Pages

Sunday, May 8, 2016

සතරමහ ධාතුවක්‌ ලෙස කය දැකීම! මහරහතුන් වැඩි මග ඔස්‌සේ...

උපරිම අවු 07 කින් ලෝකයෙන් නිවීයාමේ උතුම් ධර්මයක්‌ දෝතින් දරාගෙන සතර සතිපට්‌ඨාන ධර්මයන් තුළින් සිත ආවරණය නොකරගත් නිසාම උරුමකරගත් සත්වයන්ගේ දුක මොනතරම් නම් දිග පළලද යන්න ඔබම නුවනින් මෙනෙහිකර දකින්න. 

මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්‌සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. 

මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස්‌ හයක්‌ කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක්‌ එළදෙනක්‌ මස්‌ කරලා මස්‌, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්‌කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

ඇස නිසා ලෝකයේ ලෝකය යන හැඟීම, ලෝකය යන දැනීම ඇතිවෙනවාය කියලා, ඒ වගේම කන, නාසය, දිව, ශරීරය, මනස නිසා ලෝකයේ ලෝකය යන දැනීම, ලෝකය යන හැඟීම ඇතිවෙනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ බැඳුනොත් බැඳෙන්නේ ඇසටයි, කනටයි, නාසයටයි, දිවටයි මනසටයි වගේම යම් දවසක නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේද මේ ආයතන හයෙන්ය කියලාත් උන්වහන්සේ දේශනා කරනවා. 

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මම ඔබට සංවරයන්, අසංවරයන් දේශනා කරනවා. පිංවත් ඔබ මන වඩන, ප්‍රිය උපදවන රූප ඇසෙන් දැක, මන වඩන ශබ්ද කනෙන් අසා ඔබ එය පතන්නේ නම්, එහි ගුණ කියන්නේ නම්, ඔබ අසංවර වුණා වෙනවා. ඔබ කුසල් දහමින් පිරිහෙනවා. යමක්‌ ඔබේ නොවේ නම් එය දුරුකරන්න. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස ඔබේ නොවේ. ඒවා වෙනස්‌ වෙනවා. ජරා, ව්‍යාධි, මරණවලට ලක්‌වෙනවා. එම නිසා මේ සලායතන ඔබේ නොවේ යයි දකිමින්, ඒවා කෙරෙහි ඇති තෘෂ්ණාවෙන් මිදෙන්න. බියකරු වූ ලෝකයේ රූපයේ ස්‌වභාවය නුවණින් දකිමින්, සංවරවූ චිත්ත විවේකය, කාය විවේකය ඇතිකරගන්නය' කියලා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, මේ ආයතන හය සොරුන් හයදෙනෙක්‌ය කියලා. ඇසත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් තෘෂ්ණාවෙන් තෙත් වූ තැනදී, මේ සොරුන් හයදෙනා පුළුල් වූ දුකෙන් පිරි සිපිරි ගෙයකට ඔබව කොටුකරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා නිරතුරුවම මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස මැරෙමින් ඉපදෙනවාය කියලා. ඇසේ ස්‌පර්ශය නිසා චක්‌කු විඤ්ඤානය සකස්‌වෙනවාය කියන්නේ ඇස ඉපදෙනවා. ඇසෙන් දැක්‌කා වූ රූපය ගැන සිතනකොට ඇස මැරිලා මනෝ විඤ්ඤානය උපදිනවා. සෑම නිමේෂයකදීම මැරෙමින්, ඉපදෙමින් අනාගත ලෝකයට සංස්‌කාර රැස්‌කරදීමයි මේ ආයතන හය නමැති සොරු හයදෙනා සිද්ධ කරන්නේ. මේ සොරු හයදෙනා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්‌පර්ෂ කියන ගෙවල්වලට ඇතුළුවී කරන සොරකම් හේතුවෙන් අපි අනාගතයට දුක අස්‌වද්දනවා. 

කායනුපස්‌සනාවට අදාළව ආයතන භාවනාව සිද්ධකරද්දී, ඔබ ඇස්‌දෙක පියාගෙන මනසින් ඔබේ පෙර ජීවිතයට යන්න. ඔබ අනුමාන කරන්න ඔබ පෙර ජීවිතයේදී දෙවියෙක්‌ නැතිනම් දිව්‍යාංගනාවක්‌ය කියලා. පිංවත් ඔබ මනසින්, ඔබට පින නිසාම ලැබුණු සුන්දර වූ දිව්‍ය ඇස, දිව්‍ය කන, දිව්‍ය ශරීරය නුවණින් දකින්න. ඒ සුන්දර දිව්‍ය කනින් ඔබ මනුෂ්‍ය ලෝකයේ හඬ ඇසුවා නුවණින් දකින්න. ඒ දිව්‍ය ඇසින් ඔබ මනුෂ්‍ය ලෝකය දෙස බැලූවා නුවණින් දකින්න. ඒ දිව්‍ය මනසින් මේ රූපයන්ගේ ආශ්වාදය වින්දා මනසින් දකින්න. එවැනි විසිතුරු, සුන්දර දිව්‍ය ඇසක්‌, කනක්‌.... 

ඒත් ඔබේ පින පිරිහී ඔබ දිව්‍යලෝකයෙන් චුතවෙන කාලය ආසන්න වෙනකොට ඒ දිව්‍ය ශරීරයට දහඩිය දමනවා. දිව්‍ය ශරීරය වැහැරී යනවා, දිව්‍ය ශරීරයේ පළඳා ඇති මල් පරවී යනවා. සළුපිළි අවපැහැගැන්වී යනවා. ඒ දිව්‍ය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස විනාශ වී ගිය හැටි, අනිත්‍යභාවයට පත්වූ හැටි නුවණින් දකින්න. 

මේ ජීවිතයේදී ඔබේ අම්මාගේ මව්කුසට බැසගත් විඤ්ඤාණ පච්ඡයා නාම රූප කියන ධර්මතාවය නුවණින් දකින්න. නාමරුප පච්ඡයා සලායතන ධර්මතාවය යටතේ පටිච්ඡසමුප්පන්ව ඇසේ, කනේ, නාසයේ, දිව, ශරීරයේ උපත නුවණින් දකින්න. පෙර ජීවිතයේ ඔබ මනුෂ්‍යයෙක්‌ නම්, ඔබ වයෝවෘද්ධභාවයට පත්වෙලා මියගිය හැටි නුවණින් දකින්න. ඇස, කන, නාසය.... ආදියෙහි එම වයෝවෘද්ධ ස්‌වභාවය නුවණින් දකින්න. එම ආයතන මහපොළාවට පස්‌වූ හැටි නුවණින් දකින්න. පෙර ජීවිතයක ඔබ තිරිසන් සතෙක්‌ ලෙස ඉපදිලා, මනුෂ්‍යයෝ ඔබව මරාගෙන මස්‌කර ඔබේ තිරිසන් ඇස, කන, නාසය, දිව, ශරීරය උයාගෙන රසකරමින් අනුභව කළ හැටි.... මේ සලායතනයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඔබ අතීතයේ සක්‌විති රජු ලෙසින් ඉපැදුනු අවස්‌ථාවේ ඔබේ තේජවන්ත ගාම්භීර ආයුෂ, වර්ණ, සැප, බලයෙන් පිරී ගිය ඇස, කන, නාසය, දිව, ශරීරය ගෞරවනීය ආදාහනයකින් අනතුරුව අලුගොඩක්‌ වී, මහපොළොවට පස්‌ව ගිය අයුරු නුවණින් දකින්න. සක්‌විති රජුගේ ඇස, කන, ශරීරයත් වෙනස්‌ වෙනවා. විනාශ වෙනවා. ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වෙනවා.

පිංවත් ඔබ දෑස්‌ පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුනු සලායතන ජරා, ව්‍යාධි, මරණ වලට ලක්‌වූ අයුරු මෙනෙහි කරන්න.

ඉදිරිපත් කිරීම - ඉන්ද්‍රජිත් සුබසිංහ, indrajith.media@gmail.com
http://www.divaina.com/2016/05/08/nimna06.html

0 comments: