Pages

Thursday, February 4, 2016

රණවිරුවන්ට එරෙහි අධිකරණ තැනෙද්දී රණවිරුවන් සහභාගි කරගෙන නිදහස්‌ උත්සව සැමරිය හැකිද? රියර් අද්මිරාල් සරත් වීරසේකර

රණවිරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමට හැකි විදේශ විනිසුරුවන්ගෙන් සමන්විත අධිකරණ මෙරට පිහිටුවීමට එකඟවී ඇති රජයකට රණවිරුවන් සහභාගි කරගෙන නිදහස්‌ දිනය සැමරීමේ හැකියාවක්‌ පවතීද යන්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ඊයේ (3 වැනිදා) විමසා සිටියේය.

දිනූ නිදහස පාවාදීමට එරෙහි වෙමු යන ඊයේ (3 වැනිදා) පුස්‌තකාල සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමින් ඒ මහතා මෙම විමසීම කළේය.

වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීවේය.

නිදහස කිව්වට අපිට වැදගත් වන්නේ ජීවත්වීමේ නිදහසයි. අද එසේ ජීවත් වෙන්න ඉඩ ප්‍රස්‌තාව සලසා දුන් නායකයා සහ රණවිරුවන්ට එරෙහිව ක්‍රියා කිරීමට විදේශ විනිසුරුවරුන්ගෙන් යුත් අධිකරණ මෙහෙ පිහිටුවන්න එකඟ වෙලා. එහෙම පිරිසකට රටේ නිදහස සමරන්න සදාචාරාත්මකව හැකිද? අපේ ඉතිහාසය ගෙන බැලුවොත් හයවන පරාක්‍රමබාහු රජතුමාගේ පුතුන්වන සපුමල් කුමාරයා යාපනයට යවලා චක්‍රවර්ති කියන ද්‍රවිඩ නායකයා ඝාතනය කරලා රට නිදහස්‌ කර ගත්ත කියලා තියෙනවා. ඒ අයුරින් මහින්ද රාජපක්‍ෂ මහතාත් සිය සහෝදර ගෝඨාභය රාජපක්‍ෂ මහතා නායකත්වයෙන් උතුරේ ප්‍රභාකරන් ඝාතනය කරල රට නිදහස්‌ කර ගත්තා.

එසේ රට බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ අය සතියකට දින කිහිපයක්‌ එෆ්.සී.අයි.ඩී, ජනාධිපති කොමිසම, අල්ලස්‌ කොමිසම ඇතුළු ස්‌ථාන කිහිපයකට අසත්‍ය චෝදනා යටතේ ගෙනයමින් අපහසුතාවට පත් කරමින් සිටිනවා. මේ ආකාරයට සලකන්නේ මේ රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමට අයිතිය ලබාදුන් අයටයි.

අපි දන්නවා ත්‍රස්‌තවාදය පරාජය කළාට ත්‍රස්‌තවාදයේ ඔළුව කැනඩාවේ, උදරය ඇමරිකාව ඇතුළු බටහිර රටවල, පසු පෙදෙස තමිල්නාඩුවේ තියෙනවා. ත්‍රස්‌තවාදය පරාජය කළාට මේ රජය බලයට පැමිණි පසු දෙමළ ගෝලීය සංසදයේ එමානුවෙල් පියතුමාට රටට ඇතුළුවීමට තිබූ තහනම ඉවත් කළා. ත්‍රස්‌තවාදයට සෘජුව උදව් කළ 460 ක පිරිසකගේ තහනම ඉවත් කළා. අධිආරක්‍ෂිත කලාප ඉවත් කළා. අපි අධි ආරක්‍ෂිත කලාප වෙන් කරලා තිබුණේ හදිසියෙවත් ත්‍රස්‌තවාදයක්‌ රටේ නැවත ඇතිවුවහොත් ඊට එරෙහිව ගුවන් යානා ගොඩ බැස්‌සවීමට අවශ්‍යතාවක්‌ වුවහොත් ඒ සඳහායි.

දැන් ඊළාම් කොඩියත් දාලා දෙමළ භාෂාවෙන් ජාතික ගීයක්‌ ගයන්න අවස්‌ථාව උදා කරලා. උතුරු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන්ට ඕන විදියට උතුර පාලනය කරන්න දීලා. ඔහු අවුරුදු 65 ක්‌ සිංහල ප්‍රදේශවල ජීවත් වෙලා දැන් හැසිරෙන්නේ ඒ සියල්ල අමතක කරලයි. මේ ආණ්‌ඩුව වැඩ කරන්නේ බටහිර රටවල්වලට, විපක්‍ෂ නායක සම්බන්ධන්ට හා දෙමළ ජාතික සන්ධානයට අවශ්‍ය ආකාරයටයි.

බුද්ධි අංශ නිලධාරීන් ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 78 ක්‌ ඔවුන්ගේ නිවෙස්‌වල අයටත් නොදන්වා රඳවාගෙන හිටියා. දැන් බන්ධනාගාර ගත කරලා. බන්ධනාගාර රෝහලේ ඉන්න විටත් ඔවුන්ව එයින් ඉවත් කර කූඩු කරන තත්ත්වයටත් පත්වෙලා.

මේ ආණ්‌ඩුව වැඩ කරන්නේ විදේශ බලවේගවල අවශ්‍යතාවට යන්න හොඳටම පෙනී ගිය අවස්‌ථාව තමයි ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී කර තිබූ ප්‍රකාශය. ඔහු ප්‍රකාශ කර තිබුණා මහින්ද රාජපක්‍ෂ බලයෙන් ඉවත් කිරීමට අපිත් කොටස්‌කරුවන් වී තිබෙන බව.

බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී මෙන්ම හිටපු මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා-

අපේ රටේ ත්‍රස්‌තවාදය නැති කරන්න රට පාලනය කළ නායකයන් රැසකට නොහැකි වුණා. නමුත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රට භාරගෙන යුද්ධය අවසන් කර රටේ ජනතාවට නිදහසේ ජීවත් වීමට ඉඩ ප්‍රස්‌ථාව ඇතිකර දුන්නා.

එදා යුද්ධයට දරුවෝ බාරදෙන්න දෙමව්පියෝ කැමැති වුණේ නැහැ. එවැනි වකවානුවකයි හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ නාවික හමුදාවට සම්බන්ධ කළේ. ඒ හරහාත් දෙමව්පියෝ රටේ යුද්ධය අවසන් කිරීමේ අධිෂ්ඨානයෙන් කටයුතු කරන බව වැටහී දරුවෝ හමුදාවට සම්බන්ධ කළා. එවැනි ආකාරයටයි හමුදාව ශක්‌තිමත් කරල යුද්ධය අවසන් කළේ.

යුද්ධය අවසන් කිරීමට දිගුදුර විහිදුම් බළකාය විශාල කාර්ය භාරයක්‌ කළා. අද එහි සාමාජිකයන් අත්අඩංගුවට ගෙන එම වකවානුවේ සිදුකළ රහස්‌ මෙහෙයුම් හෙළි කිරීමට පටන් අරන් තියෙනවා. විදේශ නියෝජිතයෝ පවා මේවා ගැන හොයන්න රටට එන බව කියා තිබෙනවා. මේවා හෙළිවුණොත් රටට කොයි ආකාරයට බලපෑම් එල්ල වෙයිද?

චමින්ද සිල්වා
http://www.divaina.com/2016/02/04/news30.html

0 comments: