Pages

Saturday, February 6, 2016

නිරය අස්‌වාභාවික මැවීමක්‌ නොවන බව තවදුරටත්... මහරහතුන් වැඩි මග ඔස්‌සේ ...

සතර සතිපට්‌ඨානය කෙනෙකු විසින් අඛණ්‌ඩව වඩන ලැබුවහොත් අවමය දින 7ක්‌ හෝ උපරිමය වසර 7ක්‌ තුළ රහත්භාවයට පත්වන්නේ යෑයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එය ඝෝර, කටුක, භයානක සසර දුකෙන් මිදී යාමට ඔබ සතු හැකියාව පිළිබඳ බුදුරජාණන් වහන්සේ විසින් ලබාදුන් සහතිකයක්‌ වැන්න. නමුත් භාවනාව වැඩීමට පිංවතුන් කළ යුතු පූර්වකෘත ගැන සඳහන් අතිශයින් වටිනා සූත්‍රයක්‌ වේ. ඒ වනාහී සබ්භාසව සූත්‍රයයි. මෙම ලිපිමාලාව සපයන පිංවත් ස්‌වාමීන්වහන්සේ විසින් සබ්භාසව සූත්‍රය මෙලෙස පැහැදිලි කරනුයේ, සතර සතිපට්‌ඨානය සම්බන්ධයෙන් පළවීමට නියමිත මීළඟ ලිපිමාලාවට ප්‍රවේශයක්‌ ලෙසිනි. එබැවින් සතරසතිපට්‌ඨාන විග්‍රහයේ උපරිමය උකහාගැනීම උදෙසා මෙම සබ්භාසව සූත්‍රයේ විග්‍රහය අතිශයින් වැදගත් බව සලකන්නේ නම් මැනවි.

(නිරය- 3)

පින්වත් ඔබ මෙහෙම සිතන්නකෝ, මනුෂ්‍ය ලෝකයේ විශාල කැලෑවක්‌ තිබෙනවා. ඔබ ඔය කැලෑවට ඇතුළු වුණොත් එම කැලයේ ඇති ගස්‌වල මුලක, කඳක, උලක, කටුවක නොගැටී ඔබට එක දශමයක්‌වත් ඉදිරියට යන්න පුළුවන්ද? නිරයේ හිඹුල් වනය නැමැති කටුක තියුණු මුවහත ඇති උල් කටු සහිත කැලෑ ප්‍රදේශයට වැටුණ නිරිසතා සෑම තත්පරයකටම උල්, කටු වලින් තම සිරුර ඉරී, කැපී වේදනාවට මරණීය වේදනාවට පත්වෙනවා. හිඹුල් වනයේ මහපොළව ගිනියම්ව ඇති නිසා නිරිසතා ගිනියම්වූ පොළවේ දුවමින් තමයි සිටින්නේ. ගිනියම් වූ පොළවෙන් පිච්චෙන ශරීරය බේරාගන්න තියුණු කටු, උල් සහිත පරිසරයක දිවයන විට ඇතිවන තත්ත්වය ඔබ නුවණින් දකින්න උත්සහ ගන්න. 

නිරයේ අසිපත්‍ර වනය කියන්නේ ඉහත ආකාරයේම නිරයේ ස්‌වභාවිකවම වැඩෙන ශාක පද්ධතියක්‌. මේවා ගිනියම් වූ පොළවේ යොදුන් දසදහස්‌ ගණන් පැතිර ගිය ශාකයන්. නිරයේ තද ගිනි රස්‌නයට ඔරොත්තු දෙන ආකාරයට ස්‌වභාවිකවම අසිපත්‍ර වනයේ ශාකවල කොළ, අතු, රිකිළි වානේ යකඩ වාගේ තද භාවයෙන් යුක්‌තයි. අසිපත්‍ර වනයේ අධික උෂ්ණත්වය නිසා රත්වී ඇති ශාකයන්ගේ කොළ අතු පරිසයේ ඇති සුළඟට එකිනෙක ගැටීම නිසා මෙම ශාකවල කොළ අතු දැලිපිහියක මුවහතසේ මුවහත් වෙලයි තිබෙන්නේ. අසිපත්‍රවනයේ මහපොළව ගිනියම්ව ඇති නිසා ගින්නෙන් බේරීමට දිවයන නිරිසතුන් තද සුළඟට සෙලවෙන අසිපත්‍ර වනයේ මුවහත ඇති කොළ අතුවල පැටලී ශරීරය ඉරි, පැළී මරණීය වේදනාවන්ට පත්වෙනවා. අසිපත්‍ර වනයේ තද සුළඟට අතු කොළ සෙලවෙන මොහොතක්‌ පාසා නිරිසතුන්ගේ අත, පය, බෙල්ල, කන්, නාසය කැපී යනවා. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරයේ හිඹුල් වනයේ අසිපත්‍ර වනයේ ඇති ශාකවල කටුවලින්, උල්වලින්, කොළ අතුවලින් ගිනිදැල් පිටවෙනවාය කියල. නිරයේ ගස්‌වලින් ගිනිදැල් පිටවෙනවාය කියන කාරණය ස්‌වභාවික පාරිසරික ඵලයන්මයි. මනුෂ්‍ය ලෝකයේ හිම වැටෙන ප්‍රදේශවල හිම වැටෙන කාලයට සියලුම ගස්‌කොලන් අතු, කොළ හිම බැඳී අයිස්‌ තට්‌ටුවක්‌ වගෙයි පෙනෙන්නේ. නිරයේ ගිනිගත් පරිසරයේ හටගන්නා ශාකවල මුල, කඳ, අතු, කොළ, කටු, උල් වලින් ගිනි දළු පිටවීම අරුමයක්‌ නොවන බව පිංවත් ඔබට වැටහෙනවා ඇති. ශීතල දේශගුණයේ ඇති ගස්‌වලින් ජලය බේරෙනවා වගේම ගින්නෙන් ගිනියම්වු නිරයේ ශාඛාවලින් ගිනි දැල් විහිදෙනවා. මේ සෑම ක්‍රියාවක්‌ම ස්‌වභාවධර්මයේ ක්‍රියාකාරකම් මිස කවුරුන් හෝ කෘත්‍රිමව ඇතිකරන දේවල් නොවේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරයේ අසිපත්‍ර වනයට සමාන්තරව පිහිටි වේනරණී ක්‌ෂරොධක නදිය පිළිබඳව පින්වත් ඔබ ජීවත්වෙන මනුෂ්‍ය ලෝකයේ වැස්‌ස හේතුවෙන් ගංගා ඇළ, දොළ, ජලයෙන් පිරී යන්නා සේ අධික ගිනියම්වූ උෂ්ණාධික පාරිසරික කලාපයක්‌ වන නිරයේ ගංගා ඇළ, දොළ පිරී යන්නේ ගිනිකඳුවලින් ගලා එන ලෝදියෙන්, ලාවාවලින්. මනුෂ්‍ය ලෝකයේ ගඟට ඔබ බැස්‌සොත් ඔබට වතුර බොන්න පුළුවන්. එය ඔබගේ කුසල් විපාකයක්‌. නමුත් නිරිසතුන් නිරයේ ගංගාවන්ට වැටුණොත් එම නිරිසතුන්ට බොන්න වෙන්නේ ලෝදිය, ලාවාමයි. මේ ලෝදිය ගංගාවන් කවුරුත් කෘත්‍රිමව ඉදිකළා නොවේ, නිරයේ ගිනියම්වූ පරිසරය විසින් ඇතිකළාවූ හේතුඵල ධර්මයන්මය. 

වර්තමානයේ තද ශීතලෙන් යුත් හිමාලයේ එම දරුණු ශීතලට ඔරොත්තු දෙන හිමවලසුන් හිම මුවන් ජීවත්වෙනවා වගේම, මැදපෙරදිග තද කාන්තාර ප්‍රදේශවල ඔටුවන් වැනි තිරිසන් සතුන් වගේම කෘමි සතුන් අප්‍රමාණව ජීවත්වෙනවා. 

පින්වත් ඔබට වෛද්‍ය උපදෙස්‌ ලැබෙන්නේ ජලය නටන තෙක්‌ උණුකර පානය කරන්න කියලා. එම උපදේශයේ අර්ථය වෙන්නේ නටන තෙක්‌ ජලය උණු නොකළොත් එම ජලයේ ජීවීන් ජීවත් වෙනවාය කියන එකයි. නමුත් වෙනත් පරිසරයක තත්ත්වය මෙය නොවෙයි. ඒ ඒ පාරිසරික තත්ත්වයන්ට අදාළව ඒවායේ ස්‌වභාවික ජීවීන් ජීවත්වෙනවා වගේම නිරයේ දැඩි ගිනි උෂ්ණත්වයට අදාළව එම උෂ්ණත්වයට ඔරොත්තු දෙන ජීවීන් සහ ශාක නිරයේ තිබෙනවා.

ගූථ නිරයේ ජීවත්වන තියුණු තුඩ ඇති පණුවන් කවුරුන් හෝ නිරිසතුන්ට දඬුවම් දෙන්න නිර්මාණය කළ පෝෂණය කළ පණුවන් නොවෙයි. අතීත බලවත් අකුසල් හේතුවෙන් නිරයේ ශුෂ්ක පරිසරයේ එම පණුවන් උපත ලබනවා. පින්වත් ඔබව මුහුදට වැටුණොත් මාළුන් ඔබව මරාගෙන කනවා වගේ, කිඹුලන් සිටින ගංගාවකට වැටුණොත් කිඹුලන් ඔබව මරාගෙන කනවා වගේ ඔබ ගුථ නිරයට වැටුණොත් ගුථ නිරයේ සිටින තියුණු තුඩ සහිත පණුවන් ඔබව මරාගෙන කනවා. මුහුදට කවුරුවත් මාළු ගෙනත් දැම්මද? ගංගාවන්ට කවුරුවත් කිඹුලන් ගෙනත් දැම්මද? මේ සියල්ල හේතුඵල ධර්මයන් ස්‌වභාවික පාරිසරික ක්‍රියාකාරකම්. ගුථ නිරයේ පණුවනුත් ඉහත පාරිසරික ක්‍රියාදාමයේම කොටසක්‌ වෙනවා. 

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/02/07/nimna06.html

0 comments: