Pages

Thursday, August 14, 2014

බැමිණිතියා සාය පැවැති යුගයේ පවා තමන්ට වළඳන්න ලැබුණු කර කොළයෙන් භාගයක්‌ යතිවරු බුද්ධ පූජාව හැටියට දළදා වහන්සේට පූජා කළා - ජනපති

"අපි රටට නිදහස දිනා දුන් නිසා රටේ ඕනෑම තැනකට අද පූජනීය වස්‌තුවක්‌ නිදහසේ වැඩමවන්න පෙරහැර කරන්න නිදහස තියෙනවා. අපි බුදු දහමට, ශාසනයට වගේම කෝවිලටත්, දේවස්‌ථානයටත් ඒ නිදහසේ වටිනාකම ලබාදී තිබෙනවා" යෑයි ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා සඳහන් කළේය. 

මහනුවර ජනාධිපති මන්දිරයේ දී පෙරේදා 

(11 වැනිදා) පැවැති දළදා පෙරහැර සමාප්ති උත්සවය අමතා ජනාධිපතිවරයා මේ බව පැවසීය. 

ජනාධිපතිවරයා මෙසේද කීවේය. 

මම ඉතාම සංතෝෂ වෙනවා. මේ කාලය තුළදී දළදා වහන්සේගේ මේ උත්සවය වඩා ඉහළ මට්‌ටමකට ගෙන එන්න පුළුවන් වීම ගැන. ඒ විතරක්‌ නෙවේ, විශේෂයෙන්ම විදේශයන්ට පවා වඩාත් සාර්ථකව පෙන්නන්න පුළුවන් විශ්වවිද්‍යාලයක්‌ බිහිවීම මම හිතන්නේ මේ යුගයේ අවශ්‍යතාවක්‌ ඉටුවීමක්‌ කියලා. මෙම වාර්තාව ක්‍රියාත්මක වන ආකාරයත් මම දැකලා තියනවා. අපි එය අගය කරන කාර්යයක්‌ වශයෙන් ස්‌තුති පූර්වකව මතක්‌ කරන්න ඕන. 

අද ඇවිල්ලා මේ ප්‍රකාශ කරපු පෙරහැර සංදේශය මම ඉතාමත් සතුටින් භාර ගන්නවා. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජතුමාගේ කාලයේ ශ්‍රී ලංකාවට වැඩම කරපු දළදා වහන්සේ මේ වෙනකොට වසර එක්‌දහස්‌ හත්සිය හතරකට වඩා කාලයක්‌ සම්ප්‍රදායන් ආරක්‌ෂා කරගෙන අපි 

රැකගෙන තිබෙනවා. විශේෂයෙන්ම දළදා හාමුදුරුවෝ ආරක්‌ෂා කර ගත්තා වගේම එදා ඉඳන් අද වෙන තුරු මොන උපද්‍රව මධ්‍යයේ වුවත් දළදා වහන්සේට දිනපතා ශක්‌ති පමණින් පුද පූජා පවත්වන්න මේ රටේ ජනතාව නායකයන් කටයුතු කරලා තිබෙනවා.

ඉතිහාසයේ බැමිණිතියා සාය පැවැති යුගයේ පවා තමන්ට වළඳන්න ලැබුණු කර කොළයෙන් භාගයක්‌ බුද්ධ පූජාව හැටියට දළදා වහන්සේට පූජා කළා. දළදා වහන්සේ වෙනුවෙන් එම පූජාව නොවරදවා ඉටු කරන්න අපේ ජාතිය සමත් වුණා. ඒ අතීතය ගැන අපි ඉතාම ආඩම්බර වෙන්න ඕන. අපේ ඉතිහාසය ගැන අපි කරපු දේවල් ගැන අපි ආඩම්බර වෙන්න ඕන. කොළඹ අලුතින් ආරම්භ කළ පරිගණක ස්‌ථානයක්‌ බලන්න පසුගියදා මම එහි ගියා. එය අලුතින් ආරම්භ කරලා දෙසීය පනහක්‌ තරුණයෝ එහි සේවය කරනවා. එහි තේමාවට අරන් තිබුණේ පස්‌වැනි ශත වර්ෂයේ සීගිරිය හදන්න පුළුවන්නම්, මහා යෝධ ඇළ නිර්මාණය කරන්න පුළුවන් නම්, පරාක්‍රම සමුද්‍රය හැදුවා නම් අපේ රටේ ජනතාවට අද ඇයි ඒවා කරන්න බැරි කියලා. ඒකයි අපි කිව්වේ ඒ ඉතිහාසය සමග තමයි අපි ඉදිරියට යා යුතු වෙන්නේ. අපි ආඩම්බර විය යුත්තේ.

අපි දළදා වහන්සේ මෙවන් අසීරු කාලයකදී ආරක්‌ෂා කර ගනිමින් පැවැත්වූ පුද පූජාවන්, සංස්‌කෘතියේ තියෙන වටිනාකම සහ මිනිසුන්ගේ තිබෙන වටිනාකම් පිළිබඳ ලෝකයට පෙන්නුම් කරන්න පුළුවන් අවස්‌ථාවක්‌ කියලා මම විශ්වාස කරනවා.

මම හිතනවා මේ පෙරහැරේ ගිය සියලු ශිල්පීන්ට වගේම, පෙරහැර නරඹන්න එකතු වුණ සියලු දෙනාටත් මුළු රටටත් අද සතුටු විය හැකි බොහෝ දේ මේ රටේ තිබෙන බව. අපට මතකයි වසර හතරකට පහකට කලින් දළදා පෙරහැර පැවත්වූවේ බොහෝ අවදානම් මධ්‍යයේ. මට මතකයි අරලියගහ මන්දිරයේ සාකච්ඡා කැඳවලා ආරක්‌ෂක අංශ කතා කරපුවා. මොන තරම් ආරක්‌ෂක නිලධාරීන් යොදවන්න සිද්ධ වුණාද කියන එක අපි දන්නවා. බෞද්ධ බැතිමතුන්ගෙන් අපි අකමැත්තෙන් වුණත් ඉණ ඉහ අතගාලා බොහෝම දුෂ්කරතා විඳගෙන තමයි පෙරහැර නරඹන්න ආවේ. එවැනි යුගයක්‌ තිබුණා. දළදා මාළිගාවේ සඳකඩපහණ උඩ එළිපත්තේ බෝම්බ ලොරියක්‌ පිපිරෙව්වා. 1998 දී නිදහස්‌ ස්‌වර්ණ ජයන්තිය දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න නුවර පවත්වන්න සියලු කටයුතු ඉටුකරලා තියෙද්දීත් එය පවත්වන්න බැරිව කොළඹට ගෙන යන්න සිද්ධ වුණා. බුදු දහම තබා මේ මාළිගාවේ ආරක්‌ෂාවවත් තහවුරු කරගන්න බැරි යුගයක්‌ තිබුණයි කියලා අපට අමතක කරන්න පුළුවන්කමක්‌ නැහැ. 

එදා දළදා හාමුදුරුවෝ කීර්ති ශ්‍රී මේඝවර්ණ රජු දවස ලංකාවට වැඩම වූයේ ත්‍රිකුණාමලයේ ලංකා පටුන නැව් තොටේ ඉඳන්. නමුත් පසුගිය ඒ යුගයේ ත්‍රිකුණාමලයේ ලංකා පටුන නැව්තොටට යැම කෙසේ වෙතත් ත්‍රිකුණාමල නගරයේ බුදු පිළිමය 

රැකගන්න වුණේ කටුකම්බි වැටක්‌ බැඳලා. ඒක තමයි එක යුගයක බුද්ධාගමට තිබුණ ආරක්‌ෂාව. දිඹුලාගල හාමුදුරුවෝ, අම්පාරේ ප්‍රධාන සංඝනායක හෑගොඩ ඉන්ද්‍රසාර හාමුදුරුවෝ, අරන්තලාවේ හාමුදුරුවරු 33 නමක්‌ ඇතුළු භික්‌ෂුන් වහන්සේලා සිය ගණනක්‌ මරා දැම්ම යුගයක්‌ තිබුණා. එවන් අවස්‌ථාවල එදා ආණ්‌ඩු මොකද කළේ.... තමන්ගේ ආරක්‌ෂාව තමන් සලසා ගන්න කියලා ඔවුන් කිව්වා. 

නමුත් අද ලංකා පටුනේ විතරක්‌ නෙවෙයි ඕනේ නම් ශ්‍රී මහා බෝධිය වැඩමවූ යාපනයේ ඒ තොටු පළේ ඉඳන් වුණත් මේ රටේ ඕනෑම තැනකට පූජනීය වස්‌තුවක්‌ නිදහසේ වැඩමවන්න, පෙරහැර කරන්න අයිතිය හා නිදහස තියෙනවා. අපි රට නිදහස්‌ කරගෙන ඒ දිනාගත්ත නිදහසේ වටිනාකම රටට ජනතාවට ලැබිලා තියෙනවා. බුදු දහමට, ශාසනයට වගේම කෝවිලට, දේවස්‌ථානයටත් ඒ නිදහසේ වටිනාකම ලබාදීලා තියෙනවා. 

මේ රට නිදහස්‌ කරගත්තහම එදා රාජ්‍ය නායකයෝ රටේ බුදු සමය දියුණු කරන්න මුළු ශක්‌තිය යොදලා වැඩ කරලා තිබෙන බව අපි දන්නවා. නමුත් අපි මේ කාලය තුළ ආගමික සංහිඳියාව ඇති කරන්න වගේම ආගමික දියුණුවට වැඩ කරලා තියෙනවා කියන එක රහසක්‌ නෙවෙයි. අපි මේ වෙනකොට දුෂ්කර විහාරස්‌ථාන විශාල ප්‍රමාණයකට, බෞද්ධ විහාරස්‌ථාන වැඩි කොටසක්‌ ප්‍රතිසංස්‌කරණය කරමින් දහම් පාසල්වලට පිරිවෙන්වලට නොයෙක්‌ ආකාරයේ උපකාර කරමින් අපි විශාල වැඩ කොටසක්‌ ආරම්භ කරලා තියෙනවා. 

මේ සියල්ල කරලා අපි බලාපොරොත්තු වුණේ මේ රටේ බුදු දහම ශක්‌තිමත්ව ඉදිරියට ගෙන යන්න. රටක සංවර්ධන කටයුතු කරගෙන යනවා වගේම ආගමික සිද්ධස්‌ථාන ආරක්‌ෂා කරගනිමින් මිනිසුන්ගේ හදවත් යහමඟට ගන්න අවශ්‍ය පසුබිම මහා සංඝරත්නයට සලසා දෙන්න අපි කටයුතු කරලා තියෙනවා. 

අපි මේ කාලය තුළදී නේපාලය වගේ රටවල ලුම්බිණි බෞද්ධ මධ්‍යස්‌ථාන බිහිකරලා විශාල පිම්මක්‌ ඉදිරියට ගිහිල්ලා තියෙනවා.

මේ නගරය අද වෙනස්‌ වෙලා තිබෙන බව ඔබ දන්නවා. මේ නගරයේ බෝගම්බර හිර ගෙදර වෙනස්‌ කළා. මේ හැම දෙයක්‌ම අපි කළේ මේ 

ශ්‍රී දළදා වහන්සේ වැඩ වෙසෙන මේ නගරයට ගෞරව කරන්න, මුස්‌ලිම් ජනතාව මක්‌කම යනකොට හැතැප්ම ගණන් පයින් යනවා. කතෝලික බැතිමතුන් ඔවුන්ගේ පුදබිම්වලට යනකොට සෑහෙන දුරක්‌ පයින් යනවා. ඒ ගෞරවය අපි ශ්‍රී දළදා වහන්සේට ශ්‍රී මහා බෝධින් වහන්සේට දැක්‌විය යුතුයි කියලා මම විශ්වාස කරනවා. බෞද්ධයන් වන අපගේ මුදුන් මල්කඩ ඒ නිසා තමයි යම් යම් අවස්‌ථාවලදී එතැනින් එහාට මෙහාට යන පාර වහලා දාන්න හේතු වුණේ. එහෙම නැතිව කාටවත් පහර ගහන්න නෙවේ. අපට වගකීමක්‌ තියෙනවා මේ නගරය මේ දළදා වහන්සේ වැඩ වෙසෙන නගරය ආරක්‌ෂා කරගෙන සංවර්ධන කටයුතු කරන්න. 

අපි බුදු දහම ආරක්‌ෂා කරගන්න කැපවෙලා ඉන්න රජයක්‌. එය ව්‍යවස්‌ථාවෙත් තියෙනවා බුදු දහම රැකගැනීම රජයේ වගකීමක්‌ කියලා. එහෙම තියෙද්දි තමයි සමහරු විහාරස්‌ථානවලට කටුකම්බි ගැහුවේ. මට මතකයි එක යුගයක්‌ තිබුණා ධර්මිෂ්ඨ සමාජයක්‌ කියලා පොතක්‌ ගැහුවා කියලා මහාචාර්යවරුන්ට, සෝභිත හාමුදුරුවන්ට එහෙම බයිසිකල් ෙච්න්වලින් පහරදුන්න යුගයක්‌. සිංහල බෞද්ධයෙක්‌ කියලා කියන්න බයවෙලා හිටියා සමහර දේශපාලනඥයෝ. එහෙම යුග තිබුණා මේ රටේ. ඒ නිසා මම හිතනවා බුදු දහම ආරක්‌ෂා කරලා එය නඟාසිටුවපු යුගය මේ යුගයයි කියලා. අපිට එහෙම ඉතිහාසයක්‌ නැහැ. මොකද මම මේවා කියන්න හේතු වුණේ නොයෙක්‌ විදිහේ මත බොරු මත මේ රටේ පළ කරනවා. බුදු දහම විනාශ කරනවා කියලා මතවාද ගෙන එනවා.

ඕනෑම කෙනෙක්‌ පනතක්‌ ගැන නොදන්නව නම් කතා කරන්න නරකයි. දැනගෙන කතා කරන්න ඕන. මේ නිලමේවරුන්ගෙන් වුණත් මම එක ඉල්ලීමක්‌ කරනවා තමන් දන්නේ නැතිව යමක්‌ ගැන ප්‍රකාශ කරන්න එපා. එහෙම වුණොත් ඇති වන්නේ මහා වැරැදි චිත්‍රයක්‌. ඒක රටට හොඳ නැහැ. අපට හොඳ නැහැ. ලෝකයටත් හොඳ නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳ අවබෝධ කරගන්න ඕන. අපෙන් විය යුතු යුතුකම් අපි ඉටු කරනවා. ඒ යුතුකම කරගෙන ඉදිරියට යනවා. ඔබ ඔබේ යුතුකම ඉටුකරන්න. මේ රට ගොඩ නඟන්න ආගම රැක ගන්න, අපේ ථෙරවාදී බුදු දහම ලෝකයට පතුරවන්න මේ දළදා වහන්සේගේ පිහිටෙන් ශක්‌තිය ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ඔබ සියලු දෙනාට සුබ පතනවා.

http://www.divaina.com/2014/08/13/news22.html

Pic Source

0 comments: