Pages

Saturday, February 6, 2016

තාත්තාට පුතාගෙන් වුව හිතුමතේ වකුගඩුවක්‌ දෙන්න බැහැ. වකුගඩුවක්‌ ලබාදීමේ ක්‍රමවේද හා එහි සියලු විස්‌තර මෙන්න

වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත් වූ පුද්ගලයකු හෙවත් වකුගඩු දෙකම ක්‍රියාකාරීත්වය දුර්වල වූ පුද්ගලයකු යනු මරණය පෙනි පෙනී ජීවත්වන අයෙකි. එම පුද්ගලයාට තවදුරටත් ජීවත්වීමට ඇති ප්‍රතිකාර ක්‍රම දෙක වනුයේ රුධිර කාන්දුකරණය (Dialysis treatment) සඳහා යොමුවීම හෝ වකුගඩුවක්‌ බද්ධ කිරීමට (Kindney traìplant) යොමුවීමය. මෙම ප්‍රතිකාර දෙක අතරින් වඩාත් සාර්ථක ප්‍රතිකාරය වනුයේ වකුගඩුවක්‌ බද්ධ කිරීමය.

වකුගඩුවක්‌ බද්ධ කරගැනීමට යොමුවීම යනු ඉතා පහසු කටයුත්තක්‌ නොවේ. එය ඉතා සංකීර්ණය. රෝගියාට ගැලපෙන වකුගඩුවක්‌ ඇති අයෙකු සොයාගත යුතුය. ඒ සඳහා එම තැනැත්තාගේ කැමැත්ත ලබාගත යුතුය. ඉන්පසු වකුගඩු බද්ධ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙතින් මානව පටක පනත (Human tissue act) යටතේ අනුමැතිය ලබාගත යුතුය. මෙලෙස අනුමැතිය ලැබ සිදුකරන වකුගඩු බද්ධ කිරීමක්‌ නීත්‍යානුකූල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයක්‌ ලෙස හඳුන්වනු ලබයි. එසේ නොමැතිව යම් පුද්ගලයෙක්‌ වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට යොමුවීම නීති විරෝධීය. එනිසා තාත්තාට පුතා හෝ අම්මාට දුව හෝ අයියාට මල්ලී හෝ අක්‌කාට නංගී හෝ ආවාට ගියාට වකුගඩුවක්‌ දන්දීම හෝ බද්ධ කිරීම සිදුකළ නොහැකිය.

ජීවිතයත් මරණයත් අතර සටන් වදින පුද්ගලයකුගේ දිවි ගලවා ගැනීමට ඇති සාර්ථකම ප්‍රතිකාරය වන වකුගඩු බද්ධ කිරීම සඳහා මෙලෙස දැඩි නීතිරීති පනවා ඇත්තේ මිනිසුන්ගේ ඉන්ද්‍රිය ජාවාරම් කිරීමෙන් වළක්‌වාලීම සඳහාය. මිනිස්‌ ඉන්ද්‍රිය යනු මිල කළ නොහැකි දෙයකි. එය මුදලට තීරණය කිරීම ශිෂ්ට සම්පන්න සමාජය අනුමත නොකරයි.

වර්තමානයේ ඉන්ද්‍රිය බද්ධ කිරීමේ සැත්කම් අතර බහුලවම සිදුවන්නේ වකුගඩු බද්ධ කිරීමය. ශ්‍රී ලංකාවේද බද්ධ කළ යුතු මට්‌ටමට වකුගඩු අක්‍රීය වූවෝ විශාල පිරිසක්‌ සිටිති. එනිසා වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් සඳහා විශාල ඉල්ලුමක්‌ පවතී.

වකුගඩු බද්ධ කිරීම සිදුවන්නේ ඇයි?

වකුගඩු මගින් සිදුකරන ප්‍රධාන කාර්යය වනුයේ රුධිරය පිරිසිදු කිරීමය. එය සිදුකිරීමට නොහැකි වූ විට එම පුද්ගලයාගේ ශරීරය තුළ අපිරිසිදු රුධිරය ඉහළ ගොස්‌ රෝගී තත්ත්වයට පත් වේ.

යම් පුද්ගලයකුගේ වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත්ව ඇතැයි කියා වෛද්‍යවරු නිගමනය කරන්නේ එම පුද්ගලයාගේ වකුගඩුවල ඇති GFR අගය 10 ට වඩා අඩු වූ විටදීය. එවිට එම තැනැත්තාට තවදුරටත් නිරෝගීව ජීවත්වීම සඳහා වකුගඩුවක්‌ බද්ධ කළයුතු වේ. 

මෙවැනි තත්ත්වයකට පත් වූ පුද්ගලයකුගේ මුළු සිරුරම ඉදිමුමට ලක්‌ වේ. ආහාර අරුචිය ඇති වේ. කල්පනා ශක්‌තිය දුර්වල වේ. මුත්‍රා පිටවීම අඩුවේ.

වකුගඩු අකර්මන්‍යවන්නේ කෙසේද?

වකුගඩු අකර්මණ්‍යවීමට බලපාන ප්‍රධාන කරුණු දෙකක්‌ ඇත. දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ මුත්‍රා සමග ප්‍රොටීන් පිටවීම (Nephrotic Syndrome) යන කරුණු තුනය.

ඊට අමතරව හඳුනා නොගත් වකුගඩු රෝග (CKDU) පරම්පරාගත වකුගඩු රෝග එනම් බහුකෝෂ්ඨක වකුගඩු රෝගයට (Polycystic Kidney Disease) ගොදුරුවීම, වෛද්‍ය උපදෙස්‌වලින් තොරව දීර්ඝ කාලීනව ඖෂධ භාවිතය, වකුගඩුවල ගල් ඇතිවීම, කුඩා දරුවනට ආවේණික වූ වකුගඩු රෝග, ශරීරයේ ඇතිවන වෙනත් රෝග (SLE ආතරයිටීස්‌) නිසා ඒවා වකුගඩුවලට බලපෑම මත වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයට පත් වේ.

වකුගඩුවක්‌ දන් දිය හැක්‌කේ කෙසේද?

වකුගඩුවක්‌ දන්දීමට සෑම පුද්ගලයකුටම නොහැකිය. එම පුද්ගලයා වයස අවුරුදු 20 ට වැඩි විය යුතුය. වයස අවුරුදු 60 ට අඩුවිය යුතුය, දියවැඩියා රෝගයට ගොදුරු වූ අයෙක්‌ නොවිය යුතුය.

වකුගඩුව දන් දෙන පුද්ගලයාගේත් වකුගඩුව බද්ධ කරන පුද්ගලයාගේත් රුධිර වර්ගය ගැලපිය යුතුය.

වකුගඩු බද්ධ කිරීමට වඩාත් සුදුසු වන්නේ ලේ ඥතියකු විසින් පරිත්‍යාග කරන වකුගඩුවකි. එහි රුධිර ඝනය ගැළපීමට අමතරව පටක ගැළපීමද ඉතා ඉහළ මට්‌ටමක පවතී. එවැනි පුද්ගලයකුගේ වකුගඩුවක්‌ බද්ධ කළ විට වකුගඩු රෝගයෙන් පෙළෙන පුද්ගලයාට එම වකුගඩුව භාවිත කරමින් දිගු කාලයක්‌ නිරෝගීව ජීවත් විය හැකිය.

ලේ ඥතීන් නොවන අයගේ වකුගඩු බද්ධ කිරීමේදී ශරීරය විසින් එම වකුගඩුව ප්‍රතික්‌ෂේප කිරීම (Rejection) සිදු වේ.

වකුගඩුවක්‌ බද්ධ කරන හැටි 

වකුගඩු බද්ධ කිරීමේ සැත්කමක්‌ යනු ද්විත්ව ශල්‍යාගාරයක සිදුකරන සංකීර්ණ සැත්කමකි.

එක්‌ ශල්‍යාගාරයක වකුගඩුව පරිත්‍යාග කරන පුද්ගලයාගේ වකුගඩුව ඉවත් කර ගැනීමේ සැත්කම සිදුකරයි.

ඊට සමගාමීව අනෙක්‌ ශල්‍යාගාරයේ වකුගඩුව බද්ධ කිරීම සඳහා සැත්කමට වකුගඩු රෝගියා ලක්‌ කරනු ලබයි.

වකුගඩුව පරිත්‍යාග කරන පුද්ගලයාගේ ශරීරයෙන් ඉවත් කරගනු ලබන වකුගඩුව ඉතා ඉක්‌මනින් වකුගඩු රෝගියාට බද්ධ කළ යුතුය. ඉතා ඉක්‌මනින් බද්ධ කිරීම සිදුකරන තරමට සැත්කම සාර්ථක වේ.

වකුගඩුව බද්ධ කිරීමේදී බොහෝ විට සිදුකරන්නේ අක්‍රියව ඇති වකුගඩු දෙකට යටින් තව වකුගඩුවක්‌ බද්ධ කිරීමය. අක්‍රියව පවතින වකුගඩු දෙක ඉවත් කර නව වකුගඩුව බද්ධ කිරීමට සිදුවන්නේ අක්‍රියව පවතින වකුගඩු දෙක තුළ විෂබීජ ඇති විටදීය. මෙය ඉතා කලාතුරකින් දක්‌නට ලැබෙන අවස්‌ථාවකි.

වකුගඩුවක්‌ දන්දුන් පසු 

වකුගඩුවක්‌ දන්දුන් පුද්ගලයා බෝවන රෝගවලට ගොදුරු වීමේ අවදානම අඩු කර ගත යුතුය. ශරීරයට විෂ බීජ ඇතුළු වීමේ ඇති අවස්‌ථා වළක්‌වා ගත යුතුය. මාස 06 කට වරක්‌ වෛද්‍යවරයකු වෙත ගොස්‌ තම රුධිර පීඩනය සහ ඉතිරිව ඇති වකුගඩුවේ ක්‍රියාකාරීත්වය පරීක්‍ෂා කරගත යුතුය.

වකුගඩුවක්‌ දන්දුන් පුද්ගලයාට වෛද්‍ය විනිශ්චය සහිත විශේෂ කාඩ්පතක්‌ ලබා දේ. වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමුවන සෑම මොහොතකම එම කාඩ්පත වෛද්‍යවරයාට ඉදිරිපත් කළ යුතුය.

වකුගඩුවක්‌ දන් දුන් පසු සාමාන්‍ය දිවියක්‌ ගත කළ හැකි මුත් කිලෝ ග්‍රෑම් 20 ට වැඩි බර එසවීම නොකළ යුතුය. එසේ වුවහොත් හර්නියා රෝගයට ඉතා පහසුවෙන් ගොදුරු විය හැකිය. මන්දයත් වකුගඩුව ඉවත් කිරීම සඳහා එම තැනැත්තාගේ ශරීරයේ උදරයෙන් පහළ කොටස විශාල කැපුමකට ලක්‌කර ඇත.

ලුණු, තෙල් සහ සීනි අධික ආහාර ගැනීම අවම කළ යුතුය. පෝෂ්‍යදායී ආහාර වේලක්‌ ගැනීමට අවධානය යොමු කළ යුතුය.

වකුගඩුවක්‌ දන් දුන් කාන්තාවක දරු ප්‍රසූතියකට සූදානම්වීමේදී දැඩි වෛද්‍ය පරීක්‍ෂාවකට ලක්‌ විය යුතුය. වෛද්‍ය උපදෙස්‌ මත ගැබ්ගැනීමට යොමුවීමට පියවර ගත යුතුය.

වකුගඩුවක්‌ බද්ධ කළ පසු 

වකුගඩුවක්‌ බද්ධ කළ පසු එම පුද්ගලයාගේ නව වකුගඩුවට එරෙහිව ශරීරය තුළින් ඇතිවන ප්‍රතිරෝධය වළක්‌වාලීමට ඖෂධ ලබාදෙන නිසා ප්‍රතිශක්‌තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය දුර්වලව පවතී. එනිසා වකුගඩුවක්‌ බද්ධ කළ පසු ශරීරයට විෂබීජ ඇතුළු වීම වළක්‌වා ගැනීම සඳහා මාස 06 ක්‌ වත් මුඛ ආවරණයක්‌ පැළඳ එදිනෙදා කටයුතුවල නිරතවිය යුතුය.

ලබාදී ඇති ඖෂධ එක්‌වේලක්‌ හෝ මග නොහැර ලබාගත යුතුය.

නියමිත කාලයට නිසි වෛද්‍ය පරීක්‍ෂණ සඳහා යොමුවිය යුතුය.

මුත්‍රා පිටවීමේ අඩුවක්‌ ඇති වීම හෝ සුළු උණක්‌ කැස්‌සක්‌ ඇති වුවද වහාම වකුගඩු රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබන රෝහලකට ගොස්‌ නිසි වෛද්‍ය උපදෙස්‌ මත ප්‍රතිකාර ලබාගත යුතුය.

සීනි, තෙල්, ලුණු අධික ආහාර ගැනීම අවම කළ යුතුය. සැලඩ් වර්ග වැනි අමුවෙන් පිසින ලද ආහාර ගැනීම වෛද්‍ය උපදෙස්‌ මත සිදුකළ යුතුය.

පිසින ලද එළවළු, හොඳින් ඉදුනු පලතුරු ආහාරයට ගත හැකිය.

වකුගඩුවක්‌ දන්දීම 

යම් පුද්ගලයකු වකුගඩුවක්‌ දන්දීමේදී එම තැනැත්තා අදාළ රෝහලේ චර්යා මණ්‌ඩලට (Ethical Commiti) වෙත යොමු කරනු ලැබේ. එහිදී එම තැනැත්තා තම මානසික සෞඛ්‍ය පිළිබඳ වාර්තාවක්‌, පදිංචි ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරියා විසින් එම තැනැත්තා සම්බන්ධව නිකුත් කළ වාර්තාවක්‌, දිවුරුම් ප්‍රකාශයක්‌ සහ පොලිස්‌ වාර්තාවක්‌ ඉදිරිපත් කළ යුතුය.

ඒ අනුව මෙම වකුගඩුව දන්දීම සද්භාවයෙන් යුක්‌තව මුදල් ගනුදෙනුවකින් තොරව සිදුකරන්නක්‌ බවට තහවුරු කර ගැනීමෙන් පසු එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෙත යොමු කරනු ලැබේ.

එහිදී "මානව පටක පනත" Human Tissue ACT) යටතේ අවයව බද්ධය සඳහා අවසර ලබාදීමට සුදුසු දැයි විමසා බලනු ලබයි. මෙය මානව පටක පනතට අනනුකුල බව සනාථ වුවහොත් වකුගඩුවක්‌ දන්දීමට අනුමැතිය ලබාදේ. වකුගඩුවක්‌ දන්දීමට සහ වකුගඩුවක්‌ බද්ධ කිරීමේ සැත්කමක්‌ සිදුකිරීමට වෛද්‍යවරයාට අවසරය හිමි වන්නේ ඉන් පසුවය. එම අවසරය නොමැතිව සිදුකරන වකුගඩු බද්ධ කිරීමේ සැත්කම් නීති විරෝධීය.

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව මහතා සමග කරන ලද සාකච්ඡාවක්‌ ඇසුරින් මෙම ලිපිය සකස්‌ කර ඇත.

උපාලි ද සේරම්
http://www.divaina.com/2016/02/07/feature04.html

0 comments: