Pages

Thursday, February 4, 2016

රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව උදුරාගත් සිංහල බෞද්ධයන්ගේ නිදහස නැවත දිනාගනිමු – මහාචාර්ය නලින් ද සිල්වා

අපට 1948 පෙබරවාරි 4 වැනි දා ලැබුණු නාමික නිදහස අර්ථවත් වූයේ 1972 මැයි 22 වැනි දා ජනරජයක් වීමෙන් පසුව ය. 2009 මැයි 18 වැනි දා අපි දෙමළ ත්‍රස්තවාදය පැරදවීමු. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද ඒ පිළිබඳ ව, එකම හේතුව නිසා නොවූව ද, විරුද්ධ වූහ. ඔවුන්ට සැමදාමත් අවශ්‍ය වූයේ සිංහල බෞද්ධ සංස්කෘතිය දියකර සිංහලත්වය නැති කිරීම ය. එංගලන්තය ප්‍රමුඛ බටහිරයෝ සිංහලත්වය නැතිකිරීම සඳහා දිගින් දිගට ම දෙමළ ජාතිවාදය යොදාගත්හ. ඉන්දියාව 2005 පමණ සිට ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කර අවුල් ආණ්ඩුවක් පිහිටුවා තමන්ට අවශ්‍ය ආකාරයට මෙරට දෙමළ ජාතිවාදය හසුරවමින් සිංහල බෞද්ධ සංස්කෘතිය දිය කිරීමට වැඩි වැඩියෙන් කටයුතු කෙළේ ය. 2014 සැප්තැම්බරයේ ඔවුන්ගේ වැඩ පිළිවෙළ සාර්ථක වූයේ ඉතා පෞද්ගලික හේතු මත ශ්‍රී ල නි පක්‍ෂය ද රට ද පාවාදීමට මෛත්‍රිපාල සිරිසේන කෙනකු සූදානම් වූ බැවිනි.

කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයෙන් බටහිරයෝ හා ඉන්දියානුවෝ සිංහලයන්ගේ විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්ගේ නිදහස මෙරට ජාතියක් නොවූ දෙමළ හා මුස්ලිම් ජනවර්ග යොදාගනිමින් උදුරාගත්හ. අප නැවත නැවතත් මතක් කර ගතයුත්තේ සිංහල බෞද්ධයන්ගෙන් 40%ක්වත් මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය නොදුන් බව ය. සිරිසේන ජනාධිපති වූයේ ප්‍රධාන වශයෙන් ම සිංහල ජාතිය සමග එක්වීමට අකමැති ජනවාර්ගිකයන්ගේ ඡන්දවලිනි. මෙරට ප්‍රශ්නය වනුයේ ජනවාර්ගිකයන් ඉංගිරිසි ක්‍රිස්තියානි හා ඉන්දීය හින්දු සංස්කෘතීන්ගේ ආධිපත්‍යය පිළිගන්නා අතර ජාතියේ සුවිශේෂත්වය නොපිළිගනිමින් ජාතියට අභියෝග කිරීම ය. ඊනියා සංහිඳියාව සඳහා කළ යුත්තේ ජනවාර්ගිකයන්ට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය සුවිශේෂ බව පිළිගැන්වීමට සැලැස්වීම ය. මෙරට ජාතිය ගොඩනැගීමේ ප්‍රශ්නයක් පැන නො නගීයි. සිංහලයන් ගොඩනැගූ ජාතියක් මෙරට වෙයි. කළ යුත්තේ ජනවාර්ගියකයන් එයට ඇතුළත් කිරීම ය. එහෙත් එයට’ බටහිරයන්ගෙන් මතවාදීව මෙන් ම මූල්‍යව ද යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල බත් බැළයෝ අවහිර කරති.

බටහිරයන් කියන්නේ තම මතවාද ඊනියා වාස්තවික බව ය. එහෙත් ඒ මතවාද බටහිරයන් විසින් යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව සකස් කෙරුණේ වෙයි. තම දැනුම අනාගමික වාස්තවික බව කියමින් බටහිරයෝ අප මුළා කරති. එමගින් ඔවුහු අපට ස්වාධීන ව සිතන්නට ඉඩ නො දෙති. මෙරට පාසල්, විශ්වවිද්‍යාල ඇතුළු සමස්ත අධ්‍යාපනය ම සකස් කෙරී ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි මතවාද ප්‍රචලිත කිරීමට ය. බටහිර දේශපාලන මතවාද ඊනියා ලිබරල්වාදීහු ද මාක්ස්වාදීහු ද අනුගමනය කරති. ලිබරල්වාදය යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වන අතර මාක්ස්වාදය කතෝලික චින්තනය මත පදනම් වෙයි. අද මෙරට මාක්ස්වාදීහු ද ලිබරල්වාදීහු ද සිංහල බෞදධයනට එරෙහි ව අත්වැල් බැඳගෙන ව්‍යවස්ථා සම්පාදනයට කැස කවති.

2015 ජනවාරි 8 වැනි දා බටහිර ලිබරල්වාදීහු ද මාක්ස්වාදීහු ද ඉන්දියානුවෝ ද එකතු වී මහින්ද රාජපක්‍ෂ මහතා පරාජය කළහ. එසේ කෙළේ ඊනියා මූල්‍ය අක්‍රමිකතා නිසා නොව ඒ මහතා බටහිරයන්ට හා ඉන්දියානුවන්ට හිස නොනමා මෙරට නිදහස අගය කරමින් ඒ ආරක්‍ෂා කරමින් බටහිරයන්ගේ ද ඉන්දියානුවන්ගේ ද අනුග්‍රහය හා ආධාරය ලබන දෙමළ ජාතිවාදයේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ බැවිනි. සංධානයේ නායකයෝ අප කී බසට ඇහුම්කන් නොදී එහි ෆෙඩරල්වාදීන් අනුව යමින් ජනාධිපතිවරණයේ දී ජාතිකත්ව මතවාද ඉදිරියට ගෙන ඒමට කටයුතු නො කළහ. ඔවුන්ට ද වැදගත් වූයේ ඊනියා අක්‍රමිකතා චෝදනාවලට පිළිතුරු දීම ය.

කෙසේ වෙතත් සිංහල බෞද්ධ නොවන්නන්ගේ ඡන්දවලින් 80%කට වඩා ලබමින් සිරිසේන ජනාධිපති විය. ඔහු රනිල් වික්‍රමසිංහ අගමැති තනතුරට පත් කෙළේ ය. සිංහල බෞද්ධයනට මෙරට සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආණ්ඩු යටතේ යම් ප්‍රමාණයකට ලබා දී තිබූ තැන නැති කිරීමට රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව කටයුතු කරයි. අද වන විට සිංහල බෞද්ධයනට හා පොදුවේ රටට නිදහසක් නැත. කෙටියෙන් කිවහොත් සැමරීමට නිදහසක් නැත. අද කළ යුත්තේ නැවතත් නිදහස් සටනක් ආරම්භ කිරීම ය.

මේ ආණ්ඩුව කටයුතු කරන්නේ එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලට හා ඉන්දියාවට අවශ්‍ය අන්දමට ය. අද රාජපක්‍ෂ පවුලෙන් පළිගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේ මහින්ද ගෝඨාභය යුගලය කොටි ත්‍රස්තවාදය පරාජය කළ බැවිනි. පවුලෙන් පළිගැනීම මහා මානව හිතවාදියකු ලෙස සැලකෙන ලෙනින් ද කෙළේ ය. ඔහු සාර්ගේ පවුල පමණක් නොව බල්ලා ද මරා දැමී ය. මෙරට ව්‍යවස්ථා සම්පාදනයෙහි ලා වෙහෙස මහන්සි වෙමින් සිංහල බෞද්ධයනට පහර ගසන ටේ‍රට්ස්කිවාදීන්ගේ ගුරුවරයා වූ ලියොන් ට්‍රොට්ස්කි ලෙනින්ගේ තීරණයට හවුල් නොවූ නමුත් ඔහු ද ඒ අනුමත කෙළේ ය. මාක්ස්වාදය හා ලිබරල්වාදය අතර ඇත්තේ ප්‍රාග්ධනය රජය සතුවිය යුතු ද නැත්නම් පුද්ගලයා සතුවිය යුතු ද යන්න පිළිබඳ වෙනසක් පමණකි. අද මේ දෙපිරිසට ම අවශ්‍ය දෙමළ ත්‍රස්තවාදය පරාජය කර සිංහල බෞද්ධයනට යම් තැනක් ලබාදීමට කටයුතු කිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂ මහතාට හා පවුලට දඬුවම් කර ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීම ය.

දෙමළ ජාතිවාදීහු සම්බන්ධන්ගේ නායකත්වයෙන් බලය බෙදීම ගැන හැදෑරීමට ස්කොට්ලන්තයට ගියහ. අපට ඔවුන්ගෙන් හා ආණ්ඩුවෙන් ඇසීමට ප්‍රශ්නයක් වෙයි. ඊනියා එක්සත් රාජධානියේ ජාතික ගීය ස්කොට්ෂ් භාෂාවෙන් ගායනා කෙරෙන්නේ ද? බලය යම් ප්‍රමාණයකට බෙදා ඇති ස්කොට්ලන්තයේ හා එංගලන්තයේ තත්ත්වය එපරි දි ය. එහෙත් ලංකාවේ ජාතික ගීය ව්‍යවස්ථාවට පටහැණි ව දෙමළෙන් ගැයීමට කටයුතු කෙරෙයි. ව්‍යවස්ථාවේ ගරුකළ යුතුව ඇත්තේ සිංහල භාෂවෙන් ඇති මුල් පිටපතට මිස දෙමළෙන් හෝ ඉංගිරිසියෙන් හෝ ඇති එහි පරිවර්තනවලට නො වේ. ජාතික ගීය දෙමළට පරිවර්තනය කර ව්‍යවස්ථාවේ දෙමළ පිටපතට ඇතුළත් කිරීම ම ජාති ද්‍රෝහී ක්‍රියාවකි. ඒ කරන ලද්දේ කවුරුන් විසින් ද යන්න සොයා බැලිය යුතු ය. දෙමළෙන් ජාතික ගීය ගැයීම යනු ෆෙඩරල් හෙවත් සංධීය තත්ත්වය ද ඉක්මවා සහසන්ධීය තත්ත්වයකට යෑමකි.

ඉතා පැහැදිලිව රණවිරුවන්ට අපහාස වන අයුරින් ඔවුන් හෑල්ලු කරමින් ඔවුන්ට දඬුවම් කිරීමට අද කටයුතු කෙරෙයි. ඒ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අවශ්‍යතාවට ය. බුද්ධි අංශවල රහස් සෙවීමට එක්සත් ජාතීින්ගේ මානව අයිතිවාසිකම් කොමසාරිස් පැමිණීමට නියමිත ය. මෙරට 1948න් පසු කිසි දිනෙක යුද්ධයක් තිබී නැත. අවුරුදු තිහක් තිබුණේ දෙමළ ත්‍රස්තවාදයට එරෙහි ව කළ මෙහෙයුමක් පමණ ය. එය යුද්ධයක් ලෙස හඳුන්වනු ලැබුයේ සිංහල බෞද්ධ විරෝධී පඬියන් චිසිනි. ඉන් එක් තැනැත්තකුට අනුව මෙරට ඊළාම් යුද්ධ එක දෙක තුන ආදී වශයෙන් යුද්ධ තිබුණි. අවාසනාවකට ඔහුගේ සිංහල බෞද්ධ විරෝධී පුතා මහින්ද රාජපක්‍ෂගේ විශ්වාසය දිනාගත් අයකු වන අතර සංධාන නායකයන් විසින් මහා බුද්ධිමතකු ලෙස සැලකෙයි. ජ වි පෙ ආයුධ ගත්විට ඔවුන් හා ආණ්ඩුව අතර යුද්ධයක් විණි යැයි කී අයකු නැත.

යුද්ධයක් නොවු විට යුද්ධාපරාධ තිබිය නො හැකි ය. කොටින්ට එරෙහි ව කළ සටන් රාජපක්‍ෂ ආණ්ඩුව විසින් හඳුන්වනු ලුබුයේ මානුෂික මෙහෙයුමක් ලෙස ය. එය දෙමළ ජනයා බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරය ලැබූ කොටින්ගෙන් බේරාගැනීම සඳහා කරන ලද මානුෂික මෙහෙයුමක් ලෙස ද හැඳින්විය හැකි ය. එක්තරා පඬියකුට අනුව මෙන් නොව මානුෂික මෙහෙයුමක දී මිය යෑම මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙස හැඳින්විය නො හැකි ය. ත්‍රස්තවාදය මැඩලීමට කරන ලද සටනක දී සියයට සීයක පාරදෘශ්‍යභාවයක තිබිය යුතු නො වේ. කොටි ඔත්තු කරුවන් හා ආධාර කරුවන් මරා දැමිණි නම් කළ යුත්තේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන වාර්තාවක් ඉදිරිපත් කිරීම පමණකි. ප්‍රභාකරන් මරා දැමීම මානව අයිතිවාසිකම් නැති කිරීමක් ද?

රනිල් මෛත්‍රිපාල ආණ්ඩු යටතේ රට නැවතත් බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ යටත්විජිතයක් බවට පත් වී ඇත. අද ලංකාවට ඊනියා ජාත්‍යන්තරයේ ගෞරවය ලැබී ඇතැයි අගමැතිට හා ජනාධිපතිට අමතරව ආණ්ඩුවේ මැති ඇමතිවරු ද ප්‍රිති ප්‍රමෝදයෙන් ද කියති. බටහිරයන් මේ ආණ්ඩුවේ ඊනියා මානව හිතවාදය ගැන සහතික දෙන්නේ ආණ්ඩුව නිවට ව බටහිරයන්ට අවශ්‍ය අන්දමට ක්‍රියාකරන බැවින් ය. ගෙදරක සිටින බල්ලා ස්වාමියාට ලෙන්ගතු වන විට ස්වාමියා බල්ලාගේ හිස අතගායි. බල්ලා ප්‍රිතියෙන් ප්‍රමෝදයට පත් වී වලිගය වනයි.

අපට සැමරීමට නිදහසක් නැත. සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය ද සිංහලත්වයට ගරු කරන ජනවාර්ගිකයන් ද එක් පිළකට පැමිණ නිදහස් සටනක් ඇරඹීය යුතු ය.

මහාචාර්ය නලින් ද සිල්වා
Colombo Today

Pic Source

0 comments: