Pages

Monday, February 8, 2016

පුතු මියගියා, ලේලිය පිටවෙලා ගියා, මම මිනිබිරිය සුරකිමි-දුක හිසේ තියා | මිනිබිරියගේ ලොව එළිය කරන්න අත්තම්මාට පිහිට වෙමු!

අකාලයේ මියගිය තම පුතාගේ 11 හැවිරිදි දියණිය කිසිවෙකුගේ හව්හරණක්‌ නොමැතිව රැක බලාගෙන ජීවත්වන 73 හැවිරිදි මාතාවක්‌ ගැන පල්ලේපොල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨසයේ මනන්වත්ත තල්වත්ත අංක 8 ගමෙන් වාර්තාවේ. නමින් ඇය ටී. ජී. ජී. උක්‌කුඅම්මාය. ඇය අප සමඟ මෙසේ පැවැසුවාය.

මගේ සැමියා මීට වසර 20 ට පමණ පෙර මියගියා. මට දරුවෝ පස්‌ දෙදෙනක්‌ හිටියා. දියණියන් 3 යි, පුතුන් දෙදෙනායි. මීට වසර දෙකකට පමණ පෙර මගේ පුතෙක්‌ අකාලයේ මියගියා. ඔහුට දියණියක්‌ හා පුතෙක්‌ ඉන්නවා. පුතා මැල්සිරිපුර ප්‍රදේශයේ ඥාතියෙකු ළඟ ඉන්නවා. 11 හැවිරිදි දුව ජීවත්වෙන්නෙ මා ළඟයි. මේ දැරිය කිරිබොන වයසේදී ඇගේ අම්මා දාලා ගියා. එදා පටන් රැකබලාගෙන පෝෂණය කරන්නේ මමයි.

අනේ මහත්තයෝ අපි බොහොම අමාරුවෙන් ජීවත්වෙන්නේ. අපේ දරුවොත් දුප්පත්. ඔවුන්ටත් අපිට උදව් කරන්න බෑ. අපි දෙන්න ජීවත් වෙන්නේ මට රජයෙන් ලැබෙන පිං පඩියෙන්. ඒ රුපියල් 2000/ ක්‌ හා සමෘද්ධී දීමනාව 1000/ වශයෙන්. කලින් සමෘද්ධි දීමනාව රුපියල් 2500/ ක්‌ දුක්‌නා. දැන් ඒකෙන් 1500/ අඩුකරලා හේතුව දන්නේ නෑ. ඔක්‌කොම වෙන්නේ දුප්පත් අපටමයි.

<--- ටී. ජී. උක්‌කු අම්මා සිය මිනිපිරිය සමඟ නිවස ඉදිරිපිටදී

මගේ මිනිපිරියගේ නම එච්. ජී. ශිරෝමි ප්‍රියදර්ශනී රාජපක්‍ෂ. ඇය අධ්‍යාපනය ලබන්නේ සියඹලාගහවෙල කනිටු විදුහලේ 7 ශ්‍රේණියේ. ඇයගේ සියලු වියදම් හා මගේ අසනීපවලට වැය කරන්නේ මට ලැබෙන ආධාර මුදල්. ඉඳහිට දරුවනුත් උදව් කරනවා. ඒ අයත් ජීවත්වෙන්නේ කුලී වැඩ කරලා. ඔවුන්ට කළ හැක්‌කේ අපට ආදරය හා අනුකම්පාව දැක්‌වීම පමණයි. කවුරු හරි මගේ මිනිපිරියගේ අධ්‍යාපන කටයුතුවලට උදව් කළොත් ලොකු පිනක්‌.

අපි දෙන්නා. ජීවත්වෙන නිවසේ වහළයේ ටකරන් හා පොල් අතු දිරලා. වැසි දිනවලට තෙමෙනවා. රජයේ නිවාස වැඩසටහන යටතේ ගේ හදා ගැනීමට රුපියල් විසිදාහක්‌ දුන්නා. ඒකෙන් කොන්ක්‍රීට්‌ ගල්, වැලි, සිමෙන්ති, කලුගල් ගෙනැවිත් දමා තිබෙනවා" යෑයි පැවැසුවාය.

ඔබටත් මේ අසරණ මාතාවට උපකාරයක්‌ කළ හැකි නම් ලොකු පිනක්‌. ඡායාරූපයෙන් දැක්‌වෙන්නේ මහලු මාතාව හා මිනිපිරිය තමන් ජීවත්වන නිවස ඉදිරිපිට සිටින ආකාරයයි. මේ මාතාවගේ බැංකු ගිණුම් අංකය 241-2-001-6-0009721 මහජන බැංකුව පල්ලේපොලය. මේ අසරණයින් ගැන වැඩි විස්‌තර දුරකථන අංක 072-1598493 දුරකථන අංකය ඔස්‌සේ දැනගත හැකිය. 

ගලේවෙල විශේෂ
http://www.divaina.com/2016/02/08/news18.html

0 comments: