Pages

Monday, May 16, 2016

ජයලලිතාගේ ඊළාම් සිහින රාජ්‍යය!

තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණය පැවැත්වීමට නියමිතව ඇත්තේ හෙට දිනයේය. මේ දිනවල ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණ රැසක්‌ පැවැත්වෙන මුත් ලංකා දේශපාලනයට වඩා වැදගත් මැතිවරණය වන්නේ තමිල්නාඩු බලපොරය බව අමුතුවෙන් කිවයුතු නැත. බටහිර බෙංගාලයේ ප්‍රාන්ත මැතිවරණයද පසුගියදා පැවැත්විණි. එහෙත් මමතා බැනර්ජිගේ දේශපාලන සටනට වඩා කොළඹ දේශපාලනය උණුසුම් කරන්නේ ජයලලිතා ජෙයරාම්ගේ දේශපාලන සටනයි. බටහිර බෙංගාල ප්‍රාන්ත මැතිවරණය බංග්ලාදේශයට වැදගත් වන්නා සේම තමිල්නාඩුව අපට වැදගත් වෙයි. ඉන්දීය දේශපාලන විචාරකයන් අනාවැකි පළකර ඇත්තේ මෙවර මැතිවරණයෙන්ද ජයලලිතා ජයගනු ඇති බවයි. තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමට නියමිතව ඇත්තේ මැයි 19 වැනිදාය. 68 හැවිරිදි ජයලලිතා සමග සටන්වදින්නේ 91 හැවිරිදි මුතුවේල් කරුණානිධිය. මේ මහළු නායකයා ප්‍රකාශ කර ඇත්තේ 16 වැනිදා සටනින් ජයග්‍රහණය කළහොත් මහ ඇමැතිවරයා වන්නේද තමා බවයි. ජීවිතයේ නමවැනි දශකයට පැමිණ සිටියද දේශපාලනය ඇත්හැරීමට කරුණානිධි සූදානම් නැත. එච්. කේ. ස්‌ටාලින්ට මහ ඇමැතිකම පැවරීමට සූදානම්දැයි එන්.ඩී.ටී.වී. රූපවාහිනිය කරුණානිධිගෙන් විමසූවිට ඔහු පවසා ඇත්තේ තමා මිය ගියාට පසුව ඔහුට එම තනතුර ලබාගත හැකි බවයි.

තමිල්නාඩු ප්‍රාන්ත සභාවට මන්ත්‍රීවරු 234 දෙනෙක්‌ තෝරා ගැනීමට මෙම මැතිවරණය පැවැත්වෙන අතර තමිල්නාඩු ප්‍රාන්තයට වෙන්කර ඇති ලෝක්‌ සභා ආසන ප්‍රමාණය 39 ක්‌ වන අතර රාජ්‍ය සභා ආසන ප්‍රමාණය 19 කි. මෙවර මැතිවරණයේදී ජයලලිතා ජයග්‍රහණය කළහොත් ඇය එම ධුරය හොබවන පස්‌වැනි වතාව මෙයවනු ඇත. දෙමළ. තෙළිඟු, කන්නඩ චිත්‍රපටවල රඟන එම්. ජී. රාමචන්ද්‍රන් හරහා දේශපාලනයට පිවිසි ඇය වර්තමාන ඉන්දියාවේ බලවත්ම දේශපාලන චරිතයක්‌ බව අමුතුවෙන් සටහන් කළ යුතු නැත. උග්‍ර ශ්‍රී ලංකා විරෝධයකින් පෙළෙන ඇය නිරන්තරයෙන් ප්‍රකාශ කරන්නේ රාජපක්‍ෂවරුන් යුද අපරාධ අධිකරණය වෙත ගෙන යායුතු බවයි. මෙවර ප්‍රාන්ත මැතිවරණය සඳහා සමස්‌ත ඉන්දීය අන්නා ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් පක්‍ෂය විසින් ඉදිරිපත් කරන ලද ප්‍රකාශයේ විශේෂ සටහනක්‌ වෙයි. එය කුමක්‌ද? ලංකාවේ දෙමළ වැසියන් වෙනුවෙන් වෙනම ඊළාම් රාජ්‍යයක්‌ බිහි කිරීමට කැපවන බවයි. ප්‍රභාකරන්ගේ ඊළම සුනු විසුණුවී ගිය නිසා දැන් ඇය තමිල්නාඩුවේ සිට උතුරු නැගෙනහිර ඊළමක්‌ බිහිකරන්නට අර අඳින්නේද ජයලලිතාගේ මෙම මැතිවරණ ප්‍රකාශය කොළඹ දේශපාලනයද උණුසුම් කරන්නක්‌ විය. දෙමළ ජාතිවාදීන්ගේ ඊළමේ පිපාසාව වෙනුවෙන් ඇය මෙම කොටස සිය මැතිවරණ ප්‍රකාශයට ඇතුළත් කර ඇත. මෙහි යටි අරමුණ වන්නේ දෙමළ ජාතිවාදී ඡන්ද කොල්ලකා ගැනීමයි. උතුරු නැගෙනහිර දෙමළ වැසියන් කෙරේ අනුකම්පාව පතුරුවා ඒ හරහා තමිල්නාඩුවේ ඡන්ද ගරා ගැනීම ජයලලිතාගේත් කරුණානිධිගේත් අරමුණ බව පැහැදිලිය.

කරුණානිධිට වඩා තමන් දෙමළ ප්‍රජාව වෙනුවෙන් කැපවන බව පෙන්වීමට ජයලලිතා සෑම විටම උත්සාහ කරයි. තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ පුරවැසියන්ට ද්විත්ව පුරවැසිකම ලබාදීමටද ජයලලිතා පොරොන්දු වී ඇත. 2009 යුද්ධය අවසාන භාගයේ සිදුවූ ජන ඝාතනයන්ට වගකිව යුත්තන්ගෙන් ජාත්‍යන්තර යුද අධිකරණයට ගෙන යැමටද කැපවන බව ජයලලිතාගේ මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වේ. තමිල්නාඩුවේ පවතින රාජපක්‍ෂ විරෝධය කුළුගන්වා ඒ හරහා මියගිය කොටි අවතාරවලට හුළං පිඹින්නට මේ පැරැණි නිළිය උත්සහ කරන බව පෙනේ. ඇත්තෙන්ම ඇය මේ සිදුකරන රඟපෑම කුමක්‌ද? ජයලලිතාගේ ඊළාම් ප්‍රකාශය ගැන යහපාලන ආණ්‌ඩුව මුනිවත රකී. දිල්ලි රජයේ ප්‍රකාශයක්‌ හැරෙන්නට ප්‍රාන්ත ආණ්‌ඩුවල ප්‍රකාශයෙන්ම උත්තර දීමට හදිසි විය යුතු නැත. එහෙත් ජයලලිතාගේ ප්‍රකාශ හරහා යළි පිබිදීමට උත්සාහ කරන කොටි හිතවාදීන්ට යම් ප්‍රාණයක්‌ ලැබෙන බව නොකියාම බැරිය. සිය දේශපාලන මඩිය තර කර ගැනීම සඳහා ඊළම ඔසවා තැබීමේ දේශපාලන සූදුව නතර කිරීමට මේ මහ ඇමැතිනිය කටයුතු කළ යුතුය. සැබවින්ම කසාගම් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශය ලංකා ස්‌වාධිපත්‍යයට තර්ජනයකි. කවරක්‌ නමුත් මෙරට දෙමළ දේශපාලන පක්‍ෂ ඒකාබද්ධ නිවේදනයක්‌ මගින් ප්‍රකාශ කර තිබුණේ ලංකාවේ දෙමළ වැසියන්ගේ ප්‍රශ්නය තමිල්නාඩු මැතිවරණ ව්‍යාපාරයට යොදා නොගන්නා ලෙසයි. නමුත් ජයලලිතා එම සදාචාරයද උල්ලංඝනය කර ඇති බව පෙනී යයි.

ජයලලිතා ජෙයරාම් මහත්මිය 2009 අප්‍රේල් 25 වැනිදා තමිල්නාඩුවේ සලෙම් නගරයේ පැවැති මැතිවරණ රැලියකට සහභාගි වෙමින් ශ්‍රී ලංකාවේ වෙනම ඊළමක්‌ ඇති කළ යුතු බව සපථ කර සිටියහ. ඒ වකවානුවේ ඇය තමිල්නාඩු විපක්‍ෂ නායිකාව විය. උතුරු නැගෙනහිර යුද්ධයද තීරණාත්මක අඩියක පත්වෙමින් තිබියදී එදා මේ හිටපු නිළිය ඊළාම් නාටකයේ ප්‍රධාන චරිතය රඟපෑවාය. එයින් වසර හතක්‌ ගෙවී ගියද ඇගේ ඊළාම් පිපාසාව නතරවී නැත. 2012 වසරේ සැප්තැම්බර් මාසයේදී චෙන්නායි නුවරට ගිය පාසල් පාපන්දු කණ්‌ඩායමක්‌ හරවා එවීමට තරම් මේ කාන්තාව සැහැසි වූ බව අපට මතකය. ඒ අවස්‌ථාවේදී ඉන්දීය ජනතා පක්‍ෂයේ නායක සුබ්‍රමනියම් ස්‌වාමි දිල්ලි මහ ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියේ තමිල්නාඩු මහ ඇමැතිනිය ඉවත් කර එම ප්‍රාන්තය ජනපති යටතට පවරා ගන්නා ලෙසය.

නිරන්තරව ඉන්දියාවේ පුහුණුව ලබන ලංකා සෙබළුන්ට තමිල්නාඩු මහ ඇමැතිනිය අකුල් හෙළන නිසා එම නිලධාරීන් තමිල්නාඩු ප්‍රාන්තයට අයත් නොවන කඳවුරු වෙත යෑවීමට ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යාංශයට සිදුවිය. සැබවින් මේ මහ ඇමැතිනිය ලංකාව සමග පසුවන්නේ උමතු විරෝධයකිනි. අද උතුරු නැගෙනහිර දෙමළ ජනතාව සාමයෙන් වෙසෙයි. ඔවුන්ගේ දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යැමට එල්ටීටීඊ සාමාජිකයන් පැමිණෙන්නේ නැත. නිදහසේ අධ්‍යාපනය ලැබිය හැකිය. ජයලලිතා ඊළාම් ගැන කියමින් උතුරු නැගෙනහිර දෙමළ ජනතාව යළිත් අර්බුදයට හෙලන්නට උත්සාහ ගන්නා බව පැහැදිලිය. සාමලැදි දෙමළ ජනතාව ජයලලිතාගේ මැතිවරණ ප්‍රකාශය ඉරා විසිකර දමන බව නම් සහතිකය.

චතුර පමුණුව
http://www.divaina.com/2016/05/15/forign.html

Pic Source

0 comments: