂතාවම ටෙස්‌ට්‌ තරගවලදී පෙන්වා තිබේ. 

2007 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට්‌ සම්මාන උළෙලේ හොඳම ක්‍රිකට්‌ නායකයකා සහ හොඳම ටෙස්‌ට්‌ ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ගැනීමටද මහේල දක්‍ෂයකු විය. සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ අවසන් තරගයට පෙර මහේල තරගාවලියේ වීරයා සම්මාන දෙකක්‌ දිනා ගැනීමට සමත්ව තිබේ. ඒ 2002 වසරේ සහ 2007 වසරේ ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්‌ට්‌ තරගාවලියේදීය. මීට අමතරව නව වතාවක්‌ ටෙස්‌ට්‌ තරගයක වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ මහේල ලොව සටන්කාමී ක්‍රීඩකයකු ලෙස පෙරමුණේ පසුවේ. 

''මට දැන් වයස 37 යි. ශ්‍රී ලංකාවේදි ආයිත් ටෙස්‌ට්‌ තරගයක්‌ තියෙන්නෙ ලබන අවුරුද්දෙ මැද විතර. ඒ වෙනකොට මම තවත් වයස යනව මිසක්‌ වයස අඩුවීමක්‌ වෙන්නෙ නැහැ. ඒ නිසා මම තීරණය කළා මේක සමුගන්න හොඳම අවස්‌ථාව කියලා. හැරත් තවත් නවක ක්‍රීඩකයකුට ඉන් අවස්‌ථාවක්‌ ලැබෙනවා.'' යනුවෙන් සිය සමුගැනීම පිළිබඳව මහේල පැවසීය. එහෙත් සිය ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ දිවියේ ඔහුගේ දත්ත ගබඩාවේ තවත් බොහෝ දෑ තැන්පත්ව තිබේ. ඉන් කිහිපයක්‌ අවසන් ටෙස්‌ට්‌ තරගයෙන් පසුව පැවසීමට මහේල සූදානමින් සිටින බවද ඔහුගේ අවසන් ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ පුහුණු සැසියේදී 'දිවයින' සමග පැවසීය.

පිටියේදී හෝ වේවා ක්‍රීඩා විවේකාරයේදී හෝ වේවා තරගයට අවශ්‍ය සැලසුම් සකස්‌ කිරීමටත් තම නවක ක්‍රීඩකයන්ට අවශ්‍ය දැනුම සපයා පෝෂණය කිරීමටත් මහේල හැම විටම උත්සහ කරන බව ඔහුගේ සගයන් පවසයි. මහේලගේ මනුෂ්‍යත්වයේ සත්ක්‍රියාවක්‌ 'දිවයින' සමග පිළිසඳරකදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ සභාපති මෙසේ පැවසීය. ඔහු දැන් වත්මන් ගෝල්ෆ් සභාපති වේ. ''අපේ ගෝල්ෆ් වලට මහේල ලක්‍ෂ විස්‌සක්‌ දුන්නා. ඒකෙන් අපි ගොඩක්‌ දේවල් කරගත්තා.'' යනුවෙනි. ඒ අපි ඇසූ කතාවකි. ඉදිරියේදී මහේල ටෙස්‌ට්‌ පිටියෙන් සමුගත්තද අනාගතයේදී ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වෙනුවෙන් තවත් බොහෝ දෑ කිරීමට පසුබට නොවනු ඇත. 

අසේල විතාන
http://www.divaina.com/2014/08/15/sports01.html

0 comments: