Pages

Monday, August 4, 2014

ශ්‍රී දළදා මාළිගාවේ තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සහකරු ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් පත්වෙයි

ජාතික තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මෑතකදී ශ්‍රී දළදා මාළිගාවෙහි එකම විදුලි සංදේශන සහකරු බවට පත් වීමේ අරමුණින් ශ්‍රී දළදා මාළිගාව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම වෙනුවෙන් එහි ප්‍රධාන කලාප නිලධාරි චින්තක විජේසූරිය සහ ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් එහි මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති අධ්‍යක්‍ෂක ක්‍රිශාන්ත හංවැල්ල යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ශ්‍රී දළදා මාළිගාවේදී අත්සන් කරන ලදී. ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ තනතුර හොබවන ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් ද සිල්වා මහතාගේ අනුග්‍රහය යටතේ මෙම ගිවිසුම අත්සන කෙරිණි. මෙම ව්‍යාපෘතියේ තොරතුරු තාක්‍ෂණ උපදේශක මෙන්ම ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන නවෝත්පාදන නිලධාරි තිලක්‌ ද සිල්වා සහ ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකාරි - කලාප අංක 01 සිසිර පියරත්න යන මහත්වරුද මෙම උත්සවයට සහභාගී වූහ. 

මෙම ගිවිසුම යටතේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය වෙත නොනවතින අධිවේගී අන්තර්ජාල සේවාවන් මෙන්ම පියෝ ටීවී සේවාව (PeoTV-IPTV) සබතාවන්ද සපයනු ලැබේ. ගිවිසුමට අදාළ කාල සීමාව තුළදී මෙම සේවාවන් කිසිදු ගාස්‌තු අයකිරීමකින් තොරව සම්පාදනය කෙරෙන අතර වාර්ෂික මහනුවර ඇසළ පෙරහැර අන්තර්ජාලය හරහා විකාශය කිරීම, සංස්‌කෘතික හා ආගමික වටිනාකමකින් යුත් වාර්තා වැඩසටහන්, ඡායාරූප, ආගමික උත්සව ආදිය පහසුවෙන් හා ඉක්‌මනින් අන්තර්ජාලය වෙත මුදා හැරීම වැනි සංස්‌කෘතික හා ආගමික කටයුතු මහජනයා සමග හුවමාරු කර ගැනීම සහ ප්‍රචාරය කිරීම සඳහා ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය මධ්‍යස්‌ථානය වෙත පහසුකම් සැලසෙනු ඇත. 

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ස්‌ථිර වශයෙන්ම සෑම වසරකදීම පැවැත්වෙන මහනුවර වාර්ෂික ඇසළ පෙරහැර වෙනුවෙන් ශ්‍රී දළදා මාළිගාව වෙත සහාය පළ කිරීමට ඉදිරිපත්ව සිටිනවා පමණක්‌ නොව ශ්‍රී දළදා මාළිගාව වෙත අධිවේගී දත්ත සේවා, හඬ හා ෆැක්‌ස්‌ සබඳතා, අධිවේගී බ්‍රොඩ්බෑන්ඩ් සේවාවන් සහ පියෝ ටීවී පහසුකම ආදියෙන් සමන්විත තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවාවන් සම්පාදනය කර තිබේ. 

මේ වනාහි ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම ශ්‍රී දළදා මාළිගාව වෙනුවෙන් භාරගත් තොරතුරු තාක්‍ෂණ හා සන්නිවේදන ව්‍යාපෘතියෙහි පළමු අදියර පමණි. අනාගතයේදී සමාගම විසින් වැඩිමනත් තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ සේවාවන් ශ්‍රී දළදා මාළිගාව වෙත ලබා දෙනු ඇත. මහනුවර ශ්‍රී ලංකා ටෙලිකොම් කලාප කාර්යාලයෙහි සේවක මණ්‌ඩලයේ සක්‍රීය දායකත්වය මෙම ව්‍යාපාතිය වෙත හිමි විය. 

ඡායාරූපය( වමේ සිටථ සිසිර පියරත්න (ශ්‍රී ලංකා ටෙලිකොම් සාමාන්‍යාධිකා-1 කලාපය), තිලක්‌ ද සිල්වා (ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන නවෝත්පාදන නිළධාරි) සහ චින්තක විජේසුරිය (ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කලාප නිළධාරි) යන මහත්වරුන් විසින් ක්‍රිශාන්ත හිස්‌වැල්ල (අධ්‍යක්‍ෂ - මාධ්‍ය හා විශේෂ ව්‍යාපෘති, ශ්‍රී දළදා මාළිගාව), සී. ඩබ්ලිව්. කරුණාරත්න (මහලේකම්- ශ්‍රී දළදා මාළිගාව) සහ අනුර බණ්‌ඩාර (පරිපාලන ලේකම්- ශ්‍රී දළදා මාළිගාව) යන මහත්වරුන් වෙත ගිවිසුම භාර දෙනු ලැබූ අවස්‌ථාව.

http://www.divaina.com/2014/08/03/economic01.html

0 comments: