Pages

Thursday, February 11, 2016

භික්‌ෂු කතිකාවතේ වගන්ති 8 ක්‌ ව්‍යවස්‌ථාවට අනුකූල නෑ! - ශ්‍රේෂ්ඨාධිකරණය

ථෙරවාදී භික්‍ෂු කතිකාවත් පනතේ වගන්තීන් අටක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ව්‍යවස්‌ථා හතකට අනුකූල නොවන බව (අනනුකූල) ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් තීන්දු කර ඇතැයි කථානායක කරු ජයසූරිය මහතා ඊයේ (10 දා) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.මෙසේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල නොවන වගන්තීන් සම්බන්ධව පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් පමණක්‌ සම්මත කළ යුතු බවද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් බව කථානායකවරයා සභාවේ මන්ත්‍රීවරුන්ට දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුකූල නොවන වගන්ති පනත් කෙටුම්පතින් ඉවත් කරන්නේ නම් එකී සංශෝධන පනත් කෙටුම්පත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවන බවද (අනුකූල බව) ශ්‍රේෂ්ඨාධිකරණ ය දැනුම්දී ඇතැයි කථානායකවරයා කීය.

ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් කථානායකවරයා වෙත එවා තිබූ මෙම තීන්දුව ඊයේ (10 දා) පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදීම කථානායක වරයා විසින් සභාවට ඉදිරිපත් කරනු ලැබිණි.

කථානායකවරයා විසින් ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ  තීන්දුව මෙසේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 121(1) ව්‍යවස්‌ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ය ඉදිරියේ අභියෝගයට ලක්‌ කරන ලද ථෙරවාදී භික්‍ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ යේ තීරණය මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි.

එකී පනත් කෙටුම්පතෙහි 2(2), 2(3), 2(4) සහ 11(2) යන වගන්ති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9, 10 සහ 14(1) (ඉ) යන ව්‍යවස්‌ථාවලට අනනුකූල වන බවද, පනත් කෙටුම්පතෙහි 4, 5 සහ 13(1) යන වගන්ති ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9 ව්‍යවස්‌ථාවට අනනුකූල වන බවද, පනත් කෙටුම්පතෙහි 12 වැනි වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 9, 10, 12, 14(1) (ඉ) ව්‍යවස්‌ථාවලට අනනුකූල වන බවද, ඒවා ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 83 ව්‍යවස්‌ථාවෙහි සඳහන් පරිදි පාර්ලිමේන්තුවේ විශේෂ බහුතර ඡන්දයකින් අනුමත කිරීමෙන් සහ ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කිරීමෙන් පමණක්‌ සම්මත කළ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් තීරණය කොට ඇත.

තවදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණ ය විසින් තීරණය කර ඇත්තේ ඉහත සඳහන් වගන්ති පහත සඳහන් පරිදි සංශෝධනය කළහොත් ඒවායේ අනනුකූලතාවයන් ඉවත්වනු ඇති බවයි. 

(අ) 2(3), 2(4), 4 සහ 5 වැනි වගන්ති ඉවත් කිරීමෙන් සහ

(ආ) ශ්‍රේෂ්ඨාධිකරණ  තීරණයේ යෝජනා කර ඇති පරිදි 2(2), 11(2) සහ 13(1) වැනි වගන්ති සංශෝධනය කිරීමෙන්,

ඉහත සඳහන් කරන ලද සංශෝධනවලට යටත්ව පනත් කෙටුම්පතෙහි අනෙකුත් විධිවිධාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනනුකූල නොවේ.

අජිත් අලහකෝන්, කුෂාන් සුබසිංහ
http://www.divaina.com/2016/02/11/news01.html

0 comments: