එදා දඹදිව යනුවෙන් නම් කරනු ලැබූ රට අද ප්‍රචලිතව ඇත්තේ ඉන්දියාව යනුවෙනි. ඉපැරණි දඹදිව පුරා දෙසැටක් මිථ්‍යා විශ්වාසයන් හා ඇදහිලි ව්‍යාප්තව තිබූ සමයෙක බුදුරජාණන් වහන්සේ පහළව බුද්ධ ධර්මය ඒ අතර දේශනා කරන්නට යෙදුණි. ආගම් විශාල සංඛ්‍යාවක් රට පුරා පැතිර තිබිය දී අභිනවයෙන් ඇති වූ බුද්ධ ධර්මයට අභියෝග රැසකට මුහුණ පාන්නට සිදු විය. එසේ ම බුද්ධ ධර්මය දේශනා කළ ශාස්‌තෘවරයාට, ධර්මයට, ශ්‍රාවක පිරිසට, දායක දායිකාවනට නව ධර්මය සමඟ ඉදිරියට ගමන් කරන්නට සිදුවූයේ ඉතාම පරෙස්‌සම් සහගතවය.
ප්‍රථමයෙන්ම බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය සිදුවූයේ ඉන්දියාවේ මධ්‍ය දේශය කේන්ද්‍ර කරගෙනය. එසේම එදවස බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරමින් වැඩි කාලයක් වැඩ වාසය කර ඇත්තේ ද මධ්‍ය දේශයේය. කජංගලා නියම්ගම නැගෙනහිරින් ද සල්ලවතී නදිය දකුණු දිගට හා සේනකරණිය නියම්ගම දකුණටද ථූපනම් බමුණුගම බටහිරින් ද උශිර පර්වතය උතුරින් ද සීමා වූ බිම් පෙදෙස මධ්‍ය දේශය ලෙසට පැරැණි දඹදිව තුළ පිළිගැනුණි. බුද්ධ චරිතයට සේම බෞද්ධ සාහිත්‍යයට ද සම්බන්ධ කජංගලා, පාඨලී පුත්ත, වේසාලි, සාවත්ති, චම්පා, රාජගහ, ගයා, කාසි, නාලන්ද මෙම නගර හා ගම්ද ලිච්ඡවී, වඡ්ජි, විදේහ, මල්ල, භග්ග, කෝසල වැනි රාජධානින් මධ්‍ය දේශයට අයත් ප්‍රදේශ හැටියට සටහන් ව ඇත. බුදුරජාණන් වහන්සේ ධරමාන කාලය තුළ උන්වහන්සේගේ ධර්මය පිළිගත් අයගෙන් බොහෝ දෙනකු විසුවේ ද මෙම ප්‍රදේශවලය. සාවත්ථි හෙවත් සැවැත්නුවර ඡේතවනාරාමයත්, කොසබෑ නුවර ඝෝෂිතාරාමයත්, පූර්වාරාමයත් වැනි ප්‍රසිද්ධ බෞද්ධ පූජනීය ස්‌ථාන පිහිටා තිබුණේ ද පෙර සඳහන් මධ්‍ය දේශයේ ය. මෙම කරුණ නිසා මෙම පූජනීය ස්‌ථාන මුල්කරගෙන බෞද්ධාගමත් බෞද්ධ සංස්‌කෘතියත් ව්‍යාප්තව තිබූ බවට සාධක පෙනෙන්නට තිබේ. බුද්ධ ධර්මය උසස් දර්ශනයක් රැගත් ආගමක් වුවත් විශාල ශ්‍රාවක පිරිසක් හා අනුගාමික රාජ රාජ, මහාමාත්‍යවරුන්, බ්‍රාහ්මණ පිරිස් සිටුවරුන් ඒ මගෙහි ගමන් කළත් බුද්ධ ධර්මයට මධ්‍ය දේශය ඉක්‌මවා යැමට (පැතිර යැමට) එදා තිබූ ඉඩකඩ අල්ප විය.
එදා තත්ත්වය එසේ වුවද බුද්ධ ධර්මය විශාල අයුරින් ව්‍යාප්ත වූයේ අශෝක අධිරාජයාගේ කාලයේදී යෑයි සඳහන් කළහොත් එය නිවැරැදිය. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළ උසස් බෞද්ධ දර්ශනය හා ජීවන මාර්ගය ඔස්‌සේ ගමන් කළ අශෝක අධිරාජයා එම ධර්ම මාර්ගය හොඳින් අවබෝධ කර ගෙන එය ව්‍යාප්ත කිරීමට අවශ්‍ය කටයුතු මැනවින් සංවිධානය කළේය. එම ක්‍රියාමාර්ගය අනුව ඒ වනවිට බුදුදහම පැතිර නොතිබූ ඉන්දියාවේ බොහෝ ප්‍රදේශවලට බුදුදහම ප්‍රචාරය කිරීමට දූතයන් යෑවීම සුවිශේෂ ඥනාන්විත ක්‍රියාමාර්ගයකි. එහි ප්‍රතිඵල ලෙස කාම්බෝජය, රාෂ්ටි්‍රක, ගන්ධාර, පිතාහිකා, භෝජ, ආන්ද්‍ර ආදී ප්‍රදේශවලටත් ඉන් නොනැවතී ශාක්‍ය පුත්‍ර, කේරළ පුත්‍ර, පාණ්‌ඩ්‍ය, චෝල ආදී ප්‍රදේශ රැසකටත් දූතයන් යවා ඉනුදුනොනැවතී භාරතයෙන් වෙන්ව පිහිටි ලංකාව, බුරුමය වැනි රටවලටත් බුදුදහම දූතයන් මඟින් යෑවීමෙන් එතුමා ගත් ක්‍රියාමාර්ගවල උසස් බව පෙනී යයි.
අශෝක අධිරාජයාගේ කාලයේ දී භාරතයෙත් ඉන්පිටත රටවලත් බුදු දහම ව්‍යාප්ත කළත් වෙහෙස දැරුවත් බුදු දහම ආරම්භ වූ පෙදෙස්‌වල තරම් භාරතයේ වෙනත් ප්‍රදේශවල එම දහම දක්‌නට නැත. ක්‍රිස්‌තු පූර්ව හයවැනි සියවසේ පහළ වූ බුදුදහම දහතුන්වන ශතවර්ෂය වනවිට පැවැතුණේ ඉන්දියාවේ පෙරිස්‌සාව, බෙංගාලය, ඇසෑම් හා දකුණු දිග ප්‍රදේශ කීපයක පමණි. තත්ත්වය මෙසේ වීමට ප්‍රධාන හේතුව ලෙස සැලකෙන්නේ මෝගල්වරුන් භාරතය ආක්‍රමණය කිරීමය. මෙම ආක්‍රමණය නිසා බුදුදහම භාරතයෙන් බොහෝ දුරට තුරන් වූවාට සැක නැත. බුදු දහම පමණක් නොව බෞද්ධ සංස්‌කෘතියද මෙම හේතුව නිසා තුරන් විය.
එසේ වතුදු එම අවාසනාවන්ත තත්ත්වයට පෙර බුදුදහමේ ද බෞද්ධ සංස්‌කෘතියේ ද දීප්තිමත් ලක්‌ෂණ පෙනෙන්නට තිබිණි. එදින බෞද්ධාචාර්යවරුන් බුද්ධාගම මහායාන, හීනයාන වශයෙන් වෙන් කරගෙන බෞද්ධ දර්ශනය කෙරේ දැක් වූ ගවේෂණාත්මක උනන්දුව නිසා බුදුදහම පිළිබඳ විශාල විප්ලවයක් භාරතයේ පැතිර තිබිණි. මෙම බෞද්ධාචාර්යවරුන් ඔවුන්ගේ අධ්‍යාපනය හා පර්යේෂණාත්මක කටයුතු කොපමණ උසස් මට්‌ටමක තිබීද යන්න එදා සමාජයේ ප්‍රසිද්ධියට පත්ව තිබූ නාලන්දා, වික්‍රමශිලා, ජගත්දලාබිදම්, පොකරි වැනි විශ්වවිද්‍යාල වලින්, උසස් අධ්‍යාපන ආයතනවලින් මොනවට පැහැදිලි වේ. ඒ අතර කලාත්මක කෘතීන් නිර්මාණයෙහිලා බෞද්ධ සංස්‌කෘතියෙන් භාරතයට ලොකුපිටිවහලක් ලැබිණි. මථුරා, අමරාවතී, ආන්ද්‍ර යන ප්‍රදේශවල තිබූ කලා නිර්මාණ (කලා සම්ප්‍රදායන්) භාරත බෞද්ධ සංස්‌කෘතියේ ශේ්‍රෂ්ඨත්වය කියාපායි. අශෝක, කනිෂ්ක මේ ආදී රජවරුන්ගේ ක්‍රියාකලාපයන් දෙස, පාලන තන්ත්‍රය කෙරෙහි විචාරශීලීව නිරීක්‌ෂණය කරන විට බෞද්ධ සංස්‌කෘතිය කොතෙක් දුරට බලපෑවේ ද යන්න පැහැදිලි වේ. පසු කලෙක බෞද්ධ සංස්‌කෘතිය භාරත දේශයෙන් තුරන් වෙලා ගියද ඉතා දියුණු මිල කළ නොහැකි මාහැඟි බෞද්ධ සංස්‌කෘතියක් තිබුණු වග නටබුන්වලින් මොනවට පැහැදිලි වෙයි.
භාරත දේශය කේන්ද්‍රස්‌ථානය කොට ගෙන බුදුදහම පැතිර ගිය බුරුමය, සියම, කාම්බෝජය හා ලාවොස් යන රටවල අද දක්‌වාම බුදුදහම සුරැකිව තිබේ. ඒ රටවල ථෙරවාදී බුදුදහම උසස් ලෙස පවතී. අග්නිදිග ආසියාවේ රටවලින් ථෙරවාදී බුදුදහම පැවතුණු ප්‍රධාන රට බුරුමයයි. අප රටේ ඉතිහාස ග්‍රන්ථ ලෙස සැලකෙන දීපවංශය හා මහාවංශය අනුව බුරුමයට බුදු දහම ලැබී ඇත්තේ අශෝක අධිරජ සමයේ දීය. එසේ වුවත් බුරුමයේ බුදුදහම පැතිර ඇති බව දැකගත හැක්‌කේ එකොළොස්‌වැනි සියවස සිටය. බුරුම රටෙන් දැනට ලැබී ඇති බෞද්ධ පුරාවස්‌තු අනුව එරටට බුදු දහම පැමිණීම පිළිබඳ තොරතුරු සත්‍ය බව තහවුරු වේ. තවද හත්වැනි සියවස දී ඉන්දියාවට පැමිණි චීන සංචරකයෙක් වූ ඉටි - සිං බුරුමයේ මූලසර්වාස්‌තිවාදය පැවති බව කියයි. එසේ වුවත් එකොළොස් වැනි සියවස සිට ථෙරවාදී බුදුදහම බුරුම රටේ ව්‍යාප්තව ඇත. බුරුමයේ සිටි වැදගත් බෞද්ධ රජෙකි, අනවරථ. අදටත් බොහෝ ප්‍රසිද්ධියට පත් ශ්වේදගොන් චෛත්‍යයද ඉදිකළේ මෙරජ සමයේ දීය. තවද අද පවා බෞද්ධ සංස්‌කෘතියත් බුරුම රට වැසියාත් (රාජ්‍යත්වයේ සිට) අතර පවතින්නේ ඉතා කිට්‌ටු සම්බන්ධතාවකි. ඒ බව බුරුම දේශයේ ගොඩනංවා ඇති චෛත්‍ය සංඛ්‍යාවෙන් ම පැහැදිලි වේ.
තවද සියම් රටට බුදු දහම පැතිර ගියේ අශෝක අධිරාජයාගේ ධර්ම දූත සේවාව නිසා යෑයි සිතිය හැක. එදින බුරුම රටට ධර්මය ගෙන ගිය සෝණ, උත්තර දෙනමගේ මාර්ගයෙන්ම සියම් රටේද බුදු දහම පැතිරුණ බවට මතයක් පවතී. එරට ථෙරවාද බුදු දහම ප්‍රචාරය කරන්නට උනන්දුව කටයුතු කර ඇත්තේ ශ්‍රී ලංකාවේ භික්‌ෂුන් වහන්සේලා වීම විශේෂ කරුණකි. එපරිද්දෙන් බුරුමයේත්, සියමේත් බෞද්ධ සංස්‌කෘතිය ස්‌ථාපිත විය. මෙතැන්හි දී විශේෂයෙන් සැලකිය යුතු කරුණක් වන්නේ සියම් රටේ පාලකයා බෞද්ධයකු විය යුතු යෑයි පිළිගැනීමක් ගොඩනැඟී තිබීමයි. එසේම රජයත් බුදුදහමත් අතර තිරසාර බැඳීමක් අචල විශ්වාසයක් අදටත් පවතී. එසේම ලොව අන් කිසිදු රටක නැති බෞද්ධ භික්‌ෂු සංවිධානයක් පවතින්නේද සියම් රට හෙවත් තායිලන්තයේ ය. බෞද්ධ කලා කෘති අතර සියම් බුදුපිළිමයට ලැබෙන්නේ විශිෂ්ට අගයකි.
කාම්බෝජය හා ලාවොස් යන දෙරටේ පැතිර තිබෙන බෞද්ධ සංස්‌කෘතිය තුළ මහායාන හා හීනයාන බෞද්ධ විශ්වාස දෙක ගැන නොයෙක් මතභේද වෙයි. එසේ වුවත් දැනට මෙම දෙරටේ වැසියෝ බහුලව ථෙරවාදී බුද්ධාගම අදහති. හිමාලය කඳු වැටිය අසල පිහිටි නේපාලය, ටිබෙට්, භූතානය හා සියම් යන රටවල ද බෞද්ධ සංස්‌කෘතිය හා ආගම ව්‍යාප්තව ඇත. මෙම රටවල ව්‍යාප්තව ඇත්තේ මහායාන ධර්මයයි. මහමත් භක්‌තිකයන් වැඩි පිරිසක් පැතිර සිටින ජාවා, සුමාත්‍රා, බාලි, බෝර්නියෝ, ලුම්දූපත්, ඉන්දුනීසියාව ද බෞද්ධ සංස්‌කෘතිය, ආගම පැතිර ගිය රටවල් හැටියට සලකනු ලබයි. දැනට මෙම රටවල ප්‍රධාන වශයෙන් බුද්ධාගම නැතත් එහි ඇති පුරාවස්‌තුවලින් බෞද්ධ සංස්‌කෘතියේ ව්‍යාප්තිය කොතෙක්‌ද යන්න පැහැදිලි වේ. චීන වාර්තාවල එන හැටියට ගුණවර්ණම් නම් භික්‌ෂුනමක් ඉන්දුනීසියාවේ බුද්ධාගම පිහිටු වූ බවට විශ්වාසක් පවතී. අටවැනි සියවසේ දී ශෛලේන්ද්‍ර වංශිකයන්ගේ හා ශ්‍රී විජය අධිරාජ්‍යයෙහි බලයෙන් ඉන්දුනීසියාවේ බුදුදහම පැතිර ගිය අයුරු පැහැදිලිය. අදටත් කලා ශිල්ප රැසක් ඉන්දුනීසියාවෙන් ලැබී ඇති අතර මෑත දී ආක්‍රමණයට ලක්‌වූ ලෝක ප්‍රකට බෝරෝ බුදූර් පූජනීය ස්‌ථානය (බාමියන් බුදු පිළිමය) පිහිටා ඇත්තේ ද ඉන්දුනීසියාවේය. තවද ඉන්දුනීසියාවේ හා ජාවා රටේ ඇති මෙම පිළිම ලොව ශේ්‍රෂ්ඨ කලා කෘති ලෙස නම් දරයි. මේ සා සුවිසල් පිළිමයක් ලොව නැති බවට පිළිගැනීමක් පවතී.
චීන රටේ බුදුදහම ආරම්භය ඉතාම පැරණිය. කාල වකවානුවත් අපැහැදිලි මුත් බොහෝ ඈත කාලයේ සිටම එරටේ බුදුදහම පැවති බවට තොරතුරු සොයාගෙන ඇත. ෂෙන්ෂි නම් භික්‌ෂුවකගෙන් එරට බුදු දහම ආරම්භ වී පසුව ක්‍රිස්‌තු වර්ෂ පනස්‌හතේ දී එරටට පැමිණි ධර්ම දූත කණ්‌ඩායමක් ගැනද සඳහන් වේ. කෙසේ හෝ භාරතීය හා චීන ධර්ම දූත පිරිස් දෙරට සංචාරය මඟින් චීනය පුරා බුදු දහම පැතිර ගොස් ඇත. චීනයේ එවක පාලකයන් වූයේ ටානිග් නම් වූ රාජ වංශිකයන්ය. බෞද්ධ පොතපත චීන බසට පෙරළීම චීනයේ බුදුදහම ව්‍යාප්තියට බෙහෙවින් බලපා ඇත. ක්‍රිස්‌තු වර්ෂ හතරවැනි පස්‌වැනි සියවස්‌වල විසූ කුමාරජීව, බුද්ධභද්‍ර විමල වැනි මහායානික තෙරවරු මෙලෙස පොතපත චීන බසට නැඟූහ. චීනයේ එදා පැතුරුණු බෞද්ධ සංස්‌කෘතිය චීනයෙන් කොරියාවටත් එරටින් ජපානයටත් ව්‍යාප්තව ගිය බව පිළිගත් මතයකි. මේ අනුව බලන විට බෞද්ධ සංස්‌කෘතියේ විශේෂ ස්‌ථානයක් ජපානයට හිමිවෙයි. ක්‍රිස්‌තු වර්ෂ පන්සිය පනස් දෙකේ දී පමණ ජපානයට බුදුදහම ලැබුණු බව සලකයි.
ජපානයෙහි බුදු දහම ව්‍යාප්ත කිරීමට කුඩාරාහසෙයි මෙස් නමැති කොරියාවේ සිටි රජ ප්‍රමුඛස්‌ථානය ගෙන ඇත. ඒ සඳහා රනින් නිමවූ බුද්ධ ප්‍රතිමාවකුත් මහායාන පොත්පත් කිහිපයකුත් එරජු ජපානයට යෑවීය. මෙපරිද්දෙන් බුද්ධාගම ජපානයට ගිය අවස්‌ථාවේ එවකට ජපානයේ තිබූ සිංටෝ ආගම සමඟ තරග කරන්නට සිදුවිය. ඉන්පසු බෞද්ධ අධ්‍යාපනයත් එරට දියුණු වූ අතර බෞද්ධ සංස්‌කෘතිය අනුව එරට ජනයා ජීවිත රටාවද හැඩගස්‌වා ගත්හ. මෙසේ පෙරදිග පමණක් නොව අපරදිග රටවලටද බුදු දහම ව්‍යාප්ත වුවත් පෙරදිග රටවල තරම් එම රටවල බුදු දහම ව්‍යාප්ත වූ ස්‌වභාවයක් ආකාරයක් දක්‌නට නැත. සිරියාව, පලස්‌තීනය, ඊජිප්තුව වැනි රටවල බුදුදහම පැතිර තිබූ බවට ප්ලිනි නමැත්තාගේ ඉතිහාස පොතක සඳහන් වේ. මේ අතර බැබිලෝනියාවට ද ගී්‍රසියටද බුදුදහම ව්‍යාප්ත වූ බවට සාක්‌ෂි හමුවී ඇත.
අශෝක අධිරාජයාගේ ධර්මදූත සේවාවේ එක් ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීම සුවිශේෂ සිද්ධියකි. එදා බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාවට වැඩම කොට බුදුදහම දායාද කළද එය ස්‌ථාපිත වූයේ නැත. එහෙත් අශෝක අධිරාජයා එවූ මිහිඳු හිමි ප්‍රමුඛ ධර්මදූත පිරිස මෙරට රාජ්‍ය පාලකයා ඇතුළු රටවැසියාට දහම් දෙසා මෙරට බුදුදහම මැනැවින් ස්‌ථාපිත කළා පමණක් නොව එය අද දක්‌වාම ආරක්‌ෂාවීම උසස් සිදුවීමකි. මිහිඳු හිමියන්ගේ ආගමනයට පසුව සඟමිත් තෙරණිය ඇතුළත් පිරිස දඹදිව ජයශ්‍රී බෝධිරාජයාගෙන් ලබාගත් බෝධි අංකුරයක් මෙරටට වැඩමවා එය රෝපණය කොට රටවැසියාට දායාද කිරීම උතුම් ක්‍රියාවක් විය. මෙම කරුණුත් සමඟ බුදුදහම හා සංස්‌කෘතිය මෙරට ජනයාගේ ජීවිතය හා බද්ධව සෑම කරුණකදීම බෞද්ධ ලකුණ සටහන්ව ඇත. නිර්මල ථෙරවාදී බුදුදහම මෙරට පවතින අතර එය ලෝකයේ බොහෝ රටවලට බෙදාදීම සඳහාද කටයුතු නිරන්තරයෙන් සිදුවන්නේය.
අද දවස වන විට ලෝකයේ රටවල් රාශියක බුදුදහම අඩුවැඩි ලෙස ව්‍යාප්තව පවතී. ඇතැම් රටවල ජනයා බෞද්ධ දර්ශනය අගය කරමින් ආත්ම විමුක්‌තිය පතා ක්‍රියා කරන අතර එයින් බැහැරව බෞද්ධ වත් පිළිවෙත්වලට මුල්තැන දෙන ජනයාද රටවල් ද තිබේ. මහායාන, හීනයාන ධර්මය ඔස්‌සේ ගමන් කරන ජනයා සිටින රටවල් ඒ කෙරේ විශ්වාසය නවතී. මෙම හැමදෙනාගේම අවසාන අරමුණ ආත්ම විමුක්‌තියයි.
ශාස්‌ත්‍රපති මුතුමානි රාජහෙට්‌ටි
http://www.divaina.com/2016/05/21/feature02.html
Pic Source
0 comments:
Post a Comment