Pages

Monday, May 16, 2016

මාවිල්ආරු සිට මුලතිව් දක්‌වා වන්නි මෙහෙයුමේ විජයග්‍රහණයට සත් වසරයි!


තිස්‌ වසරක්‌ තිස්‌සේ මෙරට දේශපාලකයන් ජීවත්විය යුතුද නැත්නම් මියයායුතු ද යන්න තීරණය කළ ප්‍රභාකරන් භීෂකයා ප්‍රමුඛ රුදුරු කොටි සංවිධානය පැරදවීමේ හත්වැනි සංවත්සරය මැයි 19 දාට යෙදී ඇත. එහෙත් මෙරට බොහෝ දෙනකුට ප්‍රභාකරන්ගේ භීෂණ යුගය අමතක වී ඇත. එදා සමහරු ප්‍රභාකරන්ට කොතරම් බියක්‌ දැක්‌වූවාද කීවොත් ඔහුව අමතන ලද්දේ ප්‍රභාකරන් මහත්මයා, සටන්කාමියා සහ ගරිල්ලා නායකයා නමිනි. ප්‍රභාකරන්ව පැරදවිය නොහැකි යෑයි හිටපු නෝර්වේ අමාත්‍ය එරික්‌ සෝල්හයිම්, ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප්, ප්‍රභාකරන්ගේ සොහොයුරිය වූ විනෝදනී සහ මෙරට ඊනියා යුද විශේෂඥයන් යෑයි කියාගත් තිදෙනකු මෙන්ම ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවිය මෙහෙයවූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකී ද පුන පුනා කියා සිටියේය. මේ සාවද්‍ය ප්‍රචාරය මත ප්‍රභාකරන් ආණ්‌ඩුවලට අවසාන නිවේදනය ද දුන්නේය. එම නිවේදනය ප්‍රකාශයට පත් කළේ ප්‍රභාකරන්ගේ සමීපතම මිත්‍රයකු වූ බාලකුමාරයන්ය. අපේ නායකයා සිංහලයන්ට නිවැරැදි වීමට අන්තිම අවස්‌ථාව දී තිබෙනවා. ඊට අවනත නොවුණොත් සිංහල හමුදාව කම්පනයට පත්වන දෙයක්‌ සිදු වෙයි යෑයි බාලකුමාරන් පළ කළේය.

බාලකුමාරන්ගේ මේ තර්ජනාත්මක ප්‍රකාශයට සමගාමීව එල්ලාලන් බළකාය නමින් හඳුන්වාගත් සංවිධානය රජයේ සහ පෞද්ගලික අංශයේ ආයතනවලට තර්ජනාත්මක ලිපි එවීමට ක්‍රියා කළේය.

ඒ වනවිට කොටි සංවිධානය කොළඹ සහ අවට ප්‍රදේශවල රුපියල් බිලියනයකට අධික දේපළ ,මුද්‍රණාල සහ වෙනත් දේ ලබාගෙන තිබුණි.

කටුනායක ගුවන්තොටුපල අසල ඉඩමක්‌ ද, කොටහේන ජම්පටා වීදියේ මුද්‍රණාලයක්‌ ද, වැල්ලවත්තේ තෙමහල් ගොඩනැගිල්ලක්‌ ද, කොටි සංවිධානය මිලයට ගෙන තිබූ නමුත් වන්නි මෙහෙයුම් අවසන් වනතුරු ඒ ගැන තොරතුරු හෙළි වූයේ නැත.

වන්නි මෙහෙයුම ආරම්භ වූයේ හිටපු හමුදාපති සරත් පොන්සේකාගේ විධානය යටතේයි. 

2006 ජුලි 21 දා කොටි සංවිධානය මාවිල්ආරු සොරොව්ව වසා දැමීම නිසා ත්‍රිකුණාමල ප්‍රදේශයේ 30000 කට අධික ජනතාවකට ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාගැනීමට නොහැකි විය. මේ සොරොව්ව වසා දැමීමට ක්‍රියා කළේ ජිනීවා ගොස්‌ හඬනගන උතුරු පළාත් සභා මන්ත්‍රිනී ආනන්දි ශෂිතරන්ගේ සැමියා වූ එලිලන් ය. ජනතාවගේ යහපත උදෙසා සොරොව්ව විවෘත කරන ලෙස රජය ඉල්ලීමක්‌ කළත් ප්‍රභාකරන් ඊට එකඟ වූයේ නැත. 2006 ජුලි 26 දා රජය මාවිල් ආරු සොරොව්ව මුදා ගැනීමට මානුෂික මෙහෙයුම ආරම්භ කළේය. ඊට ප්‍රතිචාර ලෙස කොටි සංවිධානය මුතූර්, කට්‌ටපරිච්චාන්, ශෙල්වනගර්, මහින්දපුර සහ පහළ තෝප්පුර් හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කළහ. එසේ වුවත් දැඩි දුෂ්කරතා මැද අගෝස්‌තු 08 දා මාවිල්ආරු සොරොව්ව අල්ලා ගැනීමට ආරක්‍ෂක හමුදාවට හැකි විය. 2006 අගෝස්‌තු 15 දා වනවිට මුළු මාවිල්ආරු ජලාශ ප්‍රදේශය අල්ලාගත් හමුදාව ජනතාවගේ ජල මාර්ගය යළිත් විවෘත කරනු ලැබීය. ඉන්පසු ත්‍රිකුණාමලය වරායට තර්ජනයක්‌ එල්ල කළ සාම්පූර් කොටි කඳවුර අල්ලා ගැනීම සඳහා අගෝස්‌තු 26 දා විශේෂ බළකා සහ පාබල හමුදා විසින් මෙහෙයුමක්‌ දියත් කළේය.

මෙම සාම්පූර් මෙහෙයුම නතර කරන ලෙස කොටි සාම මූලස්‌ථානයේ ප්‍රධානියා වූ පුලිතේවන් එවකට සිටි නෝර්වේ තානාපති හැන්ස්‌ බ්‍රට්‌ස්‌කාර්වෙතින් ඉල්ලීමක්‌ කරනු ලැබීය.

එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්‍ෂ වෙත ගිය බ්‍රස්‌ට්‌කාර් සාම්පූර් මෙහෙයුම නතර කරන ලෙස කළ ඉල්ලීම ජනාධිපති විසින් එකහෙළාම ප්‍රතික්‍ෂේප කළේය.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ හමුදා නිලධාරියා ද විගස හමුදා මූලස්‌ථානයට පැමිණ සාම්පූර් මෙහෙයුම සඳහා අධි බල මල්ටිබැරල් සහ කාලතුවක්‌කු භාවිත කරන්නේද යන්න විමසා සිටියේය. එවැනි බර අවි භාවිත කිරීමෙන් වළකින ලෙසත් මෙහෙයුම ගැන ඇමරිකානු රජය අවධානය යොමු කර ඇති බවත් පවසමින් ඔහු ශ්‍රී ලංකා හමුදා බලධාරීන්ට අනතුරු ඇඟවීය. එහෙත් 2006 සැප්තැම්බර් 2 දා සාම්පූර් ප්‍රදේශය හමුදා පාලනයට නතු විය.

සාම්පූර් අල්ලා ගැනීමට ඉඩ නොදෙන බවට වහසිබස්‌ දෙඩූ කොටි හමුදා ප්‍රකාශක ඉලන්තරියන් ද සාම්පූර් වෙතින් පැන ගියේය.

සාම්පූර්හි කොටි බලය ඇදවැටීම නිසා කොටි ත්‍රස්‌තයෝ මඩකලපුව සහ ත්‍රිකුණාමලය අතර පිහිටි වාකරේ වෙත පසුබසින ලද බව අනාවරණය විය. 

වාකරේ ඇදවැටීම වැළැක්‌වීම සඳහා සිවිල් ජනතාව මිනිස්‌ පලිහක්‌ ලෙස යොදා ගැනීමට දැරූ උත්සාහය ද අසාර්ථක විය. 

වාකරේ ජනතාව ආරක්‍ෂක හමුදා පාලනයේ පැවැති රිදීතැන්න වෙත පැමිණීම නිසා කොටින්ට ජනතා සහය අහිමිවිය. 2006 ඔක්‌තෝබර් 26 දා ආරක්‍ෂක හමුදාව වාකරේ මෙහෙයුම දියත් කරනු ලැබීය. වාකරේ අල්ලා ගැනීම සඳහා ආරක්‍ෂක හමුදාවන්ට දැඩි සටනකට මුහුණදීමට සිදු විය. එසේ වුවත් 2007 ජනවාරි 21 වැනිදා වාකරේ අල්ලා ගනු ලැබීය. මෙලෙස වාකරේ බලය අහිමිවීමත් සමගම නැගෙනහිර කොටි තොප්පිගල කැලෑවට පැනගියහ. 2007 අප්‍රේල් 25 වැනිදා තොප්පිගල අල්ලා ගැනීමේ මෙහෙයුම ආරම්භ විය. තොප්පිගල මෙහෙයුම මෙරට දේශපාලකයකුගේ අවඥාවට ද ලක්‌විය. තොප්පිගල කියන්නේ කැලෑවක්‌ ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් යෑයි ඔහු කියා සිටියේය. 2007 අප්‍රේල් සිංහල දෙමළ අලුත් අවුරුද්ද ආරම්භ වීමට පැය 48 ක්‌ තිබියදී ආරක්‍ෂක හමුදා විසින් මහඔය චෙන්කලාඩි මාර්ගයේ පාලනය සියතට ගැනීමට හමුදාවට හැකි විය. මාස 2 1/2 ක්‌ තිස්‌සේ කොටි සමග සටන් කළ ආරක්‍ෂක හමුදා 2007 ජුලි 11 දා මුළු නැගෙනහිර ප්‍රදේශයට කොටි බලය බිඳදමමින් නැගෙහිර පාලනය අල්ලා ගැනීමට සමත් විය. 

වසර කීපයකට පෙර ටැමිල්නෙට්‌ කොටි වෙබ් අඩවියේ ප්‍රධානියා වූ ඩී. පී. සිවරාම් හෙවත් තාරකි ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාව නැගෙනහිර අල්ලා ගැනීමට යැම පාරා වළල්ලක්‌ වන බවට අනතුරු අඟවා තිබුණි. සිවරාම් ආරක්‍ෂක හමුදාවේ ඉහළ නිලධාරීන් අතරට ද සිය මතය යොමු කරමින් ප්‍රභාකරන්ව වියට්‌නාමයේ වෝ ගියන් සෙනවියාට සම කළේය. වෝගියප් බලසම්පන්න ප්‍රංශ හමුදාව කොටු කළ ආකාරයට ප්‍රභාකරන් ඉතා සූක්‍ෂම ලෙස නැගෙනහිරදී ශ්‍රී ලංකා හමුදාව කොටු කරන බව ඔහු පවසනු ලැබීය. 

මේ අතර කොටි සංවිධානය සිය වයඹ දිග සැපයුම් කේන්ද්‍රස්‌ථානය ලෙස පවත්වාගෙන ගියේ මන්නාරමට නුදුරු සිලාවතුර මුහුදු කොටි කඳවුරයි. 

විශේෂ බලකාය සහ අනිකුත් සේනාංක නාවික හමුදා සහය මැද සිලාවතුර මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමට දින 2 ක්‌ තිස්‌සේ නොකඩවා සටන් කළහ.

හමුදාවේ ප්‍රහාරක බලයට මුහුණපෑමට නොහැකිවූ මුහුදු කොටි සියකඳවුර හැර දමා පළා යැමෙන් පසු 2007 සැප්තැම්බර් 2 දා සිලාවතුර පාලනය හමුදාවට නතු විය.

2007 සැප්තැම්බර් අවසන් සතියේදී මන්නාරමේ සහල් සංකීර්ණය නමින් හැඳින්වූ ප්‍රදේශය අල්ලා ගැනීමේ මෙහෙයුම කාර්ය සාධක බලකාය (1) මගින් දියත් විය. අයහපත් කාලගුණ තත්ත්වයකට මුහුණ පෑ මෙම බළකායේ සෙබළු දෙසැම්බර් 22 දා උලියන්කුලම් නගරය අල්ලා ගත්හ.

එම සටනින් මාස කීපයකට පසු 2008 ජුනි 22 දා මන්නාරමේ සහල් සංකීර්ණ ප්‍රදේශය මුළුමනින්ම අල්ලා ගනු ලැබීය.

මේ වනවිට මඩු සිද්ධස්‌ථාන ප්‍රදේශය මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ වී තිබුණි. ඊට උර දුන්නේ 57 වැනි බලකායයි. 2007 දෙසැම්බර් 22 දා තම්පනායි ගම්මානය ද සින්නපන්ඩිවිරිච්චාන් සහ පෙරිපන්ඩිවිරිච්චාන් නගර ද අසු විය. 2008 අප්‍රේල් 25 දා සුප්‍රසිද්ධ මඩු දේවස්‌ථානය අවට ප්‍රදේශය ආරක්‍ෂක හමුදාව අල්ලා ගැනීම නිසා කොටින්ගේ වහසිබස්‌ පුරසාරම් යෑයි තහවුරු විය. 2008 මැයි 17 දා පාලම්පිඩ්ඩි හා 2008 ජුනි 26 දා පෙරියමඩුමාව ගම්මාන ද හමුදාව විසින් මුදා ගනු ලැබීය. මේ අතර මන්නාරම සහල් සංකීර්ණය අල්ලා ගැනීමෙන් පසු කාර්ය සාධක බළකා මන්නාරමේ පුනරින් මාර්ගයේ පිහිටි සුප්‍රසිද්ධ මුහුදු කොටි කඳවුරක්‌ වූ විදුතලාතිවු කඳවුර අල්ලා ගැනීමට සැලසුම් කළහ. කොටි ත්‍රස්‌තයන් වන්නියට අවි ආයුධ ගෙන ඒමට භාවිත කළේ මෙම කඳවුරයි. එහෙත් කමාන්ඩෝ බලකාය සහ ගජබා රෙජිමේන්තුවේ සහයෙන් 2008 ජුලි 16 දා විදුතලාතිවු මුහුදු කොටි කඳවුර අල්ලා ගැනීමට හැකි විය. 

මේ වනවිට කොටි මල්ලාවි සහ තුනුක්‌කායි නගර වෙත පසුබසිමින් සිටි බව අනාවරණය විය. ඒ 9 මාර්ගයේ පිහිටි සුප්‍රසිද්ධ නගර වූයේ මෙම නගර දෙකයි. 57 වැනි සේනාංකය මෙහෙයවූ මේජර් ජනරාල් ජගත් ඩයස්‌ කොටි ත්‍රස්‌තයන් බලාපොරොත්තු රහිත අවස්‌ථාවකදී සිය සේනාංක මෙහෙයවා එම නගර ප්‍රදේශ හමුදා පාලනයට ගනු ලැබීය. මල්ලාවි අපේ සංස්‌කෘතික නගරයයි. එය අල්ලා ගැනීමට කිසිවකුටත් හැකියාවක්‌ නැතැයි පුරසාරම් දෙඩුවේ කොටි පොලිස්‌පති වූ නඩේසන් ය. 

2008 සැප්තැම්බර් 2 දා මල්ලාවි නගරය ආරක්‍ෂක හමුදාව විසින් අල්ලා ගැනීමත් සමගම පුලිතේවන්, නඩේසන් ඇතුළු කොටි වන්නි කැළෑවට පැන ගිය බව වාර්තා විය.

කොටි සංවිධානයේ 2 වැනි දේශපාලන මූලස්‌ථානය වූයේ මල්ලාවි නගරයයි. මේ වනවිට මන්නාරම පුනරින් ප්‍රදේශයේ නගර රැසක කොටි බලය ඇදවැටී තිබුණි. 2008 නොවැම්බර් 15 දා මන්නාරම් පුනරින් මාර්ගය යාපනය තෙක්‌ විවෘත කිරීමට ආරක්‍ෂක හමුදාවට හැකි ය. 

මේ අතර A-9 මාර්ගය පියවරෙන් පියවර මුදා ගැනීම හමුදා බලසේනාවලට හැකි විය. වන්නි මෙහෙයුම දියත් වී වසර 2 කට පසු 2008 නොවැම්බර් 11 උතුරු මාන්කුලම් නගරය මුදාගෙන තිබුණි. ඉන්පසු කනගරායන්කුලම්, පුලියන්කුලම් යන නගර දෙසැම්බර් 4 සහ 5 මුදාගෙන තිබුණි. 

ආරක්‍ෂක හමුදාවේ ඊළඟ මෙහෙයුම වූයේ ප්‍රභාකරන්ගේ බළකොටුව වූ කිලිනොච්චිය මුදා ගැනීමයි. එහෙත් ඉන්දීය රෝ ඔත්තු සේවාවේ හිටපු ප්‍රධානි බී රාමන් ශ්‍රි ලංකා හමුදාවට දැඩි අනතුරු ඇගවීමක්‌ කරමින් මුළු හමුදාවම සමූල ඝාතනය වන බව කියා සිටියේය. හිට්‌ලර්ගේ බලසම්පන්න හමුදාව ලෙනින්ග්‍රැන්ඩ් නගරයේදී කොටු කළ ආකාරයට සමස්‌ත ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චියේදී කොටු වී වැනසෙන බවත් රාමන් පළ කළේය. ඉන්දීය සාම හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියා වූ කර්නල් හරිහරන් ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාවේ අවසානය ළඟා වී ඇති බව කීවේය.

ප්‍රභාකරන් ගැන ග්‍රන්ථයක්‌ ලියූ ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප් ද ඉන්දීය මාධ්‍ය අමතමින් ප්‍රභාකරන්ගේ දැස්‌ මකුළුදැල්වලින් වෙලී නැති බවත් ඔහු මුළු ශ්‍රී ලංකා හමුදාව වනසා ජය ලබන අවස්‌ථාවට එක්‌වී ග්‍රන්ථයක්‌ රචනා කිරීමට තමා වන්නියට යන බව කීවාය. එසේ වුවත් සිදුවූයේ කුමක්‌ද? එවකට බ්‍රිගේඩියර්වරයකු වූ ශවේන්ද්‍ර සිල්වා 58 වැනි බලකාය උතුරු දෙසින් මෙහෙයවා කිලිනොච්චිය අල්ලා ගැනීමට උත්සාහ කිරීමය. 57 සහ 58 වැනි සේනාංකවල ඒකාබද්ධ මෙහෙයුමෙන් 2009 ජනවාරි 02 දා කිලිනොච්චියේ කොටි බලය සුන්වි ආරක්‍ෂක හමුදා පාලනයට නතු විය.

කිලිනොච්චියේ කොටි බලය ඇද වැටීමට පෙර කැනඩාවේ ඊළම් ජාලය, කොටි දේශපාලන නායකයා වූ නඩේසන් වෙතින් ප්‍රශ්නයක්‌ අසමින් හමුදාව ඉදිරියට එද්දී නුඹලා කුමක්‌ කරන්නේද යෑයි විමසා ඇත. ඊට ප්‍රතිචාර දැක්‌වූ නඩේසන් නුඹලා බිය වන්න එපා, අපි වාංග මචං වාංග කියා සතුරා අපේ බළකොටුවට ගෙන්වනවා යනුවෙන් පුරසාරම් දෙඩීය.

මේ අතර 53 වැනි බලකාය මෙහෙයවූ බ්‍රිගේඩියර් කමල් ගුණරත්න සහ 55 වැනි බළකාය මෙහෙයවූ බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා එක්‌ව 2009 ජනවාරි 7 දා මුමලෙයි කොටි ආරක්‍ෂක පවුරු මුළුමනින්ම බිඳ දැමූහ. 2009 ජනවාරි 14 වනවිට අලිමංකඩ, චුන්ඩිකුලම් හරහා ඉදිරියට ගිය බලසේනා පල්ලායි, සොරනාපත්තු හා ඉයක්‌කච්චි ප්‍රදේශ අල්ලා ගත්හ.

ප්‍රසිද්ධ අලිමංකඩ මුදා ගැනුනේ 2009 ජනවාරි 9 දායි මේ මෙහෙයුම සඳහා රුසියානු නිෂ්පාදිත යුද ටැංකි සහය විය.

ප්‍රභාකරන්ගේ කේන්ද්‍රස්‌ථානය වූ මුලතිව් අල්ලා ගැනීමේ මෙහෙයුම 59 වැනි සේනාංකය භාරව සිටි බ්‍රිගේඩියර් නන්දන උඩවත්තගේ සැලසුම මත ආරම්භ විය. ඝන වනාන්තරය ඔස්‌සේ ඉදිරියට ගිය බලසේනා මුලතිව් දකුණේ පිහිටි කොටින්ගේ වන් ෆෝ බේස්‌ කඳවුර අල්ලා ගත්හ. 2009 ජනවාරි 25 දා මුලතිව් කොටි කේන්ද්‍රස්‌ථානය ඇදවැටීම නිසා කොටි නායකත්වය මුලතිව් කුඩා ප්‍රදේශයට කොටු වූහ. 

එවකට බ්‍රිගේඩියර්වරුන් වූ ශවේන්ද්‍ර සිල්වා සහ ජගත් ඩයස්‌ මෙහෙයවූ 58 සහ 57 වැනි සේනාංක තවත් කොටි කේන්ද්‍රස්‌ථානයක්‌ වූ විශ්වමඩු අල්ලා ගැනීම සඳහා දියත් කළ මෙහෙයුම ව්‍යර්ථ කිරීම සඳහා කොටි කල්මඩුකුලම් ජලාශයේ බැම්ම පුපුරුවා හැරීමට ක්‍රියා කළහ.

එහි අරමුණ වූයේ විශ්වමඩු අල්ලා ගැනීමට එන යුද්ධ ටැංකි ඒකකය කල්මඩුකුලම් ජලාශයේ ජල ධාරා මගින් වැනසීමයි. එහෙත් චීනය ශ්‍රී ලංකාවට සපයා ඇත්තේ දියමත යා හැකි ඇම්පීබියස්‌ වර්ගයේ යුද්ධ ටැංකි බව කොටි දැන සිටියේ නැත. 

තිස්‌වසරක්‌ තිස්‌සේ පැවැති අති බිහිසුණු ත්‍රස්‌වාදය 2009 මැයි 19 දා ප්‍රභාකරන් නැමැති ඝාතකයාගේ මරණයෙන් අවසන් විය. වන්නි මෙහෙයුම නිමාවනවිට කොටි සතුව තිබූ ඩොලර් කෝටි 43 ක අවි ආයුධ සොයාගෙන තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා හමුදාව මෙම මෙහෙයුම දියත් කළේ රටවල රැසක හා දෙස්‌ විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධාන 170 ක විරෝධතා මැදය.

කොටි නායකත්වය බේරා ගැනීම සඳහා බ්‍රිතාන්‍ය විදේශ ඇමැතිව සිටි ඩේවිඩ් මිලිබැන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති ද මෙරටට පැමිණියේය. එහෙත් ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඔවුන්ගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය.

දකුණු අප්‍රිකාවේ ඩෙස්‌මන් ටුටූ අගරදගුරු සිට ඇමරිකාවේ සහකාර රාජ්‍ය ලේකම් රොබට්‌ බ්ලේක්‌ ද කොටි නායකයන් බේරා ගැනීමට දැඩි උත්සාහක යෙදුණි.



වන්නි මෙහෙයුම නිසා මෙරට මාධ්‍ය පාර්ශ්ව කීපයකට ද වාසනාව උදා විය. ඒ ඔවුන් බොරු මරණ තර්ජන පෙන්නුම් කර ඇමරිකාව හා ස්‌විට්‌සර්ලන්තයේ දේශපාලන රැකවරණ ලැබීමයි.

ආරක්‍ෂක හමුදාව පාවා දුන් "ජුදාස්‌ලා" දෙදදෙනකුට ද එම වාසනාව හිමි වුණි. ඉන් එක්‌ අයෙකුට පාකිස්‌තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්‌ කාර්යාලයේ ඉහළ ධුරයක්‌ හිමි විය. අනෙක්‌ ජුදාස්‌ට පවුලේ අය සමග ස්‌විට්‌සර්ලන්තයේ පදිංචි වීමට හිමිකම ලැබුණි. ඒ ව්‍යාජ සුදු කොඩි කතාව නිසාය. වන්නි මෙහෙයුමට වසර 7 ක්‌ සපිරෙන කතාව මින් අවසන් නැත. යුද්ධයෙන් ප්‍රභාකරන් ජයගනු ඇතැයි ඉන්දීය ලේකා ඇනිටා ප්‍රතාප් තරයේ විශ්වාස කළාය. මම ළඟදීම ශ්‍රී ලංකාවට අවුත් ප්‍රභාකරන් හමුවී ඔහුගේ ජීවිත කතාව ලියනවා" යෑයි ඇනිටා ප්‍රතාප් කියා සිටියාය.

එහෙත් ඇනිටා ප්‍රතාප්ට 2009 මැයි 18 දායින් පසුව ප්‍රභාකරන්ගේ මුහුණ දැකීමට නොහැකි විය. එහෙත් ඊට වසර 2 කට පසු ජපානයේ ටෝකියෝ නුවර පැවැති උත්සවයකදී ඇය දුටුවේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂයි. ඇනිටා අද වනතෙක්‌ ප්‍රභාකරන්ගේ මාර පරාජය ගැන වචනයක්‌වත් කීවේ නැත. 

වන්නි මෙහෙයුමේ 7 වැනි සැමරුම ලබන 18 වැනිදාට යෙදෙන අවස්‌ථාවේ මේජර් ජෙනරාල් සුමිත් මානවඩු ද අමතක නොවන චරිතයකි. 57 වැනි සේනාංකයේ මුල්ම සෙන්පතියා ලෙස කටයුතු කළ මානවඩු 2007 පෙබරවාරි මස කල්මඩු සිට වන්නි මෙහෙයුමට දායක විය. 

ඔහු පසුගිය සතියේ හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත විය.

6000 කට අධික සෙබලුන් හා නිලධාරීන් දිවිපිදූ මෙම වන්නි මෙහෙයුමේදී 25000 ක්‌ වූ රණවිරුවෝ ආබාධිත තත්ත්වයට පත් වූහ. නාවික සහ ගවන් හමුදාව ද සිවිල් ආරක්‍ෂක බලකායද විශේෂ කාර්ය බලකාය ද එම මෙහෙයුමට සහය විය. එහෙත් මෙරට ජනතාවට වසන් වූ තොරතුරු ද වන්නි මෙහෙයුමේදී සිදු විය. හමුදා නිලධාරියකු සහ නාවික හමුදා නිලධාරි යකු අතර පැවැති ගැටුම නිසා මුලතිව්හි සිටි නාවික භටයන්ව ආහාර සැපයීමෙන් වළකින ලෙසට නියෝග ලැබීම එවැනි එක්‌ සිද්ධියකි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2016/05/15/defence.html

0 comments: