Pages

Sunday, May 8, 2016

දාහතර වරක්‌ දිනූ අපට ඊළඟ වාරය ද ජයගත හැකියි එසේ වුවත් අපි සැම එක්‌ව ඒ විනාශකාරී යුද මග නිම කරමු!

එක්‌ අතකින් උතුරේ මහ ඇමැති විග්නේශ්වරන් උතුරු නැගෙනහිර එක්‌කර ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට කතා කරමින් බටහිර බලවතුන් සතුටු කරද්දී අනෙක්‌ අතින් ආණ්‌ඩුවේ නිල විපක්‍ෂ නායක සම්බන්ධන් උපායශීලී ලෙස ආණ්‌ඩුවත් සමඟ එකට යමින් පෙඩරල් ක්‍රමය ඔස්‌සේ වෙනම රාජ්‍යයක්‌ කරා යා යුතු බව අඟවයි. ඒ කෙසේ වුවත් වෙනම රාජ්‍යයක්‌ කරා යා හැක්‌කේ අවි බලය මගින් යුද්ධ මාර්ගයෙන් පමණක්‌ බව දන්නා පුනරුත්ථාපනය නොවූ කොටි ත්‍රස්‌තවාදීනුත් මියගිය ප්‍රභාකරන් වෙනුවට ප්‍රභාකරන්ලා කීපදෙනකු බිහිකර හදා වඩා ඇති දැඩි කර දෙමළ ඊළාම් රාජ්‍යය ගොඩනඟන්නට සැලසුම් කරන්නවුනුත් ඉදිරි ක්‍රියාමාර්ග සඳහා අවි ආයුධ එක්‌රැස්‌ කිරීමේ අවශ්‍යතාව හොඳාකාරව දැනගෙන ඒ අනුව කටයුතු කරනු ඇත. ඒ කෙසේ වුවත් වසර දෙදහස්‌ ගණනකට පෙර දුටුගැමුණු රජ දවස එක්‌සේසත් කරනු ලැබ ඒකීය රාජ්‍යයක්‌ව පැවැති, වැව් ඇල වේලි ජාලයකින් ඒකීය භාවය තහවුරු කරන ලද, මහා සංස්‌කෘතික උරුමයකින් ශක්‌තිමත්ව එකහදින් එක්‌වූ බහුතර ජනතාවක්‌ සහිත රටක්‌ මහා යුද්ධයකින් තොරව බෙදිය නොහැක. ප්‍රභකරන් අනුව යන දෙමළ ඊළාම්වාදීන් ඒ බව හොඳින් දනිති. "දේශපාලන බලය වැඩෙන්නේ තුවක්‌කු කානු තුළින්ය" යන මාඕ සේතුංගේ උඨත පාඨය හොඳින් දන්නා කොටි ත්‍රස්‌තවාදීන් අවි බලය කෙරේ විශ්වාසය තබා තිස්‌ වසරක්‌ තරම් කාලයක්‌ ක්‍රියා කළා සේ මතුවටත් එසේ කරනු ඇත. අමිර්තලිංගම් ඇතුළු ද්‍රවිඩ එක්‌සත් විමුක්‌ති පෙරමුණ වනසා දමා කොටි සංවිධානය උතුරේ දේශපාලන බලවතා වූයේ අවි බලය මගින් බව දන්නා කොටි දකුණේ දුර්වල බියගුළු නායකයත්වයත් සමඟ යමින් තම බලය ගොඩනඟන්නට පසුබට නොවනු නිසැකය.

වසර පන්දහසක්‌ තරම් දිගු ඉතිහාසයක අත්දැකීම් තුළින් බිහිවූ මහා දේශපාලනඥයකු, යුද විශේෂඥයකු හා විප්ලවවාදී චින්තකයකු වන චීන මහජන සමූහාණ්‌ඩුවේ පුරෝගාමී නායකයා වූ මාඕ සේතුං පැහැදිලිව ප්‍රකාශ කර ඇත්තේ දේශපාලනයේ ප්‍රබලම ආකාරය, උපරිම හා උසස්‌ම ආකාරය යුද්ධය බවයි. මහා යුද්ධයකින් තොරව සුවිශාල බලයක්‌ වූ මහජන චීනය බෙදිය නොහැක්‌කක්‌ මෙන්ම උදාර ඉතිහාස උරුමයකින් ශක්‌තිමත් වූ ශ්‍රී ලංකාව මහා යුද්ධයකින් තොරව බෙදා වෙන් කළ නොහැක. ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ සංහිඳියා කතාව උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර මුහුදු සම්පත් කොල්ලයට අනුබල දෙන තමිල්නාඩුව සමඟ එක්‌වී ශ්‍රී ලංකාව දෙකඩ කරන්නට හා බටහිර ගැති ලෝක දෙමළ රාජ්‍යයේ මූලස්‌ථානය බවට ත්‍රිකුණාමලය පත් කර ගන්නටත් අවසානයේ මුළු ලංකාද්වීපයම දෙමළ වර්ගවාදයට යට කර ගන්නටත් සැලසුම් කරන ප්‍රභාකරන්ගේ ඊළඟ පරපුර හොඳින් තේරුම් ගත යුතුව ඇත්තේ, දකුණු ඉන්දීය ආක්‍රමණ දහතුනක්‌ පරදවා ජයගත් ශ්‍රී ලංකාවේ වීරෝධාර දේශප්‍රේමී ජාති හිතෛෂී ශාසනමාමක ජනතාවට අධිරාජ්‍ය හවුල්කාරී කොටි ත්‍රස්‌තවාදය පරදවා දාහතර වැනි වරටත් ජය ගත හැකි වූවා මෙන්ම පහළොස්‌ වැනි වරටද ජයගත හැකි බවට සැකයක්‌ නැති බවයි. එසේ වුවත් යුද්ධය දේශපාලනයේ ප්‍රබලම, උපරිම, උසස්‌ම ආකාරය යෑයි ප්‍රකාශ කළ මාඕසේතුංගේ ප්‍රකාශයටත් පසුව අඩසියවසක්‌ ගත වී ලෝකය විනාශකාරී න්‍යෂ්ටික අවි සහිත බල කඳවුරුවලට බෙදී ඇති හෙයින් දුර්ලභ වූ මනුෂ්‍යත්වයක්‌ ලබා සිටින මානව වර්ගයේත් මිනිසාට හිතකර සත්ව වර්ගයන්ගේත් යහපැවැත්වම, ආරක්‍ෂාව හා අභිවෘද්ධිය සඳහා සියලු මානවවාදීන් හා ජීව හිතවාදීන් එකහදින් එක්‌ව යුද්ධ මාර්ගය පිටුදැකිය යුතුය. මුළුමහත් මානව ප්‍රජාව යුද්ධය පිළිකුල් කරන උසස්‌ සංවර්ධිත සමාජ අවදියක්‌ කරා පිය නැඟිය යුතුය. එය කාලීන ලෝක අවශ්‍යතාවකි. එය ලෝක යථාර්ථයකි. ලෝක යථාර්ථයට හා ලෝක අවශ්‍යතාවන්ට පිටුපා ක්‍රියා කරන දුර්දාන්ත දුර්ජන බලවේගයන්ගේ පරාජය ඒකාන්තය නිසැකය.

ලොව පුරා පැතුරුණු නව යටත් විජිතවාදී අධිපතිවාදී බලවේගයන්ගේ ආධාර ලබන දෙමළ ඩයස්‌පෝරාවේ හා විග්නේශ්වරන් වැනි මහළු දෙමළ අන්තවාදීන්ගේ පෙළඹවීම අනුව ක්‍රියා කරන තමිල්නාඩු හා උතුරේ අන්තවාදීන්ගේ අවධානය හා අවබෝධය සඳහා දකුණ ඉන්දියානු ආක්‍රමණිකයන් හා ඔවුන් සමඟ එක්‌වූ ලක්‌වැසි දෙමළ ජන කොටස්‌ ලැබූ පරාජයන්ගේ කතාව ගෙනහැර දැක්‌වීම ද කාලීන අවශ්‍යථාවක්‌ වී තිබේ. ඒ කාලීන අවශ්‍යතාව අනුවත් විසිවැනි සියවසේ දේශපාලන චින්තකයකු හා විප්ලවවාදී යුද විශේෂඥයකු වූ මාඕසෙතුංගේ ඉගැන්වීම් අනුවත් දේශපාලනයේ ප්‍රබලම, උපරිම හා උසස්‌ම ආකාරය යුද්ධය වන හෙයින් ලංකාවේදී යුද්ධය මගින් දස වසරකට වැඩි වාර ගණනක්‌ නැවත නැවතත් ඔප්පු වූ සත්‍යයන්ට පිටුපෑම විනාශයට අතවැනීමකි. අනුරාධපුර යුගයේ ලංකාව ආක්‍රමණය කළ සේන, ගුත්තික ප්‍රමුඛ පරසතුරන්ගේ ජාතිකත්වය නොපැහැදිලි බැවින් දකුණ ඉන්දීය දෙමළ සේනා පිරිවරාගෙන ආ එලාරයන් හා භල්ලුකයන් ලැබූ මහා පරාජයන් සහ පුලහත්ථි, භාහිය, පිළයමාර, පණ්‌යමාර ආදී සත්මහා දෙමළ නායකයන් ප්‍රමුඛ සතුරු ආක්‍රමණිකයන් ලැබූ පරාජයන්ගේ පටන් ආර්යය චක්‍රවර්තිවරුන් දක්‌වා වූ දෙමළ දේශය පදනම් කරගත් පරසතුරු උවදුරු පරදා ලැබූ තීරණාත්මක ජයග්‍රහණයන් කෙරේ වත්මන් පරපුරේ අවධානය යොමු කළ යුතුය. රට මැද මහියංගනයේ පවා බල කොටු පිහිටුවාගෙන සිටි එලාරගේ විජිතපුර මහ බලකොටුව බිඳවැටීම දක්‌වා වූ මහ සටන් විසි අටක පරාජයන් ගැනත් එලාරයන් අනුරපුර අගනුවරදී ලැබූ තීරණාත්මක පරාජය ගැනත් එලාරගේ ආධාරයට හැටපන්දාහක සේනාවක්‌ රැගෙනවිත් සමූල ඝාතන පරාජයක්‌ ලැබූ භල්ලුක ප්‍රමුඛ සතුරු ආක්‍රමණිකයන්ට අත්වූ විනාශය ගැනත් වත්මන් පරපුරේ අවධානය යොමු විය යුතුය.

ශ්‍රී ලංකාව එක්‌සේසත් කළ දුටුගැමුණු රජතුමා ප්‍රමුඛ දේශප්‍රේමීන්ගේ තීරණාත්මක ජයග්‍රහණයෙන් පසු ලංකාව ආක්‍රමණය කළ සත්මහා දෙමළ නායකයන්ට අත්වූ පරාජය මෙන්ම වංක නාසිකතිස්‌ස රජු පරදවා සිංහල තරුණයන් දොළොස්‌ දහසක්‌ වහලුන් ලෙස අල්ලාගෙන ගොස්‌ දකුණු ඉන්දියාවේ කාවේරි අමුණ කරවූ කරිකාලන් ගජබා රජු ප්‍රමුඛ සිංහල ජාති හිතෛෂී සේනා අතින් දෙමළ දේශයේදීම ලැබූ පරාජය ගැන දෙමළ කෘතියක්‌ වූ සීලප්පදිකාරම් කාව්‍යයේ පවා සඳහන් වේ. දෙමළ දේශයේ දී ජයග්‍රාහි වූ ගජබා රජු ලංකාවෙන් ගෙන ගිය සිංහල තරුණයන් දොළොස්‌ දහසත් සමඟ දෙමළ තරුණයන් විසිහතර දහසක්‌ ද ලංකාවට ගෙනා බව ඉතිහාසගතවී තිබේ. කරිකාලන්ගෙන් පසු ආ දකුණු ඉන්දීය ආක්‍රමණය වූ දාඨිය, පීඨිය පාරින්ද, නිරිතර ආදීන් ප්‍රමුඛ පරසතුරන්ගේ විනාශකාරී ක්‍රියාමාර්ගය අභිබවා ජයගත් ධාතුසේන කුමරු ප්‍රමුඛ දේශප්‍රේමීන්ගේ ජයග්‍රහණය අදත් රැළිනගන කලා, බලලු වැව්වලින් මෙන්ම ලෝක උරුමයක්‌ ලෙස පිළිගැනුණු යෝධ ඇල ඇතුළු වැව් ඇලවේලි පද්ධතියෙන්ද ඓතිහාසිකව තහවුරු වී ඇති නිසාත් ඒ ඓතිහාසික අත්දැකීම් විමසා බැලීම අපේ පරපුරේ සිංහල, දෙමළ, මුස්‌ලිම් සැමට වැඩදායක වනු නිසැකය. පළමුවැනි සේන රජතුමන් පරදවා වස්‌තුව කොල්ලකාගෙන ගිය පරන්තකට දකුණු ඉන්දියාවට සේනා යෑවූ දෙවැනිසේන රජුගේ සේන සෙනෙවියා ප්‍රමුඛ ජාති හිතෛශීන් අතින් දෙමළ දේශයේදීම පරාජය වී ලංකාවෙන් කොල්ලකාගෙන ගිය වස්‌තුවත් පළමුවැනි සේන රජු දවස සිදුවූ ආක්‍රමණයේ හානිවලට වන්දිත් ගෙවන්නට සිදුවූ බවත් වත්මන් පරපුරේ සිංහල, දෙමළ සැමගේ අවධානයට යොමු විය යුතුය. යළි අඩසියවසකට පමණ පසු තුන්වැනි මහින්ද රජු පරදවා වස්‌තුව කොල්ලකාගෙන ගිය ශ්‍රීමාර ශ්‍රී වල්ලභටද හතරවැනි මිහිඳු රජු විසින් විදුරඟ සෙනෙවියාගේ නායකත්වයෙන් දෙමළ දේශයට යෑවූ සිංහල සේනා අතින් පරාජය වී ලංකාවෙන් කොල්ලකාගෙන ගිය වස්‌තුවත් තුන්වැනි මිහිඳු දවස ආක්‍රමණයේදී සිදුවූ හානිවලට වන්දිත් ගෙවන්නට සිදුවූ බවද වත්මන් පරපුරේ ගැඹුරු අවධානයට යොමු විය යුතුය. 

හත්වැනි වරට ලංකාව ආක්‍රමණය කළ දකුණු ඉන්දීය ආක්‍රමණිකයා වූ තුන්වැනි ක්‍රිෂ්ණගේ සේනාවට ලක්‌දිවට ගොඩ බසින්නට නොදී මුහුදේදීම විනාශ කරන්නට උතුරු වෙරළ ආරක්‍ෂා කළ වෙරළාරක්‍ෂක සිංහල සේනාවට හැකි විය. තමන්ට මුහුණ දෙන්නට සිදුවූ විනාශය තුන්වැනි ක්‍රිෂ්ණලවාම දෙමළ දේශය තුළ කියවිය හැකි වූයේ, ක්‍රිෂ්ණගේ නැවට පහර නොදී ඒ නැවට පමණක්‌ ආපසු යන්නට සැලැස්‌සූ දප්aපුල රජුගේ උපායික ක්‍රියාමාර්ගය නිසාය. ඒ ඓතිහාසික සත්‍යයන් විමසා බැලීම යළිත් වරක්‌ උතුරේ දෙමළ රාජ්‍යයක්‌ ගොඩනඟන්නට බටහිර බලවතුන් සමඟ අත්වැල් බැඳගන්නා වත්මන් පරපුරේ දෙමළ අන්තවාදීන්ටද වැදගත් පාඩම් වනු නිසැකය. අටවැනි වරට ලංකාව ආක්‍රමණය කළ මුන්මඩිචෝල මණ්‌ඩල අධිරාජ්‍ය සේනාවන් මුලදී ජයග්‍රාහී වුවත් අඩසියවසක්‌ ගෙවෙන්නට කලින් විජයබා නමින් රජ වූ කීර්ති කුමාරයා ප්‍රමුඛ දේශප්‍රේමීන් අතින් සමූලඝාතන පරාජයක්‌ ලබන්නට සිදුවූ බව දකුණු ආසියාවේ ඉතිහාසයට එක්‌වී ඇති හෙයින් ඉන්දියානු ඉතිහාසඥ නීලකණ්‌ඨ ශාස්‌ත්‍රි වැනි ඉතිහසාඥයන් විසින් පවා අගය කරනු ලැබූ ඒ ඓතිහාසික අත්දැකීම් වත්මන් පරපුරේ අවබෝධය නිවැරැදි කිරීමට හේතුවනු නිසැකය. නම වැනි වරට ලංකාව ආක්‍රමණය කළ කාලිංගමාඝ සිය බලය තහවුරු කරගන්නා අදහසින් පොළොන්නරුව ලේ විලක්‌ බව ට හැර වුවත් දඹදෙණිය මුල් කරගෙන බිහිවූ තුන්වැනි විජයබාවන් ප්‍රමුඛ දේශප්‍රේමීන් කාලිංග මාඝ පරාජය කළ බවත් තුන්වැනි විජයබා රජ පුත් කලිකාල සාහිත්‍ය සව_ඥ පණ්‌ඩිත පැරකුම්බා රජු පොළොන්නරුවේදී අභිෂේක කර සාහිත්‍ය කාලදියෙන් දියුණු සමාජයකට පදනම දැමූ බවත් පූජාවලී, සද්ධර්මරත්නාවලී, අමාවතුර, බුත්සරණ, කව්සිළුමිණි මහාකාව්‍යය ආදී ධර්මසාහිත්‍ය කෘතීන්ගෙන් පැහැදිලි වන හෙයින් දඹදෙණි සමයේ දේශප්‍රේමී ජාතික අත්දැකීම්ද වත්මන් පරපුරේ අවධානයට යොමු විය යුතුව තිබේ. දෙමළ සේනා පිරිවරා-ගෙනවිත් පොළොන්නරුව ලේවිලක්‌ බවට පත් කළ කාලිංග මාඝගේ ආක්‍රමණයෙන් පසු එනම් ක්‍රිස්‌තුවර්ෂ එක්‌දහස්‌ දෙසීය විසි ගණන්වලින් පසු උතුරේ දෙමළ ජනාවාසයක්‌ බිහිවුවද උතුරේ දෙමළ ජනතාව සමග ඥාතිත්වයක්‌ ගොඩනඟාගත් හයවැනි පැරකුම්බාවන්ගේ නායකත්වයෙන් රට එක්‌සේසත් කර නව සමෘද්ධිමත් යුගයක්‌ උදා කළ හැකි විය. හයවැනි පැරකුම්බාවන්ගේ පනස්‌ දෙවසරක රාජ්‍ය කාලයෙන් හා හයවැනි බුවනෙකබාහුගෙන් පසු යළිත් උතුර දෙමළ නායකත්වයක්‌ යටතට පත් වුවද වැඩි කල් නොගොස්‌ පෘතුගීසි බලයට යට විය. උතුරේ ප්‍රාදේශීය දෙමළ බලය පෘතුගීසීන්ට යට වී උතුර පරංගි පාලන ප්‍රදේශයක්‌ බවට පත් වුවද ජාති හිතෛෂී දේශප්‍රේමී ශාසන මාමක සිංහලයෝ පෘතුගීසීන්ට එරෙහිව ශතවර්ෂාධික කාලයක්‌ සටන් කරමින් ලෝක ඉතිහාසයට එක්‌වන ජයග්‍රහණ ලබා තම උරුමය රැකගත්හ. ලෝක ප්‍රකට පෘතුගීසී සේනාපතින් වූ කැප්ටන් ජනරාල් කුන්ස්‌තන්තීනුද සා හා දියෝගු ද මේලෝ කැස්‌ට්‍රො ප්‍රමුඛ පරංගි සේනා රන්දෙණි වෙලේදී හා ගන්නොරුවේදී සමූල ඝාතන පරාජයන්ට ලක්‌ වූහ. පෘතුගීසීන්ට තීරණාත්මක පරාජයන් අත්කර දුන් ඒ ශේ්‍රෂ්ඨ ජයග්‍රහණයන් රට දෙකඩ කරන්නට කතා කරන්නවුන්ගේ ද ගැඹුරු අවධානයට ලක්‌විය යුතු ය.

මහනුවර අගනුවර කරගත් සිංහලේ සේනා ලෝක ඉතිහාසයට එක්‌වන මහා ජයග්‍රහණ ලබද්දී උතුරේ දෙමළ ජනයා පෘතුගීසී බලයට යට වූ බවද වෙනම රාජ්‍යයක්‌ සඳහා වලිකන ප්‍රභාකරන්ගේ උරුමක්‌කාරයන් විසින් අමතක නොකළ යුතුය. පෘතුගීසීන් පරදවා උතුරේ බලය අල්ලාගත් ලන්දේසීන් දුම්කොළ වගාව සඳහා දකුණු ඉන්දියාවෙන් ගෙන්වූ දෙමළ ජන කොටස්‌ නිසා උතුරේ දෙමළ ජනගහණය වර්ධනය වුවත් මහනුවර සිංහල රාජධානියට නායකත්වය දුන් හින්දු සංස්‌කෘතික පදනමක්‌ හා දෙමළ සම්භවයක්‌ ඇති නායක්‌කාර්වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා ලන්දේසි නැව් යොදවාගෙන සියමෙන් උපසම්පදාව සඳහා භික්‍ෂූන් වහන්සේලා ගෙන්වීමට සමත්වූ බෝධිසත්ව ගුණෝපේත උතුමෙක්‌ විය. රට බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ පසු සිංහලයන් සුද්දන්ගේ වතුවල වැඩට යැම ප්‍රතික්‍ෂේප කළ හෙයින් ඉන්දියාවෙන් වතුකරයට දෙමළ වතුකම්කරුවන් ගෙන්වන්නට සිදුවිය. සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුම අනුව ලංකාවට ගෙන්වන ලද ඉන්දීය කම්කරුවන්ගෙන් පැවතෙන ජනතාවගෙන් තුනෙන් දෙකක්‌ ඉන්දියාවට බාර ගන්නට එකඟවුවද ඡන්දවාසිය ගැන බලාගෙන කටයුතු කළ ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ජාත්‍යන්තර ගිවිසුමක්‌ වූ සිරිමා ශාස්‌ත්‍රී ගිවිසුමට පිටුපා සියලු ඉන්දීය වතුකම්කරුවන්ට ලාංකීය පුරවැසිකම ලබාදී ඉන්දියාවට යෑවූ කම්කරුවන් පවා ආපසු ලංකාවේ වතුකරයට ගෙන්වීමට තරම් ජාතිෙද්‍රහී වීම ප්‍රයෝජනයට ගනිමින් රට මැද දෙමළ වතුකම්කරුවන් සඳහා වෙන්වූ කලාපීය බලයක්‌ ගැන කතා කරන්නට තරම් උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් දුර්දාන්ත වී ඇත. වත්මන් පරපුරේ සිංහල ජනතාව ඡේ. ආර්. ගේ ජාතිෙද්‍රහී ක්‍රියාමාර්ගය නොතකා ඉන්දීය සම්භවයක්‌ ඇති වතුකම්කරුවන් සමඟ මෙන්ම උතුරු නැගෙනහිර හා බස්‌නාහිර පළාතේ දෙමළ ජනතාව සමඟ සමගියෙන් සහෝදරත්වයෙන් ඥාතිත්වයෙන් බැඳී කටයුතු කරන්නට විශ්වාන්තරවාදී සාධාරණ සිංහල, බෞද්ධයන් පසුබට වන්නේ නැත. විශ්වමිත්‍ර සිංහල බෞද්ධ බහුතර ජනතාව යුක්‌ති ගරුක සාධාරණ දෙමළ ජනතාව සමඟ සමගියෙන් සහෝදරත්වයෙන් ඥතිත්වයෙන් බැඳී එකම පවුලක්‌ සේ කටයුතු කරන්නට සැදී පැහැදී සිටියත් රට බෙදන්නට අධිරාජ්‍ය හවුල්කාරී කුමන්ත්‍රණකාරී ක්‍රියාමාර්ග අනුගමනය කරමින් යුද්ධ මාර්ගයට එළැඹෙන්නවුන් සමඟ සටන් කර තීරණාත්මක ලෙස පරාජය කරන්නට පසුබට නොවන බව ගාමිණී කුලරත්නලා වැනි තිස්‌දහසක්‌ තරම් වූ රණවිරුවන් විසින් ඔප්පු කර තිබෙන බව අමතක නොකළ යුතුය. ඒකීය සීඝ්‍ර ලංකාව ශක්‌තිමත් කරමින් සිංහල, දෙමළ, මුස්‌ලිම් සමගිය ගොඩනඟන්නට සියලු දේශප්‍රේමීන් එකමුතු වේවා!

අනගාරික ධර්මසේකර තුමා
http://www.divaina.com/2016/05/08/feature19.html

Pic Source

0 comments: