Pages

Monday, May 2, 2016

සංහිඳියාව වෙනුවෙන් විපක්‍ෂ නායකයාගේ බලහත්කාරකම් ඉවසමුද ?

2002 වසරේ පෙබරවාරි මස ශ්‍රී ලංකා රජය හා කොටි සංවිධානය අතර සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඇතිවූ ප්‍රධානතම ගැටුම්කාරී වාතාවරණය වාර්තා වූයේ අම්පාර කාංචනකුඩා විශේෂ කාර්ය බලකා කඳවුරට කොටි සාමාජිකයන් සාමාන්‍ය ජනතාවත් සමග පැමිණ එල්ල කළ ප්‍රහාරයයි. කොටි සාමාජිකයන් විසින් මෙහෙයවනු ලැබූ සාමාන්‍ය වැසියාගේ කඳවුරට ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමග සිද්ධිය පාලනය කිරීම පිණිස එස්‌. ටී. එෆ්. සාමාජිකයන්ට වෙඩි තැබීමට සිදුවූ අතර එහිදී අටදෙනකු මරණයට පත් විය. මෙලෙස මියගිය පුද්ගලයන් අතර සටන් විරාමය අත්සන් කිරීමෙන් පසුව නිදහස්‌ කරනු ලැබූ ප්‍රබල කොටි සාමාජිකයකු වූ විජය ප්‍රකාශ් නමැත්තා ද විය. 2002 ඔක්‌තෝබර් 11 වැනිදා "දිවයින" පුවත්පතේ ප්‍රධාන පුවත ලෙස සටහන්ව තිබුණේ කාංචනකුඩා සිද්ධියයි. එම කඳවුරේ නිලධාරියකු ප්‍රකාශ කර තිබුණේ 'කඳවුරට පැන්න අයට බැරිම තැන වෙඩි තැබීමට සිදුවුණා යන්නයි." මෙම සිද්ධිය සටන්විරාම ගිවිසුම අවලංගු වන තැනට රට ගෙන ගිය බරපතල සිද්ධියක්‌ විය. කවරක්‌ නමුත් එවක එල්. ටී. ටී. ඊ. ප්‍රකාශක දයා මාස්‌ටර් සඳහන් කර තිබුණේ මෙය සටන් විරාමයට බාධාවක්‌ නොවන බවයි. ඇත්තෙන්ම එදා කොටි සංවිධානයට අවශ්‍යව තිබුණේ අම්පාරේ ස්‌ථානගත කර තිබූ විශේෂ කාර්ය බළකා කඳවුරු ඉවත් කිරීම බව ප්‍රකට රහසකි. මීට වසර 14 කට පෙර සිදුවූ කාංචනකුඩා ගැටුම යළි සිහිකරන්නට සිත් වූයේ විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් මහතා තවත් දෙමළ සන්ධාන මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ සමග පසුගිය සතියේ කිලිනොච්චියේ පරෙවිපච්චාන් කඳවුරට කඩාවැදීම නිසා ඇතිව තිබෙන ආන්දොලනය හේතුවෙනි.

සම්බන්ධන් මහතා ඇතුළු පිරිස කිලිනොච්චි කඳවුරට ඇතුළු වූයේ ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් නම් නොවේ. ඔවුන් සමග කොටි සාමාජිකයන් නොසිටියත් නැවත කොටි අවතාරවලට පණ දිය යුතු යෑයි තරයේ විශ්වාස කරන පුද්ගලයන් කිහිපදෙනකු සිටින්නට ඉඩ තිබේ. රටේ විපක්‍ෂ නායකවරයා වශයෙන් මධ්‍යස්‌ථ දෙමළ දේශපාලකයකු ලෙස පිළිගැනෙන සම්බන්ධන් මහතා මීට වඩා වගකීමෙන් කටයුතු කරනු ලැබුවේ නම් එය වඩාත් යහපත්ය. සම්බන්ධන් මහතාගේ බලහත්කාරී ක්‍රියාව නිසාම කිලිනොච්චි ආඥපතිවරයාට පොලිසිය දැනුවත් කිරීමටද සිදුවිය. රාජපක්‍ෂ ආණ්‌ඩුව පැවැති සමයේ නම් මෙවැනි බලහත්කාරී ක්‍රියාවන්ට දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන්ට කිසිම ඉඩක්‌ ලැබුණේ නැත. ඔවුන් මහමග ගමන් කරද්දී හමුදා කඳවුරු දෙස හැරී නොබැලූ බව ප්‍රකට රහසක්‌. නමුත් දැන් සිදුවන්නේ කුමක්‌ද? සංහිඳියාව වෙනුවෙන් විපක්‍ෂනායකවරයාගේ බලහත්කාරකම්වලට ඉඩ දෙනවාද? සංහිඳියාව වෙනුවෙන් කිලිනොච්චියේ හමුදා කඳවුරු උගුල්ලා දැමිය යුතුද?

සංහිඳියාව වෙනුවෙන් දෙමළ සන්ධානයේ බලහත්කාරීත්වය දෙස උපේක්‍ෂාවෙන් බැලීමට යහපාලන ආණ්‌ඩුව සැදී පැහැදී සිටින්නේද? මෙය බරපතල ප්‍රශ්නයකි. කලබල කරන්න එපා ෆෙඩරල් ගන්න පුළුවන් යෑයි විපක්‍ෂ නායකතුමා උතුරු පළාතේ සභාපතිවරුන්ට ප්‍රකාශ කර තිබුණේ මීට සති කිහිපයකට ප්‍රථමය. එසේම කලබල කරන්න එපා. මේ කඳවුරුත් මම ඉවත් කරලා දෙන්නම් යෑයි ආර්. සම්බන්ධන් මහතා කිලිනොච්චි වැසියන්ට පොරොන්දු වී ඇත්ද යන්න පිළිබඳව අපට සාධාරණ සැකයක්‌ උපදී.

ඇත්තෙන්ම කිලිනොච්චිය, පරෙවිපච්චාන් කඳවුර සතුව අක්‌කර 43 ක භුමි ප්‍රදේශයක්‌ පැවතිණි. විශේෂය වන්නේ මේ වනවිට එයින් අක්‌කර 26 ක්‌ ම අදාළ පදිංචිකරුවන්ට බෙදා අවසන්ව තිබීමයි. දැන් සම්බන්ධන් විපක්‍ෂ නායකතුමාට අවශ්‍ය වන්නේ මේ අක්‌කර 17 සාමාන්‍ය ජනයා සතුකර මේ කඳවුර ගලවා දැමීමටද? 2002 දී කොටි සංවිධානය කාංචනකුඩා කඳවුර ඉවත් කර දැමීම සඳහා සාමාන්‍ය ජනයා සමග එක්‌ව උද්ඝෝෂණ කළ ආකාරයට වඩා කපටි අයුරින් සම්බන්ධන් මහතා ක්‍රියාකරන්නේ ද? අද කොටි හර්තාල් නැත. නමුත් සම්බන්ධන්ගේ බලහත්කාරීත්වය හොඳින්ම පෙනී යයි. සම්බන්ධන් සමග කිලිනොච්චි කඳවුරට ගිය දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් ප්‍රකාශ කර ඇත්තේ හමුදාව කිලිනාච්චියේ රැඳී සිටින්නේ බලහත්කාරයෙන් බවයි. එමෙන්ම හමුදාවට කිලිනොච්චියේ ඉඩම්වල අයිතියක්‌ නොමැති බවද හෙතෙම ප්‍රකාශ කර තිබිණි. ඒ අනුව අපට පෙනෙන්නේ ඉදිරියේදී හමුදා කඳවුරුවල ඔප්පු තිරප්පු පරීක්‍ෂා කිරීම සඳහා විපක්‍ෂ නායක සම්බන්ධන් ඇතුළු කණ්‌ඩායමක්‌ උතුරු නැගෙනහිර සෑම හමුදා කඳවුරකම සැරිසරනු ඇති බවයි. මේ පිළිබඳව පොලිසිය ගන්නා පියවර කුමක්‌ද? ආරක්‍ෂක අමාත්‍යාංශය ද මෙම සිද්ධිය යටපත් කිරීමට උත්සාහ දරන්නේ සම්පන්දන් විපක්‍ෂනායකතුමා රහසින්වත් පව් නොකරන බව උපකල්පනය කරද?

කවරක්‌ නමුත් විපක්‍ෂ නායකවරයා මෙන්ම උතුරු මහ ඇමැතිවරයාත් පසුගිය සති කිහිපයක තුළදීම සිදු කළ ක්‍රියාදාමයන් නිසා රට තුළ මහත් ආන්දොලන ඇති විය. නැවත රට අස්‌ථාවර කිරීම සඳහා දෙමළ සන්ධානයට විදේශීය ඔත්තු සේවාවකින් අණ ලැබී ඇත්ද? දෙමළ සන්ධානයේ දේශපාලන තීන්දු තීරණ පිටුපස අසල්වැසි භාරත මාතාව සිටින බව නම් ප්‍රකට රහසකි. යහපාලන රජය යළි චීනය දෙසට හැරීම පිළිබඳව දිල්ලි නුවර විදේශ කටයුතු අමාත්‍යාංශය මෙහෙයවන බ්‍රාහ්මණ වංශිකයෝ උරණ වී ඇති බව අමුතුවෙන් කිව යුතු නැත. දෙමළ සන්ධානය හරහා කොළඹ ආණ්‌ඩුවට රතුඑළි දල්වන්නේ රෝ ඔත්තු සේවයද ? ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යළිත් දිල්ලි නුවරට පැමිණෙන්නැයි ආරාධනාවක්‌ ද ලැබී ඇති බව මාධ්‍යවල පළවී තිබිණි. යහපාලන ආණ්‌ඩුවේ ඉන්දීය හිතවාදය සේදී යන නිසා යළි දිල්ලියට පැමිණෙන ලෙස ඇරයුම් ලැබී ඇත්ද?

දෙමළ ජාතික සන්ධානයේ හිතුවක්‌කාරී ක්‍රියාමාර්ග තුළින් රටටත් විශේෂයෙන් දෙමළ ජනතාවටත් යහපතක්‌ අත්වන්නේ නැත. විශේෂයෙන් දෙමළ බස කතා කරන ජනතාවට වෙනම කලාප ලබා දෙන්නට ගියහොත් දකුණේ වෙසෙන දෙමළ කතා කරන ජනතාවත් උතුරට පිටුවහල් කළ යුතුද? මේ හරහා නිර්මාණය වන්නේ විනාශයේ මාවතයි. වෙනම කලාප ඇති කිරීම මගින් සංහිඳියාව කිසිලෙසකින්වත් ජනිත නොවන අතර ඇතිවන්නේ වෛරයේ හා විනාශයේ මාවත බව සියලු දෙනාම හොඳින් වටහා ගත යුතුය. එමෙන්ම දෙමළ ජාතික සන්ධානයට කිසිම විටක බලහත්කාරකම්වලට ඉඩ දිය යුතු නැත. එයින් සිදුවන්නේ 2009 ප්‍රභාකරන් පරාජයෙන් පසු ඇතිවූ සංහිඳියාව විනාශ වී යැම පමණි.

චතුර පමුණුව
http://www.divaina.com/2016/05/01/politics04.html

Pic Source

0 comments: