Pages

Thursday, February 4, 2016

සැබෑ නිදහස සැමරීමේදී සිහිපත් කළ යුතු ගෞරවනීය මළවුන්

"සත්‍යය කිසිදිනක වසන් කළ නොහැකිය. සත්‍යය වසන් කළත් යම් දිනෙක එය එළි දැක්‌වෙනු නියතය."- ප්‍රංශ ගත්කරු වික්‌ටර් හියුගෝ

ශ්‍රී ලංකාවට නිදහස ලැබී අදට වසර 68 කි. යටත්විජිතවාදයෙන් ශ්‍රී ලංකාව මිදී නිදහස සමරන මේ අවස්‌ථාවේ අමතක කළ නොහැකි පාර්ශවයක්‌ද වේ. ඒ රුදුරු ත්‍රස්‌තවාදයෙන් ශ්‍රී ලංකාව මුදාගත් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවයි. 2009 වසර දක්‌වා මෙරට නිදහස්‌ උළෙල සමරනු ලැබුවේ දැඩි ආරක්‍ෂක විධිවිධාන මැද බව අමතක නොකළ යුතුයි. වසර 30 ක්‌ තිස්‌සේ මෙරට නිදහසට මෙන්ම ජනතාවගේ නිදහසටද බිහිසුණු ත්‍රස්‌තවාදයෙන් තර්ජන එල්ල විය. එහෙත් 68 වැනි නිදහස්‌ දිනය සමරන අවස්‌ථාවේ එදා තිබූ ඒ භීෂණ යුගය බොහෝ පාර්ශවවලට අමතක වී ඇත. 

යාපනය අර්ධද්වීපය ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීම උදෙසා භටයන් හා නිලධාරීන් 400 කට අධික පිරිසක්‌ දිවි පිදුවේ මුළු රටම ප්‍රභාකරන්ගේ විනාශකාරී ත්‍රස්‌තවාදයට ගොදුරු වි තිබූ අවස්‌ථාවේය. වන්නි මෙහෙයුමින් එම ත්‍රස්‌තවාදය අවසන් විය. එහිදී සෙබළුන් හා නිලධාරීන් 6000 කට අධික පිරිසක්‌ මියගිය අතර 25000 කට අධික භට පිරිසක්‌ තුවාල ලබා ඇත.

මේ ගෞරවනීය මළවුන් කිසි දිනෙක අමතක කළ නොහැකිය. ඇමරිකාවේ හිටපු ජනාධිපති ඒබ්‍රහම් ලින්කන් වරක්‌ පැවසුවේ සැබෑ නිදහස හා සාමය උදෙසා තම වර්තමානය හා අනාගතය පුද කළ සෙබළුන් හිරු නඟින විටත් හිරු බසින විටත් සැමරිය යුතු බවයි.

අපි එම ගෞරවනීය මළවුන් දිවි පිදූ කරුණුවලට ගරු කළ යුතු බව ලින්කන් තවදුරටත් කියා සිටියේය.

එහෙත් මේ ගෞරවනීය මළවුන් නිසා උතුරේ පාලන කටයුතු මෙහෙයවන ඇතැම් බෙදුම්වාදී දේශපාලකයෝ යුරෝපයේ ඩේටන් ගිවිසුම හා බ්‍රිතාන්‍යයේ මහ සිකුරාදා ගිවිසුමට සමාන ගිවිසුමක්‌ අත්සන් කිරීමට ක්‍රියා කළ යුතු බව රජයේ යාන්ත්‍රණයට කියයි.

එදා ප්‍රභාකරන් සිටින වචනයක්‌වත් නොකියූ එම දේශපාලනඥයන් දියත් කර ඇත්තේ ද්‍රවිඩ ජනතාවගේ ඉල්ලීම් නොව ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ ඉල්ලීම්ය. 

2009 මැයි මස 19 දා කොටි සංවිධානය විනාශ නොවූයේ නම් අදටත් නිදහස සැමරීමට සිදු වන්නේ ත්‍රස්‌ත තර්ජන මතය.

මේ සැබෑ යථාර්ථය අමතක කළ යුතුද?

කොළඹට සැතපුම් 250 ක්‌ ඈත කැලෑවේ සැඟ වී සිටි ප්‍රභාකරන් මෙරට දේශපාලනඥයන් ජීවත් විය යුතුද නැද්ද යන්න තීරණය කළේය.

බෝම්බ පිපිරීම් හා මගී බස්‌රථවල බෝම්බ තැබීම හා මරාගෙන මැරෙන ප්‍රහාර තීන්දු කළේද ඔහුයි.

පසුගිය 31 දාට කොටුවේ මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 20 ක්‌ ගත විය. එහිදී බැංකු නිලධාරීන් 40 ක්‌ ඝාතනය විය. මේ නිලධාරීන්ගේ පවුල්වල අයට "යුක්‌තිය" හිමි වූයේද?

ප්‍රභාකරන් පරාජය කළ නොහැකි යෑයි පැවසූ දේශපාලනඥයන් අප අතර විය. ප්‍රභාකරන් අවතක්‌සේරුවකට ලක්‌ නොකරන ලෙස තවත් සමහර දේශපාලනඥයන් පවසා තිබූණි. මේ අතීතය වසන් කළ හැකිද?

එහෙත් ත්‍රස්‌තවාදීන් පැරදවිය හැකි බව මෙරට ආරක්‍ෂක හමුදාව මුළු ලොවටම පෙන්නුම් කරනු ලැබීය.

මෙවන් පසුබිමක්‌ මැද අද දින පවත්වන නිදහස්‌ උත්සවයේදී ප්‍රදර්ශනය වන්නේ ත්‍රස්‌තවාදීන් පැරදවීම සඳහා මෙරට ආරක්‍ෂක හමුදාව භාවිතා කළ අවි ආයුධ හා සන්නද්ධ රථ ඇතුළු උපාංගයි.

මේ යුද්ධෝපකරණ කොටි ත්‍රස්‌තවාදය පැරදවීමේ ඉතිහාසයේ එක්‌ පාර්ශවයක්‌ වේ.

අද සංහිඳියාව ගැන හඬ නඟන දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා හමුදාවට බෆල් යුද රථදීම අත්හිටුවනු ලැබූ අවස්‌ථාවේ හමුදාව ඊට ප්‍රතිචාරයක්‌ ලෙස යුනිකෝන් රථ නිපදවනු ලැබීය. එසේම ත්‍රස්‌තවාදය පරාජය කර ජනතාවට සැබෑ නිදහස ලබා ගැනීමේ ක්‍රියා මාර්ගයට චීනය, පාකිස්‌තානය, චෙක්‌ රාජ්‍යය, රුසියාව, ඊශ්‍රායලය වැනි රටවල්ද සහාය විය.

1948 දී බ්‍රිතාන්‍ය විසින් මෙරටට දුන් නිදහසට වසර ගණනාවකට පසු ත්‍රස්‌තවාදය නිසා තර්ජනයක්‌ එල්ල විය.

මාව පැරදවිය හැකි ජගතෙක්‌ ලොව නැතැයි ප්‍රභාකරන් වරක්‌ කීවේය. ප්‍රභාකරන් යනු වියට්‌නාමයේ වෝගියප් සෙනවියා බව ඇතැම් දේශපාලන විශාරදයන්ද පවසනු ලැබීය. එසේ වුවත් ත්‍රස්‌තවාදය විනාශ වී රටේ ජනතාව සැබෑ නිදහස භුක්‌ති විඳී. එහි ගෞරවය හිමිවිය යුත්තේ සමස්‌ත ආරක්‍ෂක හමුදාවටය. එහෙත් ඒ විරුවන්ට මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනාවක්‌ එල්ල වී ඇත. මේ චෝදනා එල්ල කර ඇත්තේ යුද අපරාධකරුවන්ය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/02/04/feature02.html

0 comments: